වර්ෂ 1992 ජනවාරි මස 11 වැනිදා රාගම දී අජිත් හේමන්ත සහ දීපා ප්‍රනාන්දු යුවළට දාව කුළුඳුලේ උපදින පුතුට ඔවුහු නම් තැබුවේ දුෂ්මන්ත චමීර ලෙසිනි. බාල සහෝදරයකු හා සහෝදරියක සිටියත් නිවෙසේදීත් පාසලේදීත් ඉන් පිටතදීත් දුෂ්මන්ත අහිංසක දරුවකු විය.
උපත රාගම සිදු වුවත් දුෂ්මන්ත ඇතුළු පවුලේ අය ජීවත් වන්නේ මීගමුවේ ය. එනිසාම ඔහු මුලික අධ්‍යාපනය ලබන්නේ මීගමුව හරිශ්චන්ද්‍ර විද්‍යාලයෙනි. ක්‍රිකට් ක්‍රීඩාවට උපන් හපනකු වූ නිසාම ඔහුට මාරිස්ටෙලා විද්‍යාලයට ඇතුළත් වී අධ්‍යාපනය හදාරන්නත් ක්‍රිකට් ක්රිඩකයකු ලෙස දක්ෂතා දක්වන්නටත් අවස්ථාව හිමි විය. සාමාන්‍ය පෙළ විභාගය හොඳින් සමත් වෙන දුෂ්මන්ත උසස් පෙළ සඳහා වාණිජ විෂයන් තෝරාගත්තද ක්‍රිකට් ක්‍රිඩාවට මුලිකත්වය දුන් නිසාම ඔහුගේ අධ්‍යාපනය අතරමග නතර විය.
“මම ඉගෙන ගත්තෙ මාරිස්ටෙලා විද්‍යාලයේ. ඒ වෙද්දි දුෂ්මන්ත මලල ක්‍රීඩකයෙක් විදිහට දක්ෂතා දක්වලා තිබුණා. නමුත් ක්‍රිකට් ක්‍රීඩකයෙක් විදිහට නම් මම එයා ගැන වැඩිය දැනගෙන හිටියේ නැහැ. ඒ වගේම ඉස්කෝලෙන් අවුට් වුණාට පස්සේ එයා මොනවද කළේ කියන්න දැනගෙන හිටියෙත් නැහැ. දුෂ්මන්ත එක්ක කතාබහ කරන්න ළඟින් ආශ්‍රය කරන්න ලැබෙන්නෙ අහම්බෙන්. ෆේස් බුක් එකෙන් තමයි අපි දැනහඳුනා ගත්තේ. එයා ගිහින් තියෙන්නෙත් මම ගිය පාසලටම තමයි කියලා දැනගත්තෙත් ෆේස්බුක් බුක් එකෙන් චැට් කළාට පස්සෙයි” එලෙසින් ඔහුගේ වතගොත අප හමුවේ තැබුවේ දුෂ්මන්ත චමීරගේ ආදරණීය බිරිය, සුලෝචනා සේනානායක ය.
“ඒ කතාබහ දුර දිග ගිහින් නොදැනුවත්වම අපි පෙම්වතුන් වුණා. එතකොට තමයි දුෂ්මන්ත එයා ක්‍රිකට් ක්‍රීඩකයෙක් විදිහට කටයුතු කරනවා කියලා කිව්වේ. මම එච්චර හිතුවේ නැහැ. කවදා හරි ජාතික ක්‍රිකට් කණ්ඩායමට ඇතුළත් වෙයි කියන හැඟීමක්වත් තිබ්බේ නැහැ. ඒකට හේතුව මට ක්‍රිකට් ගැන නොතිබුණු අඩු දැනුම වෙන්න ඇති. අපි පෙම්වතුන් වුණේ 2011 වර්ෂයේ අන්තිමට වගේ. 2017 වර්ෂයේ සැප්තැම්බර් මාසේ 7 වෙනිදා අපි විවාහ වුණා. එදත් අදත් එයා මාත් එක්ක ගෙදරදි කතා නොකරනම මාතෘකාව ක්‍රිකට්. එයා දන්නවා ඒ ගැන කතා කරලා වැඩක් නැහැ, මට ඒ ගැන අවබෝධයක් නැති නිසා කියලා. හැබැයි යාළුවෝ එක්ක එකතු වුණොත් කතා කරන්නෙම ක්‍රිකට් ගැනම තමයි.”
