කළුතර දිස්ත්‍රික් ක්‍රිකට් විනිසුරුවෝ ජය ලබති | සිළුමිණ

කළුතර දිස්ත්‍රික් ක්‍රිකට් විනිසුරුවෝ ජය ලබති

 ලංකා ක්‍රිකට් විනිසුරුවන්ගේ සංගමයට අනුබද්ධ කළුතර දිස්ත්‍රික්ක ක්‍රිකට් විනිසුරුවන්ගේ සංගමය සහ දකුණු පළාත් ක්‍රිකට් විනිසුරුවන්ගේ සංගමය අතර සිවු වැනි වරටත් පැවැති කළු ගං තොට වාර්ෂික මහා ක්‍රිකට් තරගයේ දී 2-0ක් ලෙස ජයග්‍රහණය කිරීමට සත්කාරක කළුතර දිස්ත්‍රික් විනිසුරුවෝ සමත් වූහ.

 

පන්දුවාර 15කින් සමන්විත තරග දෙකකින් යුත් මෙම තරගාවලිය මෙරට ක්‍රිකට් විනිසුරුවන් අතර පැවැත්වෙන එක ම වාර්ෂික මහා ක්‍රිකට් තරගයයි. මීට පෙර වසරවල පැවැති තරගවල දී කළුතර දිස්ත්‍රික්ක කණ්ඩායම අවස්ථා දෙකක දී ද දකුණු පළාත් කණ්ඩායම අවස්ථාවක දී ද ශූරතාවන් දිනා ඇත.

මෙවර තරගාවලිය කළුතර දිස්ත්‍රික් ක්‍රිකට් විනිසුරුවන්ගේ සත්කාරකත්වයෙන් බණ්ඩාරගම ක්‍රීඩාංගණයේ දී පැවැති අතර එහි ආරාධිතයන් ලෙසින් කළුතර දිස්ත්‍රික් ක්‍රිකට් විනිසුරු සංගමයේ සභාපති ශිරෝෂ ගුණතිලක සහ දකුණු පළාත් ක්‍රිකට් විනිසුරු සංගමයේ සභාපති අරුණ ජයසේකර ඇතුළු සම්භාවනීය අමුත්තන් රාශියකගේ සහභාගීත්වයෙන් පැවැත් විණි.

එහි දී වයස අවුරුදු 45ට වැඩි සහ වයස අවුරුදු 45ට අඩු කණ්ඩායම් ලෙසින් වයස් කාණ්ඩ දෙකක් යටතේ තරග පැවැත්විණි.

ඒ අනුව පළමුවෙන් පැවැති වයස අවුරුදු 45ට වැඩි තරගයෙන් ලකුණු 35ක ජයග්‍රහණයක් ලබා ගැනීමට කළුතර දිස්ත්‍රික් කණ්ඩායම සමත් විය.

එම තරගයේ දී තුන් ඉරියව්වෙන් දක්ෂතා දැක් වූ කළුතර දිස්ත්‍රික් කණ්ඩායමේ ක්‍රිශාන්ත රොද්‍රිගෝ තරගාවලියේ වීරයා ලෙසින් නම් කෙරුණ අතර පන්දු 46කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහර 2ක් සමගින් නොදැවී ලකුණු 64ක් ලබා ගත් කළුතර දිස්ත්‍රික් කණ්ඩායමේ ආරම්භක පිතිකරු පත්මනාත් පෙරේරා දක්ෂතම පිතිකරු සම්මානයෙන් පිදුම් ලැබුවේ ය.

 

කළුතර දිස්ත්‍රික් කණ්ඩායම වෙනුවෙන් ලකුණු 11කට කඩුලු 3ක් දවා ගත් දකුණතින් පා දඟ පන්දු යැවූ රවින්ද්‍ර කොට්ටහච්චි තරගයේ දක්ෂතම පන්දු යවන්නා ලෙසත්, දකුණු පළාත් කණ්ඩායමේ නායක සමන් මොහාන් දක්ෂතම පන්දු රකින්නා ලෙසත් සම්මාන දිනා ගත් හ.

වයස අවුරුදු 45ට අඩු කණ්ඩායම් අතර පැවැති තරගය තියුණු නිමාවකින් යුක්ත වූ අතර එහිදී කළුතර ක්‍රීඩකයන්ට ලකුණු 6ක ජයග්‍රහණයක් හිමි වූයේ ය. එම තරගයේ දී පන්දු 21ක දී හතරේ පහර 6ක් සහ හයේ පහර 3ක් සමගින් ලකුණු 50ක් ලබා ගත් කළුතර දිස්ත්‍රික් කණ්ඩායමේ කසුන් මධුශංක තරගයේ වීරයා ලෙසින් නම් කෙරුණි.

තරගයේ දක්ෂතම පිතිකරු ලෙසින් දකුණු පළාත් කණ්ඩායමේ රුසිත් තරංග ද දක්ෂතම පන්දු යවන්නා ලෙස කළුතර දිස්ත්‍රික් කණ්ඩායමේ දුමිඳු ගිගිරිපුර ද සහ දක්ෂතම පන්දු රකින්නා ලෙස දකුණු පළාත් කණ්ඩායමේ මධූ තරංග ද නම් කෙරුණි.

කළුතර දිස්ත්‍රික් ක්‍රිකට් විනිසුරුවන්ගේ සංගමයේ සභාපති ශිරෝෂ ගුණතිලක ගේ ඡන්ම දිනය ද එදිනට ම යෙදී තිබුණ බැවින් එම සංගමය මගින් ඔහු වෙත සමරු තිළිණයක් ප්‍රදානය කිරීමක් ද මේ අවස්ථාවේ සිදුවිණි.

 

• වයස අවුරුදු 45ට වැඩි කණ්ඩායම් අතර තරගය

කළුතර දිස්ත්‍රික්කය ; කඩුලු 4ක් දැවී 121 (15) පත්මනාත් පෙරේරා 64, ක්‍රිශාන්ත රොද්‍රිගෝ 30, සමන් මනෝෂ 2/32, රනිල් චමින්ද 2/11

 

දකුණු පළාත ; සියලුම දෙනා දැවී 86 (14.5) සමන් මොහාන් 26, සිසිර ප්‍රබෝධ 2/17, ක්‍රිශාන්ත රොද්‍රිගෝ 2/19, රවින්ද්‍ර කොට්ටහච්චි 3/11

• අවුරුදු 45ට අඩු කණ්ඩායම් අතර තරගය

කළුතර දිස්ත්‍රික්කය ; කඩුලු 5ක් දැවී 122 (15) මංජුල කුරේ 30, චාමර මිලින්ද 18, කසුන් මධුශංක 50, සමන් බන්දුසිරි 2/32

 

දකුණු පළාත ; කඩුලු 8ක් දැවී 116 (15) රංගන ප්‍රසාද් 15, රුසිත් තරංග 33, අනුශ්ක රාමනායක 15, දුමිඳු ගිගිරිපුර 3/15.

 

•ඡායාරූප හා සටහන

ජගත් ප්‍රේමචන්ද්‍ර

 

 

Comments