කිතුල් පැණි, කිතුල් රා තරම්ම සුමිහිරි නැති කිතුල්කරුවන්ගේ අමිහිරි කතාව | සිළුමිණ

කිතුල් පැණි, කිතුල් රා තරම්ම සුමිහිරි නැති කිතුල්කරුවන්ගේ අමිහිරි කතාව

කිතුල් නිෂ්පා­දන, චමින්ද ඉන්දික සහ ලංකා­ගම චම්පා විජේ­සේ­කර අග­නු­වර පැවති කිතුල් නිෂ්පා­දන ප්‍රද­ර්ශ­න­ය­කට සිය නිෂ්පා­දන එක් කර­මින්

කිතුල් කර්මාන්තය ජීවනෝපාය කර ගත් ගාල්ල දිස්ත්‍රික්කයේ සිංහරාජයට මායිම් වු ගම්මානයන්හි උදෑසන හා සවස් කාලයේ රජ කරන්නේ, ඉසිලිය නොහැකි තරමේ පාළු නිහැඬියාවකි. මෙම නිහැඬියාව ගම්මුන් විසින්ම කාලයක් තිස්සේ ගොඩ නඟාගත් ස්වයං වාරණයකි. කොයි මොහොතක හෝ තම අසල්වැසියකු කිතුලකින් වැටී කෑ ගැසීමකට විමසිලිමත්ව සිටීම ඔවුන්ගේ මේ ජානගත ස්වයං වාරණයට ප්‍රස්තූතයයි. 

කැරියොටා යුරේනස් (caryota urens) නමැති උද්භිත නාමයෙන් හඳුන්වනු ලබන කිතුල් ශාඛය පොල් ගසට වඩා වැඩි ඉතිහාසයකට නෑකම් කියයි. කිතුල් යනු, දේශීය ශාඛයකි. ශ්‍රී ලංකාවේ කිතුල් ශාඛය වැඩි වශයෙන් වැවෙන දිස්ත්‍රික්ක 18ක පිහිටි මුළු කිතුල් ගස් ප්‍රමාණය 2,977261 කි. ශ්‍රී ලංකාවේ කිතුල් කර්මාන්තය ජීවනෝපාය කරගත් පිරිස ලක්ෂ 03 – 05 අතර වන බව කිතුල් සංවර්ධන මණ්ඩලය කියා සිටිය ද, 2009 වසරේදී ජන ලේඛන හා ජන සංඛ්‍යා ලේඛන දෙපාර්මේන්තුව, ගොවිජන සංවර්ධන දෙපාර්මේන්තුව එක්ව සිදු කළ සංගණනයට අනුව මෙරට කිතුල් කර්මාන්තය, ප්‍රධාන ජීවනෝපාය කර ගත් පවුල් ප්‍රමාණය තුන්දහසකටත් වඩා අඩුය.

පියාගේ අඩි පාරේ යමින් කිතුල් ගස් මැදීමට පිවිසි තවලම කන්එළියේ, සරත් නන්ද කුමාර තරුණ කිතුල් නිෂ්පාදකයෙකි. සරත් නන්ද මේ වන විට ප්‍රමුඛ පෙළේ කිතුල් ගස් මදින්නකු මෙන්ම පැණි හා හකුරු නිෂ්පාදකයකු ද වේ. කිතුල් කර්මාන්තය සම්බන්ධයෙන් රජයේ අඩු සැලකිල්ල හා ග්‍රාමීය ජනයාගේ පසුගාමි ආකල්ප, නාගරීකරණය හේතුවෙන් කිතුල් ගස් විනාශය කිතුල් කර්මාන්තයේ කඩා වැටීමට හේතුවී ඇති බව ඔහුගේ අදහසයි.

“කිතුල් පැණි.. කිතුල් රා කොයි තරම් රස වුණත්, ඒක ඇතුළෙ තියෙන අපේ ජීවිත කියන්න බැරි තරම් තිත්තයි. මම උදේ හත වෙද්දී කිතුල් මණ්ඩියට ගිහින් ගස් මදින එක පටන් ගන්නවා. මේක පහසු රැකියාවක් නෙවෙයි. සාමාන්‍යයෙන් හොඳින් වැඩුණු කිතුල් ගහක් අඩි පනහක් හැටක් උසයි. මම ඒ වගේ ගස් දහයකට විතර දවසට දෙපාරක් නඟිනවා...කොයි වෙලාවේ ගහකින් වැටෙයිද, අකුණක් ගහලා අනතුරක් වෙයිද තියලා කාටවත් කියන්න බැහැ. කොහොම වුණත් මේක දැන් අපේ ජීවිතවලට බද්ධ වෙලා තියෙන්නේ. අපි ස්වභාව ධර්මයත් එක්කයි මේ රස්සාව කරන්නේ. ඒ නිසා දැන් අපිට කිතුල හැර වෙන ලෝකයක් නැති තරම්.

