අනුන් කරන කරන දේ කරන්නට යෑමේ ප්‍රතිඵල | සිළුමිණ

අනුන් කරන කරන දේ කරන්නට යෑමේ ප්‍රතිඵල

ලන්නකො අරගොල්ලන්ගෙ අලුත් කාරෙක? " හවස තේ විවේකයේදී ඕ සිය මිතුරිය සමඟ පැවසුවාය.

"ඉතින් ?"

" ඉතින් කියන්නෙ අපටත් දැන් අලුතින් එකක් ගන්න වෙනවා."

" ඇයි ඔයාලගෙ වාහනෙත් අලුත්නේ. ඒකෙ වරද මොකක්ද ?" ඇගේ මිතුරිය පෙරළා ඇසුවාය.

" ඇයි අනේ ඒගොල්ලෝ ඒ වගේ එකක යද්දි අපි කොහොමද අර කාර් එකේ යන්නේ ?" 

දියුණුව අදිටන් කරගෙන කටයුතු කිරීම සැම විටම යහපත් ප්‍රතිඵල ගෙන දෙන්නකි. එනමුත් සංසන්දනයට හෝ අනුකරණයට යෑම කෙළවරක් නොපෙනෙන ආගාධයකට අප ඇදගෙන යන්නකි. සංසන්දනය හෝ " වාගේ වෙන්නට " යෑම හති වැටෙන සදාතනික දිවිල්ලකට ඔබ අප කැඳවාගෙන යයි. එහෙත් එය කියන තරම් පහසු කටයුත්තක් නොවන්නේ රැකියාව, ආදායම, තත්ත්වය, ගේදොර, යාන වාහන මෙන්ම සමාජ ජාලා නඩත්තු කිරීම ආදී සියල්ල ඉබේටම පාහේ සංසන්දනයෙන් ගොදුරු බවට පත් වන බැවිනි.

සමාජ ජාලාවල ඇති අයහපත් ප්‍රතිඵල ගැන අපි බොහෝ විට කතා කරන්නෙමු. එහිදී අප ලැයිස්තුවල ඉදිරියෙන්ම තිබෙන්නේ කාලය නාස්ති වීම, විවිධ ඇබ්බැහි වීම්වලට යොමු වීම ආදී කාරණා කිහිපයකි. එහෙත් ඒ ලැයිස්තුවේ මුල් තැනට පැමිණිය යුත්තේ මෙකී සංසන්දනයයි. එය එපමණටම හානිදායක ප්‍රතිඵල ගෙන එන්නකි. මානසික ආතතිය, මානසික පීඩාව ආදී වශයෙන් බොහෝ මානසික ගැටලුවලට මුල හාරා බැලූ විට හමු වන්නේ සංසන්දනයට ඇබ්බැහි වීමයි.

මානසික සෞඛ්‍යය පිළිබඳ බොහෝ විශේෂඥයන්ගේ රෙකමදාරව වන්නේ අසතුට කරා දිවෙන පාරට වැටෙන්නට තිබෙන හොඳම ක්‍රමය නම් සංසන්දනයට හුරු වීම බවයි. එහෙත් එය ඒ හැටි පහසුවෙන් අමතක කර, අතුගා දමන්නට පුළුවන් කාරණාවක් නම් නොවේ. ඊට හේතුව වන්නේ පෙර පාසලේ සිටම අප සංසන්දනයට හුරු වී සිටින බැවිනි. එසේත් නැතහොත් වැඩිහිටියන් නිතරම පාහේ දරුවන් දිරිගැන්වීමේ ක්‍රමයක් ලෙස සංසන්දනය යොදා ගැනීමයි." අන්න බලන්නකෝ අර ළමයගෙ අත් අකුරුවල ලස්සන. ඇයි ඔයාට බැරි ඒ විදිහට ලියන්න? ඔයාට පුළුවන්නෙ ඊට වැඩිය ලස්සනට ලියන්න." කියනු අප අනන්තවත් අසා ඇතුවාට සැක නැත.