සුලෝචනාට ක්‍රිකට් ගැන අවබෝධයක් නැති වුවද සිය ආදරණීය සැමියා දුෂ්මන්ත ගේ කුඩා කල ක්‍රිකට් ජීවිතය ගැන ඔහුගේ මවුපියන්ගෙන් අසා දැනගත් රසවත් කතා බොහෝය.
“දුෂ්මන්ත ක්‍රිකට්වලට ආසා කරලා තියෙන්නේ එයාට වයස අවුරුදු තුනක් හතරක් විතර තියෙද්දි. තාත්තට කියලා මේස් එකකට බෝලයක් දාලා ඒක ගැටගහලා ඒකට බැට් එකෙන් ගහලා ක්‍රිකට් ගහනවා කියලා කියනවලු. එයා ක්‍රිකට්වලට උනන්දුවක් තියෙනවා කියලා දැන ගත්තට පස්සේ තාත්තා එයාව ක්‍රිකට් ක්‍රිඩාවට යොමු කරලා තියෙනවා. ඒ විදිහට තමයි එයා පාසලෙන් ක්‍රිකට් පටන් අරගෙන තියෙන්නේ. දුෂ්මන්තට ජාතික කණ්ඩායමට ආරාධනා ලැබෙද්දි අපි විවාහ වෙලා හිටියේ නැහැ. ඒ ආරංචිය ඇහුවාම මට ලොකු සතුටක් දැනුණා. ජාතික කණ්ඩායමට එකතු වුණාට පස්සේ මුලින්ම 2015 අවුරුද්දේ ජනවාරි 29 වැනිදා නවසිලන්තයේදී නවසීලන්තයට එරෙහිව තමයි දුෂ්මන්ත ක්‍රීඩා කළේ. එයා මුලින්ම එකතු වෙන්නේ එක්දින පිටියට. නමුත් එයා දක්ෂතා දක්වන්නේ පන්දු වාර විස්සයි විස්සේ තරගවලට කියලා මට හිතෙනවා.”
ක්‍රිකට් යනු මහත්වරුන්ගේ ක්‍රීඩාවක් යැයි පැවසුවත් ශ්‍රී ලංකාවේ ක්‍රිකට්වලට යොමු වූ බහුතරයක්ම ග්‍රාමීය පරිසරයෙන් පැමිණි තරුණයන්ය. නොයෙකුත් ආර්ථික අපහසුතා මැද ක්‍රීඩා දිවිය සරු කරගත් ක්‍රීඩකයන් ය. දුෂ්මන්ත ගේ ක්‍රිකට් ජීවිතය ද එසේය. මේ දක්වා පැමිණි ගමන සුන්දර එකක් නොවීය. ඒ ගැන ද සුලෝචනා අප සමඟ කීවාය.
