ගීත රසවිඳින්න වගේ ම කලාත්මක වැඩ කරන්නත් ගොඩාක් කැමැති ලාංකේය භූමියට වේගය කැන්දන කඳුරට හී සැරය අමාෂා | Page 4 | සිළුමිණ

ගීත රසවිඳින්න වගේ ම කලාත්මක වැඩ කරන්නත් ගොඩාක් කැමැති ලාංකේය භූමියට වේගය කැන්දන කඳුරට හී සැරය අමාෂා

අමාෂා යනු සුසන්තිකාගෙන් පසුව ධාවන පථය මත වේගය රැගෙන එන කන්ද උඩරටින් බිහි වූ සුපිරි තරුව ය. කොවිඩ් වසංගතයත් සමඟ ලද දීර්ඝ විරාමයෙන් උපරිම ප්‍රයෝජන ගත් අමාෂා 2006 වසරෙන් අනතුරුව මීටර් 100 ඉසව්වේදී මෙරට ක්‍රීඩිකාවක් වාර්තා කළ වේගවත්ම කාලය වාර්තා කිරීමට සමත් වූවා ය. 98 වැනි ජාතික ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ මූලික වටයේ දී තත්පර 11.64 ක කාලයකින් තරගය අවසන් කරමින් සිය හොඳම කාලය වාර්තා කළ අමාෂා අවසන් තරගයේදී තවත් මුවහත් වෙමින් තත්පර 11.55 ක දක්ෂතාවක් සනිටුහන් කළාය.අමාෂා ගේ හොඳම කාලය ලෙස ද මෙය සටහන්වෙයි. ඒ 2020දීය.එය සැලකෙන්නේ මීටර් 100 ඉසව්වේදී මෙරට ක්‍රීඩිකාවන් අතරින් වාර්තා වූ සිව්වැනි හොඳම කාලය ලෙසය. සුසන්තිකා ජයසිංහ, දමයන්ති දර්ශා හා රුමේෂිකා රත්නායක මීට පෙර වේගවත්ම කාලයන් වාර්තා කර ඇත.

මේ අතර මෙරටදී ක්‍රීඩිකාවක් වාර්තා කළ වේගවත්ම කාලය සුසන්තිකා ජයසිංහ 2006 වසරේදී දැක් වූ අතර රුමේෂිකා රත්නායක සිය හොඳම කාලය වාර්තා කර ඇත්තේ ඔස්ට්‍රේලියාවේ සිඩ්නිහිදී ය. ඒ තත්පර 11.51ක් ලෙස ය. අමාෂා 2018 දී, සිය හොඳම කාලය වාර්තා කර ගන්නේ තත්පර 11.71ක් ලෙස ය. අමාෂා 2019 සාග් තරගාවලියේ මිටර් 100 ඉසව්ව තත්පර 11.82කින් නිම කරමින් රිදී පදක්කම සහ මිටර් 100 සහාය දිවීමේ ඉසව්වෙන් ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරමින් රන් පදක්කම දිනා ගත්තාය.

මහනුවර ස්වර්ණමාලි බාලිකා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා ඇති ඈ මේ වනවිට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දෙවැනි වසරේ ක්‍රීඩා විද්‍යාව සහ කළමනාකරන විෂය ධාරාවන්ගෙන් සිය උසස් අධ්‍යාපන කටයුතු හදාරයි.

මේ අතර යුද හමුදාව නියෝජනය කරන ඇය කනිෂ්ඨ මලල ක්‍රීඩා පිටියේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස කිහිපවරක්ම සම්මානයට පාත්‍රවීමට ද සමත් වූවාය.

