ඉස්සර අයියා එක්ක රණ්ඩු වුණාම කියනවා ඔයාට වඩා හොඳට මම ක්‍රිකට් ගහලා පෙන්නනවා කියලා | සිළුමිණ

ඉස්සර අයියා එක්ක රණ්ඩු වුණාම කියනවා ඔයාට වඩා හොඳට මම ක්‍රිකට් ගහලා පෙන්නනවා කියලා

 

වනිඳු නංගිට ගොඩක් කිට්ටුයි. ජොබ් එක­ක­ට­වත් යවන්න දෙන්නේ නැති තරම්ම ආද­රෙයි

වයස අවු­රුදු හත­රක් පහක් කාලේ ඉඳලා අවු­රුදු ගානක් යන­කල් වනිඳු මගේ ළඟට ඇවිත් “අම්මේ අපි පවුල පිටින් රට යමු” කියලා කිය­නවා.

මුලින්ම කණ්ඩායමට තෝරාගත්තා කියලා එස්. එම්. එස්. එක එද්දී අපි හිටියේ කතරගම දේවා‍ෙල ඉස්සරහා

කොළඹ පුහු­ණු­වීම් තියෙද්දි මම වනිඳු එක්ක බස් එකේ නැඟලා කොළඹ එනවා, හවස ගෙදර යනවා. අවු­රුදු 18ක් වෙන­කල් මම එයත් එක්ක ඒ විදි­හට ගියා

එයාගේ කැමැත්ත මත ආදරේ කරන්න කෙනෙක්ව තෝරා ගත්තා

 

ඇතැමුන් ජීවිතයේ විවිධ සංධිස්ථාන අහම්බයක් කරගත් පුද්ගලයන්ය. එහෙත් දරුවකු කුඩා අවදියේම " අපි පවුල පිටින්ම රට යමු.." යැයි කීවා නම් ඒ වචනවල කුමක් හෝ අර්ථයක් ඇතැයි එදා ඒ මවුපියන්ටවත් වැටහීමක් නොතිබෙන්නට ඇත. එසේ කීවේ අන් කිසිවකු කවුරුත් නොව ක්‍රිකට් ලොව අංක එකට පත් වූ අපූරු පන්දු යවන්නකු වූ අපේ වනිදු හසරංග ය.

" පුතාට වයස අවුරුදු හතරක් පහක් ඇති.

ඒ කාලේ ඉඳලා අවුරුදු ගානක් යනකල් පුතා මගේ ළගට ඇවිත් අම්මේ අපි පවුල පිටින් රට යමු.. කියලා කියනවා. අපි ඒ වචන ගණන් ගත්තේ නැහැ. එයා අපේ පවුලට එකතු වුණු දෙවැනි දරුවා. ලොකු පුතා චතුරංග ද සිල්වා. එයාට වඩා වනිඳු අවුරුදු හතක් බාලයි. ලොකු පුතා තමයි මුලින්ම ක්‍රීඩා කළේ. ඒ වගේම ජාතික කණ්ඩායමට තේරුණෙත්. එයාගේ පස්සෙන් වැටිලා බෝලයකුයි බැට් එකකුයි තියාගෙන වනිදු සෙල්ලම් කළා. වනිඳුගේ නංගි, චතුරි හසරංගී ද සිල්වා. වනිඳු නංගිට ගොඩක් කිට්ටුයි. ජොබ් එකකටවත් යවන්න දෙන්නේ නැහැ, ඒ තරම්ම ආදරෙයි. ඉස්සර වනිඳු අයියා එක්ක රණ්ඩු වුණාම කියනවා ඔයාට වඩා හොඳට මම ක්‍රිකට් ගහලා පෙන්නනවා කියලා..පස්සේ වනිඳු ගේ ක්‍රිකට් ජීවිතේට අයියා තමයි ලොකුම ශක්තිය, උදවුව වුණේ. එයා උසස් පෙළ දක්වා ඉගෙන ගත්තේ ගාල්ල රිඩ්මන්ඩ් විද්‍යාලයේ. එයා හොඳට ඉගෙන ගත්තත් උසස් පෙළ විභාගයට මුහුණ දෙන්න බැරි වුණා ලෝක කුසලාන තරගයක් නිසා."

ඒ වදන් උපන් බිමට බරක් නොවූ, ලෝකයක් ම කතා කරන ආදරණීය පුතකු බිහි කළ වනිඳු ගේ ආදරණීය මව කේ. ජී සමන්ති ගේය. තම පුතා අද ක්‍රීඩාව වෙනුවෙන් කෝටි ගණනකට විකිණෙද්දී තම ඇකයේ හොවා ඇති දැඩි කරමින් විනයක් ඇති දරුවකු මෙලොවට බිහි කිරීම ගැන ඇය නිහතමානිව සතුටු වන්නීය.

