“එරබදු මල් පොට්ටු පොට්ටු
අවුරුද්දත් කිට්ටු කිට්ටු
කමලක්කත් කෙට්ටු කෙට්ටු”
පරම්පරාවෙන් පරම්පරාවට කටෙන් කට ගොස් අද ෆේස්බුක්වල - වට්ස්ඇප්වල ශෙයාර් වෙන මේ පද වැලෙහි තේරුම දත් අය සිටී නම්, අප පරම්පරාවේ අතළොස්සක් විය යුතුය. මේ පැදිපෙළ ‘සිළුමිණ’ට බද්ධ වූවකි. මෙහි ‘කමලක්කා’ කියන්නේ ‘සිළුමිණේ’ කර්තෘ ධුරයට 1944දී පත්වූ ශ්‍රීලාල් හික්කඩුව ලියනගේ පටන් ගත් ‘කමලා ළමා සමාජය’ටය. කමලක්කන් කෙට්ටු - කෙට්ටු කියන්නේ සිළුමිණ එවකට කතුවර ලියනගේ කෙසඟ සිරුරක් තිබූ පුද්ගලයකු නිසාය. මේ අනුව බලන විට මේ පද පෙළේ අතීතය කෙතරම් ඈතට දිව යන්නේ දැයි ඔබට සිතාගත හැකි වනු නියතය.
අවුරුද්දත් කිට්ටු කිට්ටු වී ඇති නිසා කොළඹ ගෙන්දගන් පොළොවේ මර්මස්ථානය වූ පිටකොටුව අවුරුදු බිස්නස් වෙත කිට්ටු වී බලන්නට අප ගියේ ඉකුත් සතියේය. අවුරුදු සීසන් නිසා උදේ තම රෙදිපිළි කඩ සාප්පුවලටත් වඩා උද්යෝගයෙන් වෙළෙඳාමේ නිරත වී සිටියේ පදික වේදිකාවේ වෙළෙඳාමේ නියුතු වෙළෙන්දන්ය.
මහරගම පමුණුව. මෙහි රෙදිපිළි වෙළෙඳාම ආරම්භ වන්නේ උදේ දෙක තුන වන විටය. පිටකොටුවේ ද දැන් මේ අවුරුදු සීසන් එකම මුළු රැය පුරා විවෘතව ඇති පදික වෙළෙඳාමේ නියුතු රෙදිපිළි තට්ටු අපට දැකගත හැකි විය. උදෙන්ම රෙදි පිළි තට්ටුවේ වෙළෙන්දා සිටියේ ප්ලේන්ටියක් ෂොපින් උරයක දාගෙනය. ටික වේලාවකින් බීම බොන ස්ට්‍රෝ එකක් සාක්කුවෙන් ගත් ඔහු ප්ලේන්ටි ෂොපින් බෑග් එකේ කොණක් තම දඩයම් දතෙන් හපා කා එතුළට ස්ට්‍රෝ එක දාගත්තේය. ඉන්පසු උගුරු දෙක තුනට ප්ලේන්ටිය බීවේය. පසුව ස්ට්‍රෝ එක සහිත ෂොපින් බැගය පාරට විසි කළ ඔහු ඉන් පසු සිගරැට්ටුවක් ගෙන ලෝක විනාසය අත ළඟ එන බැවින් බොන අවසන් සිගරැට්ටුව මෙන් තත්පරයට අඟලක් පිච්චෙන වේගයෙන් උරමින් අප දෙස බැලීය.
“මොනවද බොසා ඕන. ටීෂර්ට් තියෙනවා, සරම් තියෙනවා, ගවුම් තියෙනවා, චීත්ත තියෙනවා. අපේ ගණන් පමුණුවටත් වැඩිය අඩුයි.”
“ඔය රෑ එළිවෙනකම් පේමන්ට් එකේ බිස්නස් එක ඇරන් හිටියට රෑට බිස්නස් තියෙනවාද?” මම ඇසුවෙමි.
“බොසා මං අවුරුදු 30ක් පිටකොටුවේ බිස්නස්. ඉස්සර කවුරුත් ආවේ අවුරුද්දට පිටකොටුවට තමයි බඩු ගත්තේ. ඔය පස්සේ කාලෙ තමයි ඔය බිස්නස් කිරිබත්ගොඩට, නුගේගොඩට, පමුණුවට, පාණදුරේට, මීගමුවට වගේ බෙදිල ගියේ, ඒත් පිටකොටුවේ බිස්නස් කවදාවත් අඩු වෙන්නේ නෑ, නෑමයි !!! දන්න මිනිහා එනවා පිටකොටුවට ලාබෙට බඩුවක් ගන්න.”
