කොළඹ වීදි සරසන වෙසක් සැරසිලි මවන හසරැලි | සිළුමිණ

කොළඹ වීදි සරසන වෙසක් සැරසිලි මවන හසරැලි

ඔබේ වෙසක් සුභ පැතුම් සති දෙකකටවත් පෙර තැපැල් කරන්න.”

මේ මීට වසර දහයකට පමණ පෙර තැපැල් දෙපාර්තමේන්තුව පළකොට තිබූ දැන්වීමකි. මෑතක් වනතුරුත් මෙරට ලියුම් බෙදන්නාට බරට බර රාජකාරි පැවරුණේ ඡන්දයක් ආසන්නයේදී ඡන්ද පත්‍රිකා බෙදීමටත් වඩා වෙසක් එකට කාඩ් බෙදීමටය. ඡන්ද පත්‍රිකාවක් නිවෙසක ඡන්දදායකයන් 4ක් සිටියොත් ලැබෙන්නේ හතරකි. ඒත් වෙසක් සුභ පැතුම්පත් නොහොත් වෙසක් කාඩ් ගෙදර හතර දෙනාට එක්කෙනාට තුන හතර බැගින් ලැබුණු බැවින් ලියුම් බෙදන්නා කලකට ඉහත වෙසක් කාලයේ නත්තලට නත්තල් සීයා මෙන් වෙසක් කුමාරයා බවට පත්විය.

ඒත් අද එසේ නැත. වෙසක් එකට වෙසක් කාඩ් එකක් අරින්නේ කලාතුරකින් කෙනෙකි. දැන් කෙරෙන්නේ වෙසක් කාඩ් එකක් කාගෙන් හෝ ඩවුන්ලෝඩ් කර අදාළ පාර්ශ්වයට සුටුස් ගා සෙන්ඩ් කිරීමය. ඊටත් වඩා දැන් පරම්පරාවට වෙසක් කාඩ් එකක් ලියුම් කවරයක බහා අලවා, මුද්දරයක් ගසා තැපෑලට දැමීම ගැන අවබෝධයක් ද නැත.

පසුගිය කොරෝනාවෙන් වසා දැමුණු රට ඊළඟට 'ඩොලර් අහේනියෙන්' ආර්ථික වශයෙන් හෙම්බත් විය. ඒත් ඉතින් මේ සැරේ නම් වෙසක් උත්සවයට ජනතාව 'හිටු කියා' සැරසෙන බව පෙනෙන්නට ඇත. සාමාන්‍යයෙන් අපට පුරුදු වෙසක් උත්සවය මැයි 20න් පසුවය. එහෙත් මෙවර වෙසක් උත්සවය පැවැත්වෙන්නේ සිංහල අවුරුදු කා අවුරුදු කෑම වේල උදරයේ දිරවන්නටත් පෙරදීය. අවුරුදු කෑමෙන් පසු බොහෝදෙනා වැඩට ආවේ අප්‍රේල් 24 වැනිදාය. මෙවර වෙසක් උත්සවය පැවැත්වෙන්නේ මැයි 4 - 5 බැවින් වෙසක් උත්සවයට සූදානම් වීමට ඇත්තේ දින 10කටත් අඩු කාලයකි.

වෙසක් උත්සවය නිමිත්තෙන් සැරසිලි බහුල ප්‍රදේශයක් වන්නේ කොළඹ බෞද්ධාලෝක මාවත ප්‍රදේශයයි. බෞද්ධ සම්මේලනය ඇත්තේ ද එම මාර්ගයේය. ඡායාරූප ශිල්පියාත් සමඟ බෞද්ධාලෝක මාවතේ ඒ පැත්තටත් මේ පැත්තටත් ගියද තවම වෙසක් සැරසිලිවලට සූදානමක් දක්නට ලැබුණේ නැත.

