
කොරෝනා වසංගතය මර්දනය කිරීමට එකම අවිය එන්නත්කරණය බව මේ වන විට මුළු ලෝකය ම පිළිගෙන ඇත. ඒ අනුව මේ වන විට ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 3.9%ක් එන්නත්කරණයට ලක්වී ඇත. ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 30ට වැඩි ලක්ෂ 13ට පමණ කොවිෂීල්ඩ් එන්නතත්, ලක්ෂ 20ට සයිනොෆාම් එන්නතත්, ලක්ෂ 1 1/2 පමණ ස්පුට්නික් එන්නතත් ලබාදී ඇත.මේ ජූලි අවසානයට පෙර බස්නාහිර පළාතේ වයස අවුරුදු 30ට වැඩි සියලුම දෙනාට කොවිඩ් එන්නත් ලබාදීමට මේ දිනවල රජය වහ වහා කටයුතු කරගෙන යයි.
කොළඹ 1 සිට 15 දක්වා මධ්‍යස්ථාන රාශියක දිනපතා කොවිඩ් එන්නත් ලබාදීමට වෛද්‍යවරුන්, හෙදියන්, පොලිස් නිලධාරින් ඇතුළු කාර්ය මණ්ඩලය 1000 අධික පිරිසක් යොදවා ඇත. ඒ අනුව සති අන්තයේද ඇතුළුව මේ දිනවල උදේ 9.00 සිට සවස 5.00 පමණ වනතුරු කොරෝනා එන්නත් ලබාදීම කොළඹ මහනගර සභාවේ අධීක්ෂණය යටතේ සිදු කරගෙන යනු ලබයි. මේ යටතේ කොළඹ නගර සීමාවේ පදිංචි අවු: 30ට වැඩි අයටත්, පිටපළාත්වලින් පැමිණ කොළඹ නගරය තුළ රැකියාවල නියුතු අයවලුන්ටත් එන්නත් ලබා ගැනීමේ පහසුකම් හිමිවී ඇත.
කොවිඩ් එන්නත ගැන මුල් යුගයේ ජනතාව තුළ එතරම් උනන්දුවක් නොතිබුණත් මේ වන විට එන්නත් මධ්‍යස්ථාන විවෘත කිරීමටත් පෙර සිටම පාන්දර සිටම ජනතාව පෝලිම්වල සිටිනු දක්නට ලැබේ. කොළඹ නගරයේ එන්නත්කරණ පිළිබඳ කරුණු විමසනු වස් පසුගියදා මම කොළඹ නගරය පුරා සංචාරය කළෙමි.
මරදාන, සුදුවැල්ල ආර්නෝල්ඩ් රත්නායක මාවතේ පිහිටි ඩාලි පාර ප්‍රජා ශාලාවේදී එදින ලබාදුන් එන්නත වූයේ සයිනොෆාම් පළමු හා දෙවන මාත්‍රාවයි. එම ස්ථානය භාර වෛද්‍යවරයා ලෙස කටයුතු කළේ වෛද්‍ය දම්මික අදිකාරි වත්තගේය. ඔහු මැද කොළඹ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයාය.
මෙම ස්ථානයත් වෑකන්ද විතානගේ මාවතේ ප්‍රජාශාලාවේ පවත්වන එන්නත් මධ්‍යස්ථානයත් භාරව කටයුතු කරන්නේ දම්මිකය. ඔහු ඉතාමත් සැලකිල්ලෙන් යුතුව සෑම රෝගියෙක් කෙරෙහිම සිය අවධානය යොමු කරන අතර, එන්නත ලබාදුන් අයට රෝගී වූ අවස්ථාවල කඩිනමින් වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙමින් රෝගීන් කෙරෙහි විමසිලිමත් වනු නිරීක්ෂණය කළෙමි. එන්නත් පෝලිමේ පැමිණෙන අය තම ජාතික හැඳුනුම්පත හෝ පදිංචිය තහවුරු කිරීමේ වෙනත් ලේඛනයක් ඉදිරිපත් කළ යුතු අතර, කොළඹ නගරයේ රාජකාරී කරන අයට තම සේවා හැඳුනුම්පත ඉදිරිපත් කිරීමෙන් පසුව එන්නත ලබාගත හැකිය. වෛද්‍ය දම්මික අදිකාරි වත්තගේ එන්නත්කරණ වැඩසටහන ගැන මෙසේ කීය.
