කමලා හැරිස් බයිඩ්න්ට උදව් කරයිද? ලකුණු කපයිද? | Page 7 | සිළුමිණ

කමලා හැරිස් බයිඩ්න්ට උදව් කරයිද? ලකුණු කපයිද?

ඔබාමාගේ කීර්තිමත් පාලනයෙන් පසු අහිමි වී ගිය පාලන බලය යළි ලබා ගැනීමට ඩිමොක්‍රටික්වරු කළ හැකි සෑම දෙයක්ම කරමින් සිටිති. ඔවුන්ට සෑහීමකට පත්විය හැකි හොඳම අපේක්ෂකයා ලෙස ජෝ බයිඩ්න් තෝරා ගැනීමෙන් පසු මේ වන විට ඔවුන් උප ජනාධිපති අපේක්ෂිකාව ලෙස තවත් අයෙකුගේ නම යෝජනා කර තිබේ. ඒ මේ වන විට මුළු ලෝකයම වැඩි විස්තර සොයමින් සිටිනා කමලා හැරිස්ය.

උප ජනාධිපති අපේක්ෂිකාව ලෙස කමලා හැරිස් නම් කිරීමත් සමඟම යළිත් වතාවක් ජෝ බයිඩ්න් වෙත අමෙරිකාවේ පමණක් නොව මුළු ලෝකයේම අවධානය යොමු විය. මේ වනවිට තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම ආරම්භ විමට ඉතා ආසන්න මොහොතක ට්‍රම්ප් තමා වෙත අවධානය දිනා ගැනීමට යොදමින් සිටි බොහෝ උප්පරවැට්ටි යම් අන්දමින් සාර්ථකත්වයට ළඟා වෙමින් පැවති අවස්ථාවක බයිඩ්න් කමලා හැරිස් නම් වූ උප ජනාධිපති උපක්‍රමයෙන් යළිත් තමා වෙත අවධානය දිනා ගැනීමට සමත් වූයේය.

කමලා හැරිස් ලෝකයට ආගන්තුක වුවද අමෙරිකානු ජනතාවට නම් ආගන්තුක චරිතයක් නෙවේ. ඇය 2017 සිට සක්‍රීය දේශපාලනයේ නිරතව සිටින්නේ බොහෝ අධ්‍ය­ාපන සුදුසුකම්ද සහිතවය. පනස් පස් වියැති කමලා උපත ලබන්නේ අමෙරිකාවේ කැලිෆෝර්නියාවේය. නමින් කමලා නම් වුවද ඇය පැහැදිල­ිවම අමෙරිකානු ජාතික කාන්තාවකි. ඇයට මේ ආසියාතික ආකර්ෂණීය නම හිමිවන්නේ ඇයගේ මවගෙනි. ඇයගේ මව ශ්‍යාමලා ගෝපාලන් හැරිස් ඉන්දියාවේ චෙන්නායිහි උපත ලැබූ කාන්තාවකි. ඇය අමෙරිකාවට සංක්‍රමණය වීමෙන් පසු වැඩි දුර අධ්‍යාපනය ලබා ජීව විද්‍යාඥවරියක් බවට පත්වන්නීය. අමෙරිකාවේදී ඩොනල්ඩ් ජෙස්පර් හැරිස් නම් වන ජැමෙයිකානු සම්භවයක් සහිත අමෙරිකානුවා සමඟ විවාහ වීමෙන් ඇය ලැබූ දියණිය වන්නේ කමලාය.

ඒ අනුව කමලා හැරිස්ට ලෝක මට්ටමේ නෑකම් බොහෝය. එය එක් අතකින් අප්‍රිකානු සම්භවයක් සහිත ඔබාමාට සමාන කළ හැකිය. ඔබාමාට තිබුණේ අප්‍රිකානු නෑකම් පමණි. දැන් කමලාට ඉන්දීය මෙන්ම ජැමෙයිකානු නෑකම්ද තිබේ.