අඩි පනහක් හැටක් උස කිතුල් ගස් දහයකට දිනකට දෙවරක් නැඟීම බැසීම හිතන තරම් පහසු නැත. මේ නිසා ඔවුන් කිතුලට ‘’හැර බැඳීම’’ සිදු කරයි. හැර බැඳීම යනු කිතුල් ගසට පහසුවෙන් නැඟීම සඳහා දිගු ලීයක් ගසේ මුල සිට ඉහළට යන තෙක් සවිමත් ලෙස කොහු ලණුවලින් බැඳ, එහි කකුලේ ඇගිලි පහසුවෙන් රැඳවීමට හැකි වන සේ අඩි තුනෙන් තුනට පමණ වන සේ හරහට ආධාරක බැඳීමයි. හැර බැඳීම සදහා උණ බට යොදා ගැනීම සුලබය. අඩි හැට හැත්තෑවක් පමණ උස කිතුල් ගස් රැසකට ඔවුන් නිතිපතා මෙසේ නැඟීම බැසීම සිදු කරනුයේ මලෙන් මලට රොන් සොයමින් පියාඹන වන බඹරුන් සේ වුවද, කිතුල් කර්මාන්තකරුවන්ගේ ජීවිත තුළ ඇති අවිනිශ්චිත බව දකින කිසිවකුත් නැති තරම්ය.

කිතුල් ගස මැදීමේ පළමු ඵලය වනුයේ තෙලිදියයි. තෙලිදියට මණ්ඩි එකතු කර පැසවීම මඟින් කිතුල් රා නිපදවේ. කිතුල් ගසක පළමු මල මැදීමට යොදා නොගෙන එය ප්‍රරෝහණය සඳහා ඉතිරි කිරීම සම්ප්‍රදායකි. කිතුල් ගස් මදින්නකු තමා මදිනු ලබන ගස් අතරින්, ගස් කිහිපයක් කිතුල් රා නිපදවීමට යොදා ගන්නා අතර අනෙක් ගස් තෙලිදිය ලබා ගැනීමට යොදා ගනී. කිතුල් පැණි හා කිතුල් හකුරු නිපදවෙන්නේ තෙලි දිය මඟිනි.

කලකට පෙර බලපත්‍රලාභි රා මදින්නකු වු සරත් නන්ද, වර්තමානයේ පැණි හා හකුරු නිෂ්පාදනයට පමණක් යොමු වී තිබේ. කිතුල් රා අලෙවිය ඉතා ඉහළ ආදායමක් ලැබිය හැකි කර්මාන්තයක් වුව ද, ග්‍රාමීය ජනතාවගේ පසුගාමි අදහස් හා නීතිය හරිහැටි නොදන්නා පොලිස් නිලධාරීන්ගේ ක්‍රියා කලාපය හේතුවෙන් පසුගිය කාලයේ -කිතුල් රා කර්මාන්තයෙන් ඉවත්වීමට සිදු වූ බව සරත් නන්ද කුමාර කියා සිටියි.

පොල් සහ තල් කර්මාන්ත මෙරට වඩාත් ප්‍රචලිත කර්මාන්ත බවට පත්ව ඇතත්, කිතුල් කර්මාන්තය එසේ නොවීමට හේතුව කිතුල් කර්මාන්තයේ මූලිකම ඵලය වන කිතුල් රා සම්බන්ධයෙන් එදා සිට ශ්‍රී ලංකාවේ පවත්නා නීතිමය වටපිටාව බව ක්ෂේත්‍ර‍යේ නිරත පිරිසගේ අදහසයි. එහෙත් තල් රා සහ පොල් රා සම්බන්ධයෙන් රජය එවැනි තදබල නීති පනවා ඇති බවක් නොපෙනේ. රජය තල් රා සහ පොල් රා යොදා ගනිමින් මත්පැන් ඇතුළු නිෂ්පාදන රැසක් සිදු කළද කිතුල් රා යොදා ගනිමින් පැණි හා හකුරු හැර වෙනත් නිෂ්පාදනයකට කිතුල් කර්මාන්තකරුවන් යොමු කළ බවක් දැකිය නොහැකිය. කිතුල් කර්මාන්තය කෙරෙහි නව තාක්ෂණය සම්ප්‍රේෂණය වී ඇත්තේ මඳ වශයෙනි.

