පුරන් කුඹුරෙන් අස්වනු මතු කළ රජරට සිසු විරුවෝ | සිළුමිණ

පුරන් කුඹුරෙන් අස්වනු මතු කළ රජරට සිසු විරුවෝ

ශ්‍රී ලංකාව යනු බතින් සහලින් ස්වයංපෝෂිතව තිබූ රටකි. සහල් පිටරට යැවූ ඉතිහාසයක උරුමකරුවන් වන අප “පැරකුම් යුගයක් නැවතත් අරඹමු” යැයි කියන්නේ අපේ ඒ අදීන බව අපට ඇවැසි බව අපේ හදවත් අපට මොරගා කියන නිසාය.

මේ සඳහා ක්‍රියාත්මක විකල්ප වැඩසටහන් රැසක් න්‍යාය ටොන් ගණනින් ද භාවිතය අවුන්ස ගණනින් ද යොදා ගත් වැඩසටහන් බවට පත්ව තිබීමෙන් ඒවායේ ඵලදායිතාව බින්දුවට වැටී ඇත.

'සිළුමිණ' අප වැව් බැඳි රජරට තලාව ප්‍රදේශයේ පිහිටි පහල තලාව පාසලට යන්නේ න්‍යාය ටොන් ගණනක් වෙනුවට භාවිතය ටොන් ගණනක් තුළින් අක්කර දෙකහමාරක කුඹුරක් අස්වද්දා ඉතා ඉහළ ආදායමක් ලබා පාසල් සංවර්ධන සමිතියේ ගිණුම තර කරගත් විදුහල්පති, ගුරු, සිසු, මවුපිය පිරිසකගේ හපන්කම් සිළුමිණ ඔස්සේ රට හමුවේ තබන අටියෙනි.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ තඹුත්තේගම අධ්‍යාපන කලාපයේ තලාව කොට්ඨාසයේ මහවැලි H කලාපයට අයත් ගොවි ජනපදයක පිහිටි පහළ තලාව විද්‍යාලය අතිශයින්ම දුෂ්කර කටුක දිවි පෙවෙතක් ගෙවන එම ගොවි ජනපදවාසීන්ගේ දූ දරුවන් සිප්සතර හදාරන දුෂ්කර පාසලකි.

තලාව නගරයට කිලෝමීටර් හයක් දුරින් පිහිටි පහළ තලාවේ ඇති හැකි පවුල්වල දරුවන් නගරයේ පාසල්වලට යවද්දී පහළ තලාව නැති බැරි පවුල්වල දරුවන් එම පාසලට එවන්නේ තම දරුවන් කිලෝමීටර් හයක් දුරින් පිහිටි නගරයේ පාසලකට යවන්නට තරම් ආර්ථික හැකියාවක් නැති නිසාය.

1 ශ්‍රේණියේ සිට 11ශ්‍රේණිය දක්වා ඉගෙනුම ලබන සිසු දරු දැරියන් 250ක් පමණ ඉගෙනුම ලබන මෙම පාසලේ ගුරු මණ්ඩලය 21කි. විදුහල්පතිවරයා එස්. ගාමිණි සෝමරත්නය. පාසල සතු අක්කර දෙකහමාරක වපසරිය ඇති පුරන් වූ කුඹුරක් සරු බිමක් බවට පත් කරන්නට නායකත්වය දුන් මේ අපූරු විදුහල්පතිවරයා හමුවන්නට අපි එම පාසල වෙත ගියෙමු.

“මා පහළ තලාව විදුහලේ විදුහල්පතිවරයා ලෙස පත්වී පැමිණියේ 2021 පෙබරවාරි මාසයේදී. මුලින් මම පාසල පිළිබඳව තත්ත්ව විශ්ලේෂණයක් කළා. එහිදී මේ පාසල සතුව තිබෙන ශ්‍රී ලංකා මහවැලි අධිකාරියෙන් ප්‍රදානය කළ කුඹුරු ඉඩම පිළිබඳ මට අනාවරණය කර ගැනීමට හැකි වුණා. ඒ කුඹුරු ඉඩම මහවැලි ජලයෙන් යල සහ මහ කන්න දෙකම වගා කළ හැකි සරු බිමක් බව මා හඳුනා ගත්තා.

නමුත් නිසි පරිදි මේ කුඹුර වගා කිරීමක් සිදුවෙලා නැහැ. යම් යම් අවස්ථාවල ප්‍රදේශයේ ගොවි මහතුන්ගෙන් සුළු මුදලක් ලබාගෙන බදු දීලා ඒ මුදල පාසල් සංවර්ධන සමිතියේ අරමුදලට බැර කර තිබුණා. පාසලකට අක්කර දෙකහමාරක කුඹුරු ඉඩමක් දුන්නෙ ඇයි..? මම මේ ගැන හිතුවා. 

