මම එයාට කැමතියි කිව්වේ කැමැත්තකින් නෙමෙයි බේරෙන්නම බැරි තැන | සිළුමිණ

මම එයාට කැමතියි කිව්වේ කැමැත්තකින් නෙමෙයි බේරෙන්නම බැරි තැන

 

එතෙක් මෙතෙක් ශ්‍රී ලංකා ටෙස්ට් වංශ කතාවේ ප්‍රබල ඕස්ට්‍රේලියානුවන්ට එරෙහිව ද්විත්ව ශතකයක් රැස් කළ පළමු ශ්‍රී ලාංකික පිතිකරුවා වන්නට පසුගිය ජූලි 8 වැනිදා දිනේෂ් චන්දිමාල්ට හැකි විය. නොදැවී ලකුණු 206ක් ලබා ගනිමින් ඔහු සිය 13 වැනි ශතකය වාර්තා කළේය. එමෙන්ම එය ඔහු ලකුණු 150 පසු කළ පස් වැනි වාරයයි.

 

එක් දින තරග 154ක්, ටෙස්ට් තරග 68ක් හා පන්දු වාර විස්සයි විස්ස තරග 68ක් ක්‍රීඩා කර තිබෙන දිනේෂ් චන්දිමාල් උපත ලබන්නේ වර්ෂ 1989 නොවැම්බර් මස 18 වැනිදා බලපිටියේදීය. පාසල ක්‍රිකට් ක්‍රීඩාවට තිඹිරි ගෙය කරගත් දිනේෂ් පාසලේද දක්ෂතම ක්‍රිඩකයා බවට පත් විය. එතැනින් පටන් ගන්නා ක්‍රීඩා ජීවිතය තවත් සාර්ථක කරගන්නට හැකි වන්නේ ඔහුගේ සිත ළඟ නැවතුණු රුව නිසා බැව් දිනේෂ් චන්දිමාල්ගේ විශ්වාසයයි. ඔහු ඒ ගැන එකල මාධ්‍යයට පවසා තිබුණේ බොහෝ හැඟිම්බරවය.

" ඉශිකා දකිද්දි මට අමුතුම දෙයක් හිතුණේ. උසස් පෙළ කරන්න, ක්‍රිකට් ගහන්න තියෙද්දි මගේ ලොකුම ටාගට් එක වුණේ ඉශිකා යාළු කරගන්න. එයා කැමතියි කියනකල් මම ප්‍රැක්ටිස් යන්නේ නැහැ කියලත් කිව්වා. දවස් දෙක තුනක් ප්‍රැක්ටිස් යන්නෙත් නැතුව එයාව බලන්න ගියා. මට මතක නැහැ කී පාරක් මට කැමතිද කියලා ඇහුවද කියලා.." එසේ මාස ගණනාවක් උත්සාහ දරා අවසානයේ පෙම්වතිය බවටත් ඉන් පසුව සිය ප්‍රියම්භිකාව බවට පත්කරගත් ඇය, නමින් ඉශිකා ජයසේකරය.

"මගේ බාප්පගේ පුතාගේ හොඳම යාළුවා තමයි දිනේෂ් කියන්නේ. ඒ දෙන්නා එකට පාඩම් කරනවා. එහෙම පාඩම් කරන්න ආව දවසක තමයි දිනේෂ් මාව දකින්නේ. ඊට පස්සේ එයාට ඕන වුණා මාත් එක්ක සම්බන්ධයක් ඇති කරගන්න. එතකොට අපි දෙන්නට වයස අවුරුදු 17ක් විතර ඇති. මම එයාට කැමති වුණේම නැහැ. එයා මට කියනවා මම ප්‍රැක්ටිස් යන්නේ නැහැ ඔයා මට කැමති වෙනකල් කියලා. මම කිව්වා එහෙනම් ප්‍රැක්ටිස් නොයා ඉන්න කියලා. එතකොට එයා ඇහුවා මම මෙච්චර මහන්සි වෙනවා පොඩි කාලේ ඉඳලා බලාපොරොත්තු වෙන දෙයක් වෙනුවෙන් ඔයා ඒකත් නැති කරන්නද යන්නේ කියලා. ඒ වගේම ඔයා මට කැමති වුණොත් මම හොඳට ලකුණු ගන්නවා කියලත් කිව්වා. බැරිම තැන මම එයාට හා කිව්වා. එයාට කැමතියි කිව්වේ කැමැත්තකින් නෙමෙයි. බේරෙන්න බැරි නිසා.."

