විදේශ විනිමය උපයන්න - ක්‍රීඩා ආර්ථිකය පුබුදන්න | Page 4 | සිළුමිණ

විදේශ විනිමය උපයන්න - ක්‍රීඩා ආර්ථිකය පුබුදන්න

 

‘Raid Amazones 2022 තරගාවලිය දැන් ශ්‍රී ලංකාවේ සීගිරිය ප්‍රදේශය ආශ්‍රිතව ආරම්භ වී තිබේ. අදියර දෙකක් යටතේ පැවැත්වෙන මෙම තරගාවලිය ප්‍රංශය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන්නකි. ඊට සහභාගිවීම පිණිස සැලකිය යුතු ප්‍රංශ ක්‍රීඩිකාවන් පිරිසක් දැනටමත් මෙරටට පැමිණ සිටී. මේ එම තරගාවලියෙන් ලැබෙන වාසි නොව එවැනි තරගාවලියක් සංවිධානය කිරීම තුළින් ලබාගත හැකි අනාගත ජග්‍රහණ ගැන තැබෙන සංක්ෂිප්ත සටහනකි.‘

ප්‍රංශය විසින් සංවිධානය කරනු ලබන ‘Raid Amazones 2022’ ත්‍රාස ජනක ක්‍රීඩා උලෙළ මේ වනවිට ඇරැඹී ඇත්තේ සීගිරිය ආශ්‍රිතව ය. ඊට සහභාගිවන ක්‍රීඩිකාවන් ශ්‍රී ලංකා ගුවන් සමාගම විසින් ප්‍රංශයේ පැරිස් නුවර සිට මෙරටට කැටුව ආවේ පසුගිය දා ය. එලෙස පැමිණි ප්‍රංශ යුවතියන් ගෞරවණීයව පිළිගනිමින් ඔවුන් තරගාවලිය පැවැත්වෙන දේශීය ගමනාන්ත වෙත රැගෙන යාමට කටයුතු කරනු ලැබුණේ ය.

එම Raid Amazones 2022 තරගාවලිය අදියර දෙකක් යටතේ පැවැත්වෙන අතර එහි පළමු අදියර අවසන් වන්නේ මෙම මස 23 වැනි දා ය. දෙවැනි අදියර මාර්තු 28 වැනි දා සිට ආරම්භ වීමට නියමිතය.

ප්‍රංශ සංචාරක වෙළෙඳපොළ

මෙම Raid Amazones ත්‍රාස ජනක තරගාවලිය ප්‍රංශ සංචාරක වෙළෙඳපොළ තුළ අතිශය ඉල්ලුමක් සහිත තරගාවලියකි. මීට පෙර ලෝකයේ විවිධ ගමනාන්ත කේන්ද්‍ර කර ගනිමින් එම තරගාවලිය පවත්වා ඇති වාර සංඛ්‍යාව 19 කි. ඒ අනුව එවැනි තරගාවලියක් ශ්‍රී ලංකාවේ සංවිධානය කිරීම මගින් මෙරට සංචාරක ක්ෂේත්‍රය අන්තර්ජාතික වශයෙන් සිදුවන්නා වූ පිබිදීම අතිමහත් යැයි සැලකිය හැකිය.

එසේ වන්නේ ඇයි?

එය එතරම් වැදගත් ජයග්‍රහණයක් බවට පෙරළා ගැනීමට හැකියැයි අප පවසන්නේ මෙවර තරගාවලිය වෙනුවෙන් පැමිණෙන හත්සියයක් පමණ වූ සංචාරකයන් අනාගතයේ මෙරටට ගෙන්වා ගැනීමට හැකියාව පවතින යුරෝපා සංචාරකයන් විශාල පිරිසක් වෙනුවෙන් මාර්ගය පෙන්වන සංචාරක දූතයන් ලෙස සැලකිය හැකි බැවිණි. ඒ සඳහා යුරෝපය මතු නොව සමස්ත ලෝකය තුළ ම සංසරණය වන ප්‍රවෘත්ති හා විශේෂාංග මෙන්ම ඡායාරූප හා විඩියෝ වැඩසටහන් මගින් සැලසෙන සේවය අතිමහත් ය.

ශ්‍රී ලංකන් එයාර් ලයින් සමාගම පවසනුයේ ඉන් තමන්ට හා තම රටට ලැබෙන ජාත්‍යන්තර මාධ්‍ය වටිනාකම යුරෝ මිලියන 15 ඉක්මවන බව ය. එය ආසන්න වශයෙන් ශ්‍රී ලංකා රුපියල් මිලියන තුන් දහස ඉක්මවනු ඇත.

