ලෝකයේ කිසිදු රටකට තනිව පැවතිය නොහැකි බව උදාහරණ සහිතව කොවිඩ් වසංගතය පෙන්වා දුන්නේය. එමෙන්ම ලෝකයේ සෑම රටක්ම එකක් අනිකට තදින් සම්බන්ධ ව ඇති බව ද වසංගතය පැතිර ගිය අන්දමට අනුව පැහැදිලිව වටහා ගත හැකිය. එබැවින් මිනිසුන්ගෙන් පිරී ඉතිරෙන මේ පෘථිවි ගෝලය තුළ සෑම රටක්ම, සෑම ජන කොට්ඨාසයක්ම එකිනෙකා හා සම්බන්ධය. පරායත්තය. එබැවින් සිදුවන යහපතක්මත් සිදුවන සෑම අයහපතක්මත් පොදුවේ සියලුම මිනිසාට එකසේ අදාළය.
පසුගියදා බ්‍රිතාන්‍යය ස්කොට්ලන්තයේදී කැඳවන ලද දේශගුණ විපර්යාස පිළිබඳ ලෝක නායකයන්ගේ සමුළුවේදී සියලුම නායකයන් පාහේ එකඟත්වය පළකළ මතයක් වූයේ ඉහත පැවසූ අදහසයි. එනම් ලොව කිසිම රටකට තනිව පැවතිය නොහැකිය යන්නයි. එබැවින්ම අන් කවරදාටත් වඩා පෘථිවිය මත දේශගුණ විපර්යාස සිදුවෙමින් පවතින මේ වකවානුවේදී ඒ සඳහා ලොව සියලුම රටවල් එක්ව වගකිව යුතු බවත් ලොව සියලුම රටවල් එක්ව ඒ සඳහා පිළියම් සෙවිය යුතු බවත් එම සමුළුවේදී සාකච්ඡාවට බඳුන් වූ කරුණුවල සාරාංශය ලෙස දැක්විය හැකිය.
ගෝලීය උණුසුම ඉතා විශාල ලෙස ඉහළ යමින් පවතින බව මිනිසා අවබෝධ කරගෙන දැනට ගතවී ඇත්තේ වසර කිහිපයක් පමණි. දැන් ප්‍රමාණවත් තරම් ලෝකය දැනුම්වත් වී නොමැති වුවද මිනිස් වර්ගයා පොදුවේ මුහුණ දෙමින් සිටින බරපතළම අභියෝගය වන්නේ ගෝලීය උණුසුම ඉහළ යෑමයි.
ඔබ නිවෙස තුළ සිටියදී වෙනත් කිසිවකු විසින් ඔබගේ නිවෙස වටා මහා ගිනි ජාලාවක් අවුල වන්නේ යැයි සිතන්න. ඔබ කිසිසේත් වෙනදා සේ නිවෙස තුළට වී කමින් බොමින් ප්‍රිතියෙන් දවස ගෙවන්නේ නැත. ඔබ ඉහ අත බැඳ ගනිමින්, කෑ ගසමින්, වතුර ගසමින් නිවෙස වටා ඇවිළෙන ගින්න නිවන්නට උත්සාහ ගන්නවා ඇත. එහෙත් ඔබ නොදන්නේ වුවද මේ වන විට අප සියල්ලන්ගේ නිවෙස වටා ඇවිළෙමින් පවතින මහා ගිනි ජාලාවකි. ඉතා සුළු පිරිසක් පමණක් එය නිවීමට උත්සාහ දරන අතර, බහුතරය තවතවත් දර දමමින් එම ගිනි ජාලාව වර්ධනය කරමින් සිටිති. එම ගිනි ජාලාව අන් කිසිවක් නොව මිනිසාගේ ක්‍රියා හේතුවෙන් දිනෙන් දින, මොහොතින් මොහොත වායුගෝලයට අපවිත්‍ර වායුව එක් වීමයි. එමඟින් මොහොතින් මොහොත වායුගෝලය උණුසුම් වීමෙන් සමස්ත පෘථිවියේ උෂ්ණත්වය ඉහළ යයි. ඒ හේතුවෙන් ධ්‍රැව ප්‍රදේශවල අයිස් තට්ටු දිය වෙයි. මේ අන්දමට මිනිස් ක්‍රියා හේතුවෙන් සිදුවන එකකට එකක් සම්බන්ධිත පරිසර විනාශය සම්බන්ධව අදහස් දැක්විය හැකිය. කනගාටුව වන්නේ මේ සම්බන්ධව මිනිස් වර්ගයා ප්‍රමාණවත් තරම් දැනුම්වත් නොවීමය. දැනුම්වත් වුවද රටරටවල සංවර්ධන ඉලක්ක හේතුවෙන් පරිසර විනාශය අමතක කර දැමීමය.
