දශකයක කාලයක් තුළ එක ම කණ්ඩායමක් විවිධ කණ්ඩායම් නියෝජනය කරමින් ශූරතා 47ක් දිනා ගත්තේ නම් එය අතිශයින් ම ඇගයිය යුතු වික්‍රමයකි. ඇතැම් විට එය ලෝක වාර්තාවක් ද විය හැකිය. එදා 2012 වසරේ දී ගලිගමුව, කොබ්බෑවල කීර්තිරත්න මහා විද්‍යාලයීය වයස අවුරුදු 14න් පහළ කණ්ඩායම නියෝජනය කළ මේ කණ්ඩායම අද නියෝජනය කරන්නේ හයිඩ්‍රාමනී වොලිබෝල් කණ්ඩායමයි. ඔවුන් මේ වන විට 2021 වසරට නියමිත මංචි රන් කුසලාන අවසන් මහා තරගයට ද සුදුසුකම් ලබා සිටින්නේ ය. දශකයක් පුරා දක්ෂතා දක්වන මේ ක්‍රීඩිකාවන්ගේ නිර්මාපකයා වන්නේ අමිල විජේපාල නම් ගැටවරයායි.
“මට මේ ළමයි හමුවෙන්නේ මාව ප්‍රතික්ෂේප වූ පසුබිමක.” පෙර කී ගැටවර අමිල විජේපාල නම් 31 වියැති වොලිබෝල් පුහුණුකරු, දේශපාලන විද්‍යා උපාධිධාරී හා අධ්‍යාපන දේශක, මානව සම්පත් සහකාර කළමණාකරු සහ තවත් විවිධ ඉසව්වන් හී සුවිශේෂී දක්ෂතා දක්වන්නා අප හා කතාවට පිවිසෙන්නේ ඒ ආකාරයේ කතාවක ආරම්භයකිනි.
“මම විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබූ කාලයේ සිට ම ගොඩාක් ආසාවෙන් හිටියා වොලිබෝල් පුහුණුකරුවෙක් ලෙසින් මා දන්නා දේ තවත් කෙනෙක්ට හෝ කණ්ඩායමකට ලබා දෙන්න. මේ වෙනුවෙන් මම තෝරා ගත්තේ ගලිගමුව මධ්‍ය මහා විද්‍යාලය. ඒකට ගොඩාක් හේතු වුණේ මට ගෙදර ඉඳලා යන්න එන්න පහසුකම සහ එතැන යමක් කරන්න පුළුවන් කියන හැඟීම.”
ඊට ඔහු පවසන පරිදි තවත් හේතුවක් තිබුණි. අමිලගේ පාසල් කාලයේ දී පැවැති තරගාවලියක දී ඔහු දක්ෂතම ක්‍රීඩකයා ලෙසින් සම්මාන ලබන්නේ ය. ඒ ගලිගමුව ප්‍රාදේශීය උප සභාපති අශෝක මහානාම නමින් යුත් පැවැති තරගාවලියක දී ය. අශෝක මහානාම එම විද්‍යාලයේ ගුරුවරයෙක් ලෙසින් සේවය කිරීම ද අමිලගේ දක්ෂතා කෙරෙහි වූ විශාල විශ්වාසයකින් පසුවීම ද ඊට හේතුක් වීලු.
“නමුත් එවකට හිටපු විදුහල්පතිතුමා සහ ක්‍රීඩා භාර ආචාර්යවරිය කිසිඳු විමසීමකින් තොරව මාව ප්‍රතික්ෂේප කරනවා. පසුව මම අශෝක මහානාම මහතාගේ ම මඟ පෙන්වීම යටතේ ගලිගමුව, කොබ්බෑවල කීර්තිරත්න මහා විද්‍යාලයේ විදුහල්පති සෝමරත්න මහතා හමුවෙනවා.”
