
'මම මේ දුවලාගෙන්, පුතාලාගෙන් එක දෙයක් ඉල්ලන්න කැමැතියි. ඒ තමයි කවදාවත් මුදල් හම්බ කරන්න හිතාගෙන ක්‍රිකට් ක්‍රීඩාවට යොමුවෙන්න එපා කියලා. දැන් ඔය පී.එල්. තරග නිසා තමයි මෙවැනි තත්ත්වයක් නිර්මාණය වෙලා තිබෙන්නේ. මම දැක්කා එක්තරා පී.එල්. තරගයක් අතරතුර එක ක්‍රීඩකයෙක් පිති හරඹයෙන් දස්කම් දක්වද්දී දානවා අසවල් පානය බීලා තමයි ඔහුට ශක්තිය ආවේ කියලා. ඒ වෙළෙඳ උපක්‍රම. මේවා මගින් තමයි ක්‍රිකට් ක්‍රීඩාව හා ක්‍රීඩකයා මුදලට හසුවීම පෙන්නුම් කරන්නේ. ගමේ අල, බතල, කොස්, දෙල් කාලා මේ තත්ත්වයට ආපු ක්‍රීඩකයා අන්තිමට දැන්වීමකට ඇවිත් පෙනී සිටිමින් කියනවා මම මේ තැනට ආවේ අසවල් දේවල් කාලා කියලා.
මම කවදාවත් වෙළෙඳ දැන්වීම් වලට හිටියේ නෑ. ඒ කාලේ මට තමයි ලොකුම මිලක් ගෙවලා දැන්වීම්වලට පෙනී සිටින්න ඉල්ලීම් ආවේ. නමුත් මම ප්‍රතිපත්තියක් වශයෙන් වෙළෙඳ දැන්වීම්වලට පෙනී සිටියේ නෑ. මගේ අම්මා මට කිව්ව දෙයක් තමයි කවදාවත් තමුන්ගේ පෙනුම, දක්ෂතාවය සමාජයට පෙන්වන්න දැන්වීම්වලට ඉන්න එපා කියන එක. මම ඒ දේ තේරුම් අරගෙන දැන්වීම් අතහැරියා,' යැයි 1996 ලෝක කුසලානය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකයා හා මෙරට බිහිකළ සුපිරි ක්‍රිකට් නායකයකු හා ක්‍රීඩකයකු ලෙස නම් කළ හැකි අර්ජුණ රණතුංග පැවැසී ය. ඔහු මේ බව ප්‍රකාශ කළේ කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පැවැති, ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්තිපත්‍ර සමා-ගමේ සන්ඩේ ඔබ්සර්වර් පුවත්පත හා එස්එල්ටී මොබිටෙල් ආයතනය එක්ව සංවිධානය කර තිබූ 43 වැනි 'ඔබ්සර්වර්-එස්එල්ටී මොබිටෙල්' සම්මාන උළෙලේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් එක්වෙමිණි.
ප්‍රධාන ආරාධිතයාගේ දේශනයේ දී ඔහු පවසා සිටියේ ක්‍රිකට් ක්‍රීඩාව නිවැරැදිව හා අවංකව සිදුකරන විට මුදල්, පිළිගැනීම හා වාර්තා නිරතුරුව තමන් වෙත ළඟාවන බවයි. තමන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් කිසිවක් කතා කරන්නට මෙය අවස්ථාවක් කර නොගන්නා බව පැවසූ ඔහු පසුගිය වසර කීපය තුළ ක්‍රීඩා ඇමැතිවරුන්, ජාතික ක්‍රිකට් තේරීම් කමිටු, ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නායකයන්, ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් රැසක් වෙනස් වුව ද තවමත් ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය වෙනස් නොවෙන තරමට ඔවුන් ප්‍රබල බව පමණක් සිහිපත් කළ යුතු යැයි ද පැවැසී ය.