"අයියට විතරක් ක්‍රිකට් ගහන්න දෙනවා, මට තමයි මොකුත් කරන්න දෙන්නේ නැත්තේ. ශිෂ්‍යත්ව විභාගේ පාස් වුණොත් මට ක්‍රිකට් ගහන්න දෙනවද කියලා වනිඳු පුතා මගෙනුයි තාත්තාගෙනුයි ඇහුවා. අපි හා කිව්වා. ඒත් එයාට ශිෂ්‍යත්ව විභාගය පාස් වෙන්න ලකුණු 4ක් මදි වුණා. නමුත් අපි ඔහුට ඉඩ දුන්නා ක්‍රීඩා කරන්න. ඒ විදිහට තමයි පුතා ක්‍රිකට් පටන් ගත්තේ. කොළඹ පුහුණුවීම් තියෙද්දි මම එයත් එක්ක බස් එකේ නැඟලා කොළඹ එනවා, හවස ගෙදර යනවා. අවුරුදු 18ක් වෙනකල් මම එයත් එක්ක ඒ විදිහට ගියා.

වනිඳු එදත් අදත් හරිම නිහඬ දරුවෙක්. ගෙදර ඉන්නකොට පවුලත් එක්ක විනෝදෙන් ඉන්නවා. දඟ නැහැ. රතු බත් එක්ක පොල් සම්බෝල, කරවල තෙල් දාලා කන්න ආසයි. දෙන ඕන දෙයක් එපා නොකියා කනවා. හැබැයි තෙල් අඩුවෙන් කන්නේ. කිසි කරදරයක් නැති දරුවෙක්. පාසලටත් නැතිවම බැරි ප්‍රසිද්ධ චරිතයක්..."

ඇය වනිඳු ගැන එසේ උදම් අනන්නීය. කුඩා කල සිටම පන්දුව එහෙට මෙහෙට විසි කරන වේගයට බිත්තියේ එල්ලා ඇති බිත්ති ඔරලෝසු කුඩුපට්ටම් වී බිමට ඇදගෙන වැටෙද්දී රූපවාහිනි රදවනයේ වීදුරුවල පන්දුව වැදී ඒ විදුරු කුඩුපට්ටම් වෙද්දී ඇය වනිඳුට සැර කළා නම් අද අපට වනිඳු හසරංග නම් දක්ෂ ක්‍රීඩකයා දැක ගැනීමට ලැබෙන්නේ නැත. ඇය පුතු කුඩා කල සිටම සංයමයෙන් ඔහුගේ විනය හැදුවාය.

වර්ෂ 1997 ජූලී මස 29 වැනිදා හේමන්ත ද සිල්වා හා සමන්තිට දාව උපන් වනිඳු හසරංග, මංගල එක්දින තරගයකදී කඩුලු ත්‍රිත්වයක් ලබා ගත් ලොව පළමු පා දඟ පන්දු යවන්නා බවට පත් විය. එපමණක් නොව ඔහු පන්දු වාර 20 යි 20 පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්වල ලොව අංක දෙකේ ක්‍රීඩකයා බවට පත් විය. ලොව අංක එකේ පන්දු යවන්නා වූ දකුණු අප්‍රිකානු ක්‍රීඩක තබ්‍රාස් ශම්සී අබිබවා ලොව අංක එකේ පන්දු යවන්නා බවට පත් වූයේ පන්දු වාර විස්සයි විස්ස තරග බිමේදීය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් වරක් ප්‍රසිද්ධියේ පැවසුවේ “මම හිතනවා ලබන වසර වෙනකොට වනිඳු ලොව වටිනාම ක්‍රීඩකයන් 10 දෙනා අතරට එක් වේවි කියලා. ඔහු ක්‍රීඩාව තුළ වේගයෙන් ඉදිරියට යනවා. වනිඳු හසරංග කියන නම හොඳින් මතක තියාගන්න " කියාය. ඒ වදන් අද පුස්සක් නොව ඇත්තක් බවට පත්වී හමාරය.

" පුතා පාසල් ක්‍රිකට් කණ්ඩායමට එකතු වෙන්න ආසාවෙන් හිටපු දරුවෙක්. 13න් පහළ කණ්ඩායමට ගනීවි කියලා පුතා අවුරුද්දක් පුහුණුවීම්වලට ගියා. ගෙදරින් ගෙනියන කෑම එක කාලා