එසේ වයස අවුරුදු 17දී ඇරඹි ආදර කතාව නිසාම දිනේෂ් චන්දිමාල් ලෝකයම හඳුනන, ආදරය කරන දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයකු බවට පත් විය. ඔහුගේ ආදරවන්තිය ලෙස ඉශිකා කැමැත්ත ප්‍රකාශ කළ පසුව ඔහු ජාතික කණ්ඩායමට එක්ව නවසිලන්තයට එරෙහිව ක්‍රීඩා කළේය. එම තරගයේදී ඔහු ලකුණු 150ක් ලබා ගත්තේය. ඔහු විශ්වාස කළේම ඒ තම පෙම්වතියගේ ආදරය නිසාම සිය ජීවිතයට ලැබුණු ආශිර්වාදයක් බවය.

" ඉස්සර දිනේෂ් හරිම කාර්යබහුලයි. උදේ ඉඳලා හවස් වෙනකල් ප්‍රැක්ටිස්. අපිට හම්බෙන්නවත් වෙලාවක් තිබුණේ නැහැ. මම කැමති වුණාට පස්සේ එයා මගේ පස්සෙන් ආවේ නැහැ. නමුත් පුළුවන් හැම වෙලාවකම හමුවෙන්න ආවා. ගොඩක් වෙලාවට බස් එකේ යන එන වෙලාවට තමයි අපි කතාබහ කරන්නේ. ගෙදරින් දෙන කීයක් හරි එකතු කරලා බොහෝම අමාරුවෙන් රීලෝඩ් එකක් දාගෙන අපි කතා කරනවා. කතා කරනවට වඩා කළේ එස්. එම්. එස් යවපු එක. ඉස්සර දැන් වගේ ස්මාට් ෆෝන් නැහැ. පොඩි ෆෝන් එකක් තිබ්බේ. එකෙන් තමයි අපි කතාබහ කරන්නේ හෝ මැසෙජ් යවන්නේ...ඒ විදිහට තමයි අපි අවුරුදු ගානක් තිස්සේ ආදරේ කළේ. 2015 වර්ෂයේ මාර්තු මාසේ 15 වැනිදා විවාහ වුණා. විවාහ වුණාට පස්සේ ජීවිතේ ගොඩක් වෙනස් වුණා. මම හිතන්නේ සාමාන්‍ය බිරියකට වඩා ක්‍රිකට් ක්‍රීඩකයකුගේ බිරියකට අසාමාන්‍ය විදිහට ඉවසීම තියෙන්න ඕන. ඒ ඉවසීම දිනේෂ් නිසා මට ඇති වුණා. මොකද මම එහෙම කියන්නේ එයාලා දවස තිස්සේ පුහුණුවීම් කරනවා. මැච් තිබ්බොත් සමහර වෙලාවට තරග අවසන් වෙනකල් කතාබහ කරන්න හම්බෙන්ෙන නැහැ.

විදෙස් සංචාර ගියොත් මාස දෙක තුනකට පස්සේ දැක්ක අවස්ථා තියෙනවා. දකුණු අප්‍රිකානු තරග සංචාරයට ගියොත් පැය 12ක විතර වෙනසක් තියෙන නිසා කතා කරන්න නිදි මරලා තියෙනවා. ඉතින් බිරියක් හැටියට ඒවාටත් මුහුණ දීලා පවුල් ජීවිතය මේතරම් දුරක් සතුටින් අරගෙන ආවේ මගේ මහන්සියෙන් විතරක් නෙමෙයි දිනේෂ්ගේ කැපකිරීමත් එක්කම තමයි.."

ඉශිකා දිනේෂ් හා ගෙවන ජීවිතය ගැන අප සමඟ එසේ පැවසුවේ සතුටිනි. දිනෙෂ් ගේ මව පියා හැරුණුකොට ඔහුට සිටින්නේ බාල සහෝදරයන් සිවු දෙනෙකි. දිනේෂ් ගේ පවුලට එකතු වූ පළමු ලේලිය ඇය නිසා ඔවුන්ගේ පවුලේ සියලු දෙනාගේ ආදරය ද ඇයට හිමිය.

" දිනේෂ් නිවාඩු පාඩුවේ ගෙදර හිටියොත් එයාගේ මල්ලිලා හතර දෙනයි අම්මයි තාත්තයි හැමෝම එක්ක තමයි කාලය ගත කරන්නේ. චිත්‍රපටි බලනවා, සිංදු කියනවා, විනෝද වෙනවා. අපි දෙන්නා විතරක් චිත්‍රපටියක් බලලා විනෝද වෙන්නේ නැහැ. මල්ලිලා දෙන්නෙක් විවාහ වුණා. පවුලට තවත් ලේලිලා දෙන්නෙක් එකතු වුණා කියලා දිනේෂ්ගේ අම්මයි තාත්තයි මට දක්වපු ආදරේ තාම වෙනසක් කරලා නැහැ. මල්ලිලා වුණත් මට හරි ආදරෙයි. දිනේෂ් පවුලෙ අය එක්ක එදා ඉඳලම හරි එකතුයි. ඒක මම එයාගේ දකින හොඳ ගතිගුණයක්.."

