දෙවැනි රළ පහර නොපැමිණියේ නම්... | Page 9 | සිළුමිණ

දෙවැනි රළ පහර නොපැමිණියේ නම්...

තායිලන්තය. ඒ ඔවුන් සංචාරය පිණිස නිතර තෝරාගත් ගමනාන්තය විය. ඇයත්, නැඟණියත්, මවත් ඇයගේ පෙම්වතාත් සමඟ මෙවරද තායිලන්තය තෝරා ගත්තේ තවත් සුන්දර නිවාඩුවක් ගත කිරීමේ අභිප්‍රායෙනි. ඔවුන්ගේ උපන් රට වන බ්‍රිතාන්‍යයේ හිත්‍රෝ ගුවන් තොටුපොළෙන් ගුවන් යානයට නැඟුණු ඔවුහු තායිලන්තයෙන් ගොඩ බැස්සේ ඒ වන විටත් සූදානම් කර තිබූ ගමනාන්තයක් සමඟිනි.

 

වසර දා හතක් ගෙවී ගොස් තිබුණද එඩී තවමත් එදින සිහිපත් කරන්නේ සගුටිනි. ඒ ඇය තම මවත් සොහොයුරියත් සමඟ එක්ව ගුවන් ගමනක යෙදුණු අවසන් වතාවයි. එදින සිට ඇය තනියෙනි. එඩී ෆැස්නිජ් ඒ දිනය කඳුළු, සුසුම් අතරින් තම මවත් සොහොයුරියත් නොමැති බව අමතක කර දැමීමට වෙහෙසෙන්නීය. ඒ ඉරණම් ගමන ඔවුන් නොගියා නම් බොහෝදුරට ඔවුන් තවමත් ඇය සමඟ වන්නට ඉඩ තිබිණි. එඩීගේ මව සැලී මැක්ගිල් තම දියණියන් දෙදෙනාට බෙහෙවින් සෙනෙහස දැක්වූවාය. තායිලන්තයේ කරාබි හි සුනාමි රළ පහරේ සැඟව යන විට ඇය 53 හැවිරිදි වියේ පසුවූවාය. එඩීගේ බාල සොහොයුරිය වූ ඇලිස් මැක්ගිල් එවකට 23 හැවිරිදි ජීවිතයේ සුන්දරම වියේ පසුවූවාය. වසර දා හතකට පෙර තමා මුහුණ දුන් ඒ සොබාදහමේ වියරුව ඇය යළිත් සිහිපත් කරන්නේ භීතියෙනි.

එය එතරම්ම බියජනක විය. සැබවින්ම එය වියරුවකි. ඒ හරියටම 2004 වසරේ දෙසැම්බර් 26වැනිදාවයි. නත්තල සැමරීමෙන් පසුව මුළු ලොවම පසුවූයේ සුවබර නිද්‍රාවකය. එහෙත් මුළු ලොවටම රහසේ ඉන්දියන් සාගරය කැලඹෙමින් තිබිණි. එයට හේතු වූයේ ඉන්දුනීසියාවේ බණ්ඩා අචේ අර්ධද්වීපය අසල ගැඹුරු මුහුදේ මතුපිට සිට කිලෝමීටර් 30ක් ගැඹුරින් සිදුවූ භුමි කම්පාවකි. එය ලොව එතෙක් මෙතෙක් සිදුවූ ප්‍රබලතම භූමි කම්පා අතරට එක් වූයේ ප්‍රබලත්වය මැග්නිටියුඩ් ඒකක 9.0ක් වශයෙන් සටහන් කරමිනි. මේ භූමි කම්පාවට හේතුව යුරේෂියානු භූ තැටිය සහ ඕස්ට්‍රේලියානු භූ තැටිය එකිනෙක ගැටීම විය. මේ භූ තැටිතල ගැටීම හේතුවෙන් ඇතිවූ කම්පනය සාගරය මතට මුදා හැරුණේ අති බිහිසුණු රළ පහරක් නිර්මාණය කරමිනි. අවාසනාවකට එය එක් රළ පහරක් පමණක් නොවීය. එය පසුපස වඩා වැඩි ප්‍රබලත්වයකින් යුතු තවත් රළ පහරක් විය.

එම රළ පහර ගැන එය අත් විඳි, එමෙන්ම ජීවිතය බේරා ගැනීමට තරම් වාසනාවන්ත වූ අය සාක්ෂි කියනු ඇත. සැබවින්ම එය එතරම්ම බිහිසුණු විය.