දැන් එක්සත් ජාතීන් විසින් ලෝක නායකයන්ගේ සමුළුවක් කැඳවමින් මෙයට පිළියම් සෙවීමට උත්සාහ දැරීම දක්වා තත්ත්වය භයානක වී ඇත. තවදුරටත් මිනිසාට පරිසර විනාශය පිළීබඳව ඇස් කන් පියා සිටිය නොහැකිය.
මෙවර එක්සත් ජාතීන්ගේ සංවිධානය දේශගුණ විපර්යාස පිළිබඳ ලෝක නායකයන්ගේ සමුළුව කැඳවන්නේ දිනෙන් දින තත්ත්වය භයානක අතර පත්වෙමින් තිබෙන නිසාවෙනි.
පසුගියදා 2021 වසර සඳහා G- 20 සමුළුව පැවති අතර එම සමුළුව අවසානවත්ම දේශගුණ විපර්යාස පිළිබඳ ලෝක නායකයන්ගේ සමුළුව සංවිධානය කර තිබිණි. බ්‍රිතාන්‍යය සමුළුව සඳහා සත්කාරක දායකත්වය ඉහළින්ම ලබා දුන්නේ සමුළුවේ වැදගත්කම නොඅඩුව ලොවට කියාපාමිණි. සමුළුවේ ලෝක නායකයන්ගේ රැස්වීම නොවැම්බර් මස පළමුවැනිදා සහ දෙවැනිදා පැවති අතර එයිනිඳු නොනැවතී නොවැම්බර් 12වැනිදා දක්වා සමුළුව ක්‍රියාත්මක වන්නේ පෘථිවි ගෝලය රැකගැනීමේ වැදගත්කම පිළිබඳව සමස්ත ලෝකයට අවධාරණය කරමිනි.
නොවැම්බර් පළමුවැනිදා ලෝකයේ ප්‍රබල නායකයන් සමුළුව ඇමතූ අතර ඔවුන් සියලු දෙනාම පරිසරය ආරක්ෂා කර ගත යුතු බවට එකඟ වූහ. එහෙත් ගැටලුව වන්නේ සමුළු අමතමින් මේ රාජ්‍ය නායකයන් කුමක් පැවසුවද තම රටවල සංවර්ධන ඉලක්ක කරා ගමන් කිරීමේදී ඒ කියූ කතා රාජ්‍ය නායකයන්ට අමතක වීමයි. මෙවර දේශගුණ විපර්යාස පිළිබඳ ලෝක නායකයන්ගේ සමුළුව හෙවත් COP 26 සමුළුව අමතමින් ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් පවසා සිටියේ මේ මොහොතේදී ලෝකය ආරක්ෂා කර ගැනීමට අසමත් වන්නේ නම් ඉදිරියේදී එලැඹීමට නියමිත ව්‍යසනයෙන් අප කිසිවකුට ගැලවීමක් නොමැති වනු ඇති බවයි. එමෙන්ම ඇමෙරිකානු ජනාධිපතිවරයා තවදුරටත් පවසා සිටියේ දශකයක් එක්ව වැඩකිරීම තුළින් මිනිස් වර්ගයාට පෘථිවිය ආරක්ෂා කර ගත හැකි වනු ඇති බවයි. ඇමෙරිකාව මේ වන විටත් පරිසරයට අහිතකර වායුව ඉතා විශාල වායුගෝලයට මුදාහරිමින් සිටින රටකි. එපමණක් නොව ලොව රටවල් අතරින් සාගර දූෂණය පිළිබඳ වැඩිම චෝදනා එල්ල වන රටක් ලෙසින් ද ඇමෙරිකාව ඉදිරියෙන් සිටින්නේය. චීනය ද විශාල ලෙස කර්මාන්ත සිදුකරන රටක් ලෙස අති දරුණු පරිසර දූෂණයක් සිදු කරමින් සිටී. මේ අන්දමින් බලන විට පෘථිවිය විනාශ කිරීමේ ප්‍රධාන චූදිතයන් වන්නේ ලොව ප්‍රබල රටවල් මිස අන් කිසිවක් නොවේ.