“ක්‍රිකට් කියන්නේ ලොකු කැපකිරීමක් කරන්න ඕන ක්‍රීඩාවක්. ඒ වගේම හරියට මනස නිදහසේ තියාගෙන ක්‍රීඩා කරන්න නම් ආර්ථිකය තරමක් දුරට හෝ හොඳ මට්ටමක තියෙන්නත් ඕනේ. එයාගේ අම්මා ගෘහණියක්. තාත්තා ව්‍යාපාරිකයෙක්. නමුත් දුෂ්මන්තගේ ක්‍රීඩා ජීවිතය, ආර්ථික ප්‍රශ්න එක්ක ගොඩ නැඟුණු ජීවිතයක්. එයාගේ මවුපියෝ එයාලට පුළුවන් විදිහට දුෂ්මන්තට උපරිම සැප පහසුකම් දීලා තියෙනවා. මොන ප්‍රශ්න තිබ්බත් දුෂ්මන්ත කවදත් සැලෙන කෙනෙක් නෙමෙයි. ඍණාත්මකව හිතන කෙනෙකුත් නෙවෙයි. පසුගිය දවසක එයා වළලුකර ආබාධයකට ලක් වුණා. නමුත් මානසිකව වැටුණේ නැහැ. අද වගේම තමයි ඒ කාලෙත් එයා එයාගේ අරමුණ ඉලක්ක කරගෙන ඒ ඉලක්කයට ගියා. බාධක ගැන හිතුවේ නැහැ.ඒ නිසා තමයි එයා නැවත ජාතික කණ්ඩායමට එකතු වෙලා එයාගේ දක්ෂතා දක්වන්නේ. ආර්ථික ප්‍රශ්න ගැන හිතලා දුෂ්මන්ත ක්‍රිකට් නතර කළා නම් අද එයාගේ දක්ෂතා දකින්න වෙන්නේ නැහැ..“
දියණියක විවාහ කරදීමට සහකරුවකු ගැන සොයන මවුපියෝ බොහෝ දේ ගැන සොයා බලති. ස්ථාවරත්වයක් නැති ක්‍රිකට් ක්රීඩකයකුට දියණිය දීග දෙන්නට ඔවුහු කිහිපවරක් සිතීම අරුමයක් නොවේ. ඊට හේතුව ජාතික කණ්ඩායමට එකතු වන ක්රීඩකයකුට හැරෙන්නට ක්‍රිකට් ක්‍රීඩා කරන හැම ක්‍රීඩකයකුගේම ආර්ථිකය එතරම් සුබ දායක නොවන නිසාය. සුලෝචනාගේත් දුෂ්මන්තගේත් ආදරයට බාධා එන්නේ ද ඒ නිසාය.
“මුලින්ම අපේ ගෙදරින් විරුද්ධ වුණා එයා ක්‍රිකට් ක්‍රීඩකයෙක් වුණාට ස්ථිර ආදායමක් හෝ රැකියාවක් නැති නිසා. ඊට අමතරව ක්‍රිකට් ක්‍රීඩකයෙක් කිව්ව ගමන් සමාජයේ විවිධ කතාත් තියෙනවනේ. ඒ කාලේ ඇතැම් ක්‍රීඩකයන් ගැන විවිධ මත සමාජයේ සම්මත වෙලා තිබුණා. ඒ නිසා එයා ක්‍රිකට් ගහනවා කියලා දැනගත්තම අපේ ගෙදරින් විරුද්ධ වුණා. ඒ වෙද්දී මම උසස් පෙළ කරලා වැඩිදුර අධ්‍යාපනය හදාරන ගමන් හිටියේ. මුලින් දුෂ්මන්තට අපේ ගෙදරින් අකමැති වුණත් පස්සේ එයා එක්ක කතාබහ කරලා එයාගේ මවුපියෝ එක්ක කතා කළාම එයා හොඳ ගතිගුණ තියෙන කෙනෙක් කියලා මගේ අම්මයි තාත්තයි තේරුම් ගත්තා. ඊට පස්සේ තමයි අපිට විවාහ වෙන්න අවසර ලැබුණේ.”
සුලෝචනා ඒ අතීතය සිහිකරන්නේ සෙනෙහසිනි. එවැනි බාධා මැද ජයගත් ආදර කතාව අවසානයේ විවාහ ජීවිතයට එලැඹි ඔවුන් දෙදෙනා මේ වන විට වසරකුත් මාස හතරක් වයසැති පුත්රුවනකගේ මවුපියන්ය. ඔහු නමින් නෙයුල් ධනුල්ය ය. මේ අතර තවත් අමුත්තකු ඔවුන්ගේ කැදැල්ලට එකතු වීමට නියමිත අතර ඔහු ද පුතකු බව සුලෝචනා පැවසුවේ සොම්නසිනි. ඒ අලුත් අමුත්තා ඔවුන් අතරට පැමිණීමට නියමිතව ඇත්තේ මේ වසර අවසානයේය. දුෂ්මන්ත නිහඬ චරිතයක් වුවත් ලැබෙන විවේකය පුතු සමඟ විනෝදෙන් ගතකරන්නට කැමතිය. ඒ ගැන ඔහුගේ ආදරණීය බිරිය කීවේ මෙලෙසිනි.