“අපි නවාතැන් ගත් හෝටලයෙන් අපි ඉල්ලා සිටි සියල්ල සම්පාදනය කර තිබුණා. හෝටලය තිබුණේ වෙරළාසන්නයේ. එය ඉතා සුන්දර තැනක්. අපි රාත්‍රී දෙකක් ඒ සුන්දර මුහුදු වෙරළේ කාලය ගත කළා. වෙරළට හෝ මුහුදට එතරම් බිහිසුණු විය හැකි යැයි අපි කිසිසේත් හිතුවේ නැහැ. ඒ අති සුන්දර රාත්‍රී කාලයේ මමත්, මගේ මවත්, සහෝදරියත් ඉතා විනෝදයෙන් පසුවුණා. ඒ තමයි අපි තිදෙනා එක්ව ගෙවූ අවසන් රාත්‍රිය. “

එඩී තම මතක මල්ල එසේ අවුස්සන්නීය. මෙතැන් සිට ඒ මතක මල්ලෙන් එළියට ඇද දැමෙන්නේ සුන්දර මතක නම් නොවේය. එහෙත් ඒ මතක සිහිපත් කළ යුතුමය. ඒ රළ පහරේ වියරුවට හසු වුණු ඔවුන් කිසිදා අමතක කර දැමිය නොහැකිය.

“දෙසැම්බර් 26 වැනිදා අපි වෙන් කරගෙන තිබුණේ කයැක් ඔරු පදින්න. එදින උදෙන්ම අපි කුලියට ගත් කයැක් ඔරු දෙකත් රැගෙන මුහුදු වෙරළට ගියා. අපි අදහස් කළේ මුහුදු වෙරළ අසලින් ඔරු පදිමින් ගමන් කරන්න. එය ආරක්ෂිත වුණා. අඩුම තරමින් අපි හිතුවේ එහෙමයි. අම්මාත්, ඇලිසුත් එක ඔරුවකත් මමත් මගේ එවකට පෙම්වතා වූ මැට් සමඟ තවත් ඔරුවකත් ගමන් කළා. ඒ ගමන බෙහෙවින් සුන්දරයි. ඒ උදෑසන ළා හිරු එළිය මුහුදු දිය මතට වැටෙමින් තිබුණා. වෙලාව උදෑසන හත පසුවී විනාඩි කිහිපයක් වෙන්නට ඇති. මට සිතුණා මේ මොහොත කැමරාවේ සටහන් කර ගන්න. මම අම්මාත්, ඇලිසුත් සිටින දෙසට කැමරාව යොමු කළා....“

එහෙත් කැමරා කාචය තුළින් එඩී දකින්නේ ඉතා අසාමාන්‍ය දසුනකි. මව සහ සහෝදරිය පදිමින් සිටි ඔරුවේ පසුබිමෙන් වූ ගැඹුරු මුහුද ඉල්පෙමින් තිබිණි. මුහුද බලා සිටියදී ඉහළ යමින් තිබුණු අතර එය වේගයෙන් ඔවුන් දෙසට කඩා වදිමින් තිබිණී.

එඩී වටපිට බැලුවාය. ඔවුන්ට ඉදිරියෙන් මහා රළ පහර වූ අතර පසුපසින් වූයේ ඉවුර ආවරණය කළ ගල් වැටියකි. මේ දැවැන්ත රළ පහරින් බේරීමට යා යුතු ස්ථානයක් පිළිබඳ කිසිදු අදහසක් නොවීය. තවත් තත්පර පහකින්... හතරකින්.. තුනකින්.. දෙකකින් ඒ දැවැන්ත රළ පහර ඔවුන්ව යට කර දමනු ඇත.

එඩී පවසන්නේ රළ පහර තමන්ගේ සිරුරේ ගැටුණූ අවස්ථාව තමන්ට මතක නොමැති බවයි. එසේ කෙසේ වූවාදැයි ඇයට නිනව්වක් නොමැති නමුදු තමා වේගයෙන් ඇදී ගොස් අසල වූ ගල් පර්වතයේ වේගයෙන් ගැටුණු බව ඇයට මතකය. විනාඩි කිහිපයකින් රළ පහර තුනී වත්ම තම අසල වූ ගල් පර්වතය මත සිටින බව එඩී වටහා ගත්තාය. ඇය සිහි එළවා ගනිමින් වට පිට බැලුවාය. දැවැන්ත රළ පහර තමා මෙන්ම තම මවත්, සහෝදරියත්, පෙම්වතාත් ගල් පර්වතය මතට ගෙනවුත් දමා ඇත. බෝට්ටු පිළිබඳ සලකුණක් නැතද ඔවුන් සියලු දෙනා නිරුපද්‍රිතය. එඩී සැනසුම් සුමුක් හෙළුවාය. දැන් ඉතින් කෙසේ හෝ හෝටලයට යා යුතුය.