පාසලේ විධිමත් විෂය මාලාවක් ක්‍රියාත්මක කිරීමට සහ ආවරණය කිරීමට මූලිකත්වය දෙන වත්මන් අධ්‍යාපන ක්‍රමය ජාතික මට්ටමේ විභාග තුනක් ඉලක්ක කරගෙනයි මේ විෂයය ආවරණය කිරීම සිදු කරන්නේ.

නමුත් මේ අධ්‍යාපන රටාවේ යම් සාධනීය වෙනසක් ඇවැසි බවට මත පළවෙමින් තිබෙන කාලයක මට හිතුනා, සාමාන්‍ය පාසලකට අහිමි එහෙත් අපේ පාසලට හිමි මේ විටිනා සරුසාර කුඹුරු ඉඩම ඉගෙනුම් ක්‍රියාවලියේ මේවලමක් කරගෙන යම් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කළ යුතුයි කියලා. මා මේ පිළිබඳ මූලික සාකච්ඡාවක් පාසලේ ගුරු මණ්ඩලය සමඟ පැවැත්වුවා. පසුව පාසල් සංවර්ධන සමිතිය, ආදි ශිෂ්‍ය සංගමය සමඟත් සාකච්ඡා කළා. මේ සාකච්ඡාවල ප්‍රතිඵලයක් හැටියට 2022/2023 මාස් කන්නයෙ මේ කුඹුරේ වී වගා කිරීමට අපි තීරණය කළා.

ඉගෙනුම් ක්‍රියාවලියක් හැටියට තමයි අපි ඒ වගා කටයුතු ආරම්භ කළේ. පාසල් සංවර්ධන සමිතියේ පූර්ණ සහාය මේ සඳහා ලැබුණා.

පාසල සතු කුඹුරු ඉඩම සාර්ථකව වගා කරලා පාසල් සිසුන්ගේ ඉගෙනුම් සහ ඉගැන්වීම් ක්‍රියාවලියේ කොටසක් හැටියට පාසල් සිසුන් විවිධ ක්‍රියාකාරකම්වල නිරත කරවූවා. පන්ති කාමරය තුළ කොටු වෙලා හිරවෙලා ඉගෙන ගන්නවට වඩා හරිම ප්‍රබෝධයකින් සිසුන් කුඹුරේ සිට ඉගෙන ගැනීමට අතිශයින්ම ප්‍රිය කරන බව අපට නිරීක්ෂණය වුණා.

මේ නිසා පාසල් සිසුන්ගෙ දැනුම, ආකල්ප කුසලතා වගේම නිපුණතා වර්ධනය වන ආකාරය මා ඇතුළු අපේ ගුරු මණ්ඩලය මහත් තෘප්තියෙන් යුතුව විඳ ගත්තා.”

එසේ පැවසූ විදුහල්පතිවරයා මේ වගා සංග්‍රාමය සිදුවූ ආකාරය පියවරෙන් පියවර විස්තර කළේය.

“පළමුවෙන්ම පාසලේ දරුවන්ගේ මවුපියන් එකතු වෙලා පුරන් වී වල් බිහිවෙලා තිබූ මේ කුඹුර ශුද්ධ පවිත්‍ර කළා. පුරාණ චාරිත්‍ර වාරිත්‍රවලට අනුව පුල්ලෙයාර් අප්පච්චිට පොල් ගෙඩියක් වෙන් කරලා සී සෑමේ මංගල්‍යය පැවැත්වුවා. බිං නඟලා දෙහිය හාලා පෝරු ගාලා වප් මඟුල් උත්සවය පැවැත්වුවා.

මේ කටයුතුවලදී පාසලේ ආදි ශිෂ්‍ය ප්‍රජාව තුළ සිටි ට්‍රැක්ටර් හිමියන් අපට නොමිලේ සී සෑම කර දුන්නා.

හීවල් දැත්ත කැපීම, නියර බැඳීම ආදී අපේ පාරම්පරික ගොවිතැනේ සියලු අංග මේ කාර්යයේදී අනුගමනය කළා. මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වෙද්දි පාසල් සිසු සිසුවියන්ට හොඳ පරිසර අධ්‍යයනයක් ලැබුණා. සෞන්දර්යාත්මක හැකියා වර්ධනය වුණා. සී සෑමේ සහ වප් මඟුල් මංගල්‍යය, වල්පැළ නෙළීම, අස්වනු නෙළීම වැනි අවස්ථාවල ගොයම් කවි, නෙළුම් කවි විවිධ නර්ථන ඉදිරිපත් කළේ පාසල් දරුවන්. අප මේ වගාවෙන් ඉතා ඉහළ අස්වැන්නක් ලැබුවා.