“එතකොට රෑ එළිවෙනකම් තියෙන බිස්නස් එක මොනවද?”
“දැන් නෝම්බි නිසා රෑ එළිවෙනකම් කට්ටිය ගෝල්ෆේස් යනවා. සීසන් එකට ගෝල්ෆේස් යන සිංහල අය, දෙමළ අය ඉන්නවා. එනකොට පිටකොටුව පැත්තේ කරක් ගහලා අවුරුද්දට ඇඳුමක් සෙරෙප්පු දෙකක්, බෙල්ට් එකක් අරගෙන තමයි යන්නේ, මේක දැනගෙන දැන් ටික දවසක ඉඳන් නයිට් කඩ හෝටලුත් අරිනවා. ඇපල් තට්ටු, රසකැවිලි තට්ටුවලටත් සරුයි.”
අප කළ නිරීක්ෂණයේදී පෙනී ගියේ තවමත් අවුරුද්දට ගමේ යන උදවිය ගම්වල යන්නට බස් රථයට, කෝච්චියට නඟින්නට පුරුදු වී ඇත්තේ පිටකොටුවෙන් බවය.
අවුරුදු බිස්නස් ගැන අපි ඊළඟට ගියේ ‘වර්ල්ඩ් මාකට්‘ එකටය. මෙහි ඇති වෙළෙඳ කුටි සංඛ්‍යාව තුන්සියකට අධිකය. ලේක්හවුසියේ පැත්තේ සිට එන විට මුලින්ම ඇත්තේ අසංක පැෂන්ය. එහි වෙළෙඳාමේ නියුතුව සිටින්නේ ශෂික ය.
“පඩි, බෝනස්, ඇඩ්වාන්ස් හම්බ වුණාම තමයි බිස්නස් එක පිකප් වෙන්නේ. දැනට නම් ගමේ යන අය බඩු අරන් යනවා. ගොඩක් අය ගණන් අහල යනවා, කොතැනද ලාභ කියලා. පඩි හම්බවුණාම ගන්න.’’
ශෂික අපට කීවේ තමන් විකුණන්නේ පිරිමින්ගේ ඇඳුම් පමණක් බවය. එහි වූ හොඳ පෙනුමැති ටීෂර්ට් එකක මිල වූයේ රුපියල් 900 සිට 1400 දක්වාය.
“කෙල්ලොයි කොල්ලොයි එනවා කෙල්ලට කොල්ල ටිෂර් එකක් අරන් දුන්නාම, ඊට වැඩි ගාණක එකක් කෙල්ල අරන් දෙනවා. ටී ෂර්ට්වලට ගෑනු පිරිමි භේදයක් නැහැ.”
ලෝක වෙළෙඳපොළ නොහොත් මේ වර්ල්ඩ් මාකට්ටුවේ වෙළෙඳ සංගමයේ ලොක්කා ‘ආරි‘ ය. ඔහු සොයා ඔහුගේ ආරි සාප්පුවට ගිය විට සේවකයකු කෙක්කකින් අවුරුදු ඇඳුම් එල්ලමින් සිටියේය. තමන් තාම කඩේ ඇරිය ගමන් බැවින් පසුව ආරි හමුවට එන ලෙස සේවකයා පැවසූ බැවින් එතැනින් ඉවත් වීමට අපට සිදු විය.
මොහිදින් ලෝක වෙළෙඳපොළේ බිස්නස් කරන්නේ 35 වසරක සිටය. ලංකාවේ වෙසක් සැරසිලි බිස්නස් එකේ ප්‍රමුඛත්වයේ සිටින මුස්ලිම් ව්‍යාපාරිකයන් මෙන්ම අලුත් අවුරුදු ඇඳුම් වෙළඳාමේදී ද ඔවුනගේ ප්‍රමුඛත්වය කැපී පෙනෙන්නකි.
