රජ පවුලක උපත ලබන්න අකමැති කවුද කියලා ඇහුවොත් හැමෝම කියයි, අපි නම් කැමතියි කියලා. රාජ කුමාරයෙක්, කුමාරියක් වෙලා රජ සැප විඳින්න ඇත්තටම කවුද අකමැති? ඒත් මේ රජ පවුල්වල අභ්‍යන්තරය ගැන සැබවින්ම දැනුම්වත් නම් රජ පවුලක ඉපදෙන්න දෙපාරක් හිතන්න වේවි.
රජ පවුල්වල ගෙවෙන ජීවිත එතරම් සුන්දර නෑ කියන්න අහන්න ලැබුණු ආසන්නතම උදාහරණය තමයි පසුගියදා විවාපත් වුණු ජපාන රජ කුමරියගේ කතන්දරය. ඇයට ඇයගේ පාසල් කාලයේ පෙම්වතා සමඟ විවාහ වෙන්න රජ සැප අත හරින්න සිදු වුණා. ඇය ඇත්තටම තවදුරටත් රජ පවුලේ සාමාජිකාවක් ලෙස පිළිගැනීමට ලක් වන්නේ නැහැ. මේ තමයි ජපාන රජ පවුලේ සම්ප්‍රදාය. විවාහය ගැන ඔවුන් දරන්නේ ඉතාම දැඩි මතයක්. හරියට බ්‍රිතාන්‍ය රජ පවුල වගේ. මේ වන විට බ්‍රිතාන්‍ය රජ පවුලේ විවාහ නීති බෙහෙවින් සංශෝධනයට ලක්ව තිබුණත් ජපානයේ නම් මේ නීති තවමත් එසේම පවතින බවට උදාහරණ ජපාන රජ කුමරිය ලෝකයට ලබා දුන්නා.
උපත කියන්නේ තීරණය කළ, නීතිවලින් කොටු කළ නොහැකි දෙයක් වුණත් විවාහය කියන්නේ එසේ නෙමෙයි. එහෙත් විවාහය කියන්නේ ඕනෑම පුද්ගලයකුගේ දෙවැනි උපත බව අමතක කළ යුතු නැහැ. ඒ නිසාම විවාහය පිළිබඳව රජපවුල්වල බොහෝ නීති රීති පනවා තිබෙනවා. එමඟින් උත්සාහ දරා ඇත්තේ රජ පවුල සෙසු සාමාන්‍ය සමාජය සමඟ මිශ්‍ර වීම වැළැක්වීමයි. රජ පවුලක් සාමාන්‍ය ජනතාව සමඟ මිශ්‍ර නොවීම මත රජ පවුලේ අසාමාන්‍ය බව ආරක්ෂා කර ගත හැකි වෙනවා. ඇත්තටම ලෝකයේ රජ පවුල් දිහා බැලුවම පේන්නේ මේ රජ පවුල් හරියට වීදුරු කැබිනට්ටුවක තැබූ ප්‍රදර්ශන භාණ්ඩ හා සමාන බවයි. ඔවුන්ගෙන් පොදු සමාජයට ප්‍රයෝජනයක් නොමැති තරම්. ඒත් ඔවුන් තමන්ගේ රටේ ආර්ථිකයට විශාල බරක් වෙමින් නඩත්තු වෙමින් පවතිනවා. ජනතාව අතරින් වැඩි දෙනා දැන් දැන් මේ රජ පවුල්වලට විරෝධය දක්වන්නේත් මේ හේතුව මතයි. එහෙත් බ්‍රිතාන්‍ය ඇතුළු රටවල් රැසක් තම රටවල රජ පවුල් නඩත්තු කරන්නේ අතීත උරුමය ගැන ආඩම්බර වෙමින්.