ඉන්පසු අපේ අදහස වූයේ වෙසක් සැරසිලිවලට නම් දැරූ කිරුළපන ප්‍රදේශයේ කරක් ගැසීමය. අපි සිතුවාක් වගේම කිරුළපනේ වෙසෙක් සැරසිලි ව්‍යාපාරය කොරෝනාවෙන් යටපත් වී තිබී අළුගසා දැවැන්ත යෝධයකු මෙන් නැඟී සිටින බැව් පෙනුණි. ආර්ථික අහේනියකින් පෙළුණු රටක් නව පිබිදීමකින් යුතුව නව ගමනක් යෑමට ඇරඹුමක් මෙන් වෙසක් සැරසිලි කඩ කිරුළපන පාර දෙපස අප බලාසිටියදීම ගොඩනැඟෙන්නට විය.

කිරුළපනේ අපට හමුවූයේ මුලින්ම බට පතුරුවලින් අඩි 4ක් පමණ උසට නෙළුම් මල විලාසිතාවට වෙසක් කූඩු හදන කාන්තාවකි. ඇගේ නම ඉන්ද්‍රාය. 

“මහත්තයා තමයි බිස්නස් එක කරන්නේ. පොඩ්ඩක් පොළ පැත්තට ගියා.”

“කොහොමද මේ සැරේ කූඩු බිස්නස්.”

“අවුරුදු දෙකක් විතර කොරෝනාවට බිස්නස් නවත්වල තිබුණේ.” අපේ කතාබහ අතරේදීම ගනුදෙනුකරුවෝ පිරිසක් ද ආහ.

“ඔය කොළ බට ගස් දහයකුයි, පොඩි උණගස් පහළොවකුයි දෙන්න.”

“දෙකම අඩි 6 උස තමයි තියෙන්නේ. කොළ බට ගහක් 100යි. උණගහක් 200යි.”

“අපෝ වැඩියි - වැඩියි ගිය සැරේ ඔය ගාණෙන් භාගයක්වත් නෑ.”

“ඕවා ඉංගිරියෙන් පර්මිට් දාලා කපපුවා. ලොරියටම බර ගාණක් ගියා.” ඉන්ද්‍රා කීවාය.

තැන් කිහිපයකින් ගණන් අසා හෙම්බත්ව සිටි ගනුදෙනුකරු බට මිටි 2ක් ත්‍රීවිලයේ හුඩ් එකේ ගැටගසා ගන්නා විටම ඉන්ද්‍රාගේ සැමියා වූ ශිව කුමාර් එතැනට පැමිණියේය.

පත්තරෙන් ආ බව කියූ විට ශිවකුමාර් අමුතු ප්‍රබෝධයකින් අප සමඟ කතාබහට එක්විය.

“මං වයස අවුරුදු පහේ ඉඳන් මේ වැඩේ පටන් ගත්තේ අපේ තාත්තත් එක්ක. දැන් අවුරුදු 20කට වැඩියි බිස්නස් පටන් අරන්. අවුරුදු කාපු ගමන් නිසා තවම මිනිස්සු ගාව සල්ලි නෑ. ඒ කාලේ අඩි හතරක් උස නෙළුම් මල් කූඩුවක් රුපියල් 200යි. මේ සැරේ 2,500යි. සවුකොළ කූඩුවට වැඩිය සෙලෝපේන් කූඩුව ගාන වැඩියි. රුපියල් 10 ට තිබ්බ සොලෝපේන් කොළේ දැන් පිටකොටුවේම රුපියල් 50යි. මෙහේ කඩවල රුපියල් 100යි. හිටපු හැටියේ හෝටල්වලට, පන්සල්වලට කූඩු 100 - 200 ඕඩර් එනවා. එතකොට අපි අහල පහළ අය කූඩු බෙදාගෙන හදනවා.”

කිරුළපනේ බෝධිය පසු කළ පසු අලෙවි කුටියේ හිමිකරු වූයේ 'රංජි' ය. එය අංග සම්පූර්ණ වෙසක් සැරසිලි අලෙවි සැලකි. රංජි මේ වෙසක් සැරසිලි ව්‍යාපාරය වසර 35ක් තිස්සේ සිදු කරන කටයුත්තකි.

