- පුතා ආදරේ කරනවා කියලා තවම නම් දැනගන්න ලැබිලා නෑ. එයා කියලත් නැහැ
- මට කොල්ලෙක් ඉපදෙන්නේ කියලා දැන ගත්තම හිතුවා එයාව කොහොම හරි ක්‍රිකට් ක්‍රීඩකයෙක් කරනවා කියලා
- අම්මේ මැච් ගහලා හම්බුණු සල්ලි කියලා පුතා රුපියල් ලක්ෂයක් මගේ අතේ තිබ්බා
- මවුපියන්ගේ හීන හැම දරුවෙකුටම සැබෑ කරන්න බැහැ. ඒත් මගේ පුතා ඒක කළා
ක්‍රිකට්වලට බොහෝ ආදරය කරන ලක්ෂ සංඛ්‍යාත ක්‍රීඩා ලෝලීන් පසුගියදා ප්‍රීතියෙන් අමන්දානන්දයට පත් වූයේ ආසියානු කුසලානය ශ්‍රී ලංකාව සතු කර ගැනීමට ජාතික ක්‍රිකට් කණ්ඩායම සමත් වීම නිසාය. කාගෙත් නෙත් සිත් සොරාගත් කෝඩුකාරයකු ද ඒ අතර විය. ඒ අන් කිසිවකු නොව ප්‍රමෝද් මධුෂාන් ය. 2022 වසරේ ජූනි 24 වැනිදා හා හා පුරා කියා එක්දින තරග සඳහා ජාතික ක්‍රිකට් කණ්ඩායමට එක් වූ ඔහු ඕස්ට්‍රේලියාවට එරෙහිව ක්‍රීඩා කළද කැපී පෙනෙන දස්කම් දැක්වූයේ පසුගියදා නිමාව දුටු ආසියානු කුසලාන තරගයේදී ඔහු කඩුලු හතරක් ගැනීමත් සමඟය.
"අපිවත් පුතාවත් හිතුවේ නැහැ එයා ආසියානු කුසලානයට ක්‍රීඩා කරයි කියලා. ඒ අවස්ථාව ලැබුණම පුතා පුදුම තරම් සතුටු වුණා. පකිස්ථාන කණ්ඩායම එක්ක තරග කරන්න මොහොතකට කලින් එයා මටයි එයාගේ තාත්තාටයි කෝල් කළා. පුතා කොහේ මොන තරගයකට ගියත් මැච් එකට කලින් වගේම ඉවර වෙලත් අපි දෙන්නට කෝල් කරනවා. එදා තරගය ඉවර වුණු ගමන් කෝල් කළා. එදා මැච් එකට කලින් මම පහන පත්තු කරලා ප්‍රාර්ථනා කළා පුතා විකට් තුනක් හරි ගන්න ඕන කියලා. මම පුතා කතා කරද්දී කිව්වා, “පුතේ මම විකට් තුනක් ඉල්ලුවේ ඔයා විකට් හතරක්ම දුන්නනේ” කියලා. එයා හයියෙන් හිනාවුණා.
එදා අපිත් පුදුමාකාර විදිහට සතුටු වුණු දවසක්. මැච් එක වෙලාවේ අපේ ගෙදර පනහක් විතර අවට මිනිස්සු හිටියා. අපි මිදුලේ ලොකු තිරයක් දාලා මැච් එක බැලුවේ. මට ඉන්න මිනිස්සුත් අමතක වුණා. පුතා විකට් ගද්දි මම උඩ පැනලා කෑගැහුවා. ඒ වගේ ඒ මැච් එක දිනපු එකත් ලොකු සතුටක්. මොකද අපේ පවුලම ක්‍රිකට්ලෝලීන්. මගේ මහත්තයා එක්ක යාළු වෙලා ඉන්න කාලේ එයත් ක්‍රීඩා සමාජවලට ක්‍රිකට් සෙල්ලම් කළා. මට මතකයි මම ඒ තරග එකක්වත් අතාරින්නේ නැතුව බැලුවා. ප්‍රමෝද් පුතා ඉපදිලා මාසයක් යන්නත් කලින් මම එයාව වඩාගෙන මහත්තයාගේ මැච් බලන්න ගිහින් තියෙනවා. අපි ඒ තරම්ම ක්‍රිකට් පිස්සෝ.."
