කොවිඩ් නිසා නොපැරදුණු බැංකොක් වැසියන්ගේ කාර් වගාව | Page 7 | සිළුමිණ

කොවිඩ් නිසා නොපැරදුණු බැංකොක් වැසියන්ගේ කාර් වගාව

 

කොවිඩ් වසංගතය ලොව පුරා මිලියන ගණන් ජනතාවට රැකියා අහිමි කරලා අවසන්. සංචාරක ව්‍යාපාරය ඒ අතරින් ප්‍රධානයි. සෑම රටකම පාහේ සංචාරක මඟ පෙන්වන්නන් ලෙස කටයුතු කළ පුද්ගලයන් මේ වෙනකොට වෙනත් රැකියාවලට පෙලඹිලා. නැත්නම් රැකියා සොයමින් ඉන්නවා. ඒ වගේම සංචාරක ව්‍යාපාරය හා බැඳුණු තවත් අතුරු රැකියාවල නිරතවූ මිලියන ගණන් ජනතාව කබලෙන් ලිපට වැටිලා. විරැකියාව හැමතැනම. එහෙමයි කියලා මිනිස්සුන්ට පුළුවන් කුසගින්නේ ඉන්න. තමන්ගේ දරුපවුල් ගැන නොබලා ඉන්න. ඉතින් තමන්ගේ රැකියාව තවදුරටත් කරගෙන යන්න බැරි වුණත් මිනිසුන් පෙලඹෙනවා විකල්පවලට.

 

මේ කියන්න යන්නේත් එවැනි විකල්පයක් තෝරා ගත් මිනිසුන් ගැන. මේ මිනිසුන් ඉන්නේ තායිලන්තයේ බැංකොක් නගරයේ. කොවිඩ් වසංගතය පැතිර යන්නට පෙර ඔවුන් කටයුතු කළේ ටැක්සි රියැදුරන් වශයෙන්. ටැක්සි රියැදුරන් කියන්නේ සංචාරක ව්‍යාපාරයේ අතුරු රැකියාවක් වශයෙන් හඳුනා ගන්නට පුළුවන්. ඉතින් වසර දෙකක පමණ කාලයක් කිසිම සංචාරකයෙක් රටට නොපැමිණෙන වාතාවරණයක් යටතේ ටැක්සි රියැදුරන්ට තවදුරටත් නිරතවීමට රැකියාවක් කියලා දෙයක් ඉතිරි වන්නේ නැහැ. මේ ටැක්සි රියැදුරන්ගෙන් බහුතරයක් දෙනා ගොඩක් දුරබැහැර සිට බැංකොක් වෙත පැමිණි අය. ඉතින් ආදායමක් නොලැබෙන විට ඔවුන් බොහෝ දෙනා තම ගම්රටවල් බලා ගිහින්. ඔවුන් ධාවනය කළ මෝටර් රථ පමණක් එක පෙළට නැවතුම්වල නතර කරලා. මේ වාහන තිබෙන්නේ දිරාපත් වෙමින්. ධාවනය නොකළ නිසාම මේ වාහනවල ටයර් අබලන් වෙලා. එන්ජින් ඇතුළු පද්ධති ප්‍රතිසංස්කරණය කරන්න වෙලා.

මාස ගණනාවක් එක තැන දිරාපත්වන මේ මෝටර් රථ දිහා බලාගෙන මේ මෝටර් රථ අයත් ටැක්සි සමාගමේ හිමිකරුවන් එක දිගට කල්පනා කළා. මේ මෝටර් රථවලින් ඇතැම් ඒවා මිලදී ගන්න ලබා ගත් ණය මුදල් තවමත් ගෙවලා නිම කර නැහැ. ඒත් ඒවා දිරාපත් වෙනවා. එතනදී ඔවුන්ගේ සිතට අදහසක් එනවා. සොහොන් බිමක් වගේ එක පෙළට නතර කරලා තියෙන මේ මෝටර් රථවලින් අඩුම තරමේ මිනිසුන්ගේ කුසගින්න හරි නිවන්න පුළුවන් නම්.

ඔව්. ඒ අදහස ඉතා වැදගත්. ටැක්සි සමාගම ගෙන එන්නේ කුණු බැහැර කිරීමට යොදා ගන්නා බෑග්. ඒ වගේම උණ බට. ඔවුන් මේ උණ බට වලින් රාමු සකසනවා. ඒවා මෝටර් රථවල වහල වැනි ස්ථානවලට යොදලා. ඒ රාමුව වැහෙන්න කණු දමන බෑග් අතුරනවා. ඒ මත පස් සහ පොහොර යොදනවා. දැන් ඔවුන් සතුව හොඳ වගා බිමක් තිබෙනවා. ඔවුන් මේ මෝටර් රථ වහල වගා බිමේ නොයෙක් එළවළු සහ පලතුරු සිටවනවා. නිතිපතා වතුර දමනවා. සාත්තු කරනවා. ටික දිනක් යනකොට එක දිගට අසුන්දර දසුනක් බවට පත්ව තිබූ මෝටර් රථ සොහොන් බිම ආකර්ෂණීය සුන්දර දසුනක් මවනවා. ඒ මෝටර් රථ වහල මතින් සුන්දර ලෙස මතුව එන කොළ පැහැ එළවළු, පලතුරු පැළ නිසා.

මේ කාර් වගාව ගැන ලොව පුරා ප්‍රසිද්ධ වෙන්නේ දිනක් ඒඑෆ්පී මාධ්‍යවේදියෙක් මේ දසුන දකින නිසා. ඉතින් මුළු ලෝකෙම මේ කාර් වගාව ගැන දැනගන්නවා. ඒ විතරක් නෙමෙයි, වසංගතය අවසන් වුණ සැණින් බොහෝ දෙනා මේ වගාව දකින්න එන්නත් ලැහැස්තියි.

බලන්න. එක දොර වැසෙන කොට තවත් දොරක් විවර කර ගන්නා අන්දම.

 

Comments