බ්‍රෙක්සිට් නිසා බ්‍රිතාන්‍ය වැසියෝ ඉන්ධන පෝලිම්වල | Page 5 | සිළුමිණ

බ්‍රෙක්සිට් නිසා බ්‍රිතාන්‍ය වැසියෝ ඉන්ධන පෝලිම්වල

රටරටවල් සමඟ ගිවිසුම් ගතවීම මෙන්ම එම ගිවිසුම්වලින් ඉවත්වීමද කෙතරම් සිහි නුවණින් යුතුව කළ යුතු දැයි ලෝකයට සිතෙන්නට ඇත්තේ පසුගියදා බ්‍රිතාන්‍යයේ දක්නට ලැබුණු ‌ඉන්ධන පෝලිම්වලින් පසුවය. වසරකට වරක් හෝ ඉන්ධන හිඟයක් හෝ මිල වැඩි කිරීමේ ඉඟියක් මත පෝලිම්වල සිටිමින් වාහනවලට ඉන්ධන ලබා ගැනීමේ අත්දැකීම අපට නම් අමුතු දෙයක් නොවේ. එහෙත් පසුගිය සතිය ආරම්භයේදී බ්‍රිතාන්‍ය ජනතාව වරු ගණන් ඉන්ධන පිරවුම්හල් අසල පෝලිම්වල ලගිමින් තම වාහනවලට ඉන්ධන ලබා ගැනීමට යුහුසුලු වූයේ දැඩිව පැතිර ගිය ඉන්ධන හිඟයක පුවතක් හේතුවෙනි. සැබවින්ම බොහෝ ඉන්ධනහල් ඉන්ධන නොමැති වීමෙන් වසා දමා තිබුණු අතර ජනතාව කෑන් වැනි භාජන ගෙන ඉන්ධන පුරවා ගැනීමට පා ගමනින් ඉන්ධනහල් කරා ගමන් කරනු ද බොහෝ තැන්වලදී දැක ගත හැකි විය.

 

සැබවින්ම එම පුවත අසත්‍ය පුවතක් ලෙස බැහැර කිරීමටද හැකියාවක් නොවීය. බ්‍රිතාන්‍ය පුරා ඉන්ධන බෙදා හැරීම සිදු කරන ට්‍රක් රථ රියැදුරන්ගේ ක්ෂණික අඩුවක් හේතුවෙන් ඉන්ධන තොග රටපුරා පිරවුම්හල් වෙත ලබාදීමේ අඩුවක් ඇතිවූ අතර එමඟින් ඇතම් ස්ථානවල ඉන්ධන හිඟයක් ඇති විය. මේ පුවත රට පුරා පැතිර ගිය බැවින් කලබලයට පත්වූ ජනතාව වෙනදාටත් වැඩියෙන් ඉන්ධන ලබා ගැනීමට යුහුසුලු වූ අතර එහි අතුරු ප්‍රතිඵලය වූයේ සැබෑම ඉන්ධන හිඟයක් බ්‍රිතාන්‍ය තුළ ඇති වීමයි.

මේ වන තුරුත් ඉන්ධන රට පුරා බෙදා හැරීමට අදාළව ඇතිවූ ගැටලුවට නිසි පිළියම් ලබා දීමට බ්‍රිතාන්‍ය රජය සමත් වී නොමැත. එයට හේතු වී ඇත්තේ ඉන්ධන බෙදා හැරිම සිදු කරන ට්‍රක් රථ රියැදුරන් වැඩි පිරිසක් අසල්වාසී රටවලින් බ්‍රිතාන්‍යයට පැමිණ සේවය කරන්නන් වීමයි. මේ පිරිසට මීට පෙර අපහසුවකින් තොරව රටට ඇතුළුවීමට හැකියාව ලැබුණේ යුරෝපා සංගමයට යටතේ වීසා පහසුකම් හිමිවීම නිසාවෙනි. එහෙත් බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත් වීමෙන් පසු මේ ට්‍රක් රථ රියැදුරන්ට බ්‍රිතාන්‍ය තුළට ඇතුළු වීමට වෙනම වීසා ලබා ගැනීමට සිදුවීම හේතුවෙන් මෙලෙස ට්‍රක් රථ රියැදුරන්ගේ හිඟයක් උද්ගත වී තිබේ.

මේ වන විට ට්‍රක් රථ රියැදුරන් 5500කට ක්ෂණික වීසා ලබා දෙමින් මේ ගැටලුවට පිළියම් සෙවිමට බ්‍රිතාන්‍ය රජය තීරණය කර තිබුණද පසුගිය සඳුදා දිනයේදී එරට ව්‍යපාරික නායකයන් රජයට පෙන්වා දී තිබුණේ මෙලෙස තාවකාලික වීසා ලබා දීම වැනි තාවකාලික පිළියම් මඟින් දීර්ඝ කාලීනව සමස්ත රටටම ගැටලු ඇති කරවිය හැකි මේ පැනයට පිළිතුරු නොලැබෙන බවයි.

සැබවින්ම ඉන්ධන පමණක් නොව බ්‍රිතාන්‍ය පුරා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ප්‍රවාහනය සිදු කරනු ලබන්නේද ට්‍රක් රථ මගිනි. මේ වන විට ද පැතිර යන පුවත් හේතුවෙන් බ්‍රිතානයයේ බොහෝ ප්‍රදේශවල අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිඟයක්ද උද්ගත වෙමින් පවතින බවට පුවත් ලැබෙමින් තිබේ. ඒ අනුව නොබෝ දිනකදීම භාණ්ඩ ප්‍රවාහනය අඩාළ වීම හේතුවෙන් රට ප්‍රබල ගැටලුවකට මුහුණ දිමට නියමිත බවට අනතුරු ඇඟවීම ලැබෙමින් පවතින අතර අගමැති බොරිස් ජොන්සන්ගේ රජය මේ වන විට එයට යෙදිය හැකි පිළියම් කෙරෙහි අවධානය යොමු කරමින් සිටිති. එමෙන්ම රජය වැඩිදුරටත් පවසා ඇත්තේ කිසිදු ඉන්ධන හිඟයක් සැබවින්ම මේ දක්වා ඇති නොවූ බවත්, පැතිර ගිය අසත්‍ය පුවත් හේතුවෙන් ජනතාව ඉන්ධන රැස් කිරිමට කටයුතු කළ බැවින් මෙවැනි අනවශ්‍ය අවස්ථාවකට මුහුණ දීමට සිදුවූ බවත්ය. එසේ වීමෙන් බ්‍රිතාන්‍ය වැසියන්ට සිදුවූයේ සැබෑම ඉන්ධන හිඟයකට මුහුණ දීමටය.

බ්‍රිතාන්‍ය මුහුණ දුන් මේ කනගාටුදායක අවස්ථාව පිළිබඳව අදහස් දක්වමින් ප්‍රංශයේ යුරෝපා සබඳතා පිළිබඳ අමාත්‍ය ක්ලෙමන්ට් බෘනේ සඳහන් කර ඇත්තේ මේ අන් කිසිවක් නොව යුරෝපා සංගමයෙන් ඉවත් වීමේ කනගාටුදායක අතුරු ප්‍රතිවිපාකයක් බවයි.

Comments