ඒ හැඟීම්බර වදන් කෝඩුකාර දක්ෂයා ප්‍රමෝද් මධුෂාන්ගේ ආදරණීය මව ප්‍රදීපා දිලක්ශි ගේය. 1993 දෙසැම්බර් 14 වැනිදා ඇය ප්‍රමෝද් මෙලොවට බිහිකරමින් කුළුඳුලේම මවක් වූ දාටත් වැඩි සතුටක් විඳ ඇත්තේ ක්‍රිකට් ක්‍රීඩකයකු ලෙස සිය පුතුගේ සාර්ථකත්වය දැකීමෙනි. ඇය ප්‍රමෝද් ගැන තවදුරටත් කතා කළේ උතුරායන ප්‍රීතියත් මවු සෙනෙහසත් එකට කැටිකරගෙනය.
"එයා වගේ ලෝකයක් වටින දරුවෙක් බිහි කිරීම ගැන මම ආඩම්බර වෙනවා. ඒ මගේ පුතානේ ඉතින්. හරිම සතුටුයි. පොඩි වුණාට දැන් කොල්ලා කරන්නේ ලොකු වැඩ. මම එයාව කුසේ තියාගෙන ඉන්න කාලෙත් එයාගේ තාත්තා ක්‍රිකට් ගහනවා බලන්න ගිහින් තියෙනවා.
අපේ ගෙදර බිත්තියක මුල්ලේ තමයි ඒ දවස්වල ප්‍රමෝද්ගේ තාත්තා එයාගේ බැට් එක හේත්තු කරලා තිබ්බේ. පුතා මුලින්ම දණගාගෙන ඇවිත් ඒ බැට් එකේ එල්ලිලා තමයි නැගිට්ටේ. එදා මම හිතා ගත්තා තාත්තා වගේ අතරමග නතර නොකර පුතාව ක්‍රිකට් ක්‍රීඩකයෙක් කරන්න ඕනේ කියලා. ඒ අහිංසක හීනේ ඉටු වුණා. අපේ ගෙදර බඩු මූට්ටු, මල් පෝච්චි වැඩිපුරම කැඩුවේ ප්‍රමෝද්. ඇත්තටම කිව්වොත් ප්‍රමෝද් කියලා එයාට එයාගේ තාත්තා නම දාන්නෙත් ක්‍රිකට්වලට තිබ්බ ආදරේ නිසාමයි. එයාගේ තාත්තා ප්‍රමෝද් වික්‍රමසිංහට හරි ආදරෙයි. පුතාට එයාගේ නම තමයි තිබ්බෙ එයාව මතක් වෙන්නයි"
ප්‍රමෝද්ගේ ආදරණීය පියා ප්‍රසන්න කිත්සිරි ය. ප්‍රමෝද්ට බාල සහෝදරියන් දෙදෙනකි. ලොක්කී, රශ්මී නදීශානී ය. ඇයගේ වයස අවුරුදු 24කි. පොඩ්ඩී, ප්‍රමුදි ජයශානිගේ වයස අවුරුදු 15කි. නැඟණියන් දෙදෙනකුගේ ආදරය සමඟ වැඩෙන ප්‍රමෝද් ක්‍රිකට්වලට අත්පොත් තබන්නේ හම්බන්තොට ප්‍රාථමික විද්‍යාලයෙනි. සාමාන්‍ය පෙළ දක්වා එම පාසලේ ඉගෙන ගත් ඔහු උසස් පෙළ සඳහා හම්බන්තොට තේරපුත්ත විද්‍යාලයට ඇතුළත් වෙන්නේ ජාතික ක්‍රිකට් කණ්ඩායමට කෙසේ හෝ සම්බන්ධ වීමේ අරමුණ ඇතිවය.
"ප්‍රාථමික විද්‍යාලයේ ඉද්දී තමයි පුතාව 15න් පහළ කණ්ඩායමට තෝරා ගන්නේ. මුලින්ම වලස්මුල්ල පාසල එක්ක තිබුණු බිග් මැච් එකකදි ලකුණු 135ක් විතර ගහලා දිනුවා. ඊට පස්සේ කොළඹ හා මාතර පාසලකින් පුතාට ආරාධනා ලැබුණත් එයා ගියෙත් නැහැ, අපි උනන්දු කළෙත් නැහැ. අද මම දුක් වෙනවා එදා කොළඹ පාසලකට දැම්මා නම් පුතා මීට කලින්ම ජාතික කණ්ඩායමට ඇතුළත් වෙලා නේද කියලා"
අම්මා කෙනෙකුගේ මවුවත් හිතේ හැටි එහෙමය. ඇයගේ සිතේ මල් පූදින්නේ සිය දරුවන්ගේ සාර්ථකත්වය දකිද්දීය. ක්‍රිකට් යනු වියදම් අධික ක්‍රීඩාවකි. ආහාරපාන රටාව පවා වෙනස් ය. එමෙන්ම ක්‍රිකට් ආම්පන්න සඳහා අධික මුදලක් දැරීමට සිදුවේ. මුලින් පා පන්දුවට ආදරේ කළ ප්‍රමෝද් ක්‍රිකට් සඳහා යොමු වෙන්නේ සිය මවුපියන්ගේ සිහින සැබෑ කරන්නටය.