“මම පොඩිම කාලේ වේවැල් කූඩයක තියාගෙන වෙසක් සැරසිලි වික්කේ. මගේ ගම මාතර පොල්දූවේ. සව්කොළ පැකට් එකේ ගාන කොළ ගාණෙන් බෙදුවොත් හිතන්නේ අපි අධික ලාභයක් ලබනවා කියලා. එහෙම නෙමෙයි. මේ එළියෙ විකුණනකොට සව්කොළ පින්නට අහුවෙනවා, සමහර සව්කොළ ඩැමේජ්. විකුණන්න බෑ. තුනී වැඩි නිසා සමහර වෙලාවට එක සව් කොළයම දෙක තුන යනවා. ඒවා ඔක්කොම ලොස් තමයි.”

කිරුළපනේ වෙසක් සැරසිලි අලෙවි කුටියක් අඩි 20ක් දිගය. දවස් 13කට නගර සභාව මේවා බදු දී ඇත්තේ කුටියක් රුපියල් 15,000 බැගිනි.

“මේ බකට් මං ගෙදර කට්ටිය දාල හදන ඒවා. සෙලොපේන් බකට් එකක් තොග දෙන්නේ දුසිම රුපියල් 450යි. තෙල් කොළෙන් හදපුවා දුසිම රුපියල් 350යි.”

රංජි කියන්නේ වෙසක් කාඩ් පතක් තවමත් රුපියල් 5ක් බවය. ලොකු වෙසක් කොඩි 1ක් රුපියල් 150කි. ලොකු කාඩ් තුන් හාරසීයටත් විකුණන්නට තිබේ. රංජිගේ අලෙවි කුටියට යාබදව තිබුණේ තනිකරම වෙසක් කූඩු නිපදවමින් සිටි සිරිපාලගේ කුටියයි. එහි ගැනුම්කරුගේ අවශ්‍යතාව අනුව ඕනෑම වර්ගයක වෙසක් කූඩුවක් බලා සිටියදී තනවා ගත හැකි විය.

“මං අවුරුදු 20ක් තිස්සේ මේ වෙසක් සැරසිලි හදන්නේ. වැඩියෙන්ම යන්නේ අටපට්ටම් කූඩු. ගිය සැරේ අඟල් 8 අටපට්ටම් කූඩුවක් දුන්නේ රුපියල් 100ටයි. ඒත් මේ සැරේ බඩු ගණන් නිසා කූඩුවකට රුපියල් 150ක්වත් ගන්න ඕන. සව්කොළ පැකට් එකේ කොළ 480යි තියෙන්නේ. ගිය අවුරුද්දේ සව්කොළ පැකට් එකක් රුපියල් 2,400යි. ඒත් ඊයේ පිටකොටුවෙන් ගෙනාවේ සව්කොළ පැකට් එක රුපියල් 7,000ට. වෙසක් කූඩුව රුපියල් 200 කළොත් බිස්නස් නැති වෙනවා.” 

කිරුළපනෙන් පසු අප ගියේ කොළඹ වෙසක් සැරසිලි තොග ඇති ඉසව්වටය. වේල්ල වීදිය, මැලිබන් වීදිය ආදි කොයි වීදියටත් වඩා වෙසක් සැරසිලි ගන්නට ජනතාව රොද බැඳ සිටියේ පීපල්ස් පාක් එකටය. වේල්ල වීදිය පොලිසිය පැත්තෙන් පීපල්ස් පාක් සංකීර්ණය දෙස බැලිමි. ගොඩනැඟිල්ලට ඇතුළු වන තැන සිට ගොඩ ගසා ඇත්තේ වෙසක් සැරසිලිය. එහි ආරම්භයට ඇති අලෙවිසැලට ඇතුළු විය යුතු වූයේ වෙසක් කූඩු අතරිනි. කඩය පිරෙන්නට වෙසක් සැරසිලිය. ඊටත් වඩා ඒවා අතගාමින් මිල ගණන් විමසමින් පොරකන පාරිභෝගිකයන්ය. මාත් ඡායාරූප ශිල්පියාත් දෙස බැලූ එම වෙළෙඳසැල හිමි ද්‍රවිඩ කාන්තාව 'දැන් මුකුත් කතා කරන්න එපා' යයි ඉඟියෙන් සෙනඟ පෙන්වා සිටියාය. එම නිසා අපට අල්ලපු වෙසක් සැරසිලි කුටියට ගොඩ වන්නට සිදු විය. එහි හිමිකරු වූයේ සම්පත්ය.