ක්‍රීඩාවට යොමු වුණේ පොඩි කාලයේදිමයි.අම්මා -තාත්තා ක්‍රීඩා කරලා තියෙනවා. ඒ ආභාෂයත් එක්ක තමයි මම ක්‍රීඩාවට යොමු වෙන්නෙ . අම්මා මිටර් 400 කඩුලු තරණ ඉසව්ව කරලා තියෙන්නෙ. තාත්තා කාය වර්ධන ක්‍රීඩාව කරලා තියෙනවා.පොඩි කාලයේ නම් මට හොඳට දුවන්න බෑ. පාසල් නිවාසාන්තර තරගවලවත් හරියට දුවලා නෑ.හැබැයි පොඩි කාලයේ හොකී, වොලිබෝල් වගේ ක්‍රීඩා කළාට ඇඟේට අර ගෙන මහා ලොකුවට ඒවට යොමු වුණේ නෑ. ඉගෙන ගන්න ලොකුවට ම ආසාවක් තිබ්බේ නෑ. කලා විෂය ධාරාවන් ගෙන් ඉගෙන ගත්තේ. අධ්‍යාපනය පැත්තෙන් හුඟක් අතපසුවිම් සිද්ධ වුණා. 2018 අ.පො.ස. උසස් පෙළ විභාගය අතරතුර මැයි මාසයේ ලංකාවේ තිබ්බ දකුණු ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියටත් මම ක්‍රීඩා කළා.ජුනි මාසයේ ජපානයේ තිබ්බ ආසියානු කනිෂ්ඨ තරගාවලියටත් ගියා.ඒ තරගාවලියේ මීටර් 100 / 200 රිදී සහ 400 සහාය දිවීමේ තරගයේ දී ලෝකඩ පදක්කම දිනා ගත්තා. ජුලි මාසයේ පින්ලන්තයේ තිබ්බ ලෝක ශුරතා කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියට සහභාගිවන්න සිදුවුණා. මීටර් 100 තරගයේ මුලික වටයේ 5වැනියා සහ අර්ධ අවසන් පුර්ව තරගයේ 8වැනියා වුණා. හැබැයි තිබුණු කාලයෙන් උපරිම මහන්සි වෙලා වැඩ කළා. ප්‍රියන්ති මැඩම් එයාගේ ගෙදර නවත්තගෙන තමයි මට මීඩියා ඉගැන්නුවේ.

හැමෝම කියනව ක්‍රීඩාව අධ්‍යාපනයට බාධාවක් කියලා. ඒක එහෙම නෑ. ඇත්තටම කියනවා නම් ක්‍රීඩාවයි, අධ්‍යාපනයයි කියන දෙකම සමාන්තරව කරගන්න පුලුවන්. ඒකට කැපවෙන්න අවශ්‍යයයි. ක්‍රීඩාව කරද්දි දරාගැනීමේ ශක්තිය වගේම පිළිවෙලකට වැඩකරන්න හැකියාව ලැබෙනවා.මම මේ දෙකම කරගෙන ඉදිරියට ආවේ ඒ විදියටයි.’ ඈ ‘ක්‍රීඩා’ හා පවසන්නේ ගාම්භීරව ය. ඒ ඇගේ සාර්ථකත්වය සම්බන්ධයෙන් වන අහිංසක ආඩම්බරයකි.

මීටර් 100 ඉසව්ව අද අමාෂාගේ ප්‍රධානම ඉසව්ව වුවද , එකී ඉසව්වට ඈ යොමුවන්නේ අහඹු ලෙස. අප එසේ කියන්නේ ඈ 2014දී මුලින්ම කළේ මීටර් 400 කඩුලු පැනීමේ ඉසව්ව වන හෙයිනි.