"මම පෞද්ගලික බැංකුවක වැඩ කරන්නේ. ප්‍රමෝද් ගේ තාත්තා ලී බඩු සම්බන්ධ ව්‍යාපාරයක් කරනවා. අපිට ලොකුවට සල්ලි තිබ්බ මිනිස්සු නෙමෙයි. නමුත් කවදාවත් ඒ අඩුපාඩු පුතාට පෙන්නුවේ නැහැ. එයාගේ හැම උපන්දිනයක්ම සුළුවෙන් හරි අපි සමරනවා, කේක් එකක් හරි කපලා. 21 වැනි උපන් දිනේට පුතා ක්ලබ් මැච් එකට ඕස්ට්‍රේලියා ගිහින් හිටියේ. එයා වටලප්පන් කන්න ආසයි. මම බිත්තර 100ක් දාලා වටලප්පන් එකක් හදාගෙන, එයාගේ පළමු උපන් දිනේදි ගත්තු ෆෝටෝ එකේ ඉඳලා 21 වැනි උපන්දිනේ දක්වා ගත්ත ෆෝටෝස් දාලා ඇල්බම් එකක් හදාගෙන එයාර්පෝට් ගියා. තව උපන් දිනේකට බයික් එකක් අරන් කොළඹ යැව්වා යාළුවෙක් අතේ. ඒ වගේම බෝලෙයි විකට් කූරූ තුනයි තියෙන පෙන්ඩන්ට් එකක් එක්ක රත්තරන් මාලයක් හදලා දුන්නා. මේ හැමදේම තාත්තයි මායි කළේ පුතාව දිරි ගන්වන්න"
මවුපියන්ගේ ඒ දිරිගැන්වීමේ ප්‍රතිඵල එදා ලෝකයම දුටුවේය. ක්‍රිකට්වලින් ටිකින් ටික මුදල් උපයන්නට පටන් ගත් ප්‍රමෝද්, ටැමිල් යූනියන් ක්‍රිකට් සමාජය නියෝජනය කරමින් ක්‍රීඩා කිරීමෙන් ඔහුට ලැබෙන මුදල මුලින්ම දුන්නේ මවගේ අතටය.
"අම්මේ මැච් ගහලා හම්බුණු සල්ලි කියලා පුතා රුපියල් ලක්ෂයක් ගෙනත් මගේ අතේ තිබ්බා. අපි පුතාව ක්‍රිකට්වලට යොමුකළේ සල්ලි හම්බ කරන්න නෙමෙයි. නමුත් එයා නිසා අපේ ආර්ථික ප්‍රශ්න යම්තාක් දුරට විසඳුණා. එයා පුදුමාකාර දරුවෙක්. පුතා ශිෂ්‍යත්ව කරන කාලේ මම බංකුවක වාඩි වෙලා රෙදි හෝදන ගමන් එයාට කිව්වා,“ ඇයි පුතේ මෙච්චර සුදු ඇඳුම්වල කුණු, අම්මා අමාරුවෙන්නේ රෙදි හෝදන්නේ” කියලා. එයා ළිඳ උඩින් වාඩි වෙලා මට කිව්වා, “අම්මා ඉන්නකෝ මම ලොකු වෙලා වොෂින් මැෂින් එකක් අරන් දෙන්නම්” කියලා. එයා මැච් ගහලා ගත්ත සල්ලිවලින් මගේ උපන් දිනේකට වොෂින් මැෂින් එකක් කාමරෙන් තියලා ඇස් වහගෙන ගිහින් ඒක දුන්නා. ඒ වගේ දේවල්වලින් මාව හරියට පුදුම කරලා තියෙනවා "
ප්‍රදීපා ඒ මතක සිහි කරන්නේ මහත් ස්නේහයෙනි. ප්‍රමෝද් අවශ්‍ය වුයේ මවුපියන් ඔහු සතුටු කළ අයුරින්ම ඔවුන්ව සතුටු කිරීමය. අප ප්‍රදීපාගෙන් විමසුවේ ප්‍රමෝද් දැන් ආදරවන්තයෙක් ද කියාය.
" පුතා ආදරේ කරනවා කියලා තවම නම් දැනගන්න ලැබිලා නෑ. එයා කියලත් නැහැ. අපි ඉන්නේ යාළුවෝ වගේ. ඒ නිසා ඕන දෙයක් කතා කරනවා. කොයි වෙලාවක හරි අහු වෙයිනේ කියලා හිතාගෙන ඉන්නවා. බලමු ඉතින් මොකද වෙන්නේ කියලා "ඇය සිනාසෙමින් කීවාය.
