යටත් විජිත ප්‍රේමයක්! | සිළුමිණ

යටත් විජිත ප්‍රේමයක්!

විනීතා තීරණාත්මක ගමනක යෙදී සිටින්නේ වුව හිත පවතින්නේ දෙගිඩියාවකය. ජීවිතයේ වැදගත්ම අවස්ථාවලදී නිශ්චිත තීරණයක නොපිහිටා කටයුතු කිරීම නිසා ඇයට බොහෝ දේවල් අහිමි විය. මේ වන විට තාරුණ්‍යයේ සීමා ඉර පනින්නට ඔන්න මෙන්න කියා සිටියද විනීතාට එම වරද නිවැරැදි කරගන්නට වුවමනාවක් නැත. ඇය හිතුවක්කාරය. හොඳටම හිතුවක්කාරය. ඇගේ හිතුවක්කාරකම තුළ මුල් බැසගෙන ඇති උඩඟුව හා මමංකරය විසින් විනීතාගේ හැසිරීම අන්තිම නරක තැනක් වෙත ගෙන යනු ලැබේ.

හිත හදාගෙන අමරවීර කැටුව විවාහ වී හොඳ පවුල් ජීවිතයක් ගත කළ යුතු යැයි ඇය වරෙක සිතයි. අමරවීර කවුද? උගත්කමක්, රැකියාවක් හා හැදියාවක් තිබුණද අමරවීර තමන්ට සෑහෙන්නේ නැතැයි තව වරෙක ඇය සිතයි. අමරවීරට කෑම හැදීම, ඔහු වෙනුවෙන් දරුවන් බිහි කිරීම ඒ මොන විකාරයක් දැයි තවත් වරෙක ඇය තර්ක කරයි.

විනීතාට මනමාලයන්ගෙන් අඩුවක් නැත. යෝජනාවලින් අඩුවක් ද නැත. මේ වන විටත් යෝජනා කිහිපයක් පවතී. ඒවා ඉදිරියට ගමන් නොකරන්නේ විනීතාගේ අනුමැතිය නොමැති නිසාය. මාපියන් කැමැති කිසිවකට ඇය කැමැති නැත. විනීතා නිසා හෙම්බත් වී සිටින මාපිය යුවළ අවසන් ලෙස තම දියණියගේ අභිමතයට අනුව කටයුතු කරන්නට හිත හදාගෙන සිටිති. එය ද ඉක්මනින් නිමාවන කාරණයක් නොවේ.

“දුව, විනීතා ඔයා අපි ගැනත් හිතන්න! අපිත් මේ වගකීම්වලින් නිදහස් වෙන්ඩ ඕනෑ!“

“මොකක්ද මට කරන්ඩ කියන්නෙ?“

“ඔයා අර දොස්තර ළමයට කැමැති වෙන්ඩ!

ඒ පුතා වැදගත් මහත්මයෙක්“

“හරි, ඒ මිනිහට එන්ඩ කියන්ඩ! මට කතා කරන්ඩ ඕනෑ“

දොස්තර මහත්තයා පැමිණියේය. තොරතෝංචියක් නැතිව කියෙවුවේය. ඔහු වත්ත පුරා ඇවිද්ද අතර එක්වරම විනීතාගේ අතකින් ඇල්ලුවේය. අත ගසා දැමූ විනීතා,“ වනචරයා!” යැයි බැණ වදිමින් දොස්තරට පහර දුන්නාය. දොස්තර මහතා පෙරළා සිය නිවෙස කරා යන්නට වූයේ ලේ ගලන තුවාල සහිතව බරපතළ ලැජ්ජාවක් ද සිය ජීවිතයට එකතු කර ගනිමින්ය. මේ සිද්ධිය තටු ලබා සමාජ අවකාශය පුරා ඉගිල ගිය ද විනීතාට ලැබෙන යෝජනාවල අඩුවක් දක්නට නොලැබිණි.

කුඹුරු, වතුපිටි, බද්දට දෙන ලද ගොඩනැඟිලි, යාන වාහන ඇතුළු මහා ධනස්කන්ධයකට උරුමකම් කියන පවුලේ එකම දරුවා වූ වීනිතාගේ හැඩරුව ද ඉහළ මට්ටමක පැවැතිණි. ඇය හැමවිටම කැපී පෙනුණේ ප්‍රභූ පවුලක රූමත් ආඩම්බරකාර තරුණියක හැටියටය. එහෙත් පුදුමයකට මෙන් පාසල් සමය තුළ ඇයගේ එකම මිතුරා බවට පත් වූයේ අමරවීර ය. ඔහු ඉගෙනීමට හපනකු වුව දුප්පත්ය. ඒ හැරෙන්නට කුල ප්‍රශ්නයක් ද ඔහුට තිබේ.