“මේක සිංහල අවුරුදු වගේම නෝම්බි සීසන් එක. කොරෝනා එන්න කලින් බිස්නස් හොඳට තිබ්බා. ඊට පස්සේ නැත්තට නැති වුණා. මේ සැරේ නම් බිස්නස් හරියනවා වගේ දැනටමත් පේනවා. දැන් ඉතින් ඇඳුම් මිලේ හැටියට පවුලේ ඔක්කෝමට රෙදි ගන්නේ කොහොමද? ගෙදර අයට රෙදි අරගෙන, අම්මා තාත්තා හිටියොත් චීත්ත කෑල්ලක් සරමක් ගන්නවා.”
වර්ල්ඩ් මාකට් එක පසුකර කොටුව ස්ටේෂම ද පසුකර තවත් ඉදිරියට යන විට පාර පේමන්ට් එකේ තිබුණේ tatoo ගහන ස්ථානයකි. ඒ සන්දියේ ‘පච්ච සිරා’ලා සිටියාට දැන් සිටින්නේ ‘ටැටූ සිරා’ය. ඒත් මේ ටැටූ කොටන හාදයාගේ නම ‘සිදත්‘ය. විවිධ ටැටූ ඩිසයින් සහිත ෆයිල් ඔහු පේමන්ට් එකේ අතුරා ඇති අතර ටැටූ කොටන මැෂිම ඇතිව ඔහු පුල පුලා බලා සිටින්නේ ගනුදෙනුකරුවෙකු එන තුරුය.
“අවුරුද්දට ගෙදර යන ගොඩක් අය මෙතැනින් ටැටු ගහගෙන යනවා. කොල්ලෝ කෙල්ලො ‘හාට් බිට්‘ එක ගහල නම්වල මුල්අකුරු ගහනවා.” එසේ කී සිදත් ශිව රාත්‍රී දිනයේදී බොහෝ අය ගසන ටැටූ ඩිසයින් අපට පෙන්නුවේය.
ඉන් පසු අප මේ අවුරුදු බිස්නස් ගැන විමසන්නට නෝරිස් පාර නොහොත් ඔල්කට් මාවත, පළමු හරස් වීදිය, දෙවැනි හරස් වීදිය, තෙවැනි හරස් වීදිය හා කෙළින් වීදිය පුරා ඇවිද ගියෙමු. මේ වෙළෙන්දන් තුළ වූයේ අමුතුම ප්‍රබෝධයකි. ප්‍රබෝධයටත් වඩා එය බලාපොරොත්තුවක් කිව්වොත් වඩාත් නිවැරැදිය.
ඉන්පසු අපේ කතාබහට එක්වූ බත්තරමුල්ල පදිංචි වී සිටින මනුර පේමන්ට් බිස්නස් එක පටන් ගෙන අවුරුදු තිහකට ආසන්නය.
“1980 දී සිංහල අවුරුද්දට ෂර්ට් එකක් රුපියල් 75ට වික්කේ හොඳම බ්‍රැන්ඩ්. සිංහල අවුරුද්දට ඉස්සර මේ වගේ තට්ටු තිබ්බේ නෑ. බිම එල්ලලා තමයි වික්කේ. ලොකු රෙදි කඩවල විකුණන ගාන වැඩි රෙදි අවුරුද්දට ගේන්න පුළුවන්. ඒත් ඒ ගානට විකුණන්න අමාරුයි. ඔය ලොකු නම් තියෙන සාප්පුවල තියෙන අවුරුදු රෙදි පිළිවල ‘කොලිටියමයි’ අපි ගාව තියෙන්නෙත්. එමරල්ඩ්, පෝලෝ වගේ බ්‍රෑන්ඩඩ් ෂර්ට් පෙමන්ට් එකේ විකුණන්න අමාරුයි. ඉස්සර සිංහල අවුරුද්දට ගෙනාපු චැලෙන්ජර්, හයි බ්‍රයිට්, මාටින්, චොපර් වගේ රෙදි දැන් එන්නේ නැහැ.”
මේ පිටකොටුවේ පදික වේදිකාවේ කලාකරුවන් ද වෙළෙඳාමේ නියුතුව සිටී. ඒ අතරින් අපට අදහස් දැක්වීමට තම වෘත්තිය ගරුත්වයක් රැක ගනිමින් ඉදිරිපත් වූයේ සුදත් රෝහණය. සුදත් වේදිකාව මෙන්ම රුපවාහිනියේ ද රංගනයේ යෙදේ. පසුගියදා අභවප්ප්‍රාත්ත වූ අමරසිරි කලංසූරිය අවසන් වරට රඟ පැවේ සුදත් සමඟය.
