ත්‍රස්තවාදී ක්‍රියා හේතුවෙන්, යුධමය තත්ත්වයන් හේතුවෙන් මෙන්ම දරිද්‍රතාව හේතුවෙන් සංක්‍රමණිකයන් තම රටතුළට වද්දා ගැනීමේ අයහපත් අතුරු ප්‍රතිඵලවලට ලොව විවිධ රටවල් දිගින් දිගටම මුහුණ දෙමින් සිටිනු හඳුනාගත හැකිය. පසුගියදා නවසීලන්තයෙන් වාර්තා වූ පිහි ඇනුම් සිදුවීමද ඒ සඳහා ඉතා හොඳ උදාහරණයකි. එහෙත් වඩාත් කනගාටුදායක තවත් එවැනි සිදුවීමක් පසුගිය 15 වැනිදා බ්‍රිතාන්‍යයෙන් වාර්තා විය.
ඒ සංක්රමණිකයකුගේ පිහි පහරට ලක්ව බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු මරණයට පත් වීමේ සිදුවීමයි. මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ශ්‍රීමත් ඩේවිඩ් ආමේස් ය. ඔහු පිහි ප්‍රහාරයට ලක්ව ඇත්තේ එසෙක්ස් ප්‍රාන්තයේ ‘ලේහ් - ඔන් - සී‘ නම් ප්‍රදේශයේදීය. මේ පිහි ප්‍රහාරය එල්ල කර ඇත්තේ 25 හැවිරිදි පුද්ගලයකු බවත්, ඔහු සෝමාලියානු ජාතිකයකු බවත් පොලීසිය විසින් අනාවරණය කර තිබේ. මේ පුද්ගලයා සංක්‍රමණිකය වශයෙන් බ්‍රිතාන්‍යයට පැමිණ ඇති අතර අන්තවාදී මුස්ලිම් සංවිධානයක සාමාජිකයකු ලෙසින්ද කටයුතු කරමින් සිටින බවද පොලීසිය මාධ්‍ය වෙත පවසා තිබේ.
දැනට වාර්තා වී ඇති අන්දමට පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රීමත් ඩේවිඩ්හට මේ සංක්‍රමණිකයා පිහි පහර කිහිපයක්ම එල්ල කර ඇත්තේ තුවාල හේතුවෙන් සිද්ධිය වූ ස්ථානයේදීම ඔහු මරණයට පත්වන අන්දමිනි. මේ පුද්ගලයා ‘අලී හරීබ් අලී‘ නම් ව බවද පොලීසිය මාධ්‍ය වෙත පවසා තිබේ. බ්‍රිතාන්‍යය තුළ ක්‍රියාත්මක ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ 41වන වගන්තිය අනුව මේ පුද්ගලයා ප්‍රශ්න කිරීම සඳහා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන රඳවා ගැනීමට කටයුතු කර ඇත.
මේ සිදුවීම සම්බන්ධව වාර්තාවක් ඉදිරිපත් කරමින් බීබීසී සේවය දක්වා ඇත්තේ මීට පෙර අවස්ථාවකදී ශ්‍රීමත් ඩේවිඩ් බ්‍රිතාන්‍ය තුළ ත්‍රස්ත ක්‍රියා වැළැක්වීම සඳහා දැඩි සේ කටයුතු කළ යුතු යැයි පාර්ලිමේන්තුව තුළ විශාල හඬක් නැංවූ බවයි. එහෙත් බ්‍රිතාන්‍ය ඔත්තු සේවාව වන MI5 බුද්ධි අංශයේ ත්‍රස්ත තර්ජනවලට මුහුණ දී සිටින බ්‍රිතාන්‍ය ජාතිකයන්ගේ ලැයිස්තුවේ ශ්‍රීමත් ඩේවිඩ් නොසිටි බවද සඳහන්ය.