තරග ව්‍යූහය

මෙම ත්‍රාසජනක තරගාවලිය තුළ පාපැදි ධාවනය, මැරතන් ධාවනය, සිතියම් භාවිත කරමින් ගමනාන්තයක් සොයා යෑම, මවුන්ටන් පාපැදි ධාවනය, ඔරු පැදීම, දුන්නෙන් විදීම ඇතුළු තවත් ක්‍රීඩා ඉසව් කීපයක් ඇතුළත් ය. සැබැවින්ම එම ඉසව් ආවරණය කරමින් ලබා ගන්නා ඡායාරූප, වීඩියෝ දර්ශන ලෝකය තුළ සංචාරකයන්, ත්‍රාසජනක ක්‍රීඩාවට, අභියෝගාත්මක ක්‍රීඩාවන් වෙනුවෙන් සහභාගි වීමට කැමැත්ත දක්වන්නවුන් වඩාත් ආකර්ශනය කරවනු ඇතැයි කිවයුතු නැත.

නරඹන්නෝ

මෙම තරගාවලිය නැරඹීම පිණිස හය සියයකට අධික විදේශීය නරඹන්නන් පිරිසක් සහභාගි වනු ඇති බවට පුරෝකථනය කර තිබුණේ ය. එසේම මීට සහභාගි වන ක්‍රීඩිකාවන් ද සිය දෙනෙකු පමණ සිය පවුලේ සාමාජිකයන් ද තරග සංචාරය වෙනුවෙන් රැගෙන එන බව ප්‍රකාශ වුණේ ය. එයින් ද සැලකිය හැක්කේ මෙම තරගාවලිය පැවැත්වීම මගින් සුවිශාල සංචාරක ප්‍රවර්ධන කාර්යයක් සිදුවන බවයි.

කොරොනා ව්‍යාප්තිය හේතුවෙන් සීමාවී තිබූ සංචරණ කටයුතු මෙන් ම ශ්‍රී ලංකාව යනු වඩා සුරක්ෂිත ගමනාන්තයක් බව ලෝකයට කියන්නට මෙම ‘Raid Amazones 2022’ තරගාවලිය භාවිත කළ හැකි ය. එය ද රටක් වශයෙන් සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කරගැනීමට විශාල පිටිවහලක් කිවයුතු නොවේ. මේ හරහා විදේශීය සංචාරකයන් නොමැති වීමෙන් දැඩි අසීරුතාවට පත්වී ඇති සංචාරක හෝටල් ක්ෂේත්‍රයට යම් පිබිදීමක් උදා වනු ඇත.

එය ආදර්ශයක් කරගැනීම

මෙවැනි ආකාරයේ ආරාධිත, වින්දනාත්මක මෙන් ම ත්‍රාසජනක තරගාවලි සංවිධානය කිරීමේ කටයුතු වෙනුවෙන් මෙරට ක්‍රීඩා සංගම් හා සම්මේලන උත්සුක විය යුත්තේ කෙසේ ද යන්න ගැන මෙම තරගාවලියෙන් කදිම ආදර්ශයක් ලබාගත හැකිය. දැනට මෙරට තුළ සංවිධානය කරන එල්.එස්.ආර්. අන්තර්ජාතික මැරතන්, ටී කප් පාපැදි තරගාවලිය හැරුණු කල සෙසු ක්‍රීඩාවන් උදෙසා මෙවැනි ජාත්‍යන්තර තරගාවලියක් කැඳවීමේ සංවිධාන ශක්තිය ගොඩනඟා ගැනීම සම්බන්ධයෙන් ද මින් අත්දැකීම් ලබාගත හැකි ය.

ඇතැම් විට සමස්ත තරගාවලියේ සංවිධානය තමන්ට දිනා ගැනීමට නොහැකි වුව ද විවිධ දියුණු රටවල ප්‍රබල ආයතන සහ සම්බන්ධ වෙමින් මෙන් ම සෘජු ලාභය බෙදා හදා ගනිමින් හෝ මේ ආකාරයේ ජාත්‍යන්තර තරගාවලි මෙරට තුළ සංවිධානය කිරීමට උත්සාහ කළ හැකි ය. එවැනි වැඩසටහන් සංවිධානය කිරීම මගින් මේ වන විට දැඩි හිඟයක් ව පවතින විදේශ විනිමය වැඩි ප්‍රතිශතයක් මෙරටට ගෙන්වා ගනිමින් හා ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළ මිල දී ගැනීමේ හැකියාව වැඩිදියුණු කිරීමට ද මෙය අවස්ථාවක් කර ගන්නට පිළිවන.

ඒ වෙනුවෙන් ශ්‍රී ලංකාවේ දැනට ලියාපදිංචි වී ඇති හා එවැනි තරගාවලි සංවිධානය කිරීමට ද මෙය අවස්ථාවක් කර උනන්දුවන ක්‍රීඩා ආයතන ඉදිරිපත් විය යුතු ව තිබේ. සංචාරක හෝටල්, විදේශයන්හි ස්ථාපිතව ඇති ශ්‍රී ලංකා තානාපති කාර්යාල දූත මණ්ඩල මෙන්ම විදේශීය රටවල ජීවත්වන ශ්‍රී ලාංකිකයන් ඊට සහභාගී කරගත යුතුය.

 

Comments