“මං මේ රෙදි බිස්නස් පටන් අරන් අවුරුදු විසිපහකට වැඩියි. ඉස්සර අවුරුද්දට කට්ටිය බඩු ගන්න ආවාම ආච්චිට, සීයාට, තාත්තාට, අම්මාට, අක්කලාට, අයියලාට ඔක්කොම මිටි බැඳලා බස් එකට දානවා. සමහර හිතවත් කලාකාරයෝ අවුරුද්දෙන් පස්සේ තමයි සල්ලි දාන්නේ. කවුරුත් පොල්ලක් තියන්නේ නෑ. අප්‍රේල් 8,9,10,11 තමයි හොඳම බිස්නස් තියෙන්නේ. ඔය දාස මුදලාලිලා, මැලිබන් මුදලාලිලා ඔක්කෝම බිහි වුණේ මේ පේමන්ට් එකෙන් තමයි.!”
පිටකොටුවේ අවුරුදු බිස්නස් ගැන කියන විට බෝගහ හන්දිය කොහොම අමතක කරන්නද? සමසිරි, බෝගහ හන්දියේ රෙදි බිස්නස්වලට ආවේ උප්පත්තියෙන්ම රෙදි බිස්නස් එක උරුම කරගෙනය.
“1988 අවුරුද්ද බිස්නස් අමතක වෙන්නේ නෑ. පිටකොටුවේ බෝම්බ පිපිරුවේ අවුරුදු කාලේ කිරිඳිවැල බස් එක හරෝනකොටම පිපුරුවා. බෝගහ හන්දියේ රෙදි බිස්නස් කරපු 20ක් විතර මැරුණා. මගේ තාත්තත් මැරුණා, අලුවත් හම්බුණේ නෑ. ගෙදරට කාගේ හරි මිනියක් ගේන්න මරණ සහතිකයක් දෙන්නම් කිව්වා. දැන් එව්වෝ ඔය ඉතිහාසය දන්නේ නෑ.
ගිය සැරේ රුපියල් 300 සරම මේ සැරේ රුපියල් 475යි. පාට සරම් රුපියල් 1,390යි. අවශ්‍යම කෙනෙක් තමයි දැන් සරමක් තෑගි දෙන්න ගන්නේ. මේ සැරේ නම් දැන්මම බිස්නස් වැඩිවෙයි කියලා හිතෙනවා. බෝම්බෙන් මැරිච්ච අවුරුදු බිස්නස් කරපු අයට තවමත් සාධාරණයක් අපි බලාපොරොත්තු වෙනවා.”
සිංහල අවුරුද්ද කිව්වාම මතකයට රසකැවිලි වෙළෙඳපොළට එන්නේ අන්තිම මොහොතේය. ඒත් දැන්ම අවුරුදු රස කැවිලි සෝකේස් එකක් පාපැදියක බැඳගත් ධර්මසිරි අපට හමු වුණේ බෝධිරාජ මාවතේය. ධර්මසිරි එන්නේ කිරිබත්ගොඩ සිටය. ධර්මසිරිගේ ජංගම අවුරුදු රසකැවිලි කඩේ කොණ්ඩ කැවුමක් රුපියල් 70කි. හැලපයක් රුපියල් 65කි. මුංකැවුමක් රුපියල් 60කි. සව් දොදොල් රුපියල් 80කි. කොකිස් 25කි. අලුවා රුපියල් 40කි. අග්ගලා 70කි. වෙන අවුරුදු රසකැවිලි වෙළෙන්දන් ළඟ නැති කිරිඅම්මා දානවල ඇති කැවිලි වර්ගයක් වූ කිරියා කෑල්ලක් මිල රුපියල් 80කි. ඕඩරයක් දුන්නොත් තමා නිවෙසටම රසකැවිලි ගෙනත් දෙන බව ධර්මසිරි අප සමඟ කිව්වේය.
“දැන් අවුරුද්දට මේ පුරාණ සිංහල රසකැවිලි ගොඩක් අය හදන්න දන්නේ නැහැ. බිස්නස් එක විතරක් නෙමෙයි මේවා ගන්න කොට ගෑනු කෙනෙක්ට හදන විදිය කියල දෙන්නත් අපි අමතක කරන්නේ නැහැ.”
