ඉස්කෝලෙ යන කාලෙත් යුපුන් ග්‍රවුන්ඩ් එකේමයි | සිළුමිණ

ඉස්කෝලෙ යන කාලෙත් යුපුන් ග්‍රවුන්ඩ් එකේමයි

- කවදාවත් පන්තියේ නෑ 
- බැණුම් අහපු වාර නම් අනන්තයි
- මේ ජයග්‍රහණය තනිකරම එයාගේ ඒ නිසා අපේ පින්තූරයක්වත් දාන්න එපා

ස්විට්සර්ලන්තයේ පැවැති රෙසිස්ප්‍රින්ට් ජාත්‍යන්තර මලල ක්‍රීඩා උලෙළේදී මීටර් 100 ඉසව්වට තත්පර 9.96ක කාලයක් සටහන් කළ යුපුන් අබේකෝන් එම ඉසව්වේ දකුණු ආසියානු වාර්තාව පිහිටුවීමට සමත් විය. යූපුන් දකුණු ආසියාවෙන් මීටර් 100 තත්පර 10ට අඩුවෙන් අවසන් කළ පළමු මලල ක්‍රීඩකයා බවට පත්වු අතර, ශ්‍රී ලංකාව මීටර් 100 තත්පර 10ට අඩුවෙන් අවසන් කළ කෙටි දුර ධාවන ක්‍රීඩකයකු සිටින 32 වැනි රට බවට පත්වද්දී, යූපුන් මීටර් 100 තත්පර 10 සමාජයේ 167 වැනි සාමාජිකයා වේ. මේ වසරේ ජුලි 03වැනිදා මීටර් 100 තත්පර 10ට අඩු කාලයක් වාර්තා කළ ක්‍රීඩකයන් 21 දෙනා අතර යුපුන් 15 වැනියාය. ආසියාවේ කළු අශ්වයා බවට පත්වූ යුපුන් පිළිබඳ ලෝකයම කතාකරද්දී අප ඔහුගේ මව සුජිවා ප්‍රියදර්ශනීගෙන් යුපුන් පිළිබඳ විමසුවේ මවකට පුතකු ලෝකයක් තරම් නොව ඊටත් වඩා වටිනා සම්පතක් වන නිසාය. 

“යුපුන් පොඩි කාලෙත් දුවන්න හරිම කැමැතියි. මමයි යුපුන්ගේ තාත්තායි වැඩිපුර හිටියේ ඉතාලියේ. අපි දෙන්නම ඉතාලියේ ඉන්න කොට යුපුන්ගේ පොඩි කාලය ගෙවුණේ අත්තම්මයි,සීයයි ළඟ. හැබැයි කවදාවත් දඟ වැඩ කරලා කියලා නම් චෝදනාවක් ඇවිත් නෑ.”

ඇය අප සමඟ කතාබහට එක්වුණේ යුපුන්ගේ ළමා වියේ මතක අවර්ජනය කරමිනි.

“යුපුන්ට ඉන්නේ නංගි විතරයි. ඇය නෙතුලි, තාත්තා නිහාල් ගාමිණි අබේකෝන්. යුපුන්ගේ අත්තම්මා තමයි යුපුන්ගේ නමට ප්‍රියදර්ශන කියලා දාමු කියලා යෝජනා කළේ. මේ ජයග්‍රහණය තනිකරම එයාගේ. අපි පුතාට පුළුවන් විදියට සහයෝගය දුන්නා විතරයි.පුතා තරගවලට යනකොට වෙලාවල් නැකත් හඳහන් එහෙම නම් බලන්නේ නෑ. අපි කොහොමත් ඔය දේවල් විශ්වාස කරන්නේවත් ඒ දේවල්වල ඇළීගැළී ඉන්නෙත් නෑ.”