එබැවින් අප බොහෝ දෙනෙකු හුරු වී සිටින්නේ, අපට හුරු වන්නට සිදුවී තිබෙන්නේ මේ සංසන්දනයත් සමඟ ජීවිතය ගෙවන්නටය. එහෙත් සංසන්දනය මුළුමනින්ම අත්හැර දමන්නට අපට පුළුවන්ද ? සංසන්දනය යම් තාක් දුරකට අපට ප්‍රයෝජනවත් නොවන්නේ ද, එසේනම් සංසන්දනය අපට ප්‍රයෝජනවත් විය හැකි ක්‍රම මොනවාද? එය ප්‍රතිඵලදායක ලෙස යොදා ගන්නේ කෙසේද? යනාදී වශයෙන් ප්‍රශ්න ගණනාවක් ඔබ අප සිත්වල නැඟෙන්නට පුළුවන.

To compare is to despair යන ඉංග්‍රීසි කියමනට අනුව සංසන්දනය ළතවිල්ලට මුලයි. එහෙත් නිතරම පාහේ තොරතුරු දැනගැනීමේ පිපාසයෙන් සිටින සත්ත්ව කොට්ඨාසයක් වශයෙන් ( naturally seeking information ) මේ තත්ත්වයෙන් සහමුලින් මිදෙන්නට අපට නොහැකිය. එහෙත් අවබෝධයෙන් යුතුව අනෙකා දෙස, ලෝකය දෙස බලමින් අපේ කටයුතු හැඩගසා ගැනීමේ වරදක් නොවේ. අප සාර්ථකත්වය කරා ගෙන යන විවිධ සාධක අතරින් එකක් වන්නේ ද සංසන්දනයයි. අපට පුළුවන් දේ - බැරි දේ තේරුම් ගන්නට ද, උත්තේජකයක් ලෙස ද යම් විටෙක සංසන්දනය යොදා ගැනේ. එසේනම් සංසන්දනය නිසා අපට වැඩ වරදින්නේ කොතැනින්ද ?

අපට වැඩ වරදින පළමු තැන වන්නේ සංසන්දනය හරහා හැම විටම අප අප ගැන කුඩාවට දකින්නට පටන් ගන්නා තැනදීය. එනම් සංසන්දනය හරහා අපේ ආත්ම සම්මානය (self esteem ) පහතට වැටෙන්නට පටන් ගත් තැනදීය. නිතරම අනෙකා තමන්ට වඩා ඉහළින් ඉන්නා බවත් ඔහු හෝ ඇය තමන්ට වඩා දක්ෂ බවත් කල්පනා කරන්නට පටන් ගැනීමේදී, අප අප ගැන සිතන්නේ අඩු තක්සේරුවෙනි. එය යහපත් තත්ත්වයක් නොවේ.

එහි අනෙක් පැත්තද සිදු වන්නට ඉඩ තිබේ. එනම් මානය, අහංකාරය හා අධිතක්සේරුව ඇති වීමයි. එයද යමකුගේ යථා ස්වරූපය ඔහුගෙන් හෝ ඇගෙන් වසන් කර මුළාවක හෙළන්නට බෙහෙවින්ම සමත්ය. ඒ අහංකාරය අනෙකකුට මෙන්ම තමාගේ අයහපතට ද මුල වන්නට බොහෝ විට ඉඩ තිබේ.

සංසන්දනය අවබෝධයකින් දරාගත හැකි නොවීමේ ගැටලුව අවසන් වන්නේ සියල්ල අත්හැර දමන්නට සිත හදා ගනිමිනි. එසේ නැතහොත් බැහැයි කියමින් පසු බසින්නට තීරණය කරමිනි. මෙන්න මේ කාරණා නිසා අපට ඇතුවත් බැරි නැතුවත් බැරි සංසන්දනය තේරුම් ගන්නටත් පාලනය කරගන්නටත් යම් පිළිවෙළක් සොයා ගත යුතු වෙයි.