නූල් ගැලවුණ, හම ගිය වොලිබෝල දෙකකින් කෙසේ ක්‍රීඩාවක් ආරම්භ කරන්න ද? අනෙක් අතට කොස්, පොලොස් කා හැදී වැඩුණ දරිද්‍රතාවයේ හිණි පෙළේ ම සිටි බහුතරයක් වූ දෙමාපියන්ගේ දරුවන්ගෙන් සමන්විත පාසලක අලුතෙන් ක්‍රීඩාවක් ආරම්භ කිරීම? විදුහල්පතිවරයා අමිලගෙන් ප්‍රශ්න කළේ ය.
අමිලට අවශ්‍ය වූයේ තම දැනුම ලබා දෙන්නට ය. එය කොතැනින් හෝ ආරම්භ කරන්නට ය. ඒ වෙද්දී උපාධිධාරියෙක් වූ අමිල ඊට සුදුසු රැකියාවක් බලාපොරොත්තුවෙන් සිටි අතර තම ‘පොකට් මනී’ වෙනුවෙන් රක්ෂණ ආයතනය රක්ෂණ නියෝජිතයෙක් ලෙසත් සහ දේශපාලන විද්‍යාව පෞද්ගලික පංති ගුරුවරයෙක් ලෙසත් කටයුතු කළේ ය.
“මම වැඩේ නොමිලේ ආරම්භ කළා. මට මේකෙන් හම්බ කරන්න වුවමනාවක් තිබුණෙ නැහැ. පාසලේ වොලිබෝල් කෝඩ් එකක් තිබුණෙ නැහැ. දෙමාපියන් කිහිප දෙනෙක් සහ යහළුවන් කිහිප දෙනෙක් එකතු කරගෙන වොලිබෝල් කෝඩ් එක හදා ගත්තා. ගෙදර තිබුණ දැලක් දාගෙන බොහොම සීරු මාරුවට වැඩේ පටන් ගත්තා.”
ඒ 2011 වසරේ ජුලි 14 වැනිදා ය. කිරි උතුරවා, කිරිබත් කා වයස අවුරුදු 12න් පහළ ළමුන් කිහිප දෙනෙක්ගෙන් අමිල තම එක ම ආසාවට පණ දුන්නේ ය.
“හරියට ම අවුරුද්දකින් අපි ඩී.එස්.අයි. සුපර් ස්පෝර්ට්ස් වොලිබෝල් තරගාවලියේ වයස අවුරුදු 14න් පහළ බාලිකා තරගාවලියේ දී නාත්තණ්ඩිය ධම්මිස්සර විද්‍යාලයීය කණ්ඩායම පරාජය කරමින් අවසන් මහා තරගයට තේරුණා. මේ තරගය තිබුණෙත් එම විද්‍යාලයේමයි. ඔවුන් එතකොට නම්බර් වන්. මේ ජයග්‍රහණය හරියට අපි ශූරතාව දිනා ගත්තා වගේ.”
අමිලගේ වදන් වේව්ලන්නේ ය. ඒ එදා වූ සතුට වචනයෙන් පිට වන විට දැනෙන හැඟීම විය හැකිය. පැවැති අවසන් මහා තරගයේ දී පෙර වසරේ වයස අවුරුදු 12න් පහළ ශූරතා ජයග්‍රාහකයන් වූ අනුරාධපුර පුවරසම්කුලම විද්‍යාලයීය කණ්ඩායම පරාජය කරමින් අමිලගේ ගලිගමුව කොබ්බෑවල කීර්තිරත්න මහා විද්‍යාලයීය කණ්ඩායම ශූරතාව දිනා ගන්නේ ය.
“ඒක ලොකු ගැම්මක්. විශාල ගමනක හොඳ ආරම්භයක්.” අමිල ආඩම්බරයෙන් එහෙත් නිහතමානීව ඒ ජයග්‍රහණයේ උණුසුම අද සමරන්නේ ඒ ආකාරයෙනි.