“පුතා ඉපදෙන්න දින ළංවෙලා තියෙද්දි දුෂ්මන්ත හිටියේ බංගලාදේශ සංචාරයකට සම්බන්ධ වෙලා. මාව හොස්පිටල් ඇඩ්මිට් කළාට පස්සේ පුතාගේ ඩිලිවරි එකට එයා මැච් ස්කිප් කරලා ආවා. පුතා ඉපදෙනකොට එයා මගේ ළඟ හිටියේ. එයා පුතාව දැක්කම හරියට සතුටු වුණා. ඊට පස්සේ එයා ආයෙමත් බබාව දැක්කේ මාස තුනකට පස්සේ. විඩියෝ කෝල්ස් අරන් තමයි බබාව බලන්නේ. පුතේ තාත්තා කෝ කියලා අදටත් අහද්දී එයා ළඟ හිටියත් පුතා පෙන්නන්නේ ටීවී එක. මොකද මම පුතා එක්ක තමයි එයා ඉන්න මැච් බලන්නේ. එයා තාත්තා තාත්තා කියලා ටීවී එක පෙන්නනවා මැච් දකිද්දී. සමහර කාල තිබ්බා දුෂ්මන්තව දකින්නේ මාස තුන හතරකින්. නමුත් මම ඒවා විඳදරාගෙන එයාගේ ගමනට ආශිර්වාද කළා. දැන් එයා පුළුවන් විදිහට අපිත් එක්ක ඉන්නවා. පුතා එක්ක සෙල්ලම් කරනවා. පවුල වෙනුවෙන්, මවුපියන් වෙනුවෙන් එයාට පුළුවන් උපරිමයෙන් කරනවා. එයාගේ අම්මා තාත්තට එයා හරිම කීකරු දරුවෙක්.“
2015 වර්ෂයේ ජනවාරි මස 29 වැනි දින හා හා පුරා කියා ඔහු ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට එක්ව එක්දින පිටියේ ඔහුගේ දක්ෂතා දැක්වුවත් ඔහු ජාතික කණ්ඩායම තුළ නිතරම රැඳුණේ නැත. එහෙත් මේ වෙද්දී ඔහු ජාතික කණ්ඩායමේ නිත්‍ය සාමාජිකයෙකි. එපමණක් නොව ඔහු ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ සිටින ප්‍රධානතම වේග පන්දු යවන්නාය. 2022 වර්ෂයේ ඉන්දියා ප්‍රීමියර් ලීග් නියෝජනය කළේ ලක්නව් කණ්ඩායම නියෝජනය කරමිනි. එක්සත් එමිර් රාජ්‍යයේ විස්සයි 20 තරග සඳහා ඔහු ගිවිසුම් ගත වී ඇති අතර, ආබාධ තත්ත්වය පහව ගියහොත් බොහෝ දුරට ඔහුට ආසියානු කුසලාන තරගාවලිය සඳහා සහභාගි විය හැකිය.
“එයා මූල්‍ය අතින් ශක්තිමත් වුණේ ටිකෙන් ටික. අපිට මුලින් වාහනයක්වත් තිබ්බේ නැහැ. එයා තරගවලට සම්බන්ධ වෙලා උපයා ගත් මුදල් එකතු කරලා තමයි 2016 අවුරුද්දේ අපි වාහනයක් ගත්තේ. දැන් ආර්ථිකය ශක්තිමත් වගේම එයා ක්‍රීඩාලෝලින් අතර ඉන්නවා. නමුත් ආඩම්බර නැහැ. ඒ දේවල් එක්ක එයා පවුල කඩාගෙන වෙන දේවල් පස්සේ යයි කියලා හිතන්නේ නැහැ. ඒ තරම්ම එයාට මුල මතකයි. ඒ නිසා එයා එක්ක ජීවත් වෙන්න ලෙසියි. කෑමබීම වුණත් දෙන දේ කනවා. අඩුපාඩු හොයන්නේ නැහැ. එයා හරි ආසයි කළුවට මස් හදලා කන්න. තව සලාද කන්න ආසයි. ක්‍රීඩාව නිසා එයා කෑම බීම පාලනයකුත් කරනවා.."
එක්දින පිටියේ හොඳම පන්දු යවන්නා වූ දුෂ්මන්ත චමීර ගැන අවසන් වශයෙන් ඔහුගේ බිරිය පැවසුවේ එලෙසිනි.