ඔහුගේ ගතිගුණ නිසාම දිනේෂ් චන්දිමාල් කියන සාමාන්‍ය පුද්ගලයාට ඇය ආදරය කරන්නට පටන් ගත් බව ඇය කියන්නීය.

" මම එයාට කැමති වුණේ එයාගෙන් බේරෙන්න බැරිකමට වුණත් කතාබහ කරද්දී එයා තරම් හොඳ කෙනෙක් මම දැක්කේ නැහැ. එයා හරිම සාමාන්‍ය චරිතයක්. කොච්චර ජනප්‍රිය වුණත් එයා නිහතමානියි. පොළොවේ පයගහලා ජීවත් වෙන්නේ. කෙනෙක්ට උදවු කරන්න දෙපාරක් හිතන්නේ නැහැ. හරිම අහිංසකයි, ඒ නිහතමානිකමට මටත් නොදැනීම මම ආදරය කළා කියලා හිතනවා.

එයා සල්ලිකාරයෙක් වුණත් නැතත් මට දිනේෂ් චන්දිමාල් කියන්නේ හිතට දැනුණු චරිතයක්. මිනිස්සුන්ට අද සල්ලි තියෙන්න පුළුවන්. හෙට නැති වෙන්න පුළුවන්. මම දිනේෂ්ට ආදරය කළේ ඒවා බලාගෙන නෙමෙයි. මම කවදාවත් හිතලා තිබ්බේ නැහැ ක්‍රිකට් ක්‍රීඩකයෙකුගේ බිරියක් වෙන්න. හැමදාම ක්‍රිකට් ගහන්නත් බැහැනේ. නතර කරන දවසකුත් එනවා. එදාටත් අද වගේම ආදරෙන් ඉන්න ඕන. සල්ලිවලට වඩා වටින්නේ මනුස්සකම. අද මම ගොඩාක් සතුටු වෙනවා දිනේෂ්ට ආදරේ කරන්න ලැබීම ගැන. එයා මගේ සැමියා වීම ගැන. බිරියකට අවශ්‍ය ආදරේ, කරුණාව, ආරක්ෂාව ඔහු නොඅඩුව ලබා දෙනවා. ඊට වඩා දෙයක් මම ඔහුගෙන් බලාපොරොත්තු වෙන්නෙත් නැහැ. හැමෝම පිටින් දකින අහිංසක, නිහතමානී දිනේෂ් තමයි මාත් එක්ක ඉන්නේත්.."

අධ්‍යාපන කටයුතුවලට අවහිරයක් වේවි යන හේතුව නිසා මුලින් දිනේෂ්ගේ ආදරයට පිටුපෑ ඉශිකා පසුව දිනේෂ්ගේ ආදරයටත් බහ දී හොඳින් ඉගෙන ගත්තේ කවදාක හෝ උසස් රැකියාවක් කිරිමේ අරමුණ ඇතිවය. එහෙත් දිනේෂ්ගේ ප්‍රියම්භිකාව වූ පසු ඇයට එය සිහිනයක්ම පමණක් විය. ඒ ගැන මුලින් පසුතැවුණු නමුත් කුටුම්භය රැක ගැනීමට නම් ඒ කැපකිරීම කළ යුතු බව ඇය තේරුම් ගත්තාය.

"මගේ අම්මයි තාත්තයි ටිකක් සැරයි. ඉගෙන ගන්න ඕන කියන එක තදින්ම කියලා තිබ්බේ. ඒ නිසා තමයි දිනේෂ්ට මම මුලින් අකමැති වුණේ. කොහොම හරි මම හොඳට ඉගෙන ගත්තා. ජොබ් එකක් කරන අදහස තිබ්බා. ඒත් දිනේෂ්ගේ කාර්යබහුල ජීවිතේ එක්ක මම කාර්යබහුල වුණොත් පවුල් ජීවිතේට කරදරයක් වෙයි කියලා මමම තේරුම් ගත්තා. මුලින් නම් පොඩි පසුතැවීමක් තිබ්බා. දැන් එහෙම හිතන්නේ නැහැ .."

දිනේෂ් චන්දිමාල් මේ වන විට යුද හමුදාවේ මේජර් වරයකු ලෙස ද කටයුතු කරයි. ඉතා දක්ෂ ක්‍රීඩකයකු ලෙස කාලයක් කටයුතු කළද කලක් ඔහුගේ දක්ෂතා දක්නට ලැබුණේ නැත. ඒ කාලයේදී ඔහු හමුදා සේවයට එකතු විය.