යුපුන්ගේ මව එසේ කියද්දී මතකයට නැඟුණේ ඒ ‍ඓතිහාසික තරගයේ ජයග්‍රණය කිරීමෙන් පසු යුපුන් කී වදන්ය. “මං ඒක කළා. මං අවුරුදු ගානක් මහන්සි වුණා, ඒ මහන්සියේ කැප කිරීමේ ප්‍රතිඵලය මට හම්බ වුණා.”

යුපුන්ගේ මව අප සමඟ කීවේද ඒ කතාවමයි.

“පුතා මේ තැනට එන්න හුඟක් කැපකිරීම් කළා. ඒකෙ ප්‍රතිඵල මේ වෙන කොට ලැබිලා තියෙනවා.

අපි කවදාවත් යුපුන්ගේ කිසිමදේකට බලපෑම් කරන්න ගියෙ නැහැ. අනික අපිට මේ වගේ ඉලක්ක තිබ්බෙ නෑ. පුතාට හොඳට උගන්නලා තැනකට ගේන්න ඕනෑ කියන දේ තමයි මගෙයි තාත්තාගෙයි හිතේ තිබුණේ.”

යුපුන්ගේ මව පැවසුවේ අතීතයත් වර්තමානයත් එකට ගැට ගසාගැනීමට වෙර දරමිනි.

“අපේ ගම නාරම්මල. වෙන්නප්පුව ජෝශප් වාස් විද්‍යාලයේ ඉගෙන ගන්නකොට පුතා කොයි වෙලාවෙත් පන්තියේ නෑ, ග්‍රවුන්ඩ් එකේමයි කියලා බැණුම් අහපු වාර අනන්තයි අප්‍රමාණයි. එදා වගේම තමයි අදත්. මේ තරගයට කලිනුත් මැසේජ් එකක් විතරයි දැම්මේ. පුතා දැනුත් වැඩිපුරම ඉන්නේ ග්‍රවුන්ඩ් එකේ නිසා අපි වැඩිය කතාබහට යන්නේ නෑ, ඒක එයාට බාධාවක් වෙයි කියලා හිතෙන නිසා” 

එසේ වුවත් තරගයෙන් අනතුරුව යුපුන් සිය හදවතේ ගැඹුරුම තැන පැසවමින් පැවැති සියල්ල එක මිටකට ගොනු කරමින් මුදා හැරියේ දෙවරක්වත් නොසිතාය.

“ඔව්, මං තමයි මීටර් 100 තත්පර 10 ක්ලබ් එකේ අලුත් සාමාජිකයා! බිලියන ගානක් ඉන්න දකුණු ආසියාවේ පළවැනි තත්පර 10 මීටර් 100 සාමාජිකයා. ආසියානු ඉතිහාසයේ 10 වැනි තත්පර 10 අයිතිකාරයා.... මාව විශ්වාස කරපු අයට මං ඒක කළා කියලා හිතනවා.

ආයෙත් කියනවා මං ඒක කළා. ආදරෙයි මං එක්ක උන්න හැමෝටම. මේක කළේ මං මටත් වඩා මාව විශ්වාස කරපු ඔයාලාට.”

යුපුන්ගේ එවදන්වල ගැබ්ව ඇත්තේ ඔහු සතු විසල් ආත්මශක්තියේත් කැපවීමේත් අපූර්වත්වයයි.

