ඔස්ට්‍රියාවේ ග්ලැසියර් යට අද්භූත ලෝකයක් | Page 9 | සිළුමිණ

ඔස්ට්‍රියාවේ ග්ලැසියර් යට අද්භූත ලෝකයක්

ඔස්ට්‍රියාවේ උතුරු ඇල්ප්ස් ප්‍රදේශය වසා ගනිමින් පැතිර පැවති අති විශාල අයිස් ග්ලැසියර මේ වන විට පවතින්නේ ශීඝ්‍රයෙන් දියව යමිනි. මේ ග්ලැසියර දියවීමට හේතු සොයා එම ග්ලැසියර අභ්‍යන්තරය පරීක්ෂා කිරීමට ගිය විද්‍යාඥයන්ට දැක ගැනීමට ලැබී ඇත්තේ අද්භූත ලෝකයකි.

දියව යමින් පවතින ග්ලැසියරවල පොළොවට ආසන්න කොටස්වල අති විශාල ගුහා හෑරෙමින් පවතින අතර විද්‍යාඥයන් මේ ගුහා අභ්‍යන්තරයට ගමන් කර තිබේ. එම ගුහා අභයන්තරය සැබවින්ම දිස්ව ඇත්තේ පිටසක්වලක් වැනිව බව ඔවුන්ගේ අදහස විය. ඔවුන් ලබා ගත් ඡායාරූප දිස්ව ඇත්තේද විවිධ වර්ණයෙන් යුතු, විවිධ හැඩතලවලින් යුතු අමුතුම භූ විෂමතාවන්ගෙන් යුතු ප්‍රදේශයකි.

මෙවැනි හැඩතල සහ වර්ණ ඇති වීමට හේතුව කුමක්දැයි මේ වන විට විද්‍යාඥයන් පර්යේෂණ පවත්වමින් සිටිති. ඔවුන් පවසන්නේ සැබෑ ගැටලුව ඇත්තේ දියව යන ග්ලැසියර මතු කළ හැඩතලවල නොව දියව යන ග්ලැසියරවල බවයි. මේ වන විට ඔස්ට්‍රියාව වසා පවතින ග්ලැසියර 10ක් පමණ දියව යෑමේ අනතුරට මුහුණ දී තිබේ. ඒ අතරින්ද නැගෙනහිර ඇල්ප්ස් ග්ලැසියරය බේරා ගැනීමට නොහැකි බව විද්‍යාඥයන්ගේ අදහසයි. සෙසු ග්ලැසියර දියව යමින් පැවතුනද ඒවා ආරක්ෂා කර ගැනීමට ඔස්ට්‍රියානු රජය මහත් පරිශ්‍රමයක් දරමින් සිටී. ඔවුන් නිශ්චිත කාල සීමාවන්ට අනුව මේ ග්ලැසියරවල මැනීම් කටයුතු සිදු කරමින් ඒවායේ තත්ත්වය පිළිබඳ වාර්තා ලබා ගනිමින් සිටිති. එමෙන්ම ග්ලැසියර දියව යෑමට නිශ්චිත හේතුව සොයා ගැනීමටද ඔවුන් මහත් පරිශ්‍රමයක් දරමින් සිටිති.

ඔවුන් වඩාත් කුතුහලයට පත්ව ඇත්තේ ග්ලැසියර අතරින් නිර්මාණය වී ඇති මේ ගුහා සම්බන්ධවය. මේ ගුහා මෙලෙස නිර්මාණය වීමට ප්‍රධාන වශයෙන්ම බලපා ඇත්තේ කුමක්දැයි සිතා ගැනීමට නොහැකි බව ඔවුන් පවසා තිබේ. එබැවින්ම මේ ග්ලැසියර් ගුහා පිටසක්ව නිර්මාණයක් සේ සිතීමට තරම් සොඳුරු බවද ඔස්ට්‍රියානු විද්‍යාඥයෝ වැඩිදුරටත් පවසති.

 

Comments