පිහි පහ‍ෙරන් එළොව ගිය බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී | සිළුමිණ

පිහි පහ‍ෙරන් එළොව ගිය බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී

අවසන් කටයුතු සිදුකෙරමින්

ත්‍රස්තවාදී ක්‍රියා හේතුවෙන්, යුධමය තත්ත්වයන් හේතුවෙන් මෙන්ම දරිද්‍රතාව හේතුවෙන් සංක්‍රමණිකයන් තම රටතුළට වද්දා ගැනීමේ අයහපත් අතුරු ප්‍රතිඵලවලට ලොව විවිධ රටවල් දිගින් දිගටම මුහුණ දෙමින් සිටිනු හඳුනාගත හැකිය. පසුගියදා නවසීලන්තයෙන් වාර්තා වූ පිහි ඇනුම් සිදුවීමද ඒ සඳහා ඉතා හොඳ උදාහරණයකි. එහෙත් වඩාත් කනගාටුදායක තවත් එවැනි සිදුවීමක් පසුගිය 15 වැනිදා බ්‍රිතාන්‍යයෙන් වාර්තා විය.

 

ඒ සංක්‍රමණිකයකුගේ පිහි පහරට ලක්ව බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු මරණයට පත් වීමේ සිදුවීමයි. මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ශ්‍රීමත් ඩේවිඩ් ආමේස් ය. ඔහු පිහි ප්‍රහාරයට ලක්ව ඇත්තේ එසෙක්ස් ප්‍රාන්තයේ ‘ලේහ් - ඔන් - සී‘ නම් ප්‍රදේශයේදීය. මේ පිහි ප්‍රහාරය එල්ල කර ඇත්තේ 25 හැවිරිදි පුද්ගලයකු බවත්, ඔහු සෝමාලියානු ජාතිකයකු බවත් පොලීසිය විසින් අනාවරණය කර තිබේ. මේ පුද්ගලයා සංක්‍රමණිකය වශයෙන් බ්‍රිතාන්‍යයට පැමිණ ඇති අතර අන්තවාදී මුස්ලිම් සංවිධානයක සාමාජිකයකු ලෙසින්ද කටයුතු කරමින් සිටින බවද පොලීසිය මාධ්‍ය වෙත පවසා තිබේ.

දැනට වාර්තා වී ඇති අන්දමට පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රීමත් ඩේවිඩ්හට මේ සංක්‍රමණිකයා පිහි පහර කිහිපයක්ම එල්ල කර ඇත්තේ තුවාල හේතුවෙන් සිද්ධිය වූ ස්ථානයේදීම ඔහු මරණයට පත්වන අන්දමිනි. මේ පුද්ගලයා ‘අලී හරීබ් අලී‘ නම් ව බවද පොලීසිය මාධ්‍ය වෙත පවසා තිබේ. බ්‍රිතාන්‍යය තුළ ක්‍රියාත්මක ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ 41වන වගන්තිය අනුව මේ පුද්ගලයා ප්‍රශ්න කිරීම සඳහා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන රඳවා ගැනීමට කටයුතු කර ඇත.

මේ සිදුවීම සම්බන්ධව වාර්තාවක් ඉදිරිපත් කරමින් බීබීසී සේවය දක්වා ඇත්තේ මීට පෙර අවස්ථාවකදී ශ්‍රීමත් ඩේවිඩ් බ්‍රිතාන්‍ය තුළ ත්‍රස්ත ක්‍රියා වැළැක්වීම සඳහා දැඩි සේ කටයුතු කළ යුතු යැයි පාර්ලිමේන්තුව තුළ විශාල හඬක් නැංවූ බවයි. එහෙත් බ්‍රිතාන්‍ය ඔත්තු සේවාව වන MI5 බුද්ධි අංශයේ ත්‍රස්ත තර්ජනවලට මුහුණ දී සිටින බ්‍රිතාන්‍ය ජාතිකයන්ගේ ලැයිස්තුවේ ශ්‍රීමත් ඩේවිඩ් නොසිටි බවද සඳහන්ය.

ශ්‍රීමත් ඩේවිඩ් බ්‍රිතාන්‍යයේ කන්සර්වටිව් පක්ෂයේ කීර්තිමත් සාමාජිකයකු වන අතර 1983 සිට එරට පාර්ලිමේන්තුව නියෝජනය කරන්නෙක්ද වේ. සිදුවීම වන අවස්ථාවේදී මන්ත්‍රීවරයා තම නිවසේ රැඳී සිටි අතර නිවසට ඇතුළු වූ ත්‍රස්තවාදියා ඔහුට පිහි පහර එල්ල කර තිබේ. මේ අවස්ථාවේ මන්ත්‍රීවරයාගේ කාර්ය මණ්ඩලයට සිද්ධිය වූ ස්ථානයේ සිට ඇත. මන්ත්‍රීවරයා වෙත අමුත්තන් කැඳවාගෙන යෑමේ යෙදී සිටි කාන්තාව මන්ත්‍රීවරයාට පිහිපහර එල්ල වූ සැණින් එම ස්ථානයේ සිට භීතියෙන් කෑ ගසමින් පිටතට දිව ගෙන පැමිණි බව සාක්ෂිවල සඳහන් වී තිබේ.

මේ වන විට පිහි ඇනුම සිදු කළ පුද්ගලයා තවත් පුද්ගලයන් සමඟ සබඳතා සහිතද යන්න සොයා බැලීමට පොලීසිය පරීක්ෂණ පවත්වමින් සිටින බව සඳහන්ය. කෙසේ වුවද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ඝාතනය කිරීමට තරම් බිහිසුණු ත්‍රස්තවාදීන් රටතුළ ක්‍රියාත්මකව සිටින බව තහවුරු වීම බ්‍රිතාන්‍ය ආණ්ඩුවට මෙන්ම එරට ආරක්ෂක අංශවලටද සැනසීමට කරුණක් නම් නොවනු ඇත. ආගමික අන්තවාදය සහ බැඳුණු ත්‍රස්තවාදය මුළු ලොවටම පිළිලයක් වී ඇති බවට තවත් උදාහරණ අවශ්‍ය නැත.

 

Comments