‘ඈ තවමත් පාසල් යන්නී ය. එහෙත් ඇගේ දක්ෂතා පාසල් යන්නියක මෙන් නොව ජාතික තලයේ ඉදිරියෙන් තැබිය හැකි මට්ටමේ එකකි. ඒ බව වඩාත් සනාථ කළ ඈ පසුගිය දා දියගම දී ජාතික ශූරියන් දෙදෙනෙක්ශූ අභිබවා ගියා ය. ප්‍රේක්ෂකයන් නොසිතූ මොහොතක ඈ පෙරමුණට ආවා ය. මේ දියගම ජයගමක් කරගත් ඈ ගැනය.‘
දියගම පැවැති දෙවැනි ජාතික මලල ක්‍රීඩා තේරීම් තරගාවලිය උණුසුම් කරමින් කාන්තා මීටර් 400 ඉසව්වේ දී හිටපු ජාතික ශූරිය වන නදීෂා රාමනායක දෙවැනි ස්ථානයට ඇද දමමින් ප්‍රථම ස්ථානය දිනා ගන්නට තරුෂි කරුණාරත්න සමත් විණි. ඈ සිය ඉසව්ව තත්පර 54.29 කින් අවසන් කළ අතර, නදීෂා වාර්තා කළ කාලය සටහන් වුණේ තත්පර 54.88 ක් ලෙස ය. මීටර් 400 මූලික ඉසව්වල දී තරුෂි දැක්වූ තත්පර 54.36 ක දක්ෂතාවයත් සමඟින් කනිෂ්ඨ ලෝක ශූරතාව සඳහා සුදුසුකම් ලබා ගන්නට ද ඈ සමත් වූවා ය. ජාතික මලල ක්‍රීඩා පළමු තේරීම් තරගාවලියේ කාන්තා මීටර් 400 තරගය ඈ ජය ගත්තේ එය තත්පර 56.17 ක කාලයකින් අවසන් කරමිනි.
ඈ එම ඉසව්වෙන් සෑහීමකට පත්නොවී විනාඩි 2.06.99 ක් තියුණු අවසානයක් සමඟින් මීටර් 800 කාන්තා ඉසව්වේ ජයග්‍රහණය ද තමා සන්තක කරගත්තාය. ඈ එහි ජාතික ශූරිය වූ ඩිල්ෂි කුමාරසිංහ දෙවැනි ස්ථානයට ඇද දැමීම වඩාත් කැපී පෙනිණි. ඩිල්ෂි වාර්තා කළ කාලය විනාඩි 2.07.00 කි.
ඒ අනුව මේ වසරේ අගෝස්තු 2-7 වැනිදා දක්වා කොලොම්බියාවේ කැලී නුවර දී පැවැත්වීමට නියමිත කනිෂ්ඨ ලෝක ශූරතා මලල ක්‍රීඩා ශූරතාවේ මිටර් 400 සහ 800 ඉසව්වලින් සුදුසුකම් ලබා ගැනීමට ද ඈ සමත් වූවා ය.
පසුගිය වසරේ මීටර් 800 කනිෂ්ඨ ලෝක ශූරතා තරගාවලියට තරග කළ තරුෂි එහි මූලික තරගය
විනාඩි 2.10.70 ක් තුළ නිම කරමින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තා ය. එහෙත් අවසන් පූර්ව වටයේ දී ඇය එය අවසන් කළේ විනාඩි 2 . 17.82 කිනි. ඇගේ එම දක්‍ෂතාව ලොව එම ඉසව්ව නියෝජනය කරන ක්‍රීඩිකාවන් අතර 16 වැනි ස්ථානයට ශ්‍රේණිගතය.
මෙම ඉසව්වේ ඈ දැක්වූ හොඳම දක්ෂතාව පසුගිය මැයි මාසයේ කොළඹ පැවැති තරගාවලියේ දී විනාඩි 2:07.21 ක කාලයකින් අවසන් කිරීම දැක්විය හැකි ය.
කවුද මේ තරුෂි
2004 නොවැම්බර් මස 18 වැනි දින උඩුදුම්බර ප්‍රදේශයේ දී ඈ උපත ලබා තිබේ. උපතේ දී ඇය සිය පෙළපත් නාමය සමඟ හැඳින්වෙන්නේ දිසානායක මුදියන්සේලාගේ තරුෂි දිල්සරා කරුණාරත්න යනුවෙනි. ඇගේ පවුලේ සහෝදර, සහෝදරියන් තිදෙනෙක් වෙති. ඈ පවුලේ පළමු දියණිය සේම මද්දුම දරුවා ය. ඇගේ වැඩිමහල් සහෝදරයා ලංකාවට මලල ක්‍රීඩාවෙන් කීර්තියක් ගෙන දුන් හර්ෂ කරුණාරත්නයි. අම්මා චූලාභය ජාතික පාසලේ අනධ්‍යන කාර්යය මණ්ඩලයේ සේවය කරන අතර, තාත්තා රියැදුරු වෘත්තියේ නිරත වෙයි. ඇගේ බාල සොයුරිය තවමත් අධ්‍යාපනය ලබයි.