ගෑස්පහ හන්දියේ සිංහල අවුරුදු රසකැවිලිවලට අවශ්‍ය අංගෝපාංග බොහෝමයක් විය. කොණ්ඩ කැවුම් අච්චුවක් රුපියල් 200 සිට මිල වූ අතර, කොකිස් අච්චු රුපියල් 650 සිට අලෙවියට තබා තිබුණි. ජනප්‍රියතම කොකිස් අච්චුව වූයේ සමනලයා ඩිසයින් එකය. කොණ්ඩ කැවුමේ කොණ්ඩය ගන්නට නොදත් උන්දැලාට කොණ්ඩය ගැසීමට කොණ්ඩ කැවුම් අච්චුවක් ද විය. එම අච්චුව කොණ්ඩ කැවුමක් මුනින් අත හරවා සාදා තිබු අච්චුවකි. ගෘහණිය කළ යුත්තේ කැවුම් හදන කලමනා අච්චුව තුළට වක්කර කැවුම බැදීමෙන් පසු අච්චුවෙන් ඉවත් කර ගැනීමය. රෙඩිමේඩ් කොණ්ඩ කැවුම් හදන්නේ ඕං ඔහොමය.!
අලුත් අවුරුද්දට නැතුවම බැරි රතිඤ්ඤා තියෙන්නෙත් ගැස්පහ හන්දියේය.
“මේ සැරේ මූල්‍ය අරමුදලෙන් ලෝන් එක ආපු වෙලේ සමහරු රතිඤ්ඤා තොග පිටින් අරන් ගියා. සමහර කඩවල රතිඤ්ඤා තොග ඉවර වුණා. දැන් ඔය අලුත් ස්ටොක් එන්නේ අවුරුද්දට."
ඒ රතිඤ්ඤා කඩයක සිටියේ නිලා කූරු දුසිම් හතර පහක පෙට්ටියක් ගැට ගහන හැටි ගැන සේවකයෙකුට උපදෙස් දෙමිනි. “අපේ මේ සාමණේර නමවල් හත් අට දෙනාට රතිඤ්ඤා ගෙනිච්චොත් පුච්ච ගන්නවා. ඒ හින්දා පොඩි ඇයොට නිලාකූරු ගත්තා’’ යයි කියද්දි ලොකු හමුදුරුවන් සමඟ වැඩ සිටි වයස අවුරුදු හතක්වත් නැති සාමණේර නමක් නිලාකූරු දෙස බලාගෙන සිටියේ දැඩි ආශාවෙනි.
රතිඤ්ඤා පෙට්ටියක තොග මිල වූයේ රුපියල් 150කි. අහස් කූරු පෙට්ටියක තොග මිලම රුපියල් 2,200කි. බඹරචක්‍ර තොග පිටින් ගොඩගසා තිබුණේ ඒවාට වූ දැඩි ඉල්ලුම නිසාය. රතිඤ්ඤා ඇතුළු ගිනි කෙළිවලට මෙවර වූ ඉල්ලුම නිසාම මෙවර අපේ උදවිය අවුරුදු කන්නට යන උද්යෝගය අපට තහවුරු කරගත හැකි විය.
මිනිසුන්ට අවුරුදු කන්නට සල්ලි නෑ යැයි සමහරු කියද්දී ඇතැමුන් තැබෑරුම් ළඟ පෝලිමේය. ඒ කියන්නේ මේ සැරේ ජයපැන් බොන්නට බොහෝ දෙනා සූදානම් වන බවට පෙර මඟ සලකුණක් නොවේද? අවුරුද්දට ගමේ යන්නට රෙදි තෝරමින්, තෑගි භාණ්ඩ තෝරමින් එහේ මෙහේ සැරිසරන්නේ දැඩි බලාපොරොත්තුවෙනි. කොරෝනාවෙන් වැසී ගිය අපේ අවුරුදු උරුමය මෙවර නම් උත්කර්ෂවත්ව සැමරීමට බොහෝ දෙනා බලාපොරොත්තුවෙන් සිටින බවක් ඒ හැමතැනකදීම දැකගන්නට ලැබිණි.
ඡායාරූප - රංජිත් අසංක