"වසර කිහිපයක් තිස්සේ යුද හමුදාවට එකතු වෙලා ක්‍රීඩා කරන්න කියලා දිනේෂ්ට ආරාධනා ලැබුණා. නමුත් ජාතික කණ්ඩායම එක්ක එයා කාර්යබහුල වෙලා හිටපු නිසා එය මගහැරුණා. පසුව යළිත් විමල් විදානගේ සර් හා සීක්කුගේ ප්‍රසන්න දිනේෂ්ට කතා කළා. ඒ වෙද්දි එයා ජාතික කණ්ඩායමේ හිටියේ නැහැ. කොරෝනා වසංගතයත් එක්ක විවේකයත් තිබ්බා. ගෙදරට වෙලා නිකන් හිටපු නිසා එයා මගෙන් ඇහුවා ඒ යෝජනාවට මොකද කරන්නේ කියලා. මම කිව්වා කැමති දේ කරන්න කියලා. දිනේෂ්ගේ අම්මා තාත්තාත් කැමති වුණු නිසා එයා 2019දි හමුදා සේවයට බැඳුණා. මම හිතනවා ඒක එයාගෙ ජීවිතේ ගත්ත හොඳම තීරණයක් කියලා. එයා විනයගරුක කෙනෙක්. ඒ විනය එක්ක එයාට හමුදා ජීවිතේ හොඳට ගැළපෙනවා.

දිනේෂ් ක්‍රීඩකයකු ලෙස දක්ෂතා නොදැක්වූ කාලය ගැන ඇය කම්පා නොවන්නීය. ඔහු ද තම අඩුලුහුඬුකම් සකස් කරගත් බව පසුගියදා නිමාවට පත් වූ ටෙස්ට් තරගයේදී ලෝකයම දුටුවේය.

"ඕනම රස්සාවක හොඳ නරක දෙකම තියෙනවා. හැමදාම සාර්ථක වෙන්නෙත් නැහැ. එයා දක්ෂතා අතරේ හිටියා. කෙටි කාලයක් එයාට හරියට ක්‍රීඩා කරන්න බැරි වුණා. ඒ කාලේ එයා මානසිකව කඩාගෙන වැටුණේ නැහැ. වැරදි හදාගෙන ඉක්මනට ලකුණු අතරට එන්න ඕන කිව්වා. මම හිතනවා එයා කැපවීම් කරලා එයාගේ දක්ෂතා යළි නංවා ගත්තා කියලා. පසුගියදා හොඳට ක්‍රීඩා කළා. මම ඒ ගැන ගොඩක් සතුටු වෙනවා.

ඒ වගේම හැමදාම ලකුණු අතරේ ඉන්නත් බැහැ, ලකුණු නොගන්න දවසක් එන්නත් පුළුවන්. දැන් එයාගේ වයස අවුරුදු 32යි. තව ටික කාලයක් එයාගේ ශක්තියෙන් ක්‍රීඩා කරන්න පුළුවන්. ඒ කෙටි කාලයේ රට වෙනුවෙන් එයාගේ උපරිම දක්ෂතා පෙන්නුවොත් මට ඒ ඇති. එයාගේ බිරිය හැටියට මට ඒක සතුටක්. වෙන කිසිම බලාපොරොත්තුවක් නැහැ එයාටත්. මමත් තරග සජීවීව නරඹන්න ගියා. ඉස්සරත් පුළුවන් හැම තරගයක්ම මම බලන්න යනවා. දිනේෂ්ට ආදරේ කරන්නත් කලින් ඉඳලම මම ක්‍රිකට් ලෝලියෙක්. ඒ නිසා ආසාවෙන් ක්‍රිකට් තරග බලනවා.."

ඉකුත් දා පැවති තරගයත් සමඟ යළිත් බොහෝ දෙනකුගේ ආදරය ලබාගත් දිනේෂ් චන්දිමාල් කාලයක් ජාතික කණ්ඩායමේ නායකත්වය දැරීය. ඒ නායකත්වයෙන් තරග බොහෝමයක් ජය ගෙන ද ඇත. එහෙත් නැවත ඔහු කණ්ඩායමේ නායකත්වය බලාපොරොත්තු නොවන බව මේ කතා බහ අවසන් කරන්නට මත්තෙන් ඉශිකා කීවාය.

"දිනේෂ් ආයේ නායකත්වය බලාපොරොත්තු වෙන්නේ නැහැ. එයාට ඕන කණ්ඩායම එක්ක එකතු වෙලා ක්‍රීඩා කරන්න විතරයි. ක්‍රීඩකයෙක් විදිහට හිටියොත් මට ඒ ඇති.."

 

Comments