කෑගල්ලේ, ගලිගමුවේ උපන් අමිල විජේපාල දෙදෙනෙක්ගෙන් යුත් පවුලේ වැඩිමලා ය. තාත්තා ආරියරත්න විජේපාල, එවකට සේවය කළේ ශ්‍රී ලංකා යුද හමුදාවේ ය. අම්මා ලයනල් ප්‍රේමලතා, දරුවනුත් බලාගෙන ගෙදරට වී සිටියේ අමිලලාගේ අධ්‍යාපන කටයුතුවලට සැබෑ ආරක්ෂකයෙක් වෙමිනි. පවුලේ අනෙක් සාමාජිකයා මල්ලි අනුරුද්ධ ලක්මාල් විජේපාල, මේ වන විට විදුලි බල මණ්ඩලයේ සේවය කරන්නේ ය. අමිලගේ පියා ද ප්‍රදේශයේ දක්ෂ වොලිබෝල් ක්‍රීඩකයෙකි.
“තාත්තගේ වොලිබෝල් දක්ෂතාව සහ ඊට ලැදියාව වෙන්න ඇති මටත් පිහිටන්න ඇත්තේ. පුංචි දවස්වල සිට ම වොලිබෝල් කිව්වොත් මට වෙනත් කිසිම දෙයක් ඕන නැහැ.”
අමිලට පුංචි දවස්වල සිට ම තිබූ මෙම වොලිබෝල් ඇම්ම හේතුවෙන් පාසල් කිහිපයක් ම මාරු කරන්නේ ය. ඒ වොලිබෝල් ම හේතුවෙන් ම නොවේ. ඒ ඇම්මත් සමඟ හරි හරියට අධ්‍යාපනයේ ද ජය ලබන්නට ඔහු තුළ තිබූ ආසාව සහ උනන්දුව නිසා ය.
“මම මුලින් ම යන්නේ කෑගල්ල ස්වර්ණ ජයන්ති විද්‍යාලයට. වොලිබෝල් ක්‍රීඩාවෙන් දැක් වූ දක්ෂතා හේතුවෙන් ම මට ඊට පස්සේ මාදම්පේ සේනානායක විද්‍යාලයට යන්න අවස්ථාව ලැබෙනවා. එතැන දී මගේ වොලිබෝල් ජීවිතයට ගොඩාක් දේවල් එක් වෙනවා. නමුත් මට එතැනින් මගේ අධ්‍යාපන ගමන යා ගන්න බැරි වෙයි කියන හැඟීමක් එනවා. මේ නිසා මම උසස් පෙළ අවසන් වසරේ දී පින්නවල ජාතික පාසලට ඇතුලත් වෙනවා. එහේදි උසස් පෙළ ලියලා පළමු වසරේ දී ම කැළණිය විශ්වවිද්‍යාලයට යන්න සමත් වෙනවා.”
කැලණිය විශ්වවිද්‍යාලයෙන් අමිල සමාජගත වෙන්නේ දේශපාලන විද්‍යා විශේෂවේදී උපාධිධාරියෙක් ලෙසිනි. විශ්වවිද්‍යාලයීය ජිවිතය තුළත් අමිල ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලයීය වොලිබෝල් කණ්ඩායම නියෝජනය කිරීමට සමත් වූයේ ය.
එතැන් සිට අප නැවත අමිලගේ ගලිගමුව කොබ්බෑවල කීර්තිරත්න මහා විද්‍යාලයීය වොලිබෝල් ක්‍රීඩා පුහුණුකාරීත්වයට පැමිණිය යුතුය. ඒ ඔහුගේ කතාවේ අමිල ඉතිහාසය විචාරීමට ය.