ඉතින් අන්න ඒ අතීත උරුමය, සහ රාජකීය සම්ප්‍රදාය වෙනුවෙන් තම ජිවිත එහෙම්පිටින් කැප කරන්න ඇතැම් අවස්ථාවලදී රජ පවුල්වල සාමාජිකයන්ට සිදු වෙනවා. අන්න එතනැදී තමයි ඇත්තටම රජ පවුලක උපත ලැබීම වාසියක්ද? සාපයක්ද කියලා හිතන්න වෙන්නේ.
අපි ආපහු බලමු ජපාන රජ කුමරිය දිහා. මාකෝ කුමරිය ගේ සිත දිනාගත් කී කොමුරෝ සාමාන්‍ය පවුලක සාමාජිකයෙක්. එපමණක් නොවෙයි. ඔහුගේ මවට ඇතැම් අවස්ථාවල මූල්‍ය ගැටලු සම්බන්ධ චෝදනා ද එල්ල වී තිබුණා. කුමරිය සහ කී කොමුරෝ එකිනෙකා හමුවූයේ උසස් අධ්‍යාපනය ලබමින් සිටියදී. අධ්‍යාපනය ලැබීමෙන් පසුව කී කොමුරෝ නීතීඥයකු ලෙස වෘත්තියමය ජීවිතය ආරම්භ කළා. ඔවුන් දෙදෙනාගේ සම්බන්ධය සම්බන්ධයෙන් ජපාන ජනතාව නම් වැඩි කැමැත්තක් දැක්වූයේ නැහැ. ඇතැම්විට ඔවුන් අතරින් කෙනකු රජ කුමරිය සමඟ විවාහ වීම ඔවුන්ට නපුරු සිහිනයක් වැනි වූවා විය හැකියි. රජ පවුල උතුම්, ඔවුන් රජවරු, අපි සාමාන්‍ය මිනිස්සු. වැඩි දෙනා රජ පවුල දකින්න කැමති එහෙමයි. ඉතින් රජ පවුල්වල විවාහ සම්බන්ධයන් වටා නීති සහ සම්ප්‍රදායන් බිහි වන්නේ එහෙමයි. ඒත් මේ ජනමතයට හෝ නීති සම්ප්‍රදායන්ගෙන් කොටු වීමට මාකෝ කුමරිය කටයුතු කළේ නැහැ. ඇය කී කොමුරෝ සමඟ විවාහ වීමට ගත් තීරණය වෙනස් නොකරමින් ඒ වෙනුවට රජ පවුලේ සාමාජිකත්වයෙන් ඉවත් වීමට තීරණය කළා. එය සැබවින්ම නිර්භීත තීරණයක්.
ඇය තම විවාහය ගැන පැවසීමට මාධ්‍ය හමුවක් කැඳවූවා. එහිදී ඇය කියා සිටියේ තමා ආදරය කරන පුද්ගලයකු සමඟ විවාහ වීමට ලැබීමට භාග්‍යයක් බවයි.
මාකෝ ගේ මේ ප්‍රකාශය ලෝකයේ බොහෝ රජ පවුල්වල පවුරු පදනම් දෙදරවා දැමීමට සමත් වනවා ඇති. ඒ රජ පවුලක ඉපදීම හෝ රජ පවුලකට සම්බන්ධ වීම හේතුවෙන් බොහෝ දෙනාට තම තමන් ආදරය කළ අයගෙන් වෙන් වෙන්නට සිදුවීමයි.