'මම ඔබ්සර්වර්-එස්එල්ටී මොබි-ටෙල් සම්මාන උළෙල පැවැත්වෙද්දී රටේ ඉන්නවා නම් එහෙමත් නැත්නම් ලොකු අසනීප තත්ත්වයක් නැත්නම් අනිවාර්යයෙන් සහභාගි වෙනවා. මමත් මීට දසක හතරකට පෙර මෙම සම්මාන උළෙලේ වේදිකාවේ දී සම්මානයට පාත්‍රවෙලා තිබෙනවා,' යැයි ද ඔහු සිය අතීතය සිහිපත් කළේ ය.
තමන් ක්‍රිකට් ක්‍රීඩාව ආරම්භ කළ සමයේ මෙය සුපිරි පැලැන්තියට සීමා වුණු ක්‍රීඩාවක් වූ නමුත් එකල එම ක්‍රීඩාව ගමට රැගෙන යෑමේ දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදු වූ බවත් ක්‍රිකට් ක්‍රීඩාව මෙම තත්ත්වයට වර්ධනය කිරීමට අවස්ථාව උදා වූයේ ඒ හේතුවෙන් බවත් හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායකයා පැවැසී ය.
'මම කොළඹ එස්.එස්.සී. ක්‍රීඩා සමාජයට බැඳෙද්දී මට කිව්වේ 'මරිය කඩේ කොල්ලා' කියලා. මොකද මම ගමෙන් ආපු කොල්ලෙක්. මගේ ගම ගම්පහ, උඩුගම්පොළ. අගනුවරට කිලෝ මීටර් 25 ක් දුරින් පිහිටි ග්‍රාමීය ප්‍රදේශයකින් මම ආවේ. මගේ මුල්ම පාසල ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලය. එතැනින් මට කොළඹ ආනන්ද විදුහලට එන්න අවස්ථාව ලැබුණේ මගේ අම්මා ගුරුවරියක් වීමත් ඇයට ආනන්ද විදුහලට ගුරු මාරුවක් හිමිවීමත් නිසයි. මට කොළඹ එන්න නොහැකි වුණා නම් අද අර්ජුණ රණතුංග කියලා කෙනෙක් මේ වේදිකාව උඩ නෑ. මට මෙතැනට එන්න හැකි වුණේ කොළඹට ඇවිත් ක්‍රිකට් ක්‍රීඩාව කරපු නිසයි. මට මතකයි මගේ පළමු ටෙස්ට් නායකයා බන්දුල අයියා (බන්දුල වර්ණපුර) කියපු දෙයක්. ඔහු කිව්වා ක්‍රිකට් හැකි තරම් ගමට රැගෙන යා යුතුයි කියලා. මම හිතන්නේ බොහෝ ක්‍රීඩකයන් මේ වෙනුවෙන් අප්‍රතිහත ධෛර්යයකින් වැඩ කළා. අපිට 1996 ලෝක කුසලානය දිනන්න පුළුවන් වුණේ ඒ නිසයි. එතැන දී පාසල් ක්‍රිකට් ක්‍රීඩාව තමයි තෝතැන්න නිර්මාණය කළේ. පාසල් ක්‍රිකට් නොවෙන්න අපිට ක්‍රිකට් ක්‍රීඩාවෙන් මෙතැනට එන්න බෑ. ඒ නිසයි මම ක්‍රිකට් සභාපති ව සිටි කාලයේ පාසල් තුන්සියයකට පමණ ක්‍රීඩා භාණ්ඩ බෙදා දෙමින් ක්‍රිකට් ක්‍රීඩාව සිදු කිරීමට ඇති හැකියාවන් වැඩිදියුණු කරන්න උත්සුක වුණේ. අද කොළඹ පාසලකට ක්‍රිකට් ක්‍රීඩාව කරන්න අසීරු නම් ගමක පාසලකට ක්‍රිකට් ක්‍රීඩාවේ නියැළීම කොයි තරම් අමාරු ද කියන කාරණය ගැන කිව යුතු නෑ. නමුත් එතරම් වැදගත් ව්‍යූහයක් වන පාසල් ක්‍රිකට් සංගමයට මොකක්ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තුළ ඇති පිළිගැනීම. ක්‍රීඩාංගණයක් නැති, ක්‍රීඩකයන් නැති සමහර අනුබද්ධ ක්‍රීඩා සංගම්වලට මෙන්ම පාසල් ක්‍රිකට් සංගමයට ද නිලවරණයක දී හිමිවන්නේ ඡන්ද දෙකක් පමණයි. අපි පාසල් ක්‍රිකට් සංගමයට සලකන ආකාරය ප්‍රමාණවත් නෑ,' යැයි ද අර්ජුණ රණතුංගයන් පැවසූවේ ය.
