ඕස්ට්‍රේලියාවේ පත්තර 112ක් වසා දමයි | Page 5 | සිළුමිණ

ඕස්ට්‍රේලියාවේ පත්තර 112ක් වසා දමයි

හැම තැනකින්ම ඇසෙන්නේ දුක් අඳෝනාය.

ලොව මහා අනාවැකිකරුවන් කියූ කාල වල දී පැමිණි ලෝක විනාශයක් නැති වුවත්, දැන් ලෝක විනාශය ඇවිත් ඇත්තේ අනාවැකිකරුවන්ට ද උසුළු, විසුළු කරමින්ය.

කොරෝනා ‘මාරක පෙළහර’ නිසා ලොව රටවල් රැසකම ආර්ථිකයන්ද මහා අගාධයකට ඇද දැමුවේය.

ඒ හෙයින් අතෝරක් නැතිව සෑම ව්‍යාපාරික ක්‍ෂේත්‍රයක්මද කඩාවැටුණේය.

ඔබට මේ කියන්නට යන කතාවද එක්තරා සුවිශේෂී ව්‍යාපාරික ක්‍ෂේත්‍රයකට වැදුණු දෙයක් ගැන වගතුගකි.

එම ක්‍ෂේත්‍රය නම් අප එදිනෙදා ඔබත් සමඟ කටයුතු කරන පුවත්පත් මාධ්‍ය ක්‍ෂේත්‍රයයි.

මෙයට දින කිහිපයකට පෙර ඕස්ටේ්‍රලියාවෙන් අසන්නට ලැබුණු අලුත්ම ප්‍රවෘත්තිය වූයේ, වත්මන් ආපදාව හේතුවෙන් එරට පවත්වාගෙන ගිය පුවත්පත් 100කට අධික ප්‍රමාණයක් වසා දැමීමට යනවා යැයි පැවසෙන පුවතකි.

මෙතෙක් විවිධ වෙනත් ව්‍යාපාරික ක්‍ෂේත්‍ර වල කඩාවැටීම් ගැන දැනගන්නට ලැබුණත්, ලොව මාධ්‍ය ක්‍ෂේත්‍රයට අදාළව ඇසුණු පළමු පුවත මෙය විය.

එනම් ඕස්ටේ්‍රලියාවේ පිහිටුවා තිබෙන ජාත්‍යන්තර මට්ටමේ ප්‍රධානතම පුවත්පත් මාධ්‍ය ආයතනය වන්නේ ‘නිව්ස් කෝර්ප් ඕස්ටේ්‍රලියා’ නමැති සමාගම වෙයි.

මාධ්‍ය ක්‍ෂේත්‍රයේ විවිධ අංශ රැසක් නියෝජනය කරන මෙම සමාගමේ ප්‍රධානතම කටයුත්ත වන්නේ පුවත්පත් මුද්‍රණයයි.

1923 වසරේ දී ආරම්භ කර දැනට වසර 97ක ඉතිහාසයක් ඇති මෙම ආයතනයේ පුවත්පත් 170කට ආසන්න ප්‍රමාණයක් මුද්‍රණය කරයි.

ඕස්ටේ්‍රලියාවේ විවිධ නාගරික සහ ප්‍රාන්ත ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් මෙම පුවත්පත් මුද්‍රණය කෙරෙමින් තිබිණි.

කොරෝනා වසංගතය ඇරැඹීමට පෙරද මෙම කටයුතු බොහෝ සාර්ථකව සිදුකෙරිණි.

එහෙත් වත්මන් ආපදාව ඇරැඹී දිනෙන් දින ගතවත්ම මෙම ආයතනයේ කටයුතුවලට කණ කොකා හඬන්නට විය.

ලොව බොහෝ රටවල මාධ්‍ය ආයතන වලට මෙම අභාග්‍යසම්පන්න තත්ත්වය උද්ගත වන්නට වුවත්, මෙම සමාගමට මෙය සුවිශේෂී වූයේ එය අති විශාල මහා පරිමාණ මාධ්‍ය ආයතනයක් වීම හේතුවෙනි.

මුළු ඕස්ටේ්‍රලියාව පුරාම විසිරී තිබෙන මෙම සමාගමේ කාර්යාලවල සේවකයන් 8,000ක පමණ පිරිසක් සේවය කරන අතර, ඉන් 3000ක පිරිස වන්නේ මාධ්‍යවේදීන්ය.

මෙම දැවැන්ත ආයතනයට පසුගිය කාලයේ මහා විශාල මූල්‍යමය පාඩුවක් සිදුවී ඇත.

එනම් එය පළමු වශයෙන් බලපා ඇත්තේ තම ආයතනයේ පුවත්පත් වෙත මෙතෙක් සාර්ථකව ලැබෙමින් තිබුණු ව්‍යාපාරික දැන්වීම් ප්‍රමාණය 90%කින් පමණ අඩු වීමය.