“මේ සැරේ චයිනිස්, ඉන්දියන් වෙසක් සැරසිලි බසාර් එකට ආවේ නැහැ. ඔය තියෙන බල්බ් වැල් ගිය අවුරුදුවල ඉතුරු වෙච්ච ඒවා. රුපියල් 110 ට තිබ්බ ලයිට් පනහේ ජෙල් ලයිට් වැල මේ සැරේ 250යි. අද ගෙනාපු බල්බ්වැල් ඔක්කෝම ඉවරයි. දැන් ඉතින් බසාර් එක පිරිලා ඉතුරු වෙච්ච තැනකින් බල්බ් වැල් ගෙන්වා ගන්නවා. වෙසක් ළංවෙනකොට බල්බ් වැලක් රුපියල් 1000 ක් වත් වෙයි. ලයිට් බිල වැඩි වුණාට ලයිට් බඩු මිල ඉල්ලුම අඩුවක් නෑ. මොකද ඉතින් එක දවසයිනේ දාන්නේ. කොළඹ ලයිට් බඩුවලට නම් දරාපු වීදිය පළමු හරස් වීදියයි. විවිධාකාර බුදු රශ්මි මාලා ලයිට් එබ්බවු බෞද්ධ කොඩි, නිවෙන පත්තුවෙන 'බුදු සරණයි' අකුරු සෙට් එහි විකුණන්නට ඇත. තොරන් සඳහා භාවිතා වන්නේ වොට් 5 විවිධ වර්ණ ඇති විදුලි බුබුලුය. ඒවා පෙට්ටි පිටින් ගොඩ ගසා තිබුණද ඒ කඩවල මුදලාලිලා සිටියේ උදාසීනව ඈනුම් අරිමිනි.

“මේ සැරේ තොරන් නැති තරම්. තොරන්වලට දාන මේ පොඩි ලයිට් ලක්ෂ ගාණක් කොරෝනාවලට කලින් ගෙනාපුවා. දැන් කානිවල් එකකට වගේ ගත්තොත් මිසක් මේ බල්බ්වලට බිස්නස් නෑ. මේ බල්බ් පොඩි වුණාට පිලමන්ට් එක තියෙනවා. මාර ලයිට් කන්දරාවක් යන්නේ. ලයිට් බිල වැඩි නිසා කවුරුත් ගන්නේ නැහැ.”

මේ තොරන් ගැන කියන විට මට මතක් වුනේ අපේ මිරිහානේ මහ ගෙදරයි. එම මහගෙදරට අල්ලපු ගෙදර ජීවත් වූයේ මුළුමනින්ම තොරන් නිපදවු අසල් වැසියෙකි. මුළු අවුරුද්ද පුරා සේවය කරන පිරිසක් එහි නවාතැන්ගෙන සිටියේය. තොරන් චිත්‍ර අඳින අය, බල්බ් වැල් හයි කරන්න, වයරින් කරන අය, තොරනේ ලයිට් වැල් විලාසිතාවකට ගමන් කරන්න 'ලයිට් කොටේ' හදන අය ඒ අතර විය. මුල්ම වරට පිටකොටුවේ ගහන තොරණ ගලවා ඊට පසු වෙසක්වලට කොළඹින් පිට නගරයකට අලෙවිය සිදුවෙයි. එම තොරණ සවිකොට විරිඳු ගායනා සමඟ තොරණේ විස්තරය කියවෙන කමෙට්‍රියක් ද විය. එහෙත් අද මේ කිසිවකු දැකගන්නට නැත.

කලකට ඉහත දැවැන්ත ලෙස දැක ගත හැකි වූ වෙසක් බැති ගී කණ්ඩායම් තවමත් දැක ගැනීමට නැත. කලක් මහත් කරදරයක් බවට පත්වූ ඔළුබක්කෝ සංදර්ශනත් නැත. ලොකු කැරකෙන වෙසක් කූඩු ඇත්තේ ද ඉඳහිටය.