“මැද කොළඹ මගේ බල ප්‍රදේශයේ කොට්ඨාස 9ක් තියෙනවා. කොළඹ 1 - 15 දක්වා අපි එන්නත ලබා දෙනවා. සයිනොෆාම් පළමු එන්නත වගේම හරියට මාසයකට පසු පළමු එන්නත විදි ස්ථානයේම දෙවන එන්නතත් ලබාගත හැකියි. කොළඹ නගර සීමාවේ M.O.H. කාර්යාල 6ක් තියනවා. එම ස්ථාන ආශ්‍රිතව විවිධ මධ්‍යස්ථානවල එක් එක් දිනවලට විවිධ එන්නත් ලබා දෙනවා. මා සිටින සුදුවැල්ල මධ්‍යස්ථානයේ උදේ 9.00 සිට සවස 4.00 දක්වා එන්නත් විදිනවා. සිස්ටර්සාල් 3යි. සහාය නිලධාරීන් 8 දෙනෙක් සිටිනවා. බෙහෙත් විදින්න පැමිණෙන අය මීටරේ දුර සලකන්නෙ නෑ. බොහෝවිට ගැබිනි මවුවරුන්, පූජකවරුන්, මෞලවී තුමන්, හාමුදුරුවරුන් හා ආබාධිත අය ගැන විශේෂ සැලකිල්ලක් දක්වනවා. ඇතැම් අය තම පළවෙනි එන්නත ලබා ගැනීමට පැමිණිලා තියෙන්නේ. අනිත් අය දෙවෙනි එන්නතට. දවසකට සාමාන්‍යයෙන් 1000 විතර එන්නත් ලබා දෙනවා. මුල් කාලයේ එන්නතට හුඟාක් අය උනන්දු නොවුණත් දැන් නම් ලොකු උනන්දුවක් තියෙනවා. බස්නාහිර පළාතේ වයස අවු: 30ට වැඩි සියල්ලන්ටම මේ මස අවසාන වනවිට එන්නත් දීලා අවසන් කිරීම තමයි අපේ ඉලක්කය වන්නේ. ඒ වෙනුවෙන් අපි දිනපතාම වැඩ කරනවා.“
මරදාන සුදුවැල්ල එන්නත්කරණ මධ්‍යස්ථානයේ දිගු පෝලිම් සවස්වන තුරුම තිබූ අතර එන්නත් කිරීමෙන් පසු අසනීප වූ අයකුට වෛද්‍යවරයා ලහි ලහියේ ප්‍රතිකාර කරනු දක්නට ලැබුණි. රෝහල් කාර්ය මණ්ඩලය දිවා ආහාරය, තේ ගැන පවා නොතකමින් එන්නත්කරණයට කැපවී සිටියහ. එන්නත ලබා ගැනීම සඳහා පැමිණි කීප දෙනෙක් සිළුමිණට මෙසේ කීහ.
කොළඹ 02 සිට පැමිණි කසුන් සමීර ජයසූරිය (31) පැමිණ සිටියේ සයිනොෆාම් දෙවන එන්නත සඳහාය.
“අපේ පවුලේ වැඩිමල් සේරම කලින් විදගත්තා. තිහට වැඩි අයට ළඟදි ඉඳන්නේ පටන් ගත්තේ. මේ වැඩපිළිවෙළ හුඟාක් හොඳයි. මීටරේ පරතරේ නැහැ. බේත් විදපු අයට කොවිඩ් වැලඳුණත් මැරෙන්නෙ නෑනේ. හැමෝම එන්නත ලබා ගැනීම හරිම වැදගත්.“
ජී.එස්.කේ. සොයිසා රාජකාරි කරන්නේ ශ්‍රී ලංකා නාවික හමුදාවේ කොළඹ මූලස්ථානයේය. ගම ගාල්ල වුවත් මරදානෙන් එන්නත ලැබෙන්නෙ එනිසාය. සිළුමිණට ඔහු මෙසේ පැවසීය.
“අපේ ගෙවල්වල අයට තාම එන්නත ලැබුණේ නෑ. මම නේවි එකේ හින්දා පළමු එන්නත මීට මාසෙකට කලින් මෙතනම විදගත්තා. කොවිඩ් වලින් අපට රැකවරණයක් ලැබේවි කියලා සහනයක් තියෙනවා. මේ වගේම පවුලේ අයටත් එන්නත් ලැබෙනවා නම් අපි සතුටුයි.“
හැට අට හැවිරිදි කුසුමා වීරසිංහ මරදානේ සාමපුර මහල් නිවාසවල පදිංචි කතකි.
ඇය පෝලිමේ සිට එන්නත ලබා ගැනීමට ඇතුළට පැමිණ පුටුවක වාඩිවී සිටියාය. මාර්තු මස ඇයට ලැබී තිබුණේ කොවිෂීල්ඩ් එන්නතයි. දෙවන මාත්‍රාව විද ගැනීමට ඈ පැමිණ සිටියේ අවබෝධයෙන් තොරවය. දෙවන එන්නත තාම ලබා නොදෙන බව ඈ නොදත්තාය.