ශ්‍රීමත් ඩේවිඩ් බ්‍රිතාන්‍යයේ කන්සර්වටිව් පක්ෂයේ කීර්තිමත් සාමාජිකයකු වන අතර 1983 සිට එරට පාර්ලිමේන්තුව නියෝජනය කරන්නෙක්ද වේ. සිදුවීම වන අවස්ථාවේදී මන්ත්‍රීවරයා තම නිවසේ රැඳී සිටි අතර නිවසට ඇතුළු වූ ත්රස්තවාදියා ඔහුට පිහි පහර එල්ල කර තිබේ. මේ අවස්ථාවේ මන්ත්‍රීවරයාගේ කාර්ය මණ්ඩලයට සිද්ධිය වූ ස්ථානයේ සිට ඇත. මන්ත්‍රීවරයා වෙත අමුත්තන් කැඳවාගෙන යෑමේ යෙදී සිටි කාන්තාව මන්ත්‍රීවරයාට පිහිපහර එල්ල වූ සැණින් එම ස්ථානයේ සිට භීතියෙන් කෑ ගසමින් පිටතට දිව ගෙන පැමිණි බව සාක්ෂිවල සඳහන් වී තිබේ.
මේ වන විට පිහි ඇනුම සිදු කළ පුද්ගලයා තවත් පුද්ගලයන් සමඟ සබඳතා සහිතද යන්න සොයා බැලීමට පොලීසිය පරීක්ෂණ පවත්වමින් සිටින බව සඳහන්ය. කෙසේ වුවද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ඝාතනය කිරීමට තරම් බිහිසුණු ත්රස්තවාදීන් රටතුළ ක්‍රියාත්මකව සිටින බව තහවුරු වීම බ්‍රිතාන්‍ය ආණ්ඩුවට මෙන්ම එරට ආරක්ෂක අංශවලටද සැනසීමට කරුණක් නම් නොවනු ඇත. ආගමික අන්තවාදය සහ බැඳුණු ත්‍රස්තවාදය මුළු ලොවටම පිළිලයක් වී ඇති බවට තවත් උදාහරණ අවශ්‍ය නැත.
පසුගිය දිනවල ලොවම කලඹමින් එළිදැක්වූ ‘පැන්ඩෝරා පේපර්ස්’ රහසිගත ලිපිගොනු සම්බන්ධව සියලු දෙනාම ඉමහත් අවධානයක් දැක්වූහ. තමතමන්ගේ රටවලින් මේ ලිපිගොනුවල නම් ඇතුළත් වූ පුද්ගලයන් පිළිබඳව සොයා බැලීමටත් ඔවුන් එම ධනය ඉපයූයේ කෙසේද යන්න විමසා බැලීමටත් ලොව පුරා රටවල ජනතාව උනන්දු වූහ. ඇතැම් රටවල රාජ්‍ය නායකයන් පැන්ඩෝරා පත්‍රිකාවල නම් සඳහන් තම රටවල ජනතාව නිතිය ඉදිරියට ගෙන ඒමට කටයුතු කරුනු ලැබුවේ එම රහසිගත තොරතුරු විශ්වාසනීය බවට ලොව පුරා පිළිගැනීමක් පවතින බැවිනි.
නිව්යෝර්ක් නගරය මූලික කර ගනිමින් ක්‍රියාත්මක වන ගවේෂණාත්මක මාධ්‍යවේදීන්ගේ අන්තර්ජාතික සමූහය නම් වන සංවිධානය විසින් මේ පැන්ඩෝරා පත්‍රිකා හෙවත් එදා මෙදා තුර ලොව සිදු කරන ලද විශාතලම මූල්‍ය අක්‍රමිකතා පිළිබඳ හෙළිදරව්ව වශයෙන් පිළිගැනීමට ලක්ව තිබේ.
මේ තොරතුරු හෙළිදරව් කිරීම සඳහා ලොව පුරා රටින්රට මාධ්‍යවේදීන් තම දිවි පරදුවට තබා කටයුතු කර තිබේ.
එහෙත් මේ පැන්ඩෝරා පත්‍රිකා පිළිබඳ සියුම්ව විමසා බලන විට අපට පෙනී යන්නේ එතුළ අන්තර්ජාතික දේශපාලනයේ සියුම් බෙදීම්ද දැකගත හැකි බවයි.