කොළඹ වෙසක් සැරසිලි ගන්නට තවත් හොඳම තැනක් නම් පැරණි නගර ශාලාවය. ඒ දෙසට යන විට අපට හමුවූයේ පීපල්ස් පාක්හි වෙසක් භාණ්ඩ අලෙවියේ නියුතු 'මනී' ය. මනිගේ සොහොයුරකු කලක් 'තිනකරන්' පත්තරේ කැමරා ශිල්පියකු වීම නිසා ඔහු වඩාත් අපට සමීප විය. කඩදාසියෙන් අකුරෙන් අකුර විගහට එල්ලෙන 'ප්‍රීති වෙසක්' කූඩු සැට් එක ඔහුගේ වෙළඳසැලේ එල්ලෙමින් තිබුණි. කූඩු සෙට් එකේ තොග මිල රුපියල් 250ක් විය. ඊට කලින් දින නුගේගොඩ ජංෂන් හන්දියේ ඒවා අලෙවි කළේ සැට් 1ක් රුපියල් 750 බැගින් බව මගේ මතකයට ආවේ නිරායාසයෙනි. 

“මේ සැරේ බකට් එක්ක එල්ලන කම්බි ඇවිල්ල නැහැ. කම්බි නූල් හාඩ්වෙයාර් එකෙන් ගන්න වෙලා. ඉටිපන්දම් 1200 පැක් එකක් රු.11,000යි. බල්බ් 100 බල්බ් වැලක් රුපියල් 500යි. ජෙල් බල්බ් වැල රු.250යි. වෙනදට දන්සැල්වලට දුන්න පාරවල් සරසන්න බල්බ් වැල් 2000 - 3000 ගෙනියන්නේ. වෙසක් ළංවෙනකොට තමයි කට්ටිය කඩිකුලප්පුව හැදිල වගේ එන්නේ. පාරවල් වුණත් තාම සරසන්න පටන් අරන් නෑනේ.”

ඉන්පසු පැරණි නගර ශාලාවට ඇතුළු වූ අපි වෙසක් සැරසිලි කඩවලින් ගණන් අසමින් ගොස් අඩුම මිලට වෙසක් සැරසිලි තිබූ වෙළඳසැලේ නතර වීමු.

කඩේ හිමිකරු වූයේ ධර්මාය. එම වෙළෙඳසැලේ කොළ 480ක සව් කොළ පැකට් එකක් නොහොත් රිමක් රුපියල් 3,400කි. ඒ කියන්නේ සුදු සව් කොළයක් රුපියල් 25කි. තෙල් කඩදාසියක් රුපියල් 10කි. කම්බි කූඩු බඳින ටුවයින් නූල් බෝලයක් රුපියල් 18කි. එහෙත් චීනෙන් ගෙනා විකාර රූපී වෙස් මුහුණු නම් ඕනෑතරම් තිබුණි.

“දැන් වෙස්මුහුණු විකුණන්න තහනම් නේද?”

“ඉම්පෝට් වෙස් මුහුණක් රුපියල් 300යි. ඔය ඕන තරන් අරන් යන්නේ. ඕවා කොරෝනා එකට කලින් ගෙනාපුවා.”

මෙවර වෙසක් උත්සවය බැති සිතින් සමරන්නට බොහෝ දෙනා වෙසක් සැරසිලි අරගත්තේ තරගයට මෙනි. අගනුවර හැමතැනම දුටු ජනතාව වෙසක් සැරසිලි ගෙදර අරන් ගියේ අතින් කටින් එල්ලාගෙනය. එකම අඩුව වෙනදට ලංකාව පුරා දන්සල සංවිධාන කිරීමට හතරවැනි හා පස්වැනි හරස් වීදියේ තොග කඩවලින් අල - ලූණු ගණන් අසමින් ෆයිල්වල ගණන් සටහන් කර ගන්නා අය නම් දැකගත හැකි වූයේ ඉතා අල්ප වශයෙන් වීමය. වෙනදාට වෙසක් සැරසිලි වෙළෙඳසැල් රජ කරන, ඉන්දියන් හා චීන වෙසක් කූඩු මෙන්ම සැරසිලි ද මෙවර වෙළඳස­ැල්වල දක්නට නොවුණි. ඒ කියන්නේ මෙවර වෙසක් උත්සවය දේශීය කර්මාන්තවලට මුල්තැන දුන් වෙසක් උත්සවයක් බව නොකියාම බැරිය.

ඡායාරූප - දුෂ්මන්ත මායාදුන්න

Comments