“මහත්තයා මැරිලා. මට දරුවෝ නෑ. ගෙදර බෝඩ් වෙලා ඉන්නවා අවුරුදු 84ක කෙනෙක්. මල්ලියි එයාලගේ දරුවොයි ඉන්නෙ අතුරුගිරියේ. බේත් විදගන්න පුළුවන්ද බලන්න ආවෙ.“
කොම්පඤ්ඤවීදියේ පදිංචි 46 හැවිරිදි එම්.ඒ. චන්ද්‍රලතා පැමිණ සිටියේ ද දෙවන එන්නතටය. ඇය ගමෙන් අගනුවරට විවාහ වී පැමිණි ළඳකි. තම දරුවන්ටත් එන්නත ලබා ගැනීම ඇගේ ලොකුම බලාපොරොත්තුවයි.
“මහත්තයට ජොබ් එක කරන තැනින් විද්දා. මේ එන්නත් වැඩපිළිවෙළ හුඟාක් හොඳයි. අපේ දරුවන්ටත් එන්නත් විදිනව නම් කොච්චර හොඳද? “
කප්පිත්තාවත්ත කෝවිලේ සේවය කරන සදීර්වශංකර් තුරුක්කල් හින්දු පූජකවරයාගේ (50) ගම කොටහේනය. සයිනොෆාම් දෙවන එන්නත විද ගැනීමට පැමිණ සිටියේය.
“මේ වගේ එන්නත් කරන එක හොඳයි. රෝගය පැතිරීමෙන් මරණ පාලනය කරන්න පුළුවන්. ශ්‍රී ලාංකිකයන්ට ජාති ආගම් භේදයෙන් තොරව එන්නත් කරන එක ලොකු සේවයක්.“
පළමු එන්නත් මාත්‍රාව ලබාගත් අයට දෙවන එන්නත ලබාදීමට ජංගම දුරකථනයට S.M.S. පණිවිඩයක් ලබාදේ. ඊට අමතරව පොලිසිය මගින් නගරයේ සෑම ප්‍රදේශයකටම ගොස් එන්නත ලබාදෙන ස්ථානය, දිනය හා වෙලාව පිළිබඳ දැනුවත් කිරීම් සිදුකරයි.
කොළඹ මහනගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී විජයමුණි ද මේ දිනවල සිටින්නේ රාජකාරි බහුලවය. කොළඹ නගරයේ එන්නත්කරණ වැඩසටහන පිළිබඳව ඔහු මෙසේ කීය.
“කොළඹ මහනගර සභාව මඟින් කොළඹ 1 සිට 15 දක්වා විශාල වපසරියක් ආවරණය කෙරෙනවා. අධික ජන ඝනත්වයකින් යුත් විවිධ ජනවර්ග රැසක්, විවිධ තරාතිරම්, විවිධ අධ්‍යාපන මට්ටම්, විවිධ ජීවන රටාවලින් සමන්විත බහුවිධ ජන කොටස් රැසකට තමයි එන්නත්කරණය කරන්න සිදුවෙලා තියෙන්නේ. මේ දිනවල දිනපතාම ස්ථාන රාශියක විවිධ එන්නත් ලබා දෙනවා.
පළමු එන්නත තමන් පදිංචි සීමාවෙන් හෝ සමීපයෙන් ගත හැකියි. දෙවන මාත්‍රාවට කෙටි පණිවිඩයක් මඟින් දැනුම් දෙනවා. එම ක්‍රමවේදය මෙහේ තමයි ආරම්භ කළේ. තමන් පැමිණිය යුතු වෙලාව එහි සටහන් කර තිබුණත් සමහර අය උදේ පාන්දර පැමිණෙන නිසා පෝලිම දික්වෙනවා. ඒක ගැටලුවක්. “
කොළඹ පදිංචි පිරිස් ගාල්ල ප්‍රදේශයට ගොස් එන්නත් විදගත්තා සේම, විවිධ පිට පළාත්වල පිරිස් කොළඹ රැකියා කරන බවට ව්‍යාජ ලිපි ලේඛන සකස් කරගෙන කොළඹින් එන්නත ලබා ගැනීමට පැමිණීම ගැටලුවක් බව වෛද්‍යවරු පවසති.