“අමරෙ කෙල්ලොත් එක්ක කතා කර කර ඉන්නවට මං කැමැති නෑ!“

“ඒ ගොල්ල ගැටලු තැන් ගැන අහනවා! මට මගාරින්ඩත් බෑ!“

“ඒකට තමුසෙම ඕනැද? ඇයි ගුරුවරු ඉන්නෙ!?“

“මං කොහොමද ඒක කියන්නෙ විනීතා?“

විනීතා පන්තියේ සියලු ම කෙල්ලන්ට බැණ වැදුණාය. ඇයට උත්තර දෙන්නට කිසිවකු ඉදිරිපත් වූයේ නැත. ගුරුවරු පවා විනීතාගේ බල පරාක්‍රමය හමුවේ පසුබා සිටියහ. කොටින්ම විදුහල්පති ද ඒ පවුල තරහ කර ගන්නට කැමැති නැත. මේ සිද්ධියෙන් පසු විනීතා පාසලට පැමිණි තඩි බෙන්ස් රථයෙන්ම පාසල නිමවා ගෙදර යෑමේ අවස්ථාව අමවීරට ලැබිණි. ඔහු විනීතාගේ පදයට නටන කීකරු ශිෂ්‍යයකු බවට පත් විය. අමරවීර උසස් පෙළ සමත් වී විශ්වවිද්‍යාලයයට ඇතුළත් විය. විනීතා දෙවැනි, තෙවැනි වර උත්සාහ කළද සරසවි වරම ලැබීමට අසමත් විය. බාහිර උපාධියක් කරන්නැයි මවුපියන් ඉල්ලා සිටියද විනීතා ඊට කැමැති නොවීය. ඉනික්බිති ඇය අමරවීරට ආර්ථික සහයෝගය දක්වමින් නිහඬ ජීවිතයක් ගත කරන්නට වූවාය. අමරවීරට උදවු ලැබුණේ කොන්දේසිවලට යටත්වය. පළමු කොන්දේසිය දිනකට වරක් විනීතාට දුරකථන ඇමතුමක් ලබා දීමය. දෙවැනි කොන්දේසිය විශ්වවිද්‍යාල ජීවිතය තුළ ප්‍රේම සම්බන්ධතා තහනම් වීමය. තෙවැනි කොන්දේසිය සෑම නිවාඩුවකටම එක් වරක් පැමිණ විනීතා මුණගැසීමය. සියල්ල ඒ ආකාරයටම සිදු විය.

විනීතාගේ මාපියෝ මේ සම්බන්ධයට දැඩි ලෙස විරුද්ධ වූහ. ඔවුන්ගේ මතය වූයේ කෙතරම් ඉහළට ඉගෙන ගත්තද, අමරවීර ඔවුන්ගේ පවුලට නොගැළපෙන බවය. විනීතාගේ මතය ඊට ඉඳුරාම වෙනස් විය. ඇය කියා සිටියේ අමරවීර හා අතිනත ගත නොහැකි නම් කිසි දිනෙක විවාහයක් ගැන නොසිතන බවය. එහි ප්‍රතිඵලය ලෙස විනීතා හා එකඟවීමට මවට හා පියාට සිදු විය. අමරවීර සෑම නිවාඩුවකටම විනීතාගේ නිවෙසට පැමිණියේය. ඔහු සෑම ගමනක්ම නිමවා ආපසු ගෙදර ගියේ විනීතාගෙන් බඩ කට පුරා බැණුම් අසාගෙනය.

වෙන කිසිවකු හා පවුල් ජීවිතයක් ගත කළ නොහැකි වුව අමරවීර සමඟ මැරෙන තුරාවටම රණ්ඩු වෙමින් යාළු වෙමින් හෝ ජීවත් විය හැකි බව විනීතා දනී. අමරවීර සත්‍ය ලෙසම ඇයට ආදරය කරයි. දෙදෙනා අතර ගැටුම් මතුවන්නේ විනීතාගේ උද්ධච්ඡකම නිසා මිස අන් දෙයක් නිසා නොවේ. විනීතාට ක්‍රියාවෙන් පමණක් නො ව වචනයෙන් ද කිසිවකුට දෙවැනි වීමට පුළුවන්කමක් නැත. බියට, කෝපයට හා තවත් දේවල්වලට නාගයා වහා පෙණය පුප්පන්නා සේ විනීතා ද සුළු දෙයටත් කෝප වෙයි. මෙය හොඳින් වටහාගත් අමරවීර තෝරාගත් වචනවලින් පරිස්සමට කතා කරන්නට විය.

අමරවීරගේ කන්තෝරුවට ගොස් සියල්ල පිළිවෙළකට ගෙන ආ යුතු යැයි විනීතා තීන්දු කළේ ස්වකීය වයස ද සැලැකිල්ලට ගනිමින්ය. එම කන්තෝරුවට ගොස් අමරවීර ගැන තොරතුරු විමසන කල්හි ඇයට හැඟී ගියේ ඔහු උසස් තනතුරක් දරන බවය. එහෙත් විනීතාට තනතුරුවලින් පලක් නැත. ඇය එම කන්තෝරුවේ කිසිවකු ගණන් ගත්තේ ද නැත. විශාල ගොඩනැඟිල්ලේ හත් වැනි මහලේ වායු සමනය කළ කාමරයක ඔහුගේ රාජකාරි ස්ථානය තිබිණි. විනීතා ඒ වෙත ප්‍රවේශ වන විටත් ඔහු තවත් තරුණ කාන්තාවක් සමඟ රාජකාරී කටයුත්තක යෙදී සිටියේය. කාමරයේ වීදුරු දොර අබියස සුළු වේලාවක් රැඳී සිටි විනීතා බලවත් කෝපයෙන් ගැහෙමින් දොර ඇරගෙන කාමරයට කඩා වැදුණාය.

විනීතා සිය පෙම්වතාට පහර පිට පහර දෙන්නට වූ අතර ආරක්ෂක අංශ නිලධාරීහු පැමිණ සිද්ධිය සමථයකට පත් කළහ. ඉනික්බිති විනීතා නොනවත්වා හඬන්නට පටන් ගත්තාය. ඉන් සතියක් ගෙවී ගිය තැන විනීතා අංගොඩ මානසික රෝහලට ඇතුළත් කෙරිණ. අමරවීර ස්ථාන මාරුවක් රැගෙන වෙනත් රාජකාරි ස්ථානයක වැඩ බාර ගත්තේය. අමරවීර කෙසේ වුව විනීතා කිසි දිනෙක විවාහ වූයේ නැත.

Comments