වර්තමානයේ කිතුල් රා සඳහා දේශීය වශයෙන් ඉහළ ඉල්ලුමක් පැවතිය ද පානය සඳහා පිරිසිදු කිතුල් රා බෝතලයක් සොයා ගැනීම කළුනික සොයන්නා තරම් දුෂ්කරය. පවත්නා නීතිමය තත්ත්වය යටතේ රා මදින්නකුට තම භාවිතය සඳහා ළඟ තබා ගත හැක්කේ, මණ්ඩිත් සමඟ කිතුල් රා ලීටරයක් පමණක් වීම ඊට හේතුවයි. එසේම දැනට පවත්නා නීතිය යටතේ එක් රා මදින්නකුට මැදිය හැක්කේ, විකුණුම් ස්ථානයේ සිට මීටර් 50 – 100 අතර පිහිටි කිතුල් ගස් තුනක් පමණි. එහෙත්, තල් රා සහ පොල් රා වලට එබඳු නීතියක් ක්‍රියාත්මක නැත. මේ නිසාම කිතුල් ගස් මදින්නන් රා නිෂ්පාදනය අතහැර පැණි හා හකුරු නිෂ්පාදනයට වැඩි වශයෙන් යොමු වී ඇති බවක් පෙනේ.

පිරිසිදු කිතුල් පැණි බෝතලයක් නිපදවීමට තෙලිදිය බෝතල් 6 – 8 අතර වැය වෙන අතර, ඒ සඳහා වැයවෙන පිරිවැය රුපියල් දහස ඉක්මවයි. මෙම තත්ත්වය ගසෙන් ගසට හා මලෙන් මලට වෙනස් විය හැකිය. වර්තමානයේ තෙලිදිය බෝතලයක අවම මිල රුපියල් සියය ඉක්මවයි. තෙලිදියට මණ්ඩි ස්වල්පයක් එක් කිරීමෙන් රා නිපදවනු ලබයි. තෙලිදිය යොදා ගනිමින් නිෂ්පාදනය කෙරෙන පිරිසිදු කිතුල් පැණි බෝතලයක මිල රුපියල් 1000 - 1300 කි. දිනකට පිරිසිදු කිතුල් පැණි බෝතලයක් නිෂ්පාදනය කරන අයකුට ඒ සඳහා තෙලිදිය බෝතල් අටක් පමණ වැය කර, වැඩි ආයාසයක් දරා රුපියල් 1000 - 1300 මුදලක් උපදවද්දී,කිතුල් රා ලෙස අලෙවි කිරීම ඊට වඩා බොහෝ සෙයින් ලාබදායි මෙන්ම පහසු කර්මාන්තයක් බව අමුතුවෙන් කිව යුතු නැත. මේ වන විට කිතුල් රා බෝතලයක මිල ආසන්න වශයෙන් රුපියල් 300 – 350 අතර වේ. මේ නිසා කිතුල් රා විකිණීම වඩා ලාබදායි කර්මාන්තයක් බව සරත් නන්ද ගේ අදහසයි. එහෙත් ග්‍රාමීය ජනතාව තුළ පවත්නා පටු ආකල්ප රා කර්මාන්තයට බාධා ඇති කරන බව ඔහු පෙන්වා දෙයි.

“කිතුල් රා වලට විරුද්ධ ගමේ සුචරිතවාදීන් බාර්වලට විරුද්ධ නෑ.. “ඔහු වැඩි දුරටත් කියා සිටි.

