දියවැඩියාව මට්ටු කරන වන්නකු ක්‍රමයේ තවත් හාස්කම් | සිළුමිණ

දියවැඩියාව මට්ටු කරන වන්නකු ක්‍රමයේ තවත් හාස්කම්

ශ්‍රී  ලංකාව දියවැඩියා රෝගීන්ගෙන් මෙන්ම පුර්ව දියවැඩියා අවදියේ පසුවන අය සිටින රටවල් අතුරින් ඉහළම ප්‍රතිශතය පෙන්නුම් කරන රටවල් කිහිපය අතරින් එකකි. එය දිනෙන් දින ඉහළ ප්‍රතිශතයක් කරා ළඟා වෙමින් පවතින බව ද මෑතකදී කරන ලද සමීක්ෂණවලින් අනාවරණය වෙමින් තිබේ. එනිසාම වැඩි පිරිසක් දියවැඩියාව පිළීබඳ උනන්දුවෙන් කතාබහ කරන අතර, රෝගින් මෙන්ම රෝගය පිළිබඳ ඇතිකරගත් බියෙන් යුතු අය ද ඒ අතර සිටී.

අප ඉකුත් සතියේ වෛද්‍ය ජානක වන්නකු සමඟ කළ කතාබහ තවත් දිනකින් ඉදිරියට ගෙන එන්නට අදහස් කළේ ඔහු ඉදිරිපත් කරන වන්නකු මෙතඩ් නම් වූ උපදේශන ක්‍රියාවලිය ඉහත කී කණ්ඩායම් අතර වඩාත් ජනප්‍රිය පිළිවෙතක් බව පෙනෙන්නට ඇති නිසාය. ඒ පිළිබඳ වැඩි විස්තර දැන ගැනීමට අප මුලින්ම වෛද්‍ය ජානක වන්නකු මුණගැසුනෙමු.

වන්නකු මෙතඩ් ජනප්‍රිය වීමට හේතුව කුමක්ද?

එයට මට කෙටියෙන් උත්තර දෙන්න බෑ. ඒ උත්තරය තියෙන්නේ ඒ ක්‍රමය භාවිත කරන අය අතරෙයි. මට දැනෙන්නේ මේ ක්‍රමය තුළ යම් ලෙසකින් හෝ ජාතික අවශ්‍යතාවක් සපුරා ගැනීමේ හැකියාවක් තිබෙන බවයි. ජනතාවගේ ලොකු ගැටලුවකට ලැබුණ පිළිතුරක් විදිහටයි මට මෙය දැනෙන්නේ. මම මේ කියන කාරණාත් එක්ක එය හොදින් පැහැදිලි වේවි.

පෙබරවාරි මැද බ්‍රිතාන්‍ය වෛද්‍ය සඟරාවේ පළ වූ සමීක්ෂණයකට අනුව ලංකාව ලෝකයේ වැඩිම දියවැඩියා රෝගීන් අනුපාතයක් ඇති රටක් ලෙස හඳුනා ගැනුණා. (http://dx.doi.org/10.1136/bmjdrc-2022-003160 තුළින් ඒ ගැන වැඩි විස්තර දැනගත හැකිය)

පෙර කරපු අධ්‍යයනවලින් පෙනී යන්නේ ශ්‍රී ලංකාවේ දියවැඩියා ව්‍යාප්තිය දකුණු ආසියාවේ ඉහළම අගයක් වන අතර, ජීවන තත්ත්වය ඉහළ යෑම, නාගරික පදිංචිය සහ ඉහළ ශරීර ස්කන්ධ දර්ශකය (BMI) සමඟ සම්බන්ධ වී ඇති නමුත්, සියලුම වැඩිහිටියන් ආවරණය වන කිසිදු ශක්තිමත්, ජාතික සමීක්ෂණයකින් ජාත්‍යන්තරව සැසඳිය හැකි ඇස්තමේන්තුවක් මේ වන තුරු ප්‍රකාශයට පත් වී නැති බවයි.

මෙම සමීක්ෂණයට අනුව 2019දී ශ්‍රී ලංකාවේ වැඩිහිටි දියවැඩියා ව්‍යාප්තිය 23%ක් වූ අතර පූර්ව දියවැඩියාව 30% ක් විය. එය පෙර ඇස්තමේන්තුවලට වඩා සැලකිය යුතු ලෙස වැඩි වීමක් පෙන්වනවා.