සුගතදාස ගෘහස්ථ හා එළිමහන් ක්‍රීඩාංගණවල ද මාරුවෙන් මාරුවට කොවිෂීල්ඩ් හා සයිනොෆාම් එන්නත ලබාදෙන අතර එහිත් උදේ සිටම දක්නට ලැබුණේ දිගු පෝලිම්ය. අව්වැසි, තද හිරු රැස් කුඩවලින් ආවරණය කරගෙන එන්නත් පෝලිමේ සිටියේ සිංහල, දෙමළ, බර්ගර්, මුස්ලිම්, මැලේ ආදී විවිධ ජනවර්ගය. සුගතදාස එළිමහන් ක්‍රීඩාංගණයට මා යන විට එහි සිටි මහජන සෞඛ්‍ය හෙද සොයුරිය සන්ධ්‍යා කුමාරි ඕවිටිගල ප්‍රධාන කාර්ය මණ්ඩය එහි කටයුතු ක්‍රමානුකූලව කරගෙන යනු දුටිමු.
එන්නත ලබාදුන් හැමටම මඳ වේලාවක් එහි රැඳී සිට මිස යාමට ඇගෙන් අවසර නොලැබුණි. මේ සියල්ල ජනතාවගේ හොඳටය. ඇය සිළුමිණ හා එක්වූයේ මෙසේය.
“බෙහෙත දෙන්න කලින් රෝගියා ගැන අහනවා; අවශ්‍ය උපදෙස් දෙනවා; විද්දට පස්සේ විනාඩි 20ක් ඉඳලා තමයි යන්න දෙන්නේ. අවු: 70න් ඉහළ අයව කොවිෂීල්ඩ් එන්නත දෙන්න S.M.S. පණිවිඩයක් මගින් තමයි ගෙන්න ගත්තේ. P.H.I. බලන්න එනවා. මේ 31 වෙද්දි බස්නාහිර පළාත ආවරණ කිරීම තමයි අපේ ඉලක්කය.“
විශේෂ ශ්‍රේණියේ හෙද නිලධාරිනී ධම්මිකා ජයසිංහ මහජන සෞඛ්‍ය හෙද සොයුරිය, ඩී.ආර්. චම්පිකා දෙදෙනාම මෙහි එන්නත්කරණයේ යෙදුණහ. එහි එන්නත විද ගැනීමට පැමිණි කීපදෙනකු සිළුමිණට මෙසේ කීහ.
මෝදර දේව කුමාර (31) පැවසුවේ මෙවැන්නකි.
“අපේ ගෙදර අයට කලින් ඉන්ජෙක්ෂන් ගැහුවා මෙතනදිම. සයිනොෆාම් පළවෙනි එන්නත විද්දේ. ඒක කෝකටත් හොඳයිනේ. අවුරුදු 30ට වැඩි අයට විදින හින්දා තමයි අපිටත් අවස්ථාවක් ලැබුණේ. ඒක ලොකු දෙයක්.“
මාගමනී සුබ්‍රමනියම් (55) පැමිණ සිටියේ තම පුතා සමඟ අලුත් මාවතේ සිටය.
“පළවෙනි එන්නත කලින් ගැහුවා. අද දෙක. අමාරුවක් නෑ. මට වෙනත් ලෙඩත් නෑ. කඩයක් කරන්නේ. මේ එන්නත් වැඩසටහන හුඟාක් හොඳයි.“
අසෝකා රත්නායක (34) පැමිණ සිටියේ මට්ටක්කුලියේ කදිරාන වත්තේ සිටය. එන්නත් විදින තැනක් ගැන විමසිල්ලෙන් සිටින විට මෙහි එන්නත් විදින බවට ලැබුණු තොරතුරකට අනුව පැමිණියාය.
“අපේ වත්තෙ අයට කොවිඩ් නැතත් ළඟටම ඇවිත් හින්දා විදගන්න එක හොඳයිනේ.“
කොළඹ දිස්ත්‍රික්කයේ වෑකන්ද ප්‍රජා ශාලාව, මාලිගාවත්ත පී.ඩී. සිරිසේන ක්‍රීඩාංගණය, කිරුලපන කැම්බල් පාක්, ජිත්තුපිටිය, ඛෙත්තාරාම පන්සල, කිරුලපන සිතුමිණ උත්සව ශාලාව ඇතුළු සෑම ප්‍රදේශයක්ම ආවරණය වන පරිදි ස්ථාන කිහිපයකත්, යුද හමුදා රෝහල, පනාගොඩ හමුදා කඳවුර, ගුවන් හමුදා කඳවුර ඇතුළු ත්‍රිවිධ හමුදාව සඳහා ද, රෝහල් වලද කොවිඩ් එන්නත්කරණය මේ දිනවල සිදුකෙරිණි.