කිතුල ග්‍රෑන්ඩ් නමැති වෙළද නාමයෙන් කිතුල් නිෂ්පාදන වෙළඳපොළට නිකුත් කරන 27 හැවිරිදි දෙනියායේ අෂේන් මධුමාධව කිතුලෙන් ඉහළට ගිය තරුණ ව්‍යාපාරිකයෙකි. තේ කර්මාන්ත ශාලාවක ගණකාධිකාරවරයෙක් ලෙස ඉහළ වැටුපකට හිමිකම් කී අෂේන්, කොවිඩ් සමයේ සිය රැකියාව අතහැර සිය පියා කර ගෙන ගිය කිතුල් පැණි හා කිතුල් හකුරු නිෂ්පාදනයට අත පොවන්නේ රුපියල් 5000 ක් වැනි සොච්චම් මුදලකිනි. එසේ ආරම්භ කළ කුඩා ව්‍යාපාරය මේ වන විට රටට ඩොලර් ගෙන එන ග්‍රාමීය කර්මාන්තයක් බවට පත්ව ඇත. අෂේන් විසින් මේ වන විට ඕස්ට්‍රේලියාව, සිංගප්පූරුව ඇතුළු රටවල් කිහිපයකටම කිතුල් පැණි හා හකුරු අපනයනය කරන සාර්ථක ව්‍යාපාරිකයෙකි. ඒ මඟින් ඔහු මසකට ඩොලර් තුන්දහසකට වඩා මෙරටට ගෙන එනු ලබයි. ඔහු මේ වන විට සෘජු හා වක්‍ර රැකියා තිහකට ආසන්න ප්‍රමාණයක් ලබා දී තිබේ. අෂේන් යටතේ සේවය කරනු ලබන තරුණ කිතුල් ගොවීන් කිහිප දෙනකුම මාසිකව රුපියල් එක්ලක්ෂ පනස් දහස ඉක්මවා උපයා ගන්නා බව කියන්නේ මහත් ආඩම්බරයෙනි.

කිතුල් කර්මාන්තය පදනම් කරගත් ව්‍යාජ නිෂ්පාදන වෙළඳපොළට පැමිණීම ක්ෂේත්‍ර‌ෙය් නිරත පිරිස් මුහුණ දෙන බරපතළ ගැටලුවකි. සිංහරාජයට මායිම් වූ ලංකාගම සංචාරක ආකර්ෂණය සහිත ප්‍රදේශයකි. සිංහරාජය හා ඒ අවට ඇති දර්ශනීය දිය ඇලි, නොඉඳුල් ස්වභාවික පරිසරය නැරඹීමට අති විශාල සංචාරකයන් පිරිසක් දිනපතා ලංකාගම හරහා ගමන් කරති. ලංකාගම වැසියන්ගේ නිෂ්පාදන සෘජුවම පාරිභෝගිකයනට අලෙවි කිරීමට පහසුකම් රජයට සැලසිය හැකි නම්, තත්ත්වයෙන් බාල කිතුල් නිෂ්පාදන පාරිභෝගිකයන් අතට පත්වීම වැළැක්වීම මෙන්ම අතරමැදියන් නොමැතිව සිය නිෂ්පාදන සාධාරණ මිළකට පාරිභෝගිකයන්ට ලබා ගැනීමේ හැකියාව ද හිමි වන බව බව ගම්මුන්ගේ අදහසයි. 

“රජය මැදිහත් වෙලා කිතුල් පැණි, හකුරු සුපිරි වෙළඳසැල්වලට අපේ නිෂ්පාදන හැටියට කෙලින්ම අලෙවි කර ගත හැකි තත්ත්වයක් හදලා දෙනවා නම්, ඒ වගේම සිංහරාජේ සංචාරක කලාපේ අපිට වෙළඳ කුටි ලබා දෙනවා නම්, මේක මීට වඩා හොඳින් කර ගෙන යන්න පුළුවන්.. “ චම්පා විජේරත්න වැඩිදුරටත් කියා සිටියාය.

මෙම වෘත්තියේ නිරත වූවන් සඳහා ජීවිත රක්ෂණ ක්‍රමයක් හඳුන්වාදීමට රජය කටයුතු කරන බව අවස්ථා කිහිපයකදීම ප්‍රකාශ කර ඇතත්, එය මෙතෙක් ක්‍රියාත්මක වී නැත.

පහේ පන්තියෙන් පාසල් ගමන අවසන් කළ හිනිදුම ටියුඩර් කොඩිතුවක්කු මේ වන විට රුහුණු විශ්වවිද්‍යාලයේ කිතුල් ගස් මැදීම පිළිබඳ කථිකාචාර්යවරයෙකි. ඒ මෑතකදී රුහුණු විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍යා පීඨය විසින් ආරම්භ කළ කිතුල් ආශ්‍රිත පාඨමාලාවේය. ඔහු කිතුල් ආශ්‍රිත නිෂ්පාදන තුළින් නව මං සොයා යන්නෙකි. ඔහු විසින් මේ වන විටත් සැකසූ කිතුල් විනාකිරි, සිරප්, ජෑම් හා කිතුල් පිටි සඳහා වෙළඳපොළේ ඇත්තේ ඉතාමත් ඉහළ ඉල්ලුමකි.