සාමාන්‍යයෙන් BMI අගය ඉහළ යනවාත් සමඟ දියවැඩියාව සහ පූර්ව දියවැඩියාව වැලඳීමේ නැඹුරුතාව ඉහළ යනවා. නමුත් සමීක්ෂණයෙන් පෙන්නුම් කළේ BMI අගය සාමාන්‍ය මට්ටමේ පවතින ශ්‍රී ලාංකිකයන්ගෙන් 50%කට දියවැඩියාව සහ පූර්ව දියවැඩියාව වැලඳී ඇති බවයි. මෙය ඉතා අවදානම් සහගත තත්ත්වයක්. ශ්‍රී ලංකාව තුළ මෙතරම් විශාල වශයෙන් දියවැඩියාව පැතිර යන්නට හේතුව කුමක් දැයි සමීක්ෂණය සිදු කළ විද්වතුන් පුදුම වනවා. මෙම සොයාගැනීම්වලින් පෙනී යන්නේ ශ්‍රී ලාංකිකයන් තුළ දියවැඩියාව වැලඳීමේ වැඩි අවදානම ග්‍රහණය කර ගැනීමට සහ අඩු ශරීර බර ඇති මෙම ජනගහනය තුළ දියවැඩියාව වැලඳීමේ වැඩි අවදානමක් ඇති බව අවධාරණය කිරීමට පවතින BMI කඩඉම් ප්‍රමාණවත් නොවන බවයි.

මොකක්ද මේ BMI කියන්නේ?

BMI කියන්නේ ශරීර ස්කන්ධ දර්ශකයටයි. ඔබේ උසට සාපේක්ෂව සිරුරේ බර කොපමණ තිබිය යුතු ද කියා මනින මිම්මක්. BMI අගයට වඩා හොඳින් උස සහ ඔබේ ඉන අතර අනුපාතය වඩා දියවැඩියාව සඳහා ඇති ඔබේ අවදානම පෙන්වා දෙන බව නොයෙකුත් සමීක්ෂණවලින් හෙළි වී තිබෙනවා. එනම්, ඔබේ ඉනේ වට ප්‍රමාණය උසෙන් බාගයකට වඩා අඩු විය යුතුයි. උදාහරණයක් විදිහට ඔබේ උස අඩි 5 අඟල් 6 නම් ඔබේ ඉනේ වට ප්‍රමාණය අඟල් 33ක් විය යුතුයි.

අනුපාතයක් ලෙස ගත්තොත් මෙය 0.5 ‍ෙවනවා.

මහතම තැනින් ඉනේ වට ප්‍රමානය /උස = 0.5

දියවැඩියාව හඳුනා ගන්නේ කොහොමද?

දියවැඩියාව තියෙනවාද කියලා සොයා ගන්නේ රුධිරයේ සීනි මට්ටම පරීක්ෂා කිරීමෙන්. මේ සඳහා බහුලව නිරාහාර සීනි පරීක්ෂාව යොදා ගන්නවා.

රුධිරයේ සීනි මට්ට්ම ඉහළ යෑමට හේතුව කුමක්ද?

හේතු රාශියක් තිබුණත් මෑතකාලීනව මෙතරම් වේගයෙන් දියවැඩියාව ඉහළ යන්න හේතු වෙලා තියෙන්නේ අපේ ආහාර රටාව කියලයි මම විශ්වාස කරන්නේ. එහෙම කියන්න හේතුව මේ වනතුරු මගේ ප්‍රතිකාර සඳහා පැමිණි සෑම රෝගියකුම ආහාර රටාව වෙනස් කළ වහාම ඉතා පහසුවෙන් සුවපත් වූ නිසයි.

ඔබ දකින විදිහට දියවැඩියාව ඉහළ යෑමට හේතු වන ආහාර වර්ග මොනවාද?

මේකට ප්‍රධාන වශායන් පිටි බහුල ආහාර බලපානවා. අපි ආහාරයට ගන්නා සීනි, පාන් පිටි, කුරක්කන් පිටි, ආටා පිටි, කඩල පිටි සහ මේ ආහාර වර්ග එකතු කරලා සාදන නොයෙකුත් කඩචෝරු දියවැඩියාව තියෙන අයට වැඩි කරන්නත්, හැදුනෙ නැති අයට හැදෙන්නත් හේතු සාධක වෙනවා. මේ ආහාර ගණයට ඉඳිආප්ප, පිට්ටු, රොටී, පාන්, පරලු පාන්, පෙති පාන්, මාළු පාන්, සියලුම බිස්කට් වර්ග, ක්‍රීම් ක්‍රැකර්, බ්‍රෑන් ක්‍රැකර්, කේක්, අයිස් ක්‍රීම්, චොකලට්, පීසා, කොත්තු ආදීය අයත් වනවා.

