HNB ප්‍රහාරයෙන් ජෝන් කීල්ස් පසු බසියි | සිළුමිණ

HNB ප්‍රහාරයෙන් ජෝන් කීල්ස් පසු බසියි

වෙළෙඳ සේවා ක්‍රිකට් සංගමය සංවිධානය කළ සිංගර් කුසලාන සුපර් ප්‍රිමියර් ලීග් සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට හැටන් නැෂනල් බැංකු කණ්ඩායම සමත් වූවේ ය.

ජෝන් කීල්ස් කණ්ඩායම සමඟ කොළඹ 7, වෙළෙඳ සේවා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැති අවසන් මහා තරගයේ දී ඔවුන් කඩුලු 7ක පහසු ජයග්‍රහණයක් ලබා ගත් හ.

පැවැති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මෙම තරගය පන්දුවාර 30කට සීමා වෙමින් පැවැතුණි. කාසියේ වාසිය දිනාගත් හැටන් නැෂනල් ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දු රැකීම තෝරා ගනිමින් ප්‍රතිවාදීන්ට පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව ලබා දුන් හ.

ඒ අනුව පිටියට පිවිසි ජෝන් කීල්ස් ක්‍රීඩකයෝ කඩුලු 6ක් දැවී ලකුණු 218ක් ලබා ගත් අතර ප්‍රතිවාදී හැටන් නැෂනල් ක්‍රීඩකයෝ එම ඉලක්කය කඩුලු 3ක් පමණක් දැවී තවත් පන්දු 3ක් ඉතිරිව තිබිය දී සපුරා ගත් හ.

ජෝන් කීල්ස් ඉනිම වෙනුවෙන් සදීර සමරවික්‍රම පන්දු 45කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 52ක් ලබා ගත් අතර සචිත ජයතිලක පන්දු 43කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහර 6ක් සමඟින් ලකුණු 63ක් ලබා ගත්තේ ය.

කඩුලු දවා ගැනීමේ දී ඩිල්ශාන් මුණවීර ලකුණු 31කට කඩුලු 3ක් දවා ගත් අතර මාධව වර්ණපුර සහ රවීන් ද සිල්වා කඩුල්ල බැගින් දවා ගත් හ.

ජයග්‍රාහී හැටන් නැෂනල් බැංකු කණ්ඩායම වෙනුවෙන් ආරම්භක පිතිකරු කසුන් අබේරත්න පන්දු 79කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 88ක් ලබා ගත්තේ ය. ඊට අමතර ව මාධව වර්ණපුර පන්දු 32කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් ස හයේ පහර 7ක් සමඟින් ලකුණු 86ක් ලබා ගැනීමට සමත් වූයේ ය. ඔවුන් දෙදෙනා විසින් සිවු වැනි කඩුල්ලට පන්දු 59ක දී නොදැවුණ ලකුණු 126ක සබඳතාවක් එක් කළ හ.

කඩුලු ලබා ගැනීමේ දී ඉෂාන් ජයරත්න, දුවිඳු තිලකරත්න සහ සචිත ජයතිලක කඩුල්ල බැගින් දවා ගත් හ.

අවසන් මහා තරගයේ වීරයා ලෙසින් හැටන් නැෂනල් බැංකු කණ්ඩායමේ මාධව වර්ණපුර සම්මාන ලැබූ අතර තරගාවලියේ දක්ෂතම පිතිකරු සහ තරගාවලියේ වීරයා ලෙසින් එම කණ්ඩායමේ ම ඩිල්ශාන් මුණවීර නම් කෙරුණි.

මේ අතර පැවැති සම්මාන ප්‍රදානෝත්සවයේ දී තරගාවලියේ හොඳම පන්දු යවන්නා ලෙස ජෝන් කීල්ස් කණ්ඩායමේ දුවිඳු තිලකරත්න ද තරගාවලියේ නැගී එන ක්‍රීඩකයා ලෙසින් හේලීස් සමාගම් කණ්ඩායමේ විශාද් රන්දික ද නම් කෙරුණි.

ජෝන් කීල්ස් කණ්ඩායම ; කඩුලු 6ක් දැවී 218 (30) දිමුත් කරුණාරත්න 22, සදීර සමරවික්‍රම 52, සචිත ජයතිලක 63, අශාන් ප්‍රියංජන් නොදැවී 17, අහන් වික්‍රමසිංහ නොදැවී 26, ඩිල්ශාන් මුණවීර 3/31

හැටන් නැෂනල් බැංකු කණ්ඩායම ; කඩුලු 3ක් දැවී 219 (26.3) කසුන් අබේරත්න නොදැවී 88, ඩිල්ශාන් මුණවීර 23, මාධව වර්ණපුර නොදැවී 86

 

Comments