ප්‍රමෝද්ගේ ලෝකයේ කිරුළු පැලඳි රජු ඔහුගේ පියා ප්‍රසන්න කිත්සිරි ය. ඔහු පුතු ගැන කතාබහට එක්වෙමින් කීවේ ඔහුට ළඟාවීමට නොහැකි වූ ස්ථානය කවදා හෝ පුතු විසින් අත්පත් කරගනු බලන්නට පෙරුම් පිරූ බවය.
" ඒ කාලේ තිබ්බ ආර්ථික ප්‍රශ්න එක්ක මම සම්පූර්ණයෙන් ම ක්‍රිකට්වලට සමු දුන්නා. මට කොල්ලෙක් ඉපදෙන්නේ කියලා දැන ගත්තම හිතුවේ එයාව නම් කොහොම හරි ක්‍රිකට් ක්‍රීඩකයෙක් කරනවා කියලයි. බෝලෙයි බැට් එකයි අතේම තිබ්බේ. මැච් තියෙද්දි අපි කෑම හදාගෙන ගිහින් තරග නරඹනවා. ඒක එයාට හයියක්. අදටත් මැච්වලට යන්න කලින් අපිට කෝල් කරන්නේ ඒකයි. අපි පන්සල් ගියා කියද්දි එයා සතුට වුණා. මේ මැච් එකේදී පුතා විකට් අරන් කැපීපෙනුණේ ආර්. සී. කුමාර සර්ට පින්සිද්ධ වෙන්නයි. එයා තමයි පිතිකරුවෙක් විදිහට හිටපු පුතාව පන්දු යවන්නෙක් කළේ. ආසියානු කුසලානයේ අවසන් තරග බලන්න ඔහුත් අපේ ගෙදර ආවා. ඔහු කිව්වේ ඔය ඉන්නේ තාත්තගේ ජවය කියලා. එදා සතුටට මගේ ඇස්වලින් කඳුළු ආවා. දෙමාපියන්ගේ හීන හැම දරුවෙකුටම සැබෑ කරන්න බැහැ. ඒත් මගේ පුතා ඒක කළා."
ඒ වදන් බොහෝ හැඟීම්බරය. ඒ වදන්වලින් දෝර ගලන්නේ පිය සෙනෙහසයි. තවමත් ක්‍රීඩා සමාජයේ නවාතැන් ගෙන පුහුණුවීම් කරන ප්‍රමෝද්ගේ සිහිනය කොළඹින් නිවෙසක් ගැනීමය. ඒ හම්බන්තොට මයුරපුර සිට කොළඹ එන ප්‍රමෝද්ට නිතර නිතර ගමට යෑම ඒම අපහසු නිසාය.
“පුතාට අපිව මිස් වෙනවා අපි හම්බන්තොට නිසා. ඉඩමක් අරන් හරි ගෙයක් හදලා දෙන්න ඕනේ“
“එතකොට වාහනයක්?” ඒ ප්‍රශ්නයට ඔහු පිළිතුරු දුන්නේ සංවේදීවය.
"ඇත්තම කිව්වොත් පුතාට කාර් එකක් නැහැ, මගේ කාර් එක විකිණුවා, තෙල් ප්‍රශ්න නිසා. මම ඒ සල්ලි දීලා කිව්වා තව සල්ලි ටිකක් දාලා වාහනයක් ගන්න කියලා. ඒත් පුතා කිව්වා, “අනේ එපා තාත්තේ ඔයා වගේ මහන්සි වෙලා මමත් වාහනයක් ගන්නම්, තාත්තා මේ සල්ලි තියාගන්න” කියලා. මේ මැච් එකෙන් ලැබුණු සල්ලිවලින් පුතා ඒ හීනයටත් යයි. මෙච්චර කල් එයා යන්නේ එන්නේ යාළුවෙකුගේ වාහනේකින්. ඔහු පුතාට කරන්නේ ලොකු උදව්වක්. ඒ වගේම තේරපුත්ත විද්‍යාලයේ ලීලානන්ද සර්වත් මේ වෙලාවේ මතක් කරනවා. ඔහුත් පුතාට විශාල ශක්තියක් වුණා. පුතා මොනදේ කළත් නිහතමානීව ජීවත් වෙයි කියලා අපිට විශ්වාසයි."
මවුපියන්ගේ ඒ විශ්වාසය ඔහුගේ ජීවිතය තවත් සාර්ථක කරනු නිසැකය.