පැන්ඩෝරා පත්‍රිකාවල නම් සඳහන් වූ පුද්ගලයන් අතරින් ජනප්‍රිය තලයේ ඉහළින්ම සිටි පුද්ගලයන් අතර රුසියානු රාජ්‍ය නායක ව්ලැඩිමීර් පුටින්ද විය. ඔහු මේ වන විට දශක දෙකකට අධික කාලයක් රුසියාවේ රාජ්‍ය නායකත්වය හොබවා තිබේ. ඔහුගේ ඉතිහාසය ලියන්නේ නම් ලිවිය හැකි කරුණු රාශියකි. රුසියානු කේජීබී ඔත්තු සේවයේ සාමාජිකයකුව සිටි පුටින් දේශපාලනයට පිවිස උඩට ඇද ගන්නේ මඩ ගොහොරුවක ගිලී යමින් පැවති රුසියාවයි. ඒ වන විට සමාජවාදී සමූහාණ්ඩුව බිඳ වැටී රුසියාව දරිද්‍රතාවයෙන් පීඩා විඳිමින් සිටියේ නඩත්තු කළ නොහැකි අති විශාල හමුදාවක්, ගිනි අවි ඇතුළු හමුදා යන්ත්‍රෝපකරණ සහ පවත්වාගෙන යෑමට නොහැකි අභ්‍යවකාශ වැඩපිළිවෙළක්ද සමඟිනි. තව දුරටත් තම රට තුළින් රැකියා සොයා ගැනීමට නොහැකි වූ රුසියානු කාන්තාවෝ ලිංගික ශ්‍රමිකයන් ලෙස ඉතා දුගී රටවලට පවා සංක්‍රමණය වෙමින් සිටියහ. දශක ගණනාවක් පුරා පැවති සීතල යුද්ධයේදී තමන් සමඟ කරටකර සිටි රුසියාවේ බිඳවැටීම මහත් අභිමානයෙන් සැමරූ ඇමරිකාව ඒ වන විටත් රුසියාවට බිම දමා පහර දීම නවත්වා තිබුණේ නැත.
මනා හික්මීමකින්, අධිෂ්ඨානයකින් සහ ජවයකින් යුක්තව ව්ලැඩිමීර් පුටින් රුසියාවට නායකත්වය දිම ආරම්භ කරන්නේ මෙවන් වූ යුගයකදීය. දශකයකට අඩු කාලයක් තුළ රාජ්‍ය නායකයකු ලෙස ඉලක්ක රාශියක් සම්පූර්ණ කර ගැනීමට සමත් වූ පුටින් රුසියාව සෙමෙන් සෙමෙන් යළි පෙර පැවති මට්ටම දක්වා ගෙන ඒමට උත්සාහ ගත්තේය. අතීත ශ්‍රී විභූතිය එළෙසින්ම නොවූවද කිසියම් ස්ථාවර මට්ටමක් දක්වා රුසියාව යළි ගෙන ඒමට පුටින්ට හැකි වූයේ අභියෝග රාශියක් මධ්‍යයේය. අවම තරමින් රුසියාව පෙළමින් පැවති අන්ත දරිද්‍රතාවට විසඳුම් ගෙන එමින් රටවැසියන් යළිත් වරක් රුසියානුවන් වීම සම්බන්ධව අභිමානයට පත් වන මට්ටමක් දක්වා ගෙන ආ පුටින් ජනතා ආශිර්වාදයෙන්ම දීර්ඝ කාලයක් රුසියාවේ රාජ්‍ය නායකත්වය හොබවමින් සිටින්නේය.
පැන්ඩෝරා පත්‍රිකා ඔස්සේ පුටින් උපයාගත් කළු සල්ලි පිළිබඳ හෙළිදරව් වන්නේ එවන් වූ පසුබිමකය. පැන්ඩෝරා පත්‍රිකා මගින් හෙළිදරව් කළ අන්දමට පුටින් සතු වත්කම් රාශියකි. ඒ අතරින් බොහොමයක් ලොවට සඟවන ලද වත්කම්ය.