අප කාබනික වගේම රසායනික පොහොර භාවිත කළත් ඒ අවම මට්ටමකින්. මඩ පොහොර අවශ්‍යතාව සම්පූර්ණ කර ගත්තෙ සිසු සිසුවියන් තම තමන්ගෙ ගෙවල්වලින් අහුර බැගින් ගෙනා මඩ පොහොර එකතු කරලා. පහළ තලාව ගොවි සංවිධානයේ ලේකම් ශිරෝමි මහත්මිය අපට යූරියා කිලෝ 50 මිටියක් පරිත්‍යාග කළා. තලාව ගොවිජන සේවා මධස්ථානය එහි ගොවි නියාමක ආරියරත්න මහතා කාබනික පොහොර මිටි හතරක් අපට ලබා දුන්නා. ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ශ්‍රී ලංකා සමෘද්ධි සංගමය ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ H කලාපයේ නේවාසික කාර්යාලය තඹුත්තේගම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂතුමා ඇතුළු කාර්ය මණ්ඩලය, තලාව කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂතුමා ඇතුළු කාර්යමණ්ඩලය, ගුරු උපදේශකවරුන් ඇතුළු රාජ්‍ය සහ රාජ්‍ය නොවන සංවිධානවල සහාය මේ සඳහා අපට නොඅඩුව ලැබුණා. පහළ තලාව අවමංගල්‍යාධාර සමිතිය ඇතුළු ගමේ සමිති හැමදාම අප සමඟ සිටියා. සී සෑම වගේම අස්වනු නෙළීමත් අස්වනු නෙළීමේ යන්ත්‍ර හිමි අපේ පාසලේ ආදි ශිෂ්‍යයන් විසින් නොමිලේම ඉටු කර දුන්නා.

අපි දේශීය වී වර්ගයක් වන මඩතවාලු වී මේ කුඹුරේ කොටසක වගා කළා. අපි අලෙවි කළ වී අස්වැන්නට අමතරව මඩතවාලු වී අස්වැන්න වී මිටි 13 ක්. එය අපි අලෙවි කළේ නැහැ. පාසලේ දරුවන්ගේ ආහාර අවශ්‍යතා සඳහා තබා ගත්තා.”

වගාව ආරම්භයේ සිටම පුරාණ චාරිත්‍ර වාරිත්‍ර, කෙම් ක්‍රම ආදිය උපයෝගී කර ගනිමින් ක්‍රියාත්මක වූ මෙම ව්‍යාපෘතියේ අස්වනු නෙළා එහි පළමු කොටස කිරි ආහාර බුද්ධ පූජා සඳහා යොදා ගැනීමෙන් අනතුරුව අලුත් සහල් මංගල්‍යය පවත්වා දෙවියන් පිදීම ඉදිරි දිනෙක පාසල හා බැඳුණු පහළ තලාව ශ්‍රී ජයසුන්දරාරාම විහාරස්ථානය සහ ඉලන්දන්කුලම ශ්‍රී බෝධිරාජාරාමය යන විහාරස්ථානවල විහාරාධිපති ස්වාමීන්වහන්සේලාගේ අවවාද අනුශාසනා ලබමින් පවත්වන්නට කටයුතු සැලසුම් කර ඇති බව ද විදුහල්පති ගාමිණී සෝමරත්න පැවසීය. මෙම ක්‍රියාවලියේ සාර්ථකත්වය මෙවර අ.පො.ස. (සා.පෙළ) විභාග ප්‍රතිඵලවලින් ද සනාථ වන බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය. පාසල් සංවර්ධන සමිතියේ ලේකම් කුමුදුනී කුමාරි වන්නිනායක ද අප සමඟ අදහස් දැක්වූවාය.

“අපේ කොට්ඨාසයේ තියන දුප්පත්ම දුෂ්කරම පාසල මේ පාසල. මේ වී වගා ව්‍යාපෘතියත් එක්ක අපේ මේ පුංචි පාසල රටම දන්න පාසලක් වෙලා. විභාග ප්‍රතිඵල ප්‍රතිශතය වෙනදාට වඩා වැඩිවෙලා. දරුවන්ගේ හැකියාව වගේම හැදියාවත් වර්ධනය වෙලා රටටම පූර්වාදර්ශයක් වූ අපේ පාසල මේ මට්ටමට ගේන්න කැපවුණු වගේම ඉදිරියටත් කැපවෙන විදුහල්පතිතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලයට, පාසල් සංවර්ධන සමිතියට, ආදි ශිෂ්‍යයන්ට, ගමේ සමිති සමාගම්වලට රාජ්‍ය සහ රාජ්‍ය නොවන සංවිධානවල නිලධාරීන්ට බෙහෙවින්ම ස්තුතියි. අපේ දුප්පත් දරුවන් වෙනුවෙන් උදවු උපකාර කළ හැකි සත්පුරුෂ මිනිසුන්ගේ සහයෝගය ශක්තිය අපේ පාසලට අවශ්‍යයි”.