නීතිවේදිනියක් ලෙස ක්‍රියාකළ කමලා දේශපාලනයට පිවිසෙන්නේ 2017 වසරේදීය. එහිදී කැලිෆෝර්නියාවේ කනිෂ්ඨ සෙනෙට්වරියක් ලෙස කටයුතු කරන ඇය එක්වරම ලෝක ප්‍රසිද්ධ වන්නේ බයිඩ්න්ගේ උප ජනාධිපති ලෙස නම් කිරීමත් සමඟිනි.

2015දී රිපබ්ලිකන් ට්‍රම්ප් ධවල මන්දිරයට පිවිසෙන්නේ තියුණු තරගයකින් පසු ඩිමොක්‍රටික් අපේක්ෂිකාව වූ හිලරි ක්ලින්ටන් පරාජය කරමිනි. සැබවින්ම එම ජයග්‍රහණය ඩිමොක්‍රටික්වරුන් විසින් සලකනු ලැබුවේ තමන් සතු වූ ජයග්‍රහණය උදුරා ගත්තා වැනි හැඟීමකින් යුතුවය. එතැන් සිට ඉතිහාසයේ පෙර නොවූ විරූ ලෙස පත් වූ අමෙරිකානු ජනාධිපතිවරයාට බාධා කිරීමට ඩිමොක්‍රටික්වරු කටයුතු කළහ. ට්‍රම්ප් ජනාධිපතිවරයාට සීඑන්එන් සේවයෙන් කිසිදු ඉස්පාසුවක් නොලැබෙන තරමට ප්‍රහාර එල්ල විය. සෙනෙට් මණ්ඩලයේ ප්‍රධානී නැන්සි පෙලෝසි ට්‍රම්පට කොතරම් බාධා කළේද යත් ඔහුගේ කතාවේ පිටපත මුළු මහත් සභාව සහ මාධ්‍ය ඉදිරියේ ඉරා දමන තරම් සැහැසි ලෙස කටයුතු කළාය.

නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සහය ට්‍රම්ප්ට බව හොඳින් දැන සිටියද ඔහුට විරුද්ධව දෝෂාභියෝගයක් පවා ගෙන ඒමට පෙලෝසි ප්‍රමුඛ ඩිමොක්‍රටික්වරු කටයුතු කළහ. මේ සියල්ල පෙන්නුම් කරන්නේ මෙවර කෙසේ හෝ ජනාධිපතිවරයා තමන්ගේ පිලෙන් පත් කර ගැනීමට ඩිමොක්‍රටික්වරු කළ හැකි සියල්ල කරමින් සිටින බවය. ඉතින් කමලා හැරිස්ද ඒ වැඩපිළිවෙළේ තවත් එක් පියවරක් බව පැහැදිලිය.

කමලා හැරිස් තෝරා ගැනීම සම්බන්ධව මත පළ කරන විචාරකයන් පවසා සිටින්නේ ඇය ඉතා ප්‍රවේශම්කාරී සහ මැනවින් සිතා බලා කරන ලද තෝරා ගැනීමක් බවය. එමෙන්ම එය ඉතා ප්‍රායෝගික තෝරා ගැනීමක් බවද ඔවුහු පවසති.

මේ තෝරා ගැනීම මත කමලා හැරිස්ට අමෙරිකානු ජනාධිපති පුටුවට කෙටි මාර්ගයක් විවෘත වන බවද විචාරකයෝ පෙන්වා දෙති. ඇතැම් විට බයිඩ්න් මෙවර මැතිවරණයෙන් පරාජයට පත්වුවහොත් කමලාට යළිත් අවස්ථාවකදී ජනාධිපති ධූරය සඳහා තරග කිරීමේ දොරටු මෙමගින් විවර වී තිබේ. බයිඩ්න් මෙවර ජයග්‍රහණය කළ හොත් ධූර කාල දෙකම හෙබවීමේ අවස්ථාව ඔහුට උදා වුවහොත් යළිත් ඉන්පසු අපේක්ෂකත්වය සඳහා කමලාට දොරටු විවිර විය හැකිය.

