මගේ පුතා ක්‍රිකට් ක්‍රීඩකයෙක් කරන්න බැරිවුණ හීනේ ආයෙත් දලු දැම්මේ මුණුබුරා නිසයි | සිළුමිණ

මගේ පුතා ක්‍රිකට් ක්‍රීඩකයෙක් කරන්න බැරිවුණ හීනේ ආයෙත් දලු දැම්මේ මුණුබුරා නිසයි

 

මතීෂ් දිව්වේ එයාගේ හීනේ පස්සේ නෙමෙයි මගේ හීනේ පස්සෙයි

 

මහීෂ් තීක්ෂණ යන නාමය ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට එකතු වන්නේ 2020 වර්ෂයේ ජූලි මස 8 වැනිදාය. ඒ ඕස්ට්‍රේලියාවට එරෙහිව පැවති ටෙස්ට් තරගාවලිය නියෝජනය කරමිනි. එතැනින් පටන් ගත් ඔහුගේ ක්‍රිකට් දිවියේ වර්ණවත් සමය තවත් ආලෝකවත් වන්නේ එක්දින හා පන්දු වාර විස්සයි විස්ස පිටියට ද එක් වීමේ අවස්ථාව හිමිවීමත් සමඟය. 2000 වසරේ අගෝස්තු මස 1 වැනිදා උපත ලැබූ මහීෂ් තීක්ෂණ සිය අම්මාටත් තාත්තාටත් වඩා සමීප වූ‍යේ තම ආදරණීය මිත්තණියටය. බහතෝරන වියේ සිට අත්තම්මාගේ

උකුලේ සිට ජීවන පොත කියවන්නට පටන් ගත් මහීෂ්ගේ ජීවිතයේ පළමු ඇදුරුතුමිය වූයේ ඇයයි. මේ දක්වා පැමිණි ජීවන ගමනට මහීෂ්ට විසල් ආශිර්වාදයක්, ශක්තියක් වූ ඇය, මහිෂ් ගේ ආදරණීය මිත්තණිය ඉන්ද්‍රා පද්මිණී, ‘සිළුමිණ’ සමඟ ළෙන්ගතු කතාබහකට එක්වූයේ මෙලෙසිනි.

“මහීෂ් කියන්නේ මගේ පුතාගේ පුතා. මහීෂ් පුතාට වයස අවුරුදු දෙකක් තුනක් විතර කාලේ ඉඳලා එයා නිතරම මාවයි මගේ මහත්තයාවයි බලන්න එනවා. ඊට පස්සේ එයා හැදෙන්නේ වැඩෙන්නේ අපි දෙන්නා තුරුලේ. හරියටම අපි දෙන්නගේ දරුවා වගේ. මහීෂ් කියන්නේ හරිම අහිංසක කීකරු දරුවෙක්. ඉගෙන ගන්න හරිම දක්ෂයි. ආර්ථික ප්‍රශ්න මැද්දේ එයා දිව්වේ එයාගේ හීනේ පස්සේ නෙමෙයි මගේ හීනේ පස්සේ. මට ඕන වුණා මහිෂ්ගේ තාත්තා ක්‍රිකට් ක්‍රීඩකයෙක් වෙනවට. ඒ නිසා මම එයාගේ තාත්තව පුංචි කාලේ එන්. සී. සී. එකට එක්කගෙන යනවා. ඒත් ඒ කාලේ රටේ තිබුණු යුදමය වාතාවරණයත් එක්ක එයාගේ ක්‍රිකට් ජීවිතේ අතරමග නතර වුණා. ඒ නිසා මගේ බලාපොරොත්තුවත් අතරමග නතර වුණා...“

මහීෂ් තීක්ෂණ මුලික අධ්‍යාපනය ලබන්නේ බොරැල්ල සුසමයවර්ධන විද්‍යාලයෙනි. පසුව සේදවත්ත සිද්ධාර්ථ මධ්‍ය මහා විද්‍යාලයට ඇතුළත් වන මහීෂ් ක්‍රිකට්වලට දැක්වූ දක්ෂතා නිසාම ඔහුට ‍ ශාන්ත බෙනඩික්ට් විද්‍යාලයට ඇතුළත් වීමට අවස්ථාව සැලසේ. ඒ අතීතය ගැන මහීෂ්ගේ මිත්තණිය මෙසේ කීවාය.