එසේම පුවත්පත්වල අලෙවිය ද අතිශය දරුණු ලෙස පහත බැසීමය.

මේ නිසා එම කාලයෙහි ‘නිව්ස් කෝර්ප් ඕස්ටේ්‍රලියා’ මාධ්‍ය ආයතනය අතිශය දැඩි මූල්‍ය අර්බුදයකට මුහුණ දුන්නේය.

මේ එතැන් සිට ලියා තැබෙන නවතම කතාන්දරයයි.

මෙම දැවැන්ත මාධ්‍ය ආයතනය මෙයට දින කිහිපයකට පෙර දී තීරණය කළේ තමන්ගේ සමාගම විසින් මෙතෙක් මුද්‍රණය කරගෙන ආ පුවත්පත් 170 අතරින් පුවත්පත් 112ක්ම නවත්වා දැමීමටය.

අප මෙතෙක් සමාජයේදී අසා ඇත්තේ පත්තර එකක් හෝ දෙකක් නවත්වා දමන කතාන්දර පමණි.

එහෙත් මෙසේ එක්වරම පුවත්පත් 112ක් මුද්‍රණයෙන් බැහැර කිරීම අදහාගත නොහැකි විය.

එහෙත් එය ඉතා පැහැදිලි සත්‍යයකි.

එසේ මුද්‍රණය නවත්වනු ලබන පුවත්පත්වල නම්, ගම් පවා එම සමාගම මින් දින කිහිපයකට පෙර නිවේදනය කළේය.

මාධ්‍ය කලාවට ආදරය කරන මිනිසුන්ට මෙය සැබෑ ලෙසම මහා ශෝකදායක පුවතක් විය.

එහෙත් කොරෝනා මාරයාගේ අභිමුව එම ඛේදවාචකය සිදු වී ඇත.

කෙසේ හෝ පුවත්පත් කලාවට සිදුකෙරෙන යම් ගෞරවනීය තත්ත්වයක් උදෙසා මෙලෙස මුද්‍රණයෙන් නවතාලන පුවත්පත් යම් ප්‍රමාණයක් අන්තර්ජාල පුවත්පත් නොහොත් ‘ඊ’ පුවත්පත් ලෙස ප්‍රකාශයට පත්කිරීමට මෙම සමාගම තීරණය කර ඇත.

මෙතෙක් මෙම සමාගම මුද්‍රණය කරනු ලැබූ ප්‍රකාශනවලින් 142ක් පුවත්පත් වන අතර, ඉතිරි ප්‍රකාශන 38 සඟරා වර්ග වෙයි.

පුවත්පත් වර්ග 142 මෙතෙක් කාලයක් පුරා දිනපතා, සති අන්ත, දෙසතිය, තෙසතිය යන පදනම මත මුද්‍රණය කෙරිණි.

කෙසේ හෝ දැනට සම්පූර්ණයෙන්ම මුද්‍රණ ක්‍රමවේදයෙන් ඉවත් වන පුවත්පත් 112න් පුවත්පත් 36ක් මුළුමනින්ම නවතා දමනු ලබයි.

එනම් එම පුවත්පත් අන්තර්ජාල ප්‍රකාශන වශයෙන් හෝ එළිනොදකියි.

එහෙත් ඉතිරි පුවත්පත් 76 මේ වන විට ‘ඊ පුවත්පත්’ වශයෙන් එළිදැක්වීමට කටයුතු යොදා ඇත.

එම පුවත යම් ආකාරයකින් සතුටුදායක පුවතක්වී ඇති අතර, මෙම සතියේ සිටම එම පුවත්පත් ‘ඊ පුවත්පත්’ ලෙස අන්තර්ජාලය හරහා ප්‍රකාශිත වෙයි.

කෙසේ හෝ මෙලෙස එක්වරම පුවත්පත් 112ක් මුද්‍රණයෙන් නවතා දැමීම අද ලෝක වාර්තාවක් වී ඇත.

මෙයින් පුවත්පත් 76ක් අන්තර්ජාලයෙන් ප්‍රකාශිත වුවද, සමස්තයක් ලෙස එක්වරම පුවත්පත් 112ම යන්ත්‍රානුසාර මුද්‍රණයෙන් නවතා දැමීම මෙම ලෝක වාර්තාව නිර්මාණය කිරීමට හේතු වී ඇත.

අද මෙම ශෝකාන්තය වීමට ප්‍රධාන ලෙසම බලපෑමක් සිදුකළේ, වෙනත් කිසිදු කරුණක් නොව මෙතෙක් ලොව ගිලගෙන සිටින කොරෝනා වසංගතය වෙයි.