ඔබ සඳහන් කරන ආහාර බොහෝ දෙනකු

ඉතා කැමති සහ වඩාත් ජනප්‍රිය ආහාර.

ඒ ආහාර රෝගකාරක බව ද ඔබ කියන්නේ?

සත්තකින්ම ඔව්. මේ ආහාර බොහොමයක් අපි ගන්නේ ප්‍රධාන ආහාර වේල ලෙස නොවෙයි. ආහාර වේල් අතරමැදට එන පොඩි බඩගිනිවලටයි. මේ දවස පුරා ආහාර ගැනීමේ රටාවත් දියවැඩියාවට සහ ස්ථුලතාවට හේතු වනවා. මේ සැරෙන් සැරේ කන ආහාර රටාවත් මැත ඉතිහාසයේදී අපේ සමාජයට එකතු කරපු පුරුද්දක්. මේක ඉස්සෙල්ලාම පුරුදු කළේ පාසලේ ඇදිහැස විස්කෝතු බෙදා දීමත් සමඟයි. ඉස්සර ඉස්කෝලවල විවේක කාලයට බනිස් බෙදුවා. විජයානන්ද දහනායක මහතාට බනිස් මාමා කියලයි ඒ කාලෙ ළමයි ආදරේට කිවුවේ. ඉතින් මේ වගේ ව්‍යාපෘති හරහා තමයි අපට දියවැඩියාව බෙදලා දුන්නේ.

එතකොට උදේ දහයටයි හවස හතරටයි එන බඩගින්නට මොකද කරන්නේ ?

ප්‍රධාන ආහාර වේලට මේදය සහ ප්‍රෝටීන බහුල ආහාර වැඩිපුර එකතු කර ගත්තොත් නිතර නිතර බඩගිනි වන්නේ නෑ. ආහාර වේල් තුනක් හෝ දෙකක් පමණක් වුවත් ඇති. උදාහරණයක් විදියට උදේ ආහාරයට පොල් සම්බෝල ගොඩකුයි බිත්තර දෙකකුත් සමඟ බත් පොඩ්ඩක් කෑවොත් ආපහු හවස හතර විතර වෙනකම් මුකුත් ඕනෙ වෙන්නෙ නෑ. මේ වගේ ආහාර වේලක් සීනි මට්ටම පහසුවෙන් පහළ දානවා.

ඔබ කියන විදිහට ආහාර ගත්තොත් දියවැඩියාව සනීප කර ගන්න පුළුවන්ද?

බටහිර වෛද්‍ය විද්‍යාවට අනුව දියවැඩියාව නිට්ටාවට සනීප කරන්න පුළුවන් කියලා තවම හොයාගෙන නෑ. නමුත් පරීක්ෂණවලින් පෙන්වලා දීලා තියෙනවා පිෂ්ඨය අවම ආහාර රටාවකින් සහ උපවාසය භාවිත කරලා දියවැඩියාව සමනය කරන්න පුළුවන් කියලා. අපි කරලා තියෙන්නේ සිංහල පාඨකයාට තේරුම් යන ආකාරයට අපේ ආහාර යොදා ගෙන අඩු වියදමින් පහසුවෙන් මෙය කරන ආකාරය හඳුන්වා දීමයි.

දියවැඩියාව සමනය කරනවා කියන්නේ මොකක්ද?

බෙහෙත් නැතිව සීනි මට්ටම සාමාන්‍ය අගයක පවත්වා ගෙන යෑමටයි දියවැඩියාව සමනය කරනවා කියන්නේ. මෙය අවම වශයෙන් මාස තුනක් දියවැඩියාව සීනී මට්ටම HbA1c පරීක්ෂාව 6.5ට වඩා අඩු අගයක පවත්වා ගෙන යා යුතුය. නමුත් වඩා නිවැරදි ක්‍රමය නම් HbA1c අගය 5.6ට වඩා අඩු අගයක පවත්වා ගෙන යෑමයි.

දියවැඩියාව සමනය කර ගත් අයෙක්  එය පවත්වාගෙන යන්නේ කොහොමද?