ගල් පර්වතයෙන් ඉවතට යන අන්දමක් සිතමින් අවට බැලුවාය. ඇගේ දෑස් මහ මුහුද දෙසට යොමු වූයේ නිරායාසයෙනි. එහෙත් එහි වූ දසුන ඇයගේ ඇඟේ ලේ වතුර කිරීමට සමත් විය. යළිත් මහ මුහුද ඉහළ නැඟෙමින් තිබිණි. තවත් දැවැන්ත රළ පහරක්.... පෙර රළ පහරටත් වඩා විශාලව... වඩා වේගයෙන්... වඩා වියරුව ඔවුන් දෙසට පැමිණෙමින් තිබිණි. තමා සිටි ගල් පර්වතයට යාබදව තැනින් තැන පිහිටා තිබූ ගල් පර්වත මත එල්ලී අපහසුවෙන් සිටන තම මවත්, සහෝදරියත්, පෙම්වතාත් දෙස එඩී අවසන් බැල්මක් හෙළුවාය. කිව යුතු යමක් නොවීය. කීමට ඉස්පාසුවක් හෝ නොවීය. යළිත් දැවැන්ත රළ පෙළ මුහුදු වතුරෙන් ඔවුන් සම්පූර්ණයෙන් වසා දැමීය.

ඒ මොහොතින් පසුව එඩී කිසිදිනක තම සොහොයුරිය නොදුටුවාය. තම මව දුටුවේ ජීවය රහිත, තැළී පොඩි වුණූ සිරුරක් වශයෙනි. ඇය යළි සිහි එළඹ බලන විට ඇය ගොඩබිම මත සිටි අතර ඇය තැනින් තැන තුවාල වී රුධිරය වෑහෙන සිරුරෙන් යුතුව මිනිසුන් සොයා ගමන් කළාය. ඒ වන විටත් ඇය වැනිම වූ විදෙස් සංචාරකයන් බොහෝ දෙනෙක් අසරණව පෙර ඔවුන්ගේ හෝටලය තිබුණේ යැයි සැලකිය හැකි ස්ථානයේ තැන තැන වාඩි ගෙන සිටියහ. පැයකට අඩු කාලයක් තුළ මුදාගැනීමේ කණ්ඩායම් ඔවුන් වෙත පැමිණියහ. තම සිරුරෙන් නැ‍ෙඟන වේදනාව යටපත් කරමින් පැමිණෙන තම සමීපතමයන් අහිමි වීමේ වේදනාව දරා ගත නොහැකිව එඩී ඉකිබිඳ ඇඬුවාය. දින දෙකකට පසු ඇය රෝහලෙන් ඉවතට පැමිණියේ ජීවය සිඳී ගිය අයෙකු වශයෙනි. එහෙත් අහිමි වූවන්, අතරමං වූවන් පිළිබඳ තොරතුරු ලබා ගත හැකි ස්ථානයක් වෙත යෑමට ඇයගේ සිත බල කර සිටියෙන් ඇය තමන්ගේ කිසිවකුම සොයා ඒ වෙත ගියාය. පුදුමයකි. එහි ගිය ඇය දුටුවේ තමා වැනිම අසරණව එහි බංකුවක හිඳ සිටින තම පෙම්වතා මැට් ය. ඇය හඬා වැටෙමින් ඔහු වැලඳගත්තාය.

මේ සිදුවීම් සියල්ල අවසන්ව දැන් වසර දා හතක් ගත වී තිබේ. එදින ඇගේ පෙම්වතා වූ මැට් දැන් එඩීගේ ආදරණීය සැමියාය. 2004 සුනාමි ව්‍යසනය ලොවටම අමතක වෙමින් යද්දී එඩීද එය ක්‍රමයෙන් අමතක කර දමමින් සිටින්නිය. එහෙත් ඇය පවසන්නේ එදින උදෑසන නිශ්චල, සාමකාමී, සුන්දර මුහුදු ජල තලය මත තම මවත්, සොහොයුරියත් සමඟ කයැක් ඔරු පැද ගිය අන්දම තමන්ට කිසිදා අමතක වී නොයන බවයි.