“ඊට පසු වසරේ දී මේ කණ්ඩායමට තෝලංගමුව විද්‍යාලයට පැමිණෙන්න කියන ආරාධනාව එනවා. කීර්තිරත්න විද්‍යාලයේ පැවැති අඩු පහසුකම් හේතුවෙන් විදුහල්පතිවරයාගේ කැමැත්ත පරිදි අපි තෝලංගමුවට එනවා. එතැනත් පොරොන්දු වූ පහසුකම් ලැබුණෙ නැහැ. නමුත් අපේ කණ්ඩායම 2013 වසරේ වයස අවුරුදු 15න් පහළ බාලිකා වොලිබෝල් ශූරතාව පළමු වරට තෝලංගමුවට අරගෙන දෙනවා.”
මේ අතර අමිල ව ප්‍රතික්ෂේප කළ ගලිගමුව මහා විද්‍යාලයේ පරිපාලනයේ වෙනසක් වෙමින් අමිලලාට නැවත එහි පැමිණෙන ලෙස ආරාධනා කෙරෙන්නේ ය.
“අපිට අවශ්‍ය වුණේ නිදහසේ අධ්‍යාපන කටයුතු කරගෙන යමින් ක්‍රීඩාව කරගෙන යන්න. නමුත් තෝලංගමුවෙන් කියූ තරම් පහසුකම් සහ නිදහසක් ලැබුණෙ නැහැ. ඒ නිසා අපි ලැබූ ආරාධනාවත් සමඟ ඉතා සුහද ව ගලිගමුවට එනවා.”
එතැන් සිට මේ කණ්ඩායම 2019 වසර දක්වාම සෑම වයස් කාණ්ඩයකම සමස්ත ලංකා ජාතික පාසල් සහ ඩී.එස්.අයි. සුපර් ස්පෝර්ට්ස් තරගාවලි අඛණ්ඩව ජයග්‍රහණය කිරීමට සමත් වන්නේ ය. එම ජයග්‍රහණත් සමඟින් අමිල මේ ක්‍රීඩිකාවන්ගෙන් තවත් ජයග්‍රහණයක් ලබා ගන්නේ ය.
“මේ අය සාමාන්‍ය පෙළ විභාගයට සූදානම් වෙද්දි අධ්‍යාපනය පැත්තෙන් යම් අඩාළ වීමක් මම දැක්කා. ඊට වඩාත් ම බලපෑවේ ඔවුන්ට අමතර පංති යන්න තරම් ආර්ථික ශක්තියක් නොතිබීම. එතැන දි මා උගත් පාසල් අධ්‍යාපනය ඔවුන් වෙත දෙන්න මම තීරණය කළා. ඒ අනුව පාසල් පෙළ පොත් පරීශීලනය කරමින් විෂයන් 9ට ම කාලසටහන් හදා දෙමින් මම ඉගැන්වීම් කටයුතු කළා. දෙමාපියන් මා කෙරෙහි විශ්වාසය තබමින් මේ වෙනුවෙන් විශාල සහයෝගයක් ලබා දුන්නා.” එහි ප්‍රතිඵලය වන්නේ මේ සියලු ම දෙනා උසස් පෙළ සඳහා සුදුසුකම් ලබා ගැනීමයි. නමුත් ජයග්‍රහණය පසුපසින් ආ මහා කුණාටුවක් නැවත වතාවක් අමිලලාව විපිළිසර කරන්නේ ය. ඒ කුණාටුව යනු අධ්‍යාපනයයි.