ලෝක මලල ක්‍රීඩාවට අදාළව වාර්ෂිකව විවිධ තරගාවලින් ලොව පුරාම පැවැත්වෙයි. ලෝක මලල ක්‍රීඩා මහාද්විපික සවාරිය එවැනි තරගාවලියකි. මීට පෙර එක් තරගාවලියක් නිමාවට පත් වුයේ ජර්මනියේදීය. ඊට සහභාගි වු යුපුන් අබේකෝන් වාර්තාගත කාලයක් වාර්තා කරමින් මීටර් 100 තරගය ජය ගැනීමට සමත් විය. ඔහුගේ කාලය තත්පර 10.06කි. මීට පෙර මෙම තරග ඉසව්වට යුපුන් වාර්තා කළ හොඳම කාලය වුයේ තත්පර 10.15කි. ඒ ගිය වසරේදීය. කෙසේ වෙතත් මෙම තරගයේදී ඔහු වෙතින් පරාජය වෙමින් දෙවැනි ස්ථානය හිමි කර ගත් කෙන්යාවේ ෆර්ඩිනන්ඩ් ඔමන්යාලා නිසා යුපුන්ගේ දස්කම වඩාත් කැපී පෙනෙයි. ඔමන්යාලා මෙහිදී වාර්තා කළේ තත්පර 10.14ක කාලයකි. ගිය වසරේදී ඔහු මෙම තරග ඉසව්ව තත්පර 9.77කින් නිමා කිරිමට සමත් වී ඇත. එයට මීටර් 100 ලොව හොඳම කාලයන් අතර 08 වැනි ස්ථානය හිමි වේ. මේ තරග ඉසව්වේ ලෝක වාර්තාව ජැමෙයිකාවේ සුපිරි තරුව වන යුසේන් බෝල්ට් සතුය. ඒ තත්පර 9.58කි. එය ඔහු පිහිටු වුයේ 2009 වසරේදීය.

යුපුන් දකුණු ආසියාවේ වේගවත්ම මිනිසා ලෙස අභිෂේක් ලබන්නට සමත් වුයේ ඉතාලියේ සැවෝනා නුවරදී අවසන් වු කැස්ටිලියෝන් අන්තර්ජාතික මලල ක්‍රීඩා තරගාවලියේදීය. ඒ මීටර් 200 ඉසව්ව තත්පර 20. 37කින් නිමා කරමින් ඉන්දියාවේ අම්ලන් බෝරේගොහේන් විසින් පසුගිය අප්‍රේල් මාසයේදී මීටර් 200 තරග ඉසව්ව සඳහා තබා තිබු 20.52 වාර්තාව බිඳ දමමින් මෙම නව දක්ෂතාව ප්‍රදර්ශනය කරමිනි. ඒ සියලු දක්ෂතාවලට මඟ හෙළිවූ ආකාරය ගැන ද අපි යුපුන්ගේ මවගෙන් විමසුවෙමු.

“පන්නල ජාතික පාසලේ ඉගෙන ගන්න කොට තමයි, ජෝශප් වාස් ඉස්කොලේ නාලක සර් ඇවිත් පුතාව ඒ ඉස්කෝලයට ඉල්ලුවේ, අපි මුලින් පොඩ්ඩක් අදිමදි කළා පුතාව වෙන්නප්පුවේ යවන්න. එහෙත් සර්ගේ ඉල්ලිම අහක දාන්න බැරි නිසා අන්තිමේට ජෝශප් වාස් යවන්න කැමැති වුණා”.

ජෝශප් වාස් විද්‍යාලයේ හිටපු මලල ක්‍රීඩා උපදේශක ප්‍රවීණ මලල ක්‍රී‍ඩා පුහුණුකරු ලෙස කටයුතු කළ නාලක ප්‍රසන්නට යුපුන් හමු වන්නේ පන්නල ජාතික පාසලේදීය.