හිනිදුම ටියුඩර් කොඩිතුවක්කු සතු දැනුම නව පරම්පරාවට ලබාදීමට රුහුණු විශ්වවිද්‍යාලය ගෙන ඇති පියවර අගනේය. විද්‍යාර්ථීන්ගේ න්‍යායාත්මක දැනුම හා වෘත්තියේ නිරතවූවන්ගේ භාවිතයේ අත්දැකීම් මුහුවී මෙම පාඨමාලාව සැකසී තිබීම මෙහි ඇති විශේෂත්වයයි. ලකුණෙන් දෙකෙන් විශ්වවිද්‍යාල වරම් අහිමි වන දහස් සංඛ්‍යාත සිසුන් තරුණ වියේදීම සිය අධ්‍යාපනය නිම කරද්දී, වැඩිදුර අධ්‍යාපනය නොලැබූ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල බොහෝ පිරිසක් මේ වන විට රුහුණු විශ්වවිද්‍යාලයේ කිතුල් ආශ්‍රිත පාඨමාලාවට යොමු වී ඇත්තේ කිතුල් කර්මාන්තයේ හෙට දවස පිළිබඳ සුබ සිහින විවර කරමිනි.

කිතුල් කර්මාන්තයට තරුණ පිරිස් යොමු නොවීමත්, නව තාක්ෂණය භාවිත නොකිරීමත් හේතුවෙන් යම් පසුගාමි තත්ත්වයක් පැවතිය ද, සමස්තයක් ලෙස මේ වන විටත් කිතුල් කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම රජය විසින් ආරම්භ කර ඇති බව තවලම සහකාර ප්‍රාදේශීය ලේකම් ඩී. ඒ. බී. මධුභාෂිනී කියා සිටීයාය.

මේ වන විට කිතුල් රා මැදීම සම්බන්ධයෙන් පවතින නීතිරීති සංශෝධනය කළ යුතු පමණක් නොව, කිතුල් කර්මාන්තය සම්ප්‍රදායිකත්වයෙන් බැහැරට ගෙන යා යුතු බව නෙළුව ප්‍රාදේශීය ලේකම් ශාන්ත ප්‍රියදර්ශනගේ අදහසයි. කිතුල් කර්මාන්තයේ නිරත වූවන්ගේ අභිවෘද්ධිය සඳහා වූ වැඩසටහන් රැසක් මේ වන විටත් රජය විසින් ක්‍රියාත්මක කරමින් පවතින බව ප්‍රාදේශීය ලේකම්වරයා වැඩිදුරටත් කියා සිටි.

මහාචාර්ය නිලන්ත ලියනගේ රුහුණු විශ්වවිද්‍යාලය විසින් මෑතකදී ආරම්භ කළ කිතුල් ආශ්‍රීත පාඨමාලාවේ නිර්මාතෘවරයායි. අප රටේ අභාවයට යමින් පවතින කිතුල් කර්මාන්තය යළි නඟා සිටුවා ඒ මඟින් විවිධ නිෂ්පාදන හඳුන්වා දීම, ඒ මඟින් රටට විදේශ විනිමය උපදවීම සහ කිතුල් කර්මාන්තය හරහා ග්‍රාමීය ජනයා ව්‍යවසායකයන් බවට පත් කිරීම මෙහි ප්‍රධාන අරමුණ බව මහාචාර්යවරයා අවධාරණය කරයි. මහාචාර්ය නිලන්ත ලියනගේ කිතුල් කර්මාන්තය පිළිබඳ ප්‍රමිතියක් ඇති කිරීමට රජය විසින් පත්කර ඇති කමිටුවේ සාමාජිකයකු වන අතර ආහාර විද්‍යාව පිළිබඳ ප්‍රාමාණික උගතෙකි.

“දැනටමත් අපි කුරුඳුවලින් විස්කි වර්ගයක් හදලා තියෙනවා. කිතුල් රා වලින් අපිට ඒක ඊට වඩා හොඳට කරන්න පුළුවන්. ඒ සඳහා සියලු පර්යේෂණ කිරීමේ හැකියාව අපේ විශ්වවිද්‍යාලය සතුව තිබෙනවා. එහෙම දෙයක් කළොත්, චිවාස් රීගල්, වොඩ්කා, බකාඩි, ජොනි වෝකර් වගේ බ්‍රෑන්ඩ් එකක් අපිටත් ලංකාවෙන් ලෝකෙට යවන්න හැකියාව තියෙනවා. ඒ හරහා ග්‍රාමීය ජනයා රටට ඩොලර් උපද්දවන ව්‍යවසායකයන් බවට පත් කිරීමේ හැකියාව තියෙනවා..”

Comments