ඔවුන්ට කැමැති විෂයන් අනුව පාසල් තෝරා ගන්නේ නම් මේ කණ්ඩායම සී සී කඩ විසිවෙන්නේ ය. පාසලේ ඉගැන්වනු ලැබුවේ සීමිත විෂයන් කිහිපයක් පමණි. නමුත් එවැන්නකට ඔවුන්ගේ කැමැත්තක් ද නොවූ හ. “මට අවශ්‍ය වුණේ මේ කණ්ඩායම එකට තියාගන්න. ඒත් පාසලේ තිබූ විෂයන් අනුව එහෙම කරන්න බැහැ. අපිට කිසිවක් හිතා ගන්න බැරිව මාසයක් දෙකක් පමණ කාලයක් නිකං ම ගතවෙලා ගියා. ඒ කාලයේ හරියකට පුහුණුවීමක්වත් කරන්න බැහැ. ඔක්කෝම හරියට උන්-හිටි තැන් නැති වුණා වගේ හිටියේ. පස්සෙ මට හිතුණා මේ තත්ත්වයෙන් ගොඩ එන්න නම් මම ම මොකක් හරි කරන්න ඕන කියලා. පස්සෙ මම විශ්ව විද්‍යාලයේ දී උගත් දේශපාලන විද්‍යාව, භූගෝල විද්‍යාව සහ සිංහල කියන විෂයන් තුනෙන් මේ දරුවන් උසස් පෙළට සූදානම් කළා. මේ සඳහා දෙමාපියන් ද නැවත වතාවක් මා කෙරෙහි විශ්වාසය තබමින් ලොකු සහයෝගයක් දුන්නා. පෙර දී වගේ ම කාලසටහනකට අනුව ක්‍රීඩාවත්, අධ්‍යාපන කටයුතුත් කරගෙන ගියා. පාසලෙන් විභාග ඉල්ලුම් පත් නොදමා බාහිර අපේක්ෂකයන් ලෙසින් මා ඉගැන් වූ විෂයන්වලින් උසස් පෙළ විභාගයට යොමු කළා.”
එහි ප්‍රතිඵලය වූයේ මේ කණ්ඩායම ම විශ්වවිද්‍යාල වරම් ලැබීම ය. ඒ අනුව සුනේත්‍රා ප්‍රියදර්ශනී, නිරංජලා සරෝජනී, කාවින්දි අසන්තිකා ගල්කොටුව, දිලුක්ෂි හර්ෂනී සේනාරත්න, රශ්මි දිව්‍යාංජලී ලක්මාලි, නිමේෂිකා සෙව්වන්දි ගුණවර්ධන, සචිනි රුවන්තිකා සහ පියුමි ලක්මාලි සබරගමුව විශ්වවිද්‍යාලයටත් අහිංසා දිල්ශානි මොනරාගල කැලණිය විශ්වවිද්‍යාලයීය රාගම වෛද්‍ය පීඨයටත් සහ චතුනි මධුවන්තිකා ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයටත් තේරී පත් වූ හ.
මේ ක්‍රීඩිකාවන් අතුරින් දිලුක්ෂි හර්ෂනී සේනාරත්න සහ රශ්මි දිව්‍යාංජලී ලක්මාලි 2018 වසරේ දී ආසියානු කනිෂ්ඨ වෙරළ වොලිබෝල් තරගාවලියට සුදුසුකම් ලබන අතර අමිලගෙන් ජාතික කණ්ඩායම නියෝජනය කළ පළමු දෙන්නා බවට පත් වෙන්නේ ද ඔවුන් ය. එම කණ්ඩායමේ පුහුණුකරු ලෙසින් තරගාවලියට එක් වීමට අමිලට අවස්ථාව උදා වෙන අතර එම තරගාවලියේ හොඳම කණ්ඩායම් 8න් 7 වැනි ස්ථානය දිනා ගැනීමට ඔවුන් සමත් වෙති.
ඉන් පසුව 2019 වසරේ නේපාලයේ පැවැති 13 වැනි දකුණු ආසියානු වොලිබෝල් තරගාවලියේ ලෝකඩ පදක්කම දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ ළාබාලතම ක්‍රීඩිකාවන් ලෙසින් නිමේෂිකා සෙව්වන්දි ගුණවර්ධන සහ දිලුක්ෂි හර්ෂනී සේනාරත්න එක් වූ හ. එහි සහාය පුහුණකරු ලෙසින් සහභාගී වෙන්නේ අමිල ය.