ලෝකයේ ප්‍රබල රටවල ක්‍රියාකාරකම් පිළිබඳ තම කනගාටුව ප්‍රකාශ කරමින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් අන්තෝනියෝ ගුයිටරේස් පවසා සිටියේ පරිසරය ආරක්ෂා කර ගැනීම පිළිබඳ කිසිවකු උනන්දුවක් නොදැක්වීම හේතුවෙන් මෙන්ම රටරටවල ක්‍රියාකාරකම් හේතුවෙන් තමා කලකිරීමට පත්ව සිටින බවයි. ලෝකයේ බලවත්ම රටවල් විස්ස එක්වීමෙන් නිර්මාණය වී තිබෙන ජී 20 සමුළුව අයහපත් වායුව හේතුවෙන් පරිසරයට සිදුවන හානිය වැළැක්වීමට මුල්තැන ගත යුතු බව මහලේකම්වරයාගේ අදහස විය. පරිසරයට මුදා හැරෙන හානිකර වායුන්ගෙන් සියයට 80ක් ම සංවර්ධිත රටවලින් මුදාහරෙන බව පෙන්වා දුන් මහලේකම්වරයා ගෝලීය උෂ්ණත්වය ඉහළ යෑම පාලනය කර ගැනීමට ලොව සියලුම රටවල් එක්විය යුතු බව අවධාරණය කර සිටියේය.
මෙලෙස රාජ්‍ය නායකයන් අදහස් දක්වන අතර විවිධ රටවලින් පැමිණි පරිසර ක්‍රියාකාරීන් ලෝක නායකයන්ට චෝදනා එල්ල කරමින් පවසා සිටියේ ඔවුන් පරිසරය ගැන කිසිදු තැකීමක් නොකරමින් තම ලාභය පිළිබඳ පමණක්ම සිතන බවයි. පෘථිවි ගෝලය ආරක්ෂා කර ගැනීමේ ව්‍යපාරයට ඉතා අඩු වයසින්ම එක්වෙමින් ලෝකයේ ප්‍රසිද්ධ චරිතයක් බවට පත්වූ ස්වීඩන පරිසරවේදිනිකය වන ග්‍රේටා ගන්බර්ග් ද තවත් පරිසර ක්‍රියාකාරීන් 10,000 පමණ පිරිසක් සමඟ මේ සමුළුව පැවැත්වෙන අවස්ථාවේ එහි අවට රැඳී සිටියාය.
මේ පරිසරවේදීන් නොඅඩුව චෝදනා එල්ල කර සිටියේ ලෝකයේ බලවත් රටවලටය. ග්‍රෙටා තන්බර්ග් පළමුවරට ලෝක පරිසර සමුළුව ඇමතූ අවස්ථාවේදී එවකට ඇමෙරිකානු ජනාධිපතිධූරය හෙබවූ ඩොනල්ඩ් ට්‍රම්ප් ග්‍රේටා හඳුන්වා දුන්නේ ‘තම හැඟීම් පාලනය කර ගැනීමට නොහැකි කුඩා දරුවකු’ වශයෙනි. එවර ග්‍රේටා හැඟීම්බර වෙමින් කඳුළු පිරි දෑසින් සමුළුව අමතමින් බලවත් රටවල රාජ්‍ය නායකයන්ට පරිසරය විනාශ කිරීම පිළිබඳ ඍජුවම ඇඟිල්ල දිගු කිරීම එයට හේතුව විය. එහෙත් දැන් වසරකට සෙල්සියස් අංශක 1.5කින් ඉහළ යන ගෝලීය උෂ්ණත්වය මිනිස් වර්ගයාගේ අවසානය උදා කරමින් සිටින බව සියලු දෙනාටම වැටහී ගොස් ඇති වාතාවරණයක් යටතේ ග්‍රේටාගේ අදහස් දැක්වීම කොතරම් සාධාරණදැයි සියලු දෙනාම වටහාගෙන ඇති බවට සැකයක් නැත.
බ්‍රිතාන්‍යයේ එලිසබෙත් රැජින ද සමුළුවට සහභාගී වීමට නියමිතව සිටියද හදිසි හේතුවක් මත ඇය සහභාගී නොවූ අතර චාල්ස් කුමරු සමුළුව අමතමින් පරිසරය ආරක්ෂා කර ගැනීම පිළිබඳ රැස්ව සිටි රාජ්‍ය නායකයන්ගේ අවධානය යොමු කිරීමට උත්සාහ දරුවේය. සමුළුව ඇමතූ තවත් ආරක්ෂණීය චරිතයක් වූයේ ලෝකයේ දැනට සිටින ඉතා දක්ෂතම පරිසරවේදියකු වන ශ්‍රීමත් ඩේවිඩ් ඇටෙන්බර්ග්ය. ඔහු සමුළුව හමුවේ පවසා සිටියේ මිනිස් වර්ගයාගේ අවසානයේ ආරම්භය මෙසේ සනිටුහන් වනු ඇති බවයි.