 ගෙදර එනවා මිසක් මුලින් හිටපු කෝච් එයාව කණ්ඩායමට ගත්තේ නැහැ. ඊට පස්සේ ආපු කෝච්, ධනුෂ්ක දෙනගම සර් 13න් පහළ බී කියලා කණ්ඩායමක් හදලා පුතාව ඒකට අරගෙන ඒකේ නායකත්වයත් පුතාට දුන්නා. ඊට පස්සේ වනිඳු දිගටම පාසල් කණ්ඩායමේ හිටියා. උසස් පෙළ කරලා අවුරුද්දක් විතර ගියාට පස්සේ ඒ කියන්නේ 2017 වර්ෂයේ අපි පවුලේ හැමෝම එක්ක කතරගම ගියා. වනිඳු හසරංග ජාතික සංචිතයට තෝරා ගත්තා කියලා මැසේජ් එක එද්දි අපි හිටියේ කතරගම දේවාලය ඉස්සරහ. ඒ එස්.එම්.එස් එක දැකලා අපි හරියට සතුටු වුණා. ගාල්ලේ මැච් තිබ්බේ. සිම්බාබ්වේ කණ්ඩායම ලංකාවට ඇවිත් හිටියා එක්දින තරග සඳහා. සංචිතයේ හිටියත් පළමු තරග සඳහා වනිඳු ක්‍රීඩා කළේ නැහැ.

දෙවැනි මැච් එකටයි සෙල්ලම් කළේ. එදා 2017 ජූලි 2 වැනිදා. එදා පුතා කඩුලු ත්‍රිත්වයක් ලබා ගත්තා. ඊට පස්සේ මැච් කිහිපයකම සෙල්ලම් කළා. අවුරුද්දක් විතර වනිඳුට අවස්ථාව ලැබුණේ නැහැ. එයා ඒ කාලේ කනගාටුවෙන් හිටියේ. අපි කිව්වා ඔහොම තමයි ඔයා ආයෙත් ප්‍රෆෝම් කරන්න ඔයාට අවස්ථාව ලැබෙයි කියලා. එහෙම දිරිමත් කළා. පස්සේ නැවත පුතා දක්ෂතා අතරට ඇවිත් දිගටම ක්‍රීඩා කළා. පාසල් කාලේ සර්ලා කියලා තියෙනවා වනිඳු කවදාහරි අයියාටත් වැඩියෙන් දක්ෂතා දක්වලා ඉදිරියට යයි කියලා.; මෙවර අයි.පී. එල් තරග සඳහා ලංකා මුදලින් රුපියල් කෝටි 30ක පමණ මුදලකට ලංසූ තැබූ වනිඳු බොහෝ දෙනකුගේ බලාපොරොත්තු ඉටු කළ ආකාරය ගැන ඔහුගේ පියා වූ හේමන්ත එසේ කීවේය.

"පුතා දක්ෂතා දක්වලා කෝටි කීයක් ගත්තත් මවුපියන් විදිහට අපි දරුවන්ගෙන් මූල්‍යමය වටිනාකම නෙමෙයි බලන්නේ, එයා උපන් රටට කොච්චර සේවයක් කරනවද කියලා බලන්නේ..දැන් පුතා දැනුම් තේරුම් තියෙන දරුවෙක්. උපදෙස් දුන්නත් අරවා කරන්න එපා, මෙහෙම ඉන්න කියලා අපි දරුවව කොටු කරන්නේ නැහැ. ඒ වගේම මුදල් තියෙන නිසා දැන් එයා කැමති විදිහට මිනිසුන්ට උදවු කරනවා.

ජනප්‍රිය වුණාට පස්සේ පුතාට අපි හරහා යෝජනා ආවේ නැහැ. එයාගේ කැමැත්ත මත ආදරේ කරන්න තරුණියක් තෝරා ගත්තා. නමුත් අපි පුතාට කියන්නේ දැන්ම විවාහ වෙන්න එපා කියලයි, මොකද මේ පුතාගේ හොඳම කාලේ ක්‍රීඩා කරන්න..ඒ වගේම වනිඳුව හදපු ගුරුවරු ඉන්නවා. ධනුෂ්ක දෙනගම, ධම්මික සුදර්ශන, ලක්මාල් ද සිල්වා හා දමිත් ප්‍රසන්න කියන සර්ලට මම ස්තූති කරනවා වනිඳුව ක්‍රීඩාවෙන් හැදුවට. පුතා මුලින්ම වේග පන්දු යවන්නෙක්. ලක්මාල් සර් තමයි පුතාට දඟ පන්දු යැවීම සුදුසු බව තේරුම් කරලා දීලා ඒ සඳහා යොමු කළේ. එදා එහෙම නොවුණා නම් අද වනිඳු ගැන මෙහෙම කතා කරන්න ඉඩක් නොලැබෙන්නත් ඉඩ තිබ්බා. .."

පිත්තෙන්, පන්දුවෙන්, පන්දු රැකීමෙන් අති දස්කම් පාන වනිඳු හසරංග ගැන ඔහුගේ ආදරණීය මවුපියන්ට ඇත්තේ අවිහිංසක අභිමානයකි.

ලොව අංක එකේ යැයි කියන ශක්තිවන්තයන් අභිබවමින් අංක එකට පන්දුවෙන් හරඹ කරන වනිඳුට අපි ද සුබ පතන්නෙමු.

Comments