මේ අතර 2019 වසරේ දී වියට්නාමයේ පැවැති 23න් පහළ ආසියානු වොලිබෝල් තරගාවලිය නියෝජනය කිරීමට නිමේෂිකා සෙව්වන්දි ගුණවර්ධන, දිලුක්ෂි හර්ෂනී සේනාරත්න සහ කාවින්දි අසන්තිකා ගල්කොටුව සමත් වීම ද අමිල ලැබූ ජයග්‍රහණයකි.
අමිල 2014 වසරේ දී විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් ව සිටිය දී ශ්‍රී ලංකා වොලිබෝල් ජාතික කණ්ඩායමේ සහාය පුහුණුකරු ලෙසින් තායිවානයේ පැවැති ආසියානු කනිෂ්ඨ වොලිබෝල් තරගාවලියට සහභාගී වීමට වරම් ලබන්නේ ය. එහි දී හොඳම කණ්ඩායම් 8 අතරට සුදුසුකම් ලබා ගැනීමට ඔවුන් සමත් වෙන්නේ 80 දශකයෙන් පසු කනිෂ්ඨ කණ්ඩායමක් සුපර් 8 වටයට සුදුසුකම් ලැබූ පළමු අවස්ථා ලෙසයි.
“ඔවුන් ලැබූ ජයග්‍රහණ මා පෞද්ගලිව ලැබූ ජයග්‍රහණ ලෙසයි මම සලකන්නේ. ඒකෙ බෙදීමක් නැහැ. කොහොම වුණත් මොවුන්ගේ ගමනට ගොඩාක් උදව් කළේ හයිඩ්‍රාමනී ආයතනය. කොටින් ම මේ ළමයි උසස් පෙළ විභාගය කළේ දඹුල්ල, බකමූණ හයිඩ්‍රාමනී ආයතන කණ්ඩායමට සෙල්ලම් කරද්දි.”
හයිඩ්‍රාමනී ආයතනයට මංචි ජාතික වොලිබෝල් ශූරතාව, ජනාධිපති රන් කුසලාන සහ රූපවාහිනි වොලිබෝල් ශූරතාව අවස්ථා ගණනාවක දී ලබා දීමට අමිලගේ මේ කණ්ඩායම අමිල මෙහෙවරක් කර තිබෙන්නේ ය. එය ඔවුන්ගේ අධ්‍යාපනය සහ ක්‍රීඩාව වෙනුවෙන් දැක් වූ දායකත්වයට කෘතගුණ දැක්වීමක් ලෙසින් සේ ය.
“ජීවිතයේ ලොකු ලොකු බලාපොරොත්තු නැහැ. තියෙන එක ම දේ මේ කරන දේ හරියට කරගෙන යන එක. දැනටමත් ජාතික වොලිබෝල් කණ්ඩායමට ක්‍රීඩිකාවන් කිහිප දෙනෙක් ම දායාද කරල තියෙනවා. ජාතික කණ්ඩායමේ පුහුණු කණ්ඩායමට එකතු වෙලා තියෙනවා. එතැනින් පස්සේ මගේ ජීවිතය ගොඩදාගන්න උදව් කළේ හයිඩ්‍රාමනී ආයතනය. එහි දියුණුව වෙනුවෙන් වගේ ම මේ කණ්ඩායමේ දියුණුව වෙනුවෙන් මම මගේ උපරිම දායකත්වය දක්වනවා.” අමිල පවසන්නේ ය.
අමිල වැනි පුද්ගලයෝ සමාජයේ විරල ය. අධ්‍යාපනයත්, ක්‍රීඩාවත් පමණක් නොව පරිපාලනයේ සේ ම විනෝදාස්වාද විෂයන් හී ද අමිල දක්වන්නේ සැබෑ දක්ෂතාවයකි. මේ විරල ගණයේ මිනිසාට, නොඑසේ නම් ක්‍රීඩාවේ සහ අධ්‍යාපනයේ සුවිශේෂී මඟ පෙන්වන්නාට තවත් එවැනි වික්‍රමයන් කිරීමට “ක්‍රීඩා” වෙතින් සුබ පැතුම් එක් කරමු.