 

සුනාමි ව්‍යසනයට වසර 17යි

2004 වසරේ දෙසැම්බර් 26 වැනිදා උදෑසන ඉන්දුනීසියානු වේලාවෙන් උදෑසන 7.28ට එරට දූපත් සමූහයට අයත් සුමාත්‍රා දූපතේ බණ්ඩා අචේ අර්ධද්වීපය ඉතා ආසන්නව මුහුදු මට්ටමේ සිට කිලෝමීටර් 30ක් ගැඹුරින් ඒ මහා භූමි කම්පාව සිදුවිය. එය භූමි කම්පා වර්ගීකරණ අනුව අයත් වූයේ අති ප්‍රබල කම්පා හෙවත් (Mega thrust) විශේෂයටය. එහි ප්‍රබලත්වය මේ වන විටත් දක්වන්නේ මැග්නිටියුඩ් 9.1 – 9.3ත් වශයෙනි. එය සමස්ත පෘථිවි ඉතිහාසයේ සිදුවූ ප්‍රබලතම භූමි කම්පා අතරින් එකකි.

 

ඒ මහා කම්පාවේ අවසන් ප්‍රතිඵලය වූයේ මිනිසුන් ලක්ෂ දෙකහමාරකට ආසන්න සංඛ්‍යාවක් පණ පිටින් මුහුදු වතුරේ ගිල්වමිනි.

ඒ අති බිහිසුණූ කම්පනය හේතුවෙන් ඉහළ නැඟුණූ උදම් රළ ඉන්දුනීසියාව, ශ්‍රී ලංකාව, ඉන්දියාව, තායිලන්තය, සෝමාලියාව, මියන්මාරය, මාලදිවයින, මැලේසියාව, ටැන්සානියාව, සීශෙල්ස්, බංග්ලාදේශය, දකුණු අප්‍රිකාව, යේමනය, කෙන්යාව සහ මැඩගැස්කරය යන රටවලින් අවම ජීවිත එකක් හෝ උදුරාගෙන තිබිණි.

මේ රටවල් අතරින් වැඩිම ජීවිත හානි වාර්තා වූයේ ඉන්දුනීසියාවෙන් සහ ශ්‍රී ලංකාවෙනි. ඉන්දුනීසියාවේ තහවුරු කළ මරණ 130,736ක් වූ අතර අනුමාන මරණ සංඛ්‍යාව 167,540ක් විය. ශ්‍රී ලංකාවේ තහවුරු කළ මරණ සහ අනුමාන මරණ සංඛ්‍යාවන් සමාන වූ අතර එය 35, 322ක් විය.

මීට අමතරව ඉන්දුනීසියානු ජාතිකයන් ලක්ෂ පහකට අධික සංඛ්‍යාවක් අවතැන් වූ අතර සිදුවූ දැවැන්ත හානිය හේතුවෙන්ම එරටේ සංඛ්‍යා ලේඛන නිශ්චිත නොවීය. ශ්‍රී ලංකාවේ අවතැන් වූ සංඛ්‍යාව 516,150ක් විය.

ඉන්දියාවේ තහවුරු කළ මරණ සංඛ්‍යෘව 12,00ක් පමණ වුවද එරට ජනතාව ලක්ෂ හයකට වඩා මේ මහා ව්‍යසනයෙන් අවතැන් වූහ. රට වටාම මුහුද සහිත ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 14ක් සුනාමි ව්‍යසනයට ගොදුරු වූ අතර අති විශාල දේපොළ හානියක්ද සිදු විය. දකුණු සහ ගිනිකොන ආසියාවම එක් මොහොතකින් මහා මළ ගෙයක් බවට පත්වූ අතර ලෝකයේ සෙසු රටවලට කළ හැකි වූයේ මේ රටවල් වෙත ආධාර එවමින්, බිඳ වැටුණූ නිවාස යළි සකස් කිරීමට උපකාර කරමින් ඔවුන්ට යම් සහනයක් වීමට උත්සාහ දැරීම පමණකි.

ශ්‍රී ලංකාවේ පැරෑලියේදී අනතුරට පත් දුම්රිය සමස්ත ලෝක ස්වභාවික විපත් ඉතිහාසයේ අසමසම කඳුළක සලකුණක් බවට පත් විය.

ව්‍යසනයෙන් වසර 17ක් ගත වී යන තැන ඒ මහා ඛේදවාචකය බොහෝ සිත්වලින් අමතක වී යමින් පවතින නමුත් එදා රළ සමඟ සැඟව ගිය බොහෝ සමීපතමයන් ඔවුන්ගේ ඥාතීන්ට කිසිදා අමතක නොවනු ඇත.

Comments