මෙම ආහාර රටාව පවත්වා ගෙන යනතුරු සීනි මට්ටම පාලනය ‍ෙවනවා. ආපහු පරණ ක්‍රමයට ආහාර ගන්න පටන් ගත් වහාම නැවත දියවැඩියාව හිස ඔසවනවා.

ඔබ කියන ආකාරයට ආහාර අරගෙන දියවැඩියාව සමනය කර ගත් අය ඉන්නවාද ?

ඔව්, මම ප්‍රතිකාර කළ සියලු දෙනාම පාහේ සුළු කාලයක් ඇතුළත දියවැඩියාව සමනය කරගත්තා. ඊට අමතරව මගේ මුහුණුපොතේ සමූහය අනුගමනය කරලා තනියෙන්ම දියවැඩියාව සමනය කරගත් දහස් ගණනක් ඉන්නවා. ඔවුන්ගේ විස්තර දිනපතාම අපේ මුහුණු පොතේ ඔවුන්ගේම වචනවලින් විස්තර ඇතිව පළ කරනවා.

ඔබ කිසි විටක බෙහෙත් ගැන සඳහන් කළේ නැහැ. බෙහෙත් අවශ්‍ය නැතිද ?

දියවැඩියා රෝගීන්ට බොහෝ විට එක වේලකට බෙහෙත් වර්ග පහක් දහයක් පමණ නියම කෙරෙනවා. නමුත් පුදුමයකට වගේ දියවැඩියාව සමනය සඳහා සමීක්ෂණවලට ඖෂධ යොදා ගත්තේ නෑ. ඉතින් ඒ ඔස්සේ යමින් මමත් කිසිම ඖෂධයක් භාවිත කරන්නේ නෑ. බොහෝවිට සති දෙකක් මාසයක් වගේ කාලයක් ඇතුළත අපි බෙහෙත් සියල්ල නවතා දමනවා.

වෛද්‍ය ජානක වන්නකු හඳුන්වා දුන් ක්‍රියා පිළිවෙත අනුගමනය කොට දියවැඩියාව සමනය කර ගත් කිහිප දෙනෙකු අපි මෙම කතාබහට එක්කර ගත්තෙමු. 67 හැවිරිදි කේ. ආරියවංශ මහතා ඉන් එක් අයෙකි. ඔහු රාජ්‍ය සේවයේ නියුතු විශ්‍රාමිකයෙකි.

ඔබ වන්නකු දොස්තර මහත්මයා හමුවී ප්‍රතිකාර ලබා ගත්තාද?

නැහැ. මම ප්‍රතිකාර ගන්න ඔහුව හමු වුණේ නැහැ. මට ඔහුව හමු වුණේ මුහුණු පොතෙන්. කලක් මම විදේශගතව සිටියා. ඒ කාලය තුළදී මගේ ස්ථුලභාවය වැඩි වුණා. මගේ බර මට වදයක් වුණා. ලංකාවට මම ආපසු එද්දී මම දියවැඩියා රෝගියෙක්. ඉන්සියුලින් එන්නත දිගටම ගත්තා. ඒ විතරක් නෙමෙයි ගැස්ට්‍රයිස්ට්, ලිවර් ආබාධ විතරක් නෙමෙයි කොටින්ම කිවුවොත් මම කන හැම දෙයක්ම වගේ මට ඇලජික්. බෙහෙත් ගත්තත් හරි සුවයක් නැ. මට මහා වදයක් වෙලා තිබුනේ. සහනයක් සොයා යන අතරේදී තමයි අන්තර්ජාලයෙන් මට වන්නකු මෙතඩ් හමු වුයේ.