අප්‍රිකානු රටවලින් සමුළුවට සහභාගී වූ රාජ්‍ය නායකයන් පෙන්වා දුන්නේ ඇතැම් රටවල දැනටම වගාබිම් පාළුවට යමින් තිබෙන්නේ වසරින් වසර දැඩි වන උෂ්ණත්වය හේතුවෙන් බවයි. එබැවින් ඇතැම් අප්‍රිකානු රටවල් මේ වන විටත් සාගතයන්ට මුහුණ දෙමින් සිටින බවත් එසේ වීමට ප්‍රධාන හේතුව ගෝලීය උෂ්ණත්වය ඉහළ යෑම බවත් ඔවුහු පැවසූහ.
මේ අන්දමින් මෙවර ලෝකයේ රාජ්‍ය නායකයන් අතර මෙන්ම ජනතාව අතර ද වැඩි අවධානයක් දිනා ගනිමින් දේශගුණ විපර්යාස පිළිබඳ ලෝක නායකයන්ගේ සමුළුව ක්‍රියාත්මක වූ අතර ඉදිරියේදී මේ සමුළුවේ තීන්දු තීරණ මෙන්ම දැනුම්වත් කිරීම අනුව පෘථිවි ගෝලයේ ආරක්ෂාවට කටයුතු සිද්ධ කිරීමට මිනිසා පෙලඹේ නම් එය සමස්ත මිනිස් වර්ගයාගේම යහපත පිණිස හේතුවනු ඇත.
පෘථිවියේ පැවැත්මට සහයෝගීතාවෙන් වැඩ කරන්න ජනපති ලෝක වාසීන්ගෙන් ඉල්ලයි
පසුගියදා බ්‍රිතාන්‍යයේ ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ නුවරදී පැවැත්වුණු දේශගුණ විපර්යාස පිළිබඳ ලෝක නායකයන්ගේ සමුළුව අමතමින් ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන් පෘථිවියේ පැවැත්ම සඳහා සහයෝගිතාවයෙන් කටයුතු කරන ලෙස සමස්ත ලෝක වාසීන්ගෙන් ඉල්ලා සිටියේය.
නොවැම්බර් මස පළමු වැනිදා සහ දෙවැනිදා ලෝක නායකයන්ගේ හමුව පැවති අතර නොවැම්බර් පළමු වැනිදා සමුළුව ඇමතූ ශ්‍රී ලංකා ජනාධිපතිවරයා පෘථිවි ගෝලයේ ආරක්ෂාව වෙනුවෙන් රටක් ලෙස ශ්‍රී ලංකාව ගෙන ඇති පියවර පැහැදිලි කර සිටියේය. රසායනික පොහොර සීමා කිරීම මඟින් රටේ ජනතාව සෞඛ්‍ය සම්පන්න වනවා පමණක් නොව එහි හිතකර ප්‍රතිඵල පෘථිවි ගෝලයට ද හිමිවන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා එම තීරණය තිරසර හරිත ශ්‍රී ලංකාවක් වෙනුවෙන් රජය ගත් සාධනීය තීරණයක් බව ද පැවසීය.
බුදු දහමින් පෝෂිත වූ සංස්කෘතියක් සහිත ශ්‍රී ලංකාව තුළ වෙසෙන ජනතාව සෑමවිටම පරිසරය ආරක්ෂා කර ගැනීමට කැපවෙන බවත් බෞද්ධ දර්ශනය සෑම විටම පරිසරය හා බැඳි පවතින බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන් එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කළේය.
ශ්‍රී ලංකාව මතු අරමුණු කර සිටින්නේ 2050 වන විට කාබන් විමෝචනය ශූන්‍ය කර ගැනීම බවත් 2030 වන විට ශ්‍රී ලංකාවේ කාබන් වෙන් කිරීමේ ධාරිතාවය සියයට 7කින් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගෙන් සපුරා ගැනීමට අපේක්ෂා කරමින් ෆොසිල ඉන්ධන භාවිතය හැකිතාක් අවම කිරීමට කටයුතු කරමින් සිටින බවත් ජනාධිපතිවරයා තම දේශනයේදී ප්‍රකාශ කළේය.
වසර 2030 වන විට නිකුත් කරන නයිට්‍රජන් අපද්‍රව්‍ය ප්‍රමාණය අඩකින් අඩු කිරීමට උත්සාහ කරන අතර තිරසර නයිට්‍රජන් කළමනාකරණය පිළිබඳ කොළඹ ප්‍රකාශනයට 2019දී ශ්‍රී ලංකාව නායකත්වය දී ඇත. මේ වැඩසටහනට තව තවත් රටවල් එක්වනු ඇතැයි බලාපොරොත්තු වන බව ද ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන් සඳහන් කර සිටියේය.