තරුෂි මූලික අධ්‍යාපනය ලබා ඇත්තේ උඩුදුම්බර චූලාභය ද්විතීයික (වර්තමානයේ ජාතික) පාසලෙනි. එහි දී පුෂ්පා කුමුදුනී ගුරුතුමිය යටතේ ඈ ක්‍රීඩා අධ්‍යයනය ආරම්භ කළා ය. ඒ මීටර් 100 සහ දුර පැනීමේ ඉසව්වන්ට යොමුවෙමිනි. කලාප තරගවල දී මීටර් 100 සහ දුර පැනීමේ ඉසව්වලින් දස්කම් දක්වන තරුෂි මලල ක්‍රීඩා ක්ෂේත්‍රයේ දිගු පියවර තබන්‌නේ 2017 දී ය.
එනම් ලාංකේය මලල ක්‍රීඩා පිටියේ සුපිරි තවාන් බිම වන වලල ඒ. රත්නායක මධ්‍ය විද්‍යාලයට පැමිණීමෙන් පසුවය. එහිදී ඈ මීටර් 400 සහ මීටර් 800 ප්‍රධාන ඉසව් ලෙස තෝරා ගනු ලැබිණි.
ඒ අනුව ඈ 2018 වසරේ දී ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ මිටර් 800 ඉසව්වේ තෙවැනියා බවට පත්වුණා ය. අනතුරුව ජෝන් ටාබට් තරගාවලියේ මිටර් 800 ඉසව්වේ දෙවැනියා සහ මිටර් 400 ඉසව්වේ සිව් වැනියා බවට ද පත්විණි. 2019 දී පැවැත්වුණු මධ්‍යම පළාත් පාසල් මලල ක්‍රීඩා තරගාවලියේ දී මීටර් 400 ඉසව්වෙන් රන් පදක්කම දිනා ගනිමින් මලල ක්‍රීඩාවේ ඇයගේ සිහිනයට කෙමෙන් කෙමෙන් පිය නැඟීම ආරම්භ කළා ය. 2019 දී පැවැත්වුණු ජෝන් ටාබට් ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියට ද සහභාගි වන ඇය මීටර් 400 ඉසව්ව තත්ත්පර 57.2 කින් සහ මීටර් 800 ඉසව්ව විනාඩි 2.17 කින් නිම කර නව තරග වාර්තාවන් ද සමඟින් රන් පදක්කම් දිනා ගත්තා ය. එතැනින් නොනැවැතුණු ඈ 2019 දී පැවැත්වුණු සමස්ත ලංකා පාසල් මලල ක්‍රීඩා තරගාවලියේ දී වයස අවුරුදු 16න් පහළ මීටර් 400 ඉසව්ව තත්.56.54 කින් ද, මීටර් 800 ඉසව්ව විනාඩි 2.14.27 කින් ද, මීටර් 400 x 4 විනාඩි 3.56 කින් ද මීටර් 100 x 4 නව වාර්තා තබමින් ද ජය ගත්තා ය.
අභියෝගයන්ට නිරන්තරයෙන් ම අභියෝග කරන තරුෂි මෙම වසරේ දී පැවැත්වුණු 99 වන ජාතික මලල ක්‍රීඩා තරගාවලියේ දී ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවන් සමඟ තරග කරමින් මී.800 ඉසව්ව විනාඩි. 2.07.21ක කාලයකින් නිම කර රිදී පදක්කම දිනාගනු ලැබිණි. එය මෙතෙක් මීටර් 800 ඉසව්වෙන් තරුෂි වාර්තා කරන ලද හොඳ ම දක්ෂතාවය යි. ඇගේ එකී දක්ෂතාවයත් සමඟින් ලෝක කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියට සුදුසුකම් සපුරා ගැනීමට ඇය සමත් වූවා ය.
තවමත් 18 වැනි වියේ පසුවන ඇයට රට වෙනුවෙන් බොහෝ ජයග්‍රහණ දිනා දීමට ඇති කාලය විශාල ය. ඒ සඳහා ඇය සතුව ඇති හැකියාව ද ඉමහත් බව ඇගේ දක්ෂතාවයන්ගෙන් තේරුම් ගැනීමට හැකි ය. ඇගේ ක්‍රීඩා ජීවිතයේ ඉදිරි ගමනට ක්‍රීඩා සුබාශිංසන පළ කරන්නේ එය හෙට දවසේ ශ්‍රී ලංකා මලල ක්‍රීඩා අපේක්ෂා මල් ඵල ගන්වන්නට ඈ සතු හැකියාව තේරුම් ගන්නා හෙයින් බව අවසන් වශයෙන් කිව යුතු ය.