මම මේ ගැන හෙව්වා. අත්හදා බැලුවා. මුලින්ම කළේ කෑම ගන්නා වෙලාව සහ කෑම වට්ටෝරුව වෙනස් කරපු එක. උදේ කෑම වේල අත්හැරියා. උදේ සහ දවල් දෙකම පිරිමැහෙන්න දවල් ආහාරය 11.00ට ගත්තා. ඒ වේල බඩ පිරෙන්න කෑවේ බිත්තර, පොල් සම්බෝල, මස් හෝ මාළු එක්ක කොළ එළවළුවක්. බත් බොහොම ඩිංගක් ගත්තා. ඒ මුලදී. හවස කෑම වේල හය හත වෙද්දී ගත්තා. අතරමැදි කෙටි කෑම කෑම සම්පුර්ණයෙන්ම නැවැත්තුවා. මුලදී තරමක අපහසුවක් දැනුණා. ඒත් සතියක් යද්දී මම ඒ ක්‍රමයට හුරු වුණා. දැන් මම බත් කන්නෙම නැ. මගේ ප්‍රධාන ආහාරය බිත්තර, මස්, මාළු, කොළ. මට හොදට දැනුණා අලිගැටපේර පලතුරක් විදිහට මගේ වෙනසට හුගක් බලපෑ විත්තිය. ඒ වගේමයි ගොටුකොළ. පටන් ගද්දි කිලෝ 67ක් බරට හිටිය මම මාස 5ක් 6ක් යද්දී කිලෝ 62ට බැස්සා. තව විශේෂ කාරණයක් තියෙනවා. මට මුලදී පෙනීමේ දුර්වලතා තිබුණා. දුර පෙනීමත් ළග පෙනීමත් එක වගේම අඩුයි. වරින් වර කණ්නාඩි වෙනස් කළා. ඒත් වන්නකු මෙතඩ් භාවිතයට ගත්තට පස්සේ පෙනිමේත් ලොකු වෙනසක් ආවා. දැන් මම කණ්ණාඩි කුට්ටම පැත්තකින් තියලා වැඩ කරනවා. මම වන්නකු දොස්තර මහත්තයව හමු වුණේ ප්‍රතිකාර ගන්න නෙමෙයි, මා සුවපත් කළ වෛද්‍යතුමා හමු වී කෘතඥතාව පළ කරන්නයි.

මීළගට අප හමු වූයේ චන්ද්‍රිකා කුමාරි යි. කොළඹ රත්නපුර මාර්ගයේ පුංචි ව්‍යාපාරයක් පවත්වා ගෙන යන ඇය වයස 42ක තිදරු මවකි.

“මීට අවුරුදු දෙක හමාරකට විතර උඩදී මගේ බර කිලෝ 70ක්. දැන් බර කිලෝ 47යි. මටම හිතාගන්න බෑ. මම කළේ කෑම පාලනය කිරීමයි දොස්තර මහත්තයා කියපු විදිහට දවසේ වැඩ පිළිවෙල වෙනස් කරගත්තු එකයි. ලොකු ලොකු ව්‍යායාම කළේ නැ. බෙහෙත් වට්ටෝරු ගත්තේ නැ. කිරි බිව්වේ නැ. බිත්තරයි, සම්බෝලයි එක්ක බත් ටිකක් වෙන්න කෑවා. කොළ එළවළු වැඩියෙන් කෑවා.

මස් මාළු කෑවෙම නැද්ද?

නැහැ. එහෙම වුණේ නැ. මස් මාළු කෑවා. ඒ වෙනුවට පොඩි බඩගින්නක් දැනුණාම කකා හිටපු දේවල් නතර කළා. අයිස්ක්‍රීම්, යෝගට්, කට්ලට්, පැටිස්, චොකලට් එහෙම පිටින්ම නතර කළා. ඉතින් ලොකු මුදලක් ඉතුරුයිනේ. ඒ වගේම තුන් වේල අත්හැරලා දෙවේලක් කන්න ගත්තා. අදටත් මම රෑට කන්නේ නෑ. ඒක මුලදී අපහසුවක් වුනත් දැන් එක සාමාන්‍ය දෙයක් විතරක් නෙමයි ඇගට දැනෙන සනීපයක්. මම පුද්ගලිකවම දොස්තර මහත්තය මුණ ගැහිලා උපදෙස් ලබා ගත්තා. විශේෂය තමයි කිසිම බෙහෙතක් ගත්තේ නෑ.” ඇය පැවසුවේ කෘතඥතාවයෙන් යුතුවයි.

වන්නකු මෙතඩ් අනුගමනය කිරීමෙන් හොඳ ප්‍රතිඵල ලැබූවන් සිය දහස් ගණනක් අන්තර්ජාලයේ පළ කරන අදහස් බොහෝය. විශේෂත්වය වන්නේ ඖෂධ භාවිතයෙන් තොරව දියවැඩියාව සමනය කරගන්නට මෙන්ම දියවැඩියාවෙන් වැලකි සිටින්න ලබා දෙන උපදෙස් මාලාව ජීවිතය සැහැල්ලු කර සනිපවත් ජීවිතයකට මඟ පෙන්වන නිසාවෙනි.

Comments