මේ මත අනුව කමලා හැරිස් යනු අමෙරිකානු දේශපාලනයේ අනාගත කැපී පෙනෙන චරිතයක් බවට සැක නැත. කාන්තාවක් ආකර්ෂණීය චරිතක් බවට පත් කරමින් අපේක්ෂකයන් වෙත ඉදිරිපත් කිරීමට ඩිමොක්‍රටික්වරු උත්සාහ දැරුවේ 2008 තරම් ඈත සිටය. හිලරි ක්ලින්ටන් කෙතරම් සුදුසුකම් සහිත කාන්තාවක් වුවද ජයග්‍රහණය ඇගේ අතැඟිලිවල ගෑවී, ඇයගෙන් මිදී ගියේය. දැන් එම අඩුව පිරවීමට කමලා ඉදිරිපත්ව සිටින්නීය.

අනික් අතට කමලා හැරිස් යනු අමෙරිකාවේ තරුණ ඡන්ද දායකයන්ට සහ වෙනත් ජාතීන්ට අයත් ඡන්ද දායකයන්ට ඩිමොක්‍රටික් පක්ෂය දැමූ ඇමයි. පසුගිය අවස්ථාවේදී සංක්‍රමණිකයන්ට වැට බඳිමින් ට්‍රම්ප් දැමූ අමෙරිකානු ජාතිකත්ව ඇම අමෙරිකානුවන් ඉතා සාර්ථකව ගිල දැමුවා පරිද්දෙන්ම මෙවර සුළු ජාතීන්ගේ සහ සංක්‍රමණිකයන්ගේ ඡන්ද කඩා ගැනීමට කමලා ඉතා සාර්ථක ඇමක් ලෙස ඩිමොක්‍රටික්වරුන් විසින් යොදවා තිබේ. කමලාට ඇත්තේ බහු ජාතිකත්ව අනන්‍යතාවකි. ඇය එක් අතකින් ආසියාතිකය. එක් අතෙකින් කැරිබියන්ය. හැම අතින්ම ඇමරිකන්ය. ඒ අනුව කමලා යනු ඉලක්ක කීපයක් එක් වර අල්ලමින් ගසා දමන ලද බූමරංගයක් වැනිය.

අනික් අතට කමලා යනු තරුණ ආකර්ෂණයකි. ජෝ බයිඩ්න් යනු 77 හැවිරිදි මහල්ලෙකි. ඔහු වියපත් සේ දකින ඡන්ද දායකයන්ට කමලා වෙනුවෙන් ඡන්දය භාවිත කිරීමේ හැකියාව දැන් ලැබෙනු ඇත. මේ අනුව පැහැදිලි වන්නේ කමලා යනු 2017 සිට ඉතා හොඳින් අනාගතය දකිමින් සූදානම් කරන ලද ඡන්ද ගුණ්ඩුවක් බවය.

ඩිමොක්‍රටික්වරු මේ අන්දමින් ඉතා හොඳින් සූදානම්ව සටනට පිවිසෙමින් සිටියද ට්‍රම්ප් ඇතුළු රිපබ්ලිකන්වරුන්ද සටන පහසුවෙන් අතහරින බවක් දක්නට නැත. කොවිඩ් හේතුවෙන් මිනිසුන් ලක්ෂ ගණනින් මිය යමින් සිටියද ට්‍රම්ප් ඒ සියල්ල ගසා දමමින් වරින් වර දේශපාලන යෝධයකු සේ නැගී සිටින බවද දැක ගත හැකිය. ඒ අනුව මෙවර නොවැම්බරයේදීද ලෝකයට හොඳ උණුසුම් මැතිවරණ සටනක් අමෙරිකාවෙන් දැක ගත හැකි වනු ඇත. කමලා නැමති ඡන්ද ගුණ්ඩුවේ ක්‍රියාකාරිත්වය ද පැහැදිලිව දැක ගත හැකි වනු ඇත්තේ එවිටය.

 

Comments