“මම කිව්වනේ පුතා හොඳට ඉගෙන ගත්තා කියලා. එයා කොහේ ගියත් මම හිටියේ එයාගේ පස්සෙන්. ශිෂ්‍යත්ව විභාගේ අනිවාර්යයෙන්ම පාස් වෙනවා කියලා පුතා කිව්වා. ඉස්කොලේ ගුරුවරුත් ලොකු විශ්වාසයක් තියාගෙන හිටියා පුතා පාස් වෙයි කියලා. 180ක් ලකුණු ගනියි කියලා හිතුවා. පුතා කිව්වා ශිෂ්‍යත්ව පාස් වුණොත් මට කම්පියුටර් එකක් ඕන කියලා. ප්‍රතිඵල ආව දවසේ පුතා කිව්වා, “ආච්චි අද මාත් එක්ක ඉස්කොලේට එන්න එපා. ඔයා මම ගෙදර එද්දී මට කම්පියුටර් එකක් ගෙනත් තියන්න” කියලා. පුතා ඉස්කොලේ ගියාට පස්සේ මම කම්පියුටර් එක ගන්න යන්න ලෑස්ති වෙද්දී පුතාගේ ටීචර් මට කෝල් කළා. මම ඇහුවා මිස් පුතාගේ ලකුණු කීයද කියලා. මහීෂ්ට ලකුණු හතරක් අඩුයි කියලා ටීචර් කිව්වම මට හරියට දුක හිතුණා. ඒක කියන්නද කතා කළේ මිස් කියලා ඇහුවම මිස් කිව්වා, “පුතා හරියට අඬනවා, පාස් වෙන්න බැරි වුණු නිසා. ආච්චි ඉක්මනින් එන්න” කිව්වා. මම ඉස්කෝලෙට යද්දිත් පුතා හොඳටම අඬනවා. මම කිව්වා “ඔයා පාස් පුතේ, අඬන්න එපා අපි යමු. මම ඔයාට කම්පියුටර් එක අරන් දෙනවා” කියලා. පස්සේ මම පුතාට කම්පියුටර් එක අරන් දුන්නා. ඒත් එයාට කිසිම සතුටක් නැහැ. දවස් දෙක තුනක් යනකල් එයා වෙනම කල්පනාවක හිටියේ. එතකොට එයාගේ සීයා විදෙස් රටක හිටියේ. මම පුතා ළඟට ගිහින් ඇහුවා පුතේ ඔයාව ක්‍රිකට්වලට දාන්නද කියලා. එයා හරි සතුටින් හා කිව්වා. ඒ මොහොතේ තමයි මගේ හීනය ආයෙත් දලු දැම්මේ. මම පුතාව එන්. සී. සී. එකට එක්කගෙන ගිහින් එයාව තිලක් සර්ට භාර දීලා අවශ්‍ය සියලු උපකරණත් අරන් දුන්නා...“

මහීෂ් තීක්ෂණගේ ක්‍රිකට් දිවිය ආරම්භ වන්නේ එලෙසිනි. අසමත් වීම ශක්තියක් කරගත් ඔහු පිත්තෙන් පන්දුවෙන් පමණක් නොව පන්දු රැකීමෙන් ද දක්ෂතා දක්වන්නට විය. මහීෂ් මුලින්ම පිත්ත හා පන්දුව අත්ට ගන්නේ ඔහුට වයස අවුරුදු දහයක් පිරෙද්දීය. අඟහිඟකම් ආදී සියලු බාධක බිඳ දමමින් ඔහු සිය ගමන පියවරෙන් පියවර ඉදිරියට යද්දී ඒ ගමනට ශක්තිය වුයේ ආදරණීය ආච්චි අම්මා සහ සීයාය.

“පුතාව ප්‍රැක්ටිස් එක්කගෙන යන්නේ මම. පුහුණු වීම් අවසානයේ තිලක් සර් ළඟට ගිහින් මම අහනවා සර් අද කොහොමද පුතා, එයාගේ දුර්වලතා, අඩුපාඩු මොනවද කියලා. දවසක් සර් කිව්වා, “මහීෂ්ගේ ආච්චි, පුතා කවදා හරි ජාතික කණ්ඩායමට ගහලා තමයි නතර වෙන්නේ” කියලා. අවුරුදු දහය වෙද්දී පුතාගේ දක්ෂතා මතු වුණා.

මුලින්ම පුතා 13න් පහළ පාසල් කණ්ඩායම නියෝජනය කළා. එයා ඩිවිෂන් ත්‍රී ගැහුවේ. එයාගේ කෝච් කිව්වා පුතා ලකුණු ගත්තට වැඩක් නැහැ ඩිවිෂන් වන් ගහන්න ඕන කියලා. 13න් පහළ ඉඳලා එයා ගැහුවේ පොල් අඩි කියලයි හැමෝම කිව්වේ. 19 පහළ දක්වා සෙල්ලම් කළා. 2015 වර්ෂයේ පාසල් ක්‍රිකට්වලින් හොඳම තුන් ඉරියව් ක්‍රීඩකයා වුණා. 19න් පහළ ලෝක කුසලානයට තේරිලා ඉන් ඉවත් කළ අවස්ථාවේ පුතා සෑහෙන්න මානසිකව කඩා වැටුණා. ඒක එයාගේ නරක පුරුද්දක්. හරි ඉක්මනින් මානසිකව වැටෙනවා. අපි වැටි වැටි නැඟිටිමු පුතේ කියලා මම නිතරම මහීෂ්ට කිව්වා. ඔයාගේ ආච්ච් අම්මත් ජීවිතේ වැටි වැටි නැඟිට්ට කෙනෙක් කියලා මම එයාගේ හිත හැදුවා. ඒ හයිය අරගෙන එයා එයාගේ දක්ෂතා ඉහළ නංවා ගත්තා. පුතා ජාතික කණ්ඩායමට තේරෙන්නේ උනන්දුව හා කැපවීම නිසයි. මහීෂ පුතා ජාතික කණ්ඩායමට තේරෙන්නේ 2021 අවුරුද්දේ. කෝල් කරලා පුතා මට ඒ ආරංචිය කියද්දි මට පුදුමාකාර සතුටක් දැනුණා. එයා මගේ සතුට මට දුන්න දරුවෙක්..."