“යුපුන්ව මට මුලින්ම මුණ ගැසුනේ පන්නල ජාතික පාසලේ ඉගෙන ගන්න කොට,මගේ ළඟට එනකොටත් අවුරුදු 16ක් 17ක් ඇති. හැබැයි දිනලා ආපු ළමයෙක් නෙවෙයි. හැබැයි ළමයාගේ ඇඟපතත් එක්ක සුවිශේෂ දක්ෂතාවයන්ගෙන් හෙබි කෙනෙක් විදියටයි මම එදා දැක්කේ.ඒ වෙද්දි කොට්ඨාස, කලාප තරගවලින් දිනුවට පළාත් එනකොට අපේ ළමයින්ට පරදිනවා.ඒ වන විට යුපුන් තුන්පිම්ම තමයි ක්‍රීඩා කරමින් දක්ෂතා අතර සිටියේ. මට හිතුණා‍ යුපුන් ඊට වඩා වැඩි දෙයක් කළ හැකි ක්‍රීඩකයක් කියලා. මම එවකට මලල ක්‍රීඩා උපදේශකයකු ලෙස ජෝශප් වාස් විද්‍යාලයේ කටයුතු කරමින් සිටියේ. මම ජෝශප් වාස් විද්‍යාලයේ පාලනාධිකාරිය දැනුවත් කරලා යුපුන්ව ජෝශප් වාස් විද්‍යාලයට ඇතුළත් කර ගත්තා. ඒ වන විට යුපුන් 17න් පහළ දක්ෂ මලල ක්‍රීඩකයකු ලෙස ජාතික පාසල් තරගාවලියේ කැපී පෙනුණා.

ජෝශප් වාස් ආවට පස්සේ මම යුපුන්ට යෝජනා කළා මිටර් 200 ‍කෙටි දුර ධාවනටත් එක් වන්න කියලා. ඒත් යුපුන් එයට කැමැත්තක් දැක්වුයේ නෑ. මට වුවමනා වුණා මිටර් 200ට සම්බන්ධ කරගෙන පසුව 100x4 තරග ඉසව්වට යුපුන්ව සම්බන්ධ කරගන්න. ඒත් යුපුන්ගේ කැමැත්තක් තිබුණේ නෑ. මගේ ඉල්ලීමට යුපුන් මිටර් 200 කෙටිදුර ධාවන ඉසව්වට විතරක් එකතු වුණා. මේ ඉසව් ජයගනිමින් යුපුන් වයස අවුරුදු 20න් පහළ 21න් පහළ නියෝජනය කරමින් ජාතික පාසල්, සමස්ත ලංකා තරගවලින් දක්ෂතා දැක්වුවා. ඒ වනවිට මිටර් 100 තරග ඉසව්වෙන්ද දක්ෂතා දක්වන තැනට පැමිණමින් සිටියා. 2019 දී හිමාෂ ඒෂාන් පසුකර යැමට සමත් වුණා.

ක්‍රීඩාවට වගේම ඉගෙනීමේ වැඩ කටයුතුවලටත් එකසේ දක්ෂතා දක්වපු මෑත භාගයේ මට හමුවුණු ක්‍රීඩකයකු තමයි යුපුන්. ඉතාමත් හොඳින් අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයෙන් ද ඔහු සමත් වුණා. ජෝශප් වාස් විද්‍යාලයෙන් ගියාට පස්සේ මට ඔහු සමඟ දිගටම රැදී සිටින්න බැරි වුණා. 

යුපුන්ගේ පියා විදේශගතව රැකියාවක නිරතව සිටි නිසා යුපුනුත් උසස් අධ්‍යාපනය වෙනුවෙන් එහි ගියා. එහිදි උසස් අධ්‍යාපනයේ නිරතව සිටින අතර ක්‍රීඩාවේද නිරත වෙන්න යුපුන් අමතක කළේ නෑ. විටින් විට මට දුරකතයෙන් කතා කරන හැම වෙලාවෙම මමත් යුපුන්ව දිරිමත් කළා මලල ක්‍රීඩාවේ දිගටම නිතර වීමට. ඒ වගේම පාලිත ප්‍රනාන්දු මහතාත් අවශ්‍ය කරන දැනුම හා උ‍පදෙස් නිරතුරුවම යුපුන් ට ලබාදීමට කටයුතු කළා. යුපුන් මේ දක්ෂතා ගැන මටත් ලොකු සතුටක්.”