එහි දී තවදුරටත් අදහස් දැක්වූ හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායකයා සිහිපත් කළේ තමන් නායකත්වය දුන් කණ්ඩායමට 1996 වසරේ ලෝක එක්දින ක්‍රිකට් කිරුළට හිමිකම් කීමට හැකි වුණේ මුද-ලට, පෞද්ගලික වාර්තාවලට, ශතකයන් සම්බන්ධයෙන් වන ඉල-ක්කවලට යොමු නොවූ ක්‍රීඩකයන් කණ්ඩායමට ද නායකත්වය ලබාදුන් නිසා බවයි. ‘අපි එදා හැදුවේ කණ්ඩායම්. නමුත් දැන් හදන්නේ, හැදෙන්නේ ක්‍රීඩකයෝ. තනි තනි ක්‍රීඩකයෝ හදලා රටක් වශයෙන් තරග දිනන්න බෑ. අපි හැදිය යුත්තේ ශක්තිමත් කණ්ඩායම්. මගේ කණ්ඩායමේ හිටිය අරවින්ද ද සිල්වා කියන්නේ තව වසර පනහකට, හැටකට මෙපිටින් ආයේ බිහිකර ගත නොහැකි ක්‍රීඩකයකුට. බොහෝ වෙලාවට ඔහු යි, මමයි තමයි පිටියේ එකට ක්‍රීඩා කළේ. එතකොට මම ඔහුගේ පිති හරඹය ළඟින් ම දැකලා තිබෙනවා. ඇත්තට ම ඔහු අසමසම ක්‍රීඩකයෙක්. ඒ වගේ ක්‍රීඩකයෙක් තමන්ගේ ඉලක්කවලට, ශතකවලට ක්‍රිකට් ගැහුවේ නෑ. එහෙම ගැහුවා නම් ඔහුට තව බොහෝ දේවල් දිනාගන්න තිබුණා. නමුත් ඔහු සැමවිට ම ක්‍රීඩා කළේ කණ්ඩායමට, කණ්ඩායමේ ජයග්‍රහණයට. සනත් ජයසූරිය, මුත්තයියා මුරලිදරන්, චමින්ද වාස් වගේ මගේ කණ්ඩායමේ සිටිය හැම ක්‍රීඩකයෙක් ම ඒ වගේ. දැන් අපේ ක්‍රිකට් වැටිලා තිබෙන තත්ත්වයට හේතුව ක්‍රීඩකයෝ හදන්න හැදුවාට, කණ්ඩායම් හැදුවේ නැති එකයි. මම අද සම්මාන ලබාගන්න පැමිණි දුවලා, පුතාලාගෙන් ඉල්ලන්නේ ක්‍රිකට් ක්‍රීඩාව හරියට අවංක ව කරන්න. එවිට ඔබට පිළිගැනීම වගේ ම සෙසු වටිනාකම් නිකම් ම ලැබේවි. නමුත් වෙන පටු දේවල් ඉලක්ක කර ගෙන ක්‍රිකට් ක්‍රීඩාවේ නියැළෙන්න උත්සාහ කරන්න එපා කියලයි.’ යැයි ද අර්ජුණ රණතුංගයන් වැඩිදුරටත් සඳහන් කළේ ය.
ඡායාරූප - ජගත් ඉරෝෂණ