මෙම වසංගතය ඇරැඹි මුල් සමයේ සිටම මෙම දැවැන්ත මාධ්‍ය ආයතනයට සුවිශාල ලෙස මූල්‍යමය පාඩු සිදුවන්නට පටන්ගෙන ඇත්තේ, දැන්වීම්කරණය අතිශය ලෙස පහත වැටීම හේතුවෙනි.

මාධ්‍ය ආයතනයේ ප්‍රධානතම ආදායම් මාර්ගය එය විය.

ඉන්පසුව සාම්ප්‍රදායික මුද්‍රිත පුවත්පත් කියවන පාඨකයන්ගේ ප්‍රමාණය අතිශය ලෙස පහත වැටෙන්නට ගත්තේය.

වත්මන් ආපදා සමයේදී මුල සිටම ඕස්ටේ්‍රලියාවේ නගර මුළුමනින්ම වසා දැමුවේ නැත.

ඒ හෙයින් පුවත්පත් මුද්‍රණයද සිදුවෙමින් තිබිණි.

එහෙත් කොරෝනා සමයේදී නිරන්තරයෙන්ම ජනතාව උණුසුම් පුවත් දැනගැනීමට භාවිත කළේ රූපවාහිනී මාධ්‍යය සහ අන්තර්ජාල මාධ්‍යය වන්නට විය.

මෙම තත්ත්වය සැබෑ ලෙසම යුග පරිවර්තනයක් බඳුවිය.

එනම් පුවත්පත් මුද්‍රණය වී වෙළෙඳපොළට පැමිණියත් එම ප්‍රකාශනවල බොහෝ විට තිබුණේ කල් ඉකුත් වූ පුවත්ය. එයට හේතු වූයේ පුවත් පැයෙන් පැය අලුත් වන්නට වූ හෙයිනි.

එහිදී එම පුවත් වාර්තා කිරීමට හැකියාවක් තිබුණේ රූපවාහිනියට, ගුවන්විදුලියට හෝ අන්තර්ජාලයට පමණි. සාම්ප්‍රදායික පුවත්පත් සිටියේ මේ සියල්ලටම පිටුපසිනි.

ඉන් පසුව මෙවැනි දැඩි තරගකාරී තත්ත්වයක් යටතේ පුවත්පතට සිදුවූයේ පසුබසින්නටය.

මෙතෙක් පුවත්පත් සමඟ බොහෝ සමීපව සිටි සුවිශාල සමාගම් සියල්ලම පාහේ පත්තර මානයෙන් ඉවත් වන්නට විය.

ඔවුන් තම ව්‍යාපාරික දැන්වීම් ලබා දුන්නේ රූපවාහිනිය සහ අන්තර්ජාලය මාධ්‍ය ප්‍රකාශනවලට පමණි.

එනම් ‘ඊ – පුවත්පත්’ සඳහා පමණි.

මේ නිසා මුද්‍රිත පුවත්පත් ආයතන බලා සිටියදී කඩාවැටෙන්නට විය.

කෙසේ හෝ පත්‍ර මුද්‍රණය කර වෙළෙඳපොළට නිකුත් කළත් ඒවා මිලදී ගැනීමට පාඨකයන් නොවීය.

මේ නිසා මෙම මාධ්‍ය ආයතනවල දෙවැනි ආදායම් මාර්ගයද අවහිර විය.

දැන්වීම්කරණය සහ විකිණීම මෙසේ ශුන්‍ය තත්ත්වයට ඇදවැටෙද්දී එම මාධ්‍ය ආයතනවලට වෙනත් කරන්නට විකල්පයක් නොවීය.

මේ අතර ‘නිව්ස් කෝර්ප් ඕස්ටේ්‍රලියා’ මාධ්‍ය සමාගමේ පුවත්පත් සහ සඟරා ප්‍රකාශන 50ක පමණ ප්‍රමාණයක් තවද මුද්‍රණයේ තබාගැනීමටද එම සමාගම තීරණය කර ඇත.

ඕස්ටේ්‍රලියාවේ ප්‍රධානතම නගර කේන්ද්‍ර කරගෙන ප්‍රකාශිත වන මෙම පුවත්පත් සහ සඟරා සඳහා මේ වන විටද සැලකිය යුතු තරමින් දැන්වීම් ලැබෙන හෙයින් මුද්‍රණ කටයුතු තවදුරටත් සිදුකෙරෙයි.

එහෙත් එම පුවත්පත්වල ද පාඨක ඉල්ලුම බොහෝ ශීඝ්‍ර ලෙස පහත බැස ඇත.

ඕස්ටේ්‍රලියාවේ සිඞ්නි අගනුවර කේන්ද්‍ර කරගෙන මෙම පුවත්පත් ප්‍රකාශනය වෙයි.

ලොවම ගිලගෙන තිබෙන මෙම වත්මන් ආපදාව පෙරදී, මෙම පුවත්පත් ආයතනය කිසිදු මූල්‍ය අර්බුදයකට මුහුණ දී සිටියේ නැත.