ඔහු කීවේ නිහතමානීවය. යුපුන් ඉතාලියේ පුහුණුව ලබන්නේ ‘මෞරිෂියෝ රැපරෙලි සහ ක්ලෝඩියෝ ලිසිරාඩෙලෝ’ පුහුණුකරුවන් දෙදෙනකුගේ අධීක්ෂණය යටතේ ය. “ඔහු දැන් තරගයට ඇවිත් ඉන්නේ, ඒ වගේම කියන්න ඕනෑ කෙටි දුර ධාවකයකුට තිබිය යුතු පූර්ණ අඟ පසඟ යුපුන්ට තිබෙනවා. ඔහු ඉදිරියේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ආසියා, පොදු රාජ්‍ය මණ්ඩලයීය තරගවලදී ඉහළ දක්ෂතාවක් දක්වාවි කියලා මම විශ්වාස කරනවා.” යැයි මෙරට ජාතික මලල ක්‍රීඩා පුහුණුකරු වයි.කේ. කුලරත්න දැඩි විශ්වාසයකින් යුතුව කරන ප්‍රකාශය ද මෙහිදී අමතක නොකළ යුතුය.

වෙන්නප්පුව ජෝශප් වාස් විද්‍යාලයේ විදුහල්පති ප්‍රියන්ජිව ගුණරත්න සහෝදරතුමා ද යුපුන්ගේ දක්ෂතා අගය කළේ සතුටිනි.

“ අපේ ඉස්කෝලෙන් ඔලිම්පික් තේරුණු හයවැනියා තමයි යුපුන්. ලංකාවේ මලල ක්‍රීඩාවේ මලල ක්‍රීඩා ඉසව්වලින් වැඩිම පිරිසක් ඔලිම්පික් නියෝජනය කරලා තියෙන්නේත් අපේ ඉස්කොලෙන්, ඒක අපට ආඩම්බරයක්. සමස්ත ක්‍රීඩා පාසල් අතර අප ක්‍රීඩා පාසලක් නොවුණත් තරගකාරි මට්ටමක ඉන්නවා. ඒ ගැන වගේම සමස්ත දකුණු ආසියාවටම අභියෝගයක් වුණු යුපුන් ගැනත් හදවතින්ම සතුටු වෙනවා”

රටම ආඩම්බර වන, අගයන සිය එකම පුතුගේ ජයග්‍රහණය ගැන යුපුන් ගැන ඔහුගේ මව තරම් සතුටු වෙන අන් හදවතක් තිබිය නොහැකිය. මේ ඒ අම්මාගේ හදවතින් දෝරගලන සෙනෙහසයි.

“පුතාගේ තරග වුණත් අපි වැඩිය බලන්න යන්නේ නෑ. යුද හමුදා මලල ක්‍රීඩා තරගාවලියක් දියගම තිබිලා කාලයකට කලින් බලන්න ගියා. ඊට වඩා නම් ගිහිල්ලත් නෑ. එයා හුඟක් තරගවලට ගිහින් තියෙන්නේ පාසලෙන්. ඒවාට අපිට යන්න වෙලාවක් තිබිලත් නෑ. මේ ජයග්‍රහණය තනිකරම එයාගේ. අපි කාගෙවත් ෆොටෝ එකක්වත් මේ වෙනුවෙන් පළ කරන්න අවශ්‍ය නැහැ.”යුපුන්ගේ මව අවසන් වශයෙන් අපෙන් ඉල්ලා සිටියාය.


රුපියල් ලක්ෂය ප්‍රමාණවත් නෑ

- විදේශගත ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ගැටලු  ක්‍රීඩා අමාත්‍යවරයාගේ අවධානයට

 

විදේශගත වී පුහුණුවීම් ලබන සහ තරගවලට ඉදිරිපත් වන මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ලබා දෙන රුපියල් ලක්ෂයක (100,000/-) මුදල වර්තමානයේ කිසිසේත් ම ප්‍රමාණවත් නොවන නිසා ඒ පිළිබඳ වහාම සොයා බලා එකී ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට වහාම පහසුකම් සලසන ලෙස ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල් සහ අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් දී තිබේ.

Comments