මහීෂ්ගේ ආච්චි අම්මා මේ දක්වා ඔහු තරග කළ කිසිදු තරගයක් නැරඹීම මගහැර නැත. ඔහු ක්‍රීඩා කරන සෑම මොහොතකම ඇය ඔහුට දැවැන්ත ශක්තියක් වෙමින් ක්‍රීඩාගාරයේ කොතැනක සිට හෝ තරග නැරඹුවාය.

“පුතා ඉන්න හැම මැච් එකක්ම මම බලන්න යනවා. බැරිමවුණොත් මම ටී.වී එකෙන් හරි බලනවා. මේ වෙනකල් එක මැච් එකක්වත් මම අතඇරලා නැහැ. ඒ නිසා මාව නොදන්න කෙනෙකුත් නැහැ. එයා ජාතික කණ්ඩායමට තේරුණු දවසේ මගේ ෆෝන් එකට මුළු දවසම කෝල්ස් ආවා..."

මුළු ලෝකයේම අවධානය ගත් දිනාගත් මහීෂ් ගැන ඇය එසේ කීවේ අවිහිංසක ආඩම්බරයකින් හදවත පුරවාගෙනය. මහීෂ්ගේ දක්ෂතා ඇය අගය කරන්නේ මවුවත්කම ඉහවහා ගිය හදවතිනි.

“පුතා හරි දක්ෂයි ඉගෙන ගන්න. සාමාන්‍ය පෙළ විභාගයෙන් ඒ 7ක්, බී 1ක් හා සී 1ක් ගත්තා. උසස්පෙළ කළේ වාණිජ අංශයෙන්. විභාගයෙන් සී සාමාර්ථ තුනක් ගත්තා. පාසල් හරියට ගියා නම් ඊට වඩා ඉහළට යන්න තිබ්බා..“

කුඩා වියේ ආච්චි හා සීයා වට කරගෙන ක්‍රිකට් ගැසූ පුංචි කොල්ලා දැන් යස ඉලන්දාරියෙකි. කුඩා වියේ සිට ජීවිතයේ දුක, සැප බෙදාගත් ආච්චි අම්මා සහ දැනුදු ඔහුගේ ජීවිතයේ දැවැන්ත ශක්තියයි.

“ආච්චි කවදා හරි දවසක මම ඔයාලා දෙන්නව හොඳට බලා ගන්නවා. හැම සැප සම්පතක්ම දෙනවා කියලා නොතේරෙන කාලේ පවා මහීෂ් පුතා කිව්වා. ඒ වගේම එයා දැන් අංගසම්පුර්ණ දරුවෙක්. ගෙයක්, වාහනයක්, මිල මුදල් මේ හැමදේම එයාට තියෙනවා. හැබැයි ඊටත් වැඩිය ගොඩක් මනුස්සකම තියෙනවා. අවුරුදු 22ක් කියන්නේ පුංචි වයසක්. ඒත් ඒ වයසෙදි එයා හැමදේම ලබාගත්තා. ඒ ගැන මට තියෙන්නේ පුදුමාකාර සතුටක්.“

සියලු සැප සම්පත් ලැබෙද්දී බොහෝ දෙනෙකුට මුල අමතක වෙයි. මුදල් යහමින් අත ගැවසෙද්දි ඇතැමුන් නරකට පෙලඹෙති. දක්ෂ, ජනප්‍රිය යෞවනයකු වන මහීෂ් තීක්ෂණ ක්‍රිකට්වලින් ජීවිතය සාර්ථක කරගත් අයුරින්ම ඔහුගේ ජීවිතය යහපත් මාර්ගයේ යනු දකින්නට ඔහුගේ මිත්තණියගේ සිතේ ඇත්තේ බලාපොරොත්තු ගොන්නකි.

“නිතරම මම පුතාගේ ඔළුව අත ගාලා කියලා දෙනවා මේ සමාජයේ බොහොම පරිස්සමෙන් ජීවත් වෙන්න ඕනේ කියලා. සල්ලි ලැබෙද්දි මිනිස්සු වෙනස් වෙනවා. එහෙම වෙන්න එපා කියලා මම පුතාට මතක් කරනවා. පුතා කීකරු දරුවෙක්. ඒ නිසාම මම හිතනවා මගේ පුතා නරකට පෙලඹෙන්නේ නැති වෙයි කියලා..“

ඇය කීවේ සිය මුනුපුරා ගැන හදවත පිරී ඉතිරී යන සෙනෙහස වදන්වලට මුසු කරමිනි.

 

Comments