උපයා ගත්තේ කසේදැයි පැහැදිලි කළ නොහැකි මුදල් සම්භාරයක් පුටින් විසින් සමාගම් රැසක ආයෝජනය කර ඇති අතර මොනාකෝ හි ධන කුවේරයන් ජීවත්වන ප්‍රදේශයක ඩොලර් මිලියන 4ක් වටිනා නිවසක්ද ඔහු සතුව ඇතැයි පැවසේ. අමතරව ඔහු සතුව යොට් වර්ගයේ යාත්‍රාවක් සහ තවත් ධනසම්පත් රාශියක් පවතින බව පැන්ඩෝරා පත්‍රිකාවල සඳහන්ය.
පුටින්ගේ ධනය පිළිබඳ මේ හෙළිදරව්වත් සමඟම ඔහුගේ පෞද්ගලික ජිවිතයද කිසියම් ප්‍රමාණයකට නිරාවරණය වී ඇත්තේ ඔහුගේ දීර්ඝ කාලින පෙම්වතිය යැයි කියවෙන ස්වේත්ලානා ක්රිවනොගික් පිළිබඳවද අනාවරණයක්ද සමඟිනි. පුටින් අයතා ලෙස ඉපයූ ධනයෙන් වැඩිහරිය ඇයගේ නමින් තැන්පත් කර ඇති බව සඳහන් වී ඇති අතර පුටින් සහ ස්වේත්ලානා දියණියකගේ මවුපියන් බවද අනාවරණය කර තිබිණි.
මේ අන්දමින් රුසියානු ජනාධිපතිවරයාගේ කළු සල්ලි පිළිබඳහෙළිදරව් වන විට ඇමරිකාවේ හිටපු ජනාධිපති බරැක් ඔබාමා මීට සුළු කළකට පෙර කැලිෆෝර්නියාවෙන් ඩොලර් මිලියන 11.5ක් ගෙවමින් මිලදී ගත අති විශාල නිවස පිළිබඳ කිසිඳු සටහනක් පැන්ඩෝරා පත්‍රිකාවල සඳහන් තිබුණේ නැත. මෑතකදී මිලදී ගත් මේ මන්දියරට අමතරව හිටපු ජනාධිපති ඔබාමා සතුව හවායි හි අති සුන්දර මුහුදු තීරයක තවත් අගනා නිවසක්ද, වොෂිංටන් ඩී සී හි තවත් නිවසක්ද පවතින බව බොහෝ දෙනා දන්නේ නැත. මේ හැර ඔබාමාගේ වත්කම් පිළිබඳව වාර්තා වී නොමැති නමුදු එසේ වාර්තා වී නැත්තේ කිසිවකු හෙළිදරව් නොකළ නිසා ද විය හැකි බවට තර්කයක්ද ගොඩනැගිය හැකිය.
චීනය සමඟ ගැටෙමින් සිටින ඇමරිකාව මේ වන විට වටහාගෙන සිටින්නේ චීනය පරාජය කිරීම පහසු නොවන බවයි. දැඩි විනයක් සහිතව දැඩි නීති රීති සමඟ ඉදිරි ගමනක නිරත වී සිටින චීනයේ අභ්‍යන්තරයේ රහස් හෙළිදරව් කර ගැනීමද පහසු නැත. එහෙත් රුසියාවට පහර එල්ල කිරීම ඇමරිකාවට අලුත් දෙයක් නොවේය.
අනෙක් අතට කිව යුතු වන්නේ ඔබාමාගේ ඩොලර් මිලයන 11ක් වටිනා නව නිවස කෙසේ වුවද ඔබාමා යනු ධූර කාල දෙකක් සපුරා ප්‍රජාතන්ත්‍රවාදීව බලය අතහැර ගිය ජනාධිපතිවරයකු බවය. රුසියාව ගොඩ ගත් බව සැබෑ නමුදු තවදුරටත් බලයේ සිටීමෙන් පුටින් තවදුරටත් ප්රජාතන්ත්රවාදී පාලකයකුද යන පැනය මතුවීම වැළැක්විය නොහැකිය. සමස්ත ලිබියාවේ ජනතාව ණය බරින් මුදවා යහපත් ජිවන තත්ත්වයක් ලබා දුන්නද දීර්ඝ කාලීනව ඒකාධිපති පාලනයක් ගෙන ගිය ගඩාෆිට අවසානයේ ලිබියානු ජනතාව පසුපස හැරවූ බව පුටින් වුවද සිහිපත් කර ගැනීම යහපත්ය.