පාසල් සංවර්ධන සමිතියේ භාණ්ඩාගාරික ලෙස කටයුතු කරන එම පාසලේම ගුරුවරයකු වන කේ.බී.වසන්ත කුමාර ඒ පිළිබඳ පැවසුවේ මෙවැන්නකි.

“ඉස්සර මේ කුඹුර බදු දීලා රුපියල් 20,000- 24,000ක්වගේ මුදලක් උපයා ගත් අපි මෙවර මේ කුඹුර අපිම වගා කරලා වී කිලෝ 3,000 කටත් වැඩි අස්වැන්නක් ලැබුවා. එම අස්වනු අලෙවි කරලා රුපියල් ලක්ෂ තුනකට වැඩි මුදලක් පාසල් සංවර්ධන සමිති ගිණුමේ තැන්පත් කරන්න අපට පුළුවන් වුණා.

විදුහල්පතිතුමාගේ නායකත්වයෙන් ගුරු සිසු මාපිය කියන පාර්ශ්ව තුනම එක මිටට එක පොකුරකට එක්වෙලා කළ කැපවීමක මහරු ඵලය තමයි මේ”.

පහළ තලාව පාසලේ විද්‍යා ගුරුවරයා වන දමිත් ශ්‍රී ලක්මාල් ද මේ පිළිබඳ අදහස් දැක්වූයේ සතුටිනි.

“අපි සියලු දෙනා එකමුතු වෙලා මේ කළේ අතිශයින්ම සාර්ථක ඉගෙනුම් ක්‍රියාවලියක්. මෙහි ආරම්භයේ සිට අවසාන අස්වනු නෙළීම දක්වා වූ අවස්ථාවලට අපි සිසු දරුවන් සම්බන්ධ කර ගත්තා. ඔවුන් ඒ ඒ අවස්ථාවල පස, ශාක සහ සත්ව කියන කොටස් පිළිබඳව නිරීක්ෂණ සහ පරීක්ෂණවල නිරත වෙමින් ඒ අවස්ථා හඳුනා ගත්තා. පොහොර, කෘමි නාශක භාවිතය සහ එහිදී අනුගමනය කළ යුතු ආරක්ෂිත පියවර එහි ප්‍රතික්‍රියාවන් වගේ දේවල් ගැන මනා අවබෝධයක් ලැබුවා. වෙනදා පන්ති කාමරය ඇතුළේ රූප සටහන්වලින් දැකපු සහ ඉගෙන ගත් දේවල් ඔවුන් මේ කුඹුරේ සිට මහා සතුටකින් ඉගෙන ගත්තා. ඒකාකාරී පන්ති කාමරයේ ඉගෙන ගන්නවාට වඩා වැඩි සතුටකින් ඕනෑකමකින් ඔවුන් ඉගෙන ගත්තා. ඉගෙන ගත් දේ හොඳින් වටහා ගත්තා. ධාරණය කර ගත්තා. මෙය ඔවුන්ගේ ප්‍රධාන විභාග ඉලක්ක තුන සපුරා ගන්නටත් ලොකු පිටුවහලක් වෙනවා.”

කොළඹට කිරි අපට කැකිරි නම් ජනප්‍රිය සටන් පාඨය පසෙක ලා ලැබෙන කැකිරිවලින් කිරි ලබා ගන්නට කැපවෙන වැව් බැඳි රජරට මේ අපූරු පාසල වැනි පාසල් රට පුරා බිහි වන්නේ නම් යහ ගුණ බලයෙන් නැණ ගුණ දහමින් හෙඹි අනාගත පරපුරක් ගොඩ නැඟීමේ අභියෝගය ජය ගැනීම අසීරු නොවනු ඇත. පහළ තලාව විදුහලේ මේ අපූරු ව්‍යාපෘතිය අපට පසක් කරන්නේ ඉගෙනුම් මේවලමක් ලෙස හැම පාසලකටම වෙනම ගෙවත්තක් සහ කුඹුරක් ලබා දෙමින් මිනිසුන් හදන පාසල් පද්ධතියක් ගොඩනැඟීමේ වැදගත්කම පිළිබඳ වටිනා පණිවුඩයකි.

(ව්‍යාපෘතියේ ආරම්භක ඡායාරූප පාසලේ සන්නිවේදන කමිටුවේ අනුග්‍රහයෙනි)

සුනිල් පොරමඬල, තලාව සංචාරයකින් පසු

Comments