එහිලා පළමු පියවර ලෙස සැලකෙන්නේ තමා කරන කටයුතු පිළිබඳ සොයා බැලීමට හෝ ඒවායේ යෙදීමට වැඩි කාලයක් කැප කිරීමයි. එවිට ඉබේටම වාගේ සංසන්දනයට ඇති ඉඩකඩ අඩු වන අතර එයින් සිදු විය හැකි මානසික ආතතිය හෝ පසු බැසීම කෙමෙන් අඩු කරගන්නට අපට පුළුවන් වෙයි.

කවරෙකුට වුව යම් වෙනසක් සිදු කරන්නට අවශ්‍ය නම් කළ යුතු පළමු දේ වන්නේ තේරුම් ගැනීමයි, වටහා ගැනීමයි. අප සිටින තත්ත්වය, අප කටයුතු කරන ආකාරයෙන් මෙන්ම අපේ හැකියාවන් සැබෑ ආකාරයෙන් අවංක ලෙස වටහා ගැනීම හරහා සංසන්දනය තුළින් එන පීඩනය හා පසුබෑම අඩු කර ගන්නට හැකිය. අනෙකකු හා සංසන්දනය නොකර සැබෑවටම තමාට අවශ්‍ය ඉලක්ක, කවරදා හෝ තමාට ළංවන්නට හැකි ඉලක්ක හඳුනා ගෙන ඒ අනුව කටයුතු කිරීම ද හොඳ විකල්පයකි.

අපේ ජීවිත සර්ව සම්පූර්ණ ඒවා නොවේ. ධනය, කඩවසම් බව, ආකර්ෂණීය බව, උගත්කම යනාදිය සම්බන්ධයෙන් අපි බොහෝවිටම සංසන්දනයේ යෙදෙන්නෙමු. එහෙත් එය කොතනකින්වත් නවතින්නක් නොවේ. අපට වඩා අපූරු යැයි සිතන තව කෙනකු , ඔහුට වඩා අපූරු කෙනකු ගැන කනස්සල්ලෙන් පසු වනවා විය හැකිය. එබැවින් සර්ව සම්පූර්ණ වීම යනු මිරිඟුවකි. එය කොතැනින් හෝ පළුදු වන්නට ඉඩ තිබෙන්නකි. සතුට මෙන්ම කනස්සල්ල ද වාසි මෙන්ම අවාසි ද , විශ්වාසය මෙන්ම බිය ද අපේ ජීවිතවලදී අත්දකින්නට අපට සිදු වී තිබේ. එබැවින් අප වටහා ගත යුතු වන්නේ අප දකින කියන සියලු දෙනාම, අනුකරණය කරන්නට, අප සංසන්දනය කරන්නට සූදානම් වන සියලු දෙනාම පාහේ අප මෙන්ම අටලෝ දහමට මුහුණ දෙන තැනැත්තන් බවය. එසේ සිතන්නට පුරුදු වූ කළ අනෙකකු හා සංසන්දනය කරමින් තවදුරටත් අපට ළතවෙන්නට සිදු නොවේ.

සමාජ මාධ්‍ය ජාලාවල මැවෙන ලෝකය ගැන අවබෝධයක් ඇති කර ගැනීම මෙහිලා තවත් වැදගත් පියවරකි. එය ඇත්ත නැත්ත වෙන්කර වටහා ගන්නට නොහැකි තරම්ම මායාකාරී වී තිබේ. ඇතැමකු ඒ හරහා පෙන්වන තත්ත්වය, එසේත් නැතිනම් තවත් කෙනකු එයින් මවා පෙන්වන තත්ත්වය පසුපස හඹා යන්නට අප සූදානම් නම් ඊට වඩා මුළාවක් තවත් ඇත්තේ නොවේ. සංසන්දනය කිරීමෙන් පීඩා විඳින වධ වෙනවාට අමතරව මවාගත් ප්‍රතිරූපයක් නඩත්තු කරන්නට ද අපට සිදු වෙයි. සමාජ මාධ්‍ය ජාලා රටේ තොටේ සිදු වෙන දේ දැන ගැනීමට, යම් ආකාරයක උනන්දුවක් හෝ මඟපෙන්වීමක් ලබා ගන්නට කදිමය. එහෙත් මෙහිදී නොකළ යුතු දේ වන්නේ සමාජ මාධ්‍ය ජාලාවලට ඕනෑ අන්දමට ජීවිතය වෙනස් කර ගන්නට යෑමය.