මේ සඳහා හොඳම උදාහරණය බ්‍රිතාන්‍ය රජ පවුලෙන් ලබා දිය හැකියි. බ්‍රිතාන්‍ය රජ පවුලට විවාහ සම්බන්ධයකින් සම්බන්ධ වූ ඩයනා කුමරිය තරම් අන් කිසිවෙක් රාජකීය සම්ප්‍රදායන් නිසා විඳවන්නට නැතිව ඇති. ඇය පමණක් නොවෙයි, තමන්ගේ ප්‍රේමය වුණූ කැමිලා අත්හැර දමා ඩයනා සමඟ රජකම වෙනුවෙන් විවාහ වුණු චාල්ස් කුමරා ගැනත් අමතක කළ යුතු නැහැ. ඩයනාගේ මරණයෙන් පසුව කුණාටු සිඳී ගොස් සන්සුන් වූ මුහුදක කැමිලා සමඟ විවාහ වූ චාල්ස් අවසානයේදී තම විමුක්තිය උදා කර ගත්තා. ඒත් ඒ වන විට ඔහුගේ ජීවිතයේ හොඳම කාලය ගෙවී ගොස් අවසන්. සිදුවූ මේ ඛේදවාචකයන් නිසාම රජ පවුල හැරී කුමරාගේ විවාහයේදී බොහෝ ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කළා. ඒත් ඇත්තටම රජ පවුලේ සම්ප්‍රදායන් ගත් බිලි පූජා අමතක කළ හැකිද?
බ්‍රිතාන්‍ය රජ පවුලේ අතීතයේ නම් චාල්ස් කුමරුට වඩා නිර්භීත සාමාජිකයන් සිටි බවට වාර්තා තිබෙනවා. ඒ අතරින් ඇතැමුන් තමා ආදරය කරන කාන්තාව විවාහ කර ගැනීම වෙනුවෙන් රජකම අතහැරීමට තරම් නිර්භීත වූවා. ඒ අතරින් ඉදිරියෙන්ම සිටින්නේ අට වැනි එඩ්වඩ් රජතුමායි.
ඇතැම් රටවල රජ පවුල්වල සාමාජිකයන් මේ විදිහට සම්ප්‍රදායන් නිසා ජීවිත අවුල් කර ගන්නා කොට, තේරීම් කරනකොට නෙදර්ලන්තයේ රජ පවුලේ සාමාජිකයන් නම් ඉතාම වාසනාවන්ත වෙමින් ඉන්නවා. ඒ, එරට සාමාන්‍ය ජන සමාජයේ තිබෙන නිදහස ඔවුන්ටත් ලැබෙමින් තිබෙන නිසා. නෙර්ලන්තය කොහොමත් නූතනවාදී සමාජයක් සහිත රටක්. ඔවුන් තම ජනතාවට බෙහෙවින් නිදහස සහිත සමාජයක් ස්ථාපිත කිරීමට සමත් වී තිබෙනවා. ඒ නිදහස රජ පවුලේ සාමාජිකයන්ටත් ලබා දෙමින් ඔවුන් පසුගියදා නීතියක් සම්පාදනය කර සිටියේ රජ පවුලේ සාමාජිකයන්ටත් තමන්ට කැමති සහකරුවකු සමඟ විවාහ වීමේ අවසරය ලබා දෙමින්. එතනදී ඒ සමකරුවා සමලිංගිකයකු වුවද ගැටලුවක් නැති බවයි නෙදර්ලන්ත ව්‍යවස්ථාදායකය ප්‍රකාශ කර සිටියේ. එසේ තමන්ට කැමති සහකරුවා තෝරා ගැනීමේදී රජ පවුලේ සාමාජිකත්වය අහිමි වීමක් සිදු වන්නේ නැහැ. ඒ කියන්නේ රජකම ද ප්‍රේමය ද? කියලා තේරීමක් කරන්න රජ පවුලේ සාමාජිකයන්ට සිදු වන්නේ නැහැ. වෙනත් රටවල රජ පවුල්වල සාමාජිකයන් මේ නිසාම නෙදර්ලන්ත රජ පවුලට ඊර්ෂ්‍යා කරනවාට සැකයක් නැහැ.