මම 2014දී වයස අවුරුදු 16න් පහළ ජෝන් ටාබට් කනිෂ්ඨ තරගාවලියේ දී මීටර් 400 කඩුලු පැනීමේ ඉසව්වෙන් තුන්වැනියා වුණා.ඒකත් අහම්බෙන් වුණේ මම තරගයේ හතරවැනියට හිටියේ තුන්වැනියාට හිටපු ක්‍රීඩිකාව වැටුණා. මම තුන්වැනියා වුණේ. 2014/15/16/17 අවුරුදුවල මීටර් 400 කඩුලු මතින් දිවීමේ පළමු තුන් දෙනා අතර හිටියා.2017 කනිෂ්ඨ මලල ක්‍රීඩා ශුරතාවලියේ පදක්කමක් දිනා ගත්තා. ඊට පස්සේ මීටර් 200 , 400 සහ 400 කඩුලු මතින් දිවීමෙන් ඉදිරියට ආවා. 2017දි,ජෝන් ටාබට් තරගාවලියේ මීටර් 400 දුවන්න යද්දි වැරැදි ආරම්භයක් ගත්ත නිසා තරගයෙන් එළියට දැම්මා. එතකොට මීටර් 100 පවත්වලා තිබුණෙ නෑ. ඒක නිසා 100 තරග කළා. ඒකෙන් හිතපු නැති විදියට පළමුවැනියා වුණා. ඊට පස්සේ තමයි මගේ පුහුණුකරුවා කිව්වේ මීටර් 100 ඉසව්ව දිගටම කරමු කියලා.එතැන ඉඳලා තමයි මීටර් 100 සහ 200 ඉසව්වලට විතරක් ම අවධානය යොමු කළේ. 2019 සාග් තරගාවලියේ මීටර් 100 රිදී පදක්කම සහ මීටර්100 සහාය දිවීමේ තරගයේ අපි රන් පදක්කම දිනා ගත්තා. ඉන්දියාවේ පටියාවල තිබුණු තරගාවලියකට අපි ගියේ සහාය දිවීමේ තරගාවලියට, අහම්බෙන් වගේ මීටර් 100 තරගයට ඉදිරිපත් වෙන්න අවස්ථාව හම්බ වෙලා ඒ තරගයෙන් රිදී පදක්කම දිනා ගන්න පුලුවන් වුණා.තරගය අවසන් කළේ තත්පර 11.59කට ඒ දවස්වල හැටියට මේ කාලයත් හොඳම කාලයක් විදියට දකිනවා.කොවිඩ් වසංගතයත් එක්ක රටට ලෝකයට අඟුළු වැටෙන කොට තරග කරන්න අවස්ථාව නොලැබුණත් ඊට පසසේ දිගට ම වගේ මගේ ස්ථානය රැක ගන්න පුළුවන් වුණා.

මුලින්ම ඉස්කෝලේ ලොකුවට මලල ක්‍රීඩා තිබ්බෙ නෑ. හත වසරේදි තමයි මලල ක්‍රීඩාව පටන් ගත්තෙ. අපිව ක්‍රීඩා කරන්න යොමු කළේ චන්ද්‍රිකා මැඩම් තමයි. එතකොට සනත් සර්. එයා අපිව අවුරුද්දක් පුහුණු කළා. අටවසරෙ ඉඳන් මේ දක්වා අවුරුදු 12ක් විතර සංජීව වීරක්කොඩි සර් ගාව ට්‍රේනිං කරනවා.’ ඈ පවසන්නීය.

මෙරට පැවැති දකුණු ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා උළෙලේ දී වැඩි අවධානයක් දිනා ගත් අමාෂා රන් පදක්කම් හතරක් දිනා ගත්තාය.ඒ මිටර් 100/200/100 සහ 400 සහාය දිවිමේ ඉසව්වලින්ය.

-------------------------------------------------------------------------------------

 

හර්ද්‍රික් පාණ්ඩ්‍යො

* 2014 IPL තරගාවලියේ කිසිම කණ්ඩායමක් ඔහුව මිලදී ගන්නේ නැහැ.

*2015 IPL තරගාවලියේ ක්‍රීඩකයෙක්ට ගෙවන අඩුම මුදලට (ඉන්දීය ලක්ෂ 10) මුම්බායි ඉන්දියන්ස්ලා එක් කර ගන්නවා.

* අවුරුදු 7 කට පස්සෙ මේ අවුරුද්දෙ මුම්බායි ඉන්දියන්ස්ලා හර්ද්‍රික්ව නිදහස් කරනවා.

* දිගින් දිගටම මතු වු ආබාධ නිසා ම හැමෝ ම කිව්වා ආයෙ සුපුරුදු දස්කම්වලට එන්න බැරි වෙයි කියලා.

* ගුජරාට් ටයිටන්ස් මෙවර (ඉන්දීය කෝටි 15 ) මිළට ගෙන නායකත්වයත් ඔහුට දෙනවා.

* IPL වලට මාස 5 කට කලින් ජාත්‍යන්තර තරගයක් ක්‍රීඩා කරල තිබුණේත් නැහැ.

* එදා සහෝදරයා එක්ක ලොරියක නැඟලා ක්‍රීඩාංගණ ගානේ පුහුණුවීම්වලට ඇවිත් රුපියල් 5 මැගී මිලට ගෙන උදේ දවල් දෙකට ම ආහාරයට ගත්තා කියලා දවසක් ඔහු කියනවා.

 

 

Comments