සංසන්දනය නිසා හිත නරක් කර ගන්නා අයට කියන්නට තවත් දෙයක් තිබේ. ඒ අපට අතීතයක් මෙන්ම අනාගතයක් ද තිබෙන බවය. අද දවසේ තත්ත්වය ගැන කනගාටු වෙමින් සිටින අපට අනාගතය ගැන පාඩම් කියා දෙන්නේ අපේ අතීතයයි. අපේ ගෙවුණු කාල රාමුව දෙස ආපසු හැරී බැලුවොත් අප යම් යම් අවස්ථාවලදී සාර්ථකව තිබෙන අයුරුත්, දියුණු වී තිබෙන අයුරුත් දැකගන්නට පුළුවන. ඉතින් අනාගතයේ කුමක් සිදු නොවේ යැයි කාට කිව හැකි ද ?

" නැති හකුරට නාඩන්නේ, තියෙන හකුර රැකගන්නේ" යන කියමනක් අප අසා ඇත. එයින් කියැවෙන්නේ නැති දෙය ගැන වධවෙන්නට ගියහොත් තිබෙන දේ ද ඈලියාවට යන්නට පුළුවන් බවය. අප සතුව ඇති දේ, අපේ හැකියා උපරිම කැපවීමෙන් උපරිම තලයෙන් පවත්වා ගෙන යන්නට උත්සාහ කිරීම ද මෙහිලා හොඳ විසඳුමකි. අනෙක් අතට අපේ රැකියාවේ තරාතිරම කුමක් වුවද , එය ඇදක් කුදක් කියන්නට ඉඩක් නොලැබෙන සේ ඉටු කිරීම තුළින් බොහෝ දෙනාගේ ආදරයටත් ගෞරවයටත් පත් වන්නට ඔබට පුළුවන. එවිට සංසන්දනයකින් හිත නරක් කර ගන්නට සිදු වන්නේ නැත. තනියෙන් කතා කිරීම කී සැණින් ඔබට බකස් ගා හිනා යන්නට පුළුවන. එය ප්‍රතිකාර ලැබිය යුතු මානසික ව්‍යාධියක් යැයි ද සිතනු ඇත. එහෙත් ඇත්තෙන්ම මා ඇතුළත සිටින මා මට කතා නොකරන්නේද? අපේ ප්‍රබලම විධායකයා වන්නේ අපමය. අප ඇතුළත ඉන්නා, අප කියන දේකට පිටින් යන්නේ ඉතාමත් කලාතුරකිනි. ඉතින් අපට ඉතා කදිම සහායකයකු අප තුළම සිටී. සංසන්දනය හේතුවෙන් ඇතැම් විට අපට පසු බසින්නට සිතෙයි, යම් තැනකට නොගැළපෙන බව හැඟෙයි. එහෙත් අප ඇතුළත ඉන්නා අප ඊට විරුද්ධව කටයුතු කරන්නට තරම් ශක්තිමත් නම් අපට වෙන කිසිවකුගේ රෙකමදාරුවක් අනවශ්‍යය. අවශ්‍ය විශ්වාසය අප තුළින්ම ගොඩ නඟා ගත හැකි විය යුතුය.