එහෙත් මාස 4ක් වැනි ඉතා කෙටි කාලයක් තුළදී මූල්‍යමය කඩාගෙන වැටීම සිදුවිය.

තවද මෙවැනි තත්ත්වයක් යටතේ උද්ගතවී ඇති අනෙක් බැරෑරුම් ප්‍රශ්නය නම් එම ආයතනයේ සේවකයන් සිය, දහස් ගණනකගේ රැකියා අහිමි වීමය.

මාධ්‍යවේදීන් විශාල ප්‍රමාණයක් ප්‍රමුඛව අනෙකුත් අංශවල සේවකයන් රාශියකගේද රැකියා මේ වන විට අහිමි වෙමින් පවතියි.

රැකියා අහිමි වන සේවකයන්ගේ ප්‍රමාණය කොතෙක්දැයි මේ වන විට ප්‍රකාශ කර නැතත්, එම සංඛ්‍යාව දහස් ගණනක් වනු ඇත.

කෙසේ හෝ මෙම රැකියා අහිමි වන සේවකයන්ට සුවිශේෂී වන්දි මුදලක් ගෙවීමට එම සමාගම බලාපොරොත්තු වෙයි.

‘නිව්ස් කෝර්ප් ඕස්ටේ්‍රලියා’ මාධ්‍ය ආයතනය ඕස්ටේ්‍රලියාවේ විශාලතම මාධ්‍ය ප්‍රකාශන සමාගම වන අතර, එය ලොව ප්‍රධාන පෙළේ මාධ්‍ය ආයතන කිහිපයෙන්ද එකකි.

මෙම ආයතනයේ තනි හිමිකරුවා වන්නේ, ලොව මහා මාධ්‍ය බලවතකු මෙන්ම, මහා ධන කුවේරයකුද වන රූපට් මර්ඩොක්ය.

ඔහු ඕස්ටේ්‍රලියාවේ උපත ලද ඕස්ටේ්‍රලියානු සහ ඇමෙරිකානු ජාතිකයකු වෙයි.

තම පියා සතු මාධ්‍ය ආයතනයක් වූ මෙම සමාගම, තම පියා 1952 වසරේදී මියගිය පසු තමන් වෙතට අයිතිය හිමිවූ අතර රූපට් මර්ඩොක් දැනට 89 වියෙහි පසුවන අයෙකි.

ඔහුට මෙම මාධ්‍ය ආයතනයට අමතරව තවත් සුවිශාල මාධ්‍ය ආයතන කිහිපයක්ම හිමිය.

එම ආයතන සමහරක් ඇත්තේ ඇමෙරිකාවේ වන අතර, ඉන් ප්‍රධානතම රූපවාහිනී මාධ්‍ය ආයතනයක් වන්නේ ලොව සුප්‍රකට ‘ෆොක්ස් කෝපරේෂන්’ සමාගමයි.

මෙය කෙතරම් සුවිශාල, එමෙන්ම සාර්ථක රූපවාහිනී මාධ්‍ය ආයතනයක්ද යත්, 2019 වසරේ එම සමාගමේ ආදායම ඩොලර් බිලියන 12කි.

වත්මන් ආපදාව හේතුවෙන් මේ වන විට ලොව කිසිදු රූපවාහිනී මාධ්‍ය ආයතනයක් කඩාවැටී නැත.

එහෙත් රූපට් මර්ඩොක්ගේ පුවත්පත් ආයතනයට මෙන්ම, ලොව තවත් පුවත්පත් ආයතන රැසක්ද දැඩි අර්බුදවලට මුහුණදී ඇත.

රූපට් මර්ඩොක් මෙලෙස ව්‍යාපාරික, ආර්ථික අර්බුදයකට හසුවුවත්, මේ වන විට ඔහුගේ තනි වත්කම් ප්‍රමාණය ඩොලර් බිලියන 17කට ආසන්නය.

කලින් කලට විවාහ 04ක් සිදුකරගත් ඔහු අවසාන වරට 2016දී ද ඔහුට වඩා වයසින් අවුරුදු 28ක් බාල කාන්තාවක් හා විවාහ විය.

ඇය ප්‍රකට නිළියක් මෙන්ම මෝස්තර නිරූපිකාවක වන සුරූපී ජෙරී හෝල් ය.

අඩි 5යි, අඟල් 10ක උසකින් යුත් ඉතාමත් සුරූපී මෙම කාන්තාව, ඉන් පෙර අතිශය ප්‍රකට පොප් ගායක මයික් ජැගර් සමඟ විවාහ වී සිටියේය.

මර්ඩොක්ගේ සුපිරි ජීවිතය ගැන බිඳක් ලියා තැබුවේ ඔහු මේ සියල්ලම උපයාගත්තේ මාධ්‍