මැදපෙරදිග කලාපයේ රටවල් කිහිපයකම රජ පවුල් පවතිනු දැක ගන්නට පුළුවන්. සෞදි අරාබිය, ඕමාන්, බහරේන්, ජෝර්දානය වගේ රටවලත් රජ පවුල් සිටිනවා. මේ රටවල මුස්ලිම් නීතියට අනුව රජ පවුලේ සම්ප්‍රදායන් සමන්විත වනවා. ඒ වගේම බහුභාර්යා සේවනය ඔවුන්ගේ රටවල සාමාන්‍ය දෙයක් වන නිසා රජ පවුල්වල විවාහ සම්ප්‍රදායන්වලදී ගැටලු මතුවන්නේ නැති තරම්.
ලෝකයේ රජ පවුල් අතරින් සැබෑම රාජකීය දිවියක් ගෙවන්නේ බෘනායි රජ පවුල කිව්වොත් නිවැරදියි. රටට හිමි තෙල් සම්පත නිසාම අතිශය කුමාර දිවියක් ගෙවීට තරම් වත්කම් මේ රජ පවුල සතුයි. ඒ වගේම අප්‍රිකානු රටක් වන ස්වාසිලන්තයේ රජ පවුල රජ සැප විඳින්නේ රටේ ජනතාව දහදුක් විඳිද්දී බව අමතක කළ යුතු නැහැ.
රජ පවුල අපට එපා කියලා තායිලන්ත ජනතාව උද්ඝෝෂණය කරන්නට ගත්තේ තායි හිටපු රජතුමාගේ පුතා රජකම බාර ගත්තට පස්සේ. ඉතා සාමකාමීව සාධාරණව රජකම හෙබවූ භූමිබෝල් රජතුමා ගෙන් පසු රජකම හිමි වූයේ වජිර ලොන්කොන් රජතුමාට. එහෙත් ඔහුගේ බීමත් හැසිරීම සහ නිමක් නොවන කාන්තා සේවනය නිසාම රජ පවුල ම තායි ජනතාවට එපා වෙලා. ඔවුන් කියන්නේ තවදුරටත් මේ සුදු අලි නඩත්තු කරන්න ඔවුන්ට බැහැ කියලයි. මේ උද්ඝෝෂණවලට රජතුමා වැට බැන්දේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යොදාගෙන. ඒ අනුව ජනතාවට රජ පවුල විවේචනය තහනම්. ඒ නිසාම තායි රජ පවුලේ සාමාජිකයන් නම් ජනතාව ගහලා එළවන තෙක් ම රජ සැප විඳින්නයි සූදානම.
භූතානයේ රජතුමා දැඩි කැපකිරීමක් කරන්නේ තම රටේ ජනතාවට යහපතක් කරන්නයි. සංචාරක කර්මාන්තය වර්ධනය කරලා ආර්ථීකය ගොඩ දාගැනීමයි ඔහුගේ අරමුණ. නේපාලයේ රජ පවුලේ රජ කුමාරයා නව සහශ්‍රය ආරම්භයේදී තුවක්කුවක් අරගෙන ගිහිල්ලා රජතුමා සහ රැජිනත් ඇතුළු රජ පවුලේ සාමාජිකයන් ගණනාවක් මරලා දැම්මේ තමන්ගේ පෙම්වතිය විවාහ කර ගැනීමට විරුද්ධ වුණූ නිසයි.
මේ වන විට මුළු ලෝකයේම රජ පවුල් 25ක් පවතිනවා. මේ රජ පවුල් 25ම බැලුවොත් මේ වගේ අස්කොන් ඕනෑ තරම් දැක ගන්නට පුළුවන්. ඉතින් රජසැප, මිල මුදල්, අතට පයට දැසි දසුන් ඕනෑ තරම් ඔවුන් සතු වේවි. ඒත් ඒ සමඟින් සාමාන්‍ය මිනිසුන් විඳින නිදහස නම් ඔවුන්ට බෙහෙවින් හිඟ බවක් තමයි පෙනෙන්නට තියෙන්නේ. ඉතින් ඔබම හිතන්න... වැඩිය වටින්නේ රජ සැප ද? නිදහස ද?