සංසන්දනය ගැන කතා කරන හැම විටකම පාහේ ඉස්මතු වන වචනයක් වන්නේ " Shoulding" ය. එනම්, මේ ආකාරයෙන් කළ යුතු යැයි අපට අභ්‍යන්තරයෙන් කෙරෙන පෙලඹුමය. සංසන්දනයේදී සිදු වන්නේ අප ඊට ගොදුරු වීමය. අපට ඊට යටත් වන්නට සිදු වීමය. එහෙත් මෙම " shoulding" වෙනුවට "wanting" ආදේශ කර ගන්නට හැකි නම් එයම ජයග්‍රහණයකි. අනෙක් අතට ඔබට ඔබම සංසන්දනය කර ගන්නට ද පුළුවන. ඔබ සතු හැකියාව ඊළඟ මට්ටමට දියුණු කර ගැනීම, මෙතෙක් ඔබ පසු කර ආ කඩඉම් යනාදිය ස්වයං සංසන්දනයකට කදිම පසුබිමක් සකසයි.

සංසන්දනයට හුරු වීමේදී හැම විටම අප කියන්නට පුරුදු වී සිටින්නේ අපේ අඩුපාඩු හෝ නොහැකියාව හෝ පිළිබඳවය. එය බොහෝ විට කෙළවර වන්නේ ස්වයං දෝෂාරෝපණයකිනි. එය ආත්ම අභිමානය හෝ ආත්ම සම්මානය කෙරේ හැටි හොඳ බලපෑමක් ඇති කරන්නක් නොවේ. එය ක්‍රම ක්‍රමයෙන් ඔබ තුළ සිටින ඔබ යටපත් කර දමන්නට හේතුවක් වනු ඇත. එබැවින් අප සැම අයකු සතුවම මෙතෙක් කල් පසු කර ආ අතීත ගමනක් තිබේ. එය සර්ව අසුබවාදී ලෙස පමණක් බැලිය හැකි අතීතයක ඇයි කිසිවකුටත් කිව නොහැකිය. එතැනදී ඒ අතීත සාර්ථකත්වය, ජයග්‍රහණ හා ඇගයුම් ධනාත්මක සංසන්දනයක් ලෙස අපේ ආත්ම විශ්වාසය ගොඩ නඟා ගැනීම සඳහා යොදා ගන්නට පිළිවන් වෙයි.

මේ ආකාරයේ අනවබෝධ සංසන්දනයකට හුරු වීම නිසා අපට හැම විටම පාහේ පීඩාවෙන් ආතතියෙන් හා පසුබැසීමේ මානසිකත්වයෙන් ජීවත් වන්නට සිදු වෙයි. එය කිසිසේත්ම අපේ ඉදිරි ගමනට, අපේ ඉදිරි ඉලක්කවලට උදවු වන්නක් නොවේ. අනෙක් අයට ඇති එහෙත් තමාට නැති කවර දෙයක් ගැන වුවද දිගින් දිගට සංසන්දනයේ යෙදෙන්නට පටන් ගතහොත් අපට හිමි වන්නේ පසුබැසීමක් පමණි.

ජීවිතයේ කැපී පෙනෙන වෙනස්කමක් සිදු කරන්නට දායක වන වැඩිමනත් සාධක, එසේත් නැතිනම් වැඩිමනත් තල්ලුව අපට ලැබෙන්නේ අපේම අභ්‍යන්තරයෙන් මිස බාහිර ලෝකයෙන් නොවේ. එයින් අදහස් වන්නේ බාහිර සාධක ඊට දායක නොවන බව නොවේ. එහෙත් ඒ මත මුළුමනින්ම රඳා කල්පනා කිරීම සිදු නොකළ යුත්තකි.

සටහන අවසාන කරන්නට පෙර මේ සම්බන්ධ තවත් ඉංගිරිසි කියමනක් මතක් කරන්නට මම කැමතිය. You can be anything but you can't be everything යන මේ කියමන අපට මතක් කර දෙන්නේ පැන යන මුවන් අබියස නෙළු පලා විසි කර දැමීමේ ආදීනව හෝ , පඳුරක වසා සිටින කුරුල්ලන් දෙතුන් දෙනකුට වඩා අතේ සිටින කුරුල්ලා වැදගත් බව හෝ විය හැකිය. එබැවින් අවශ්‍යම නම් අද දවසේ සිටින්නේ ඊයේ දවසේ සිටි අපම දැයි සංසන්දනය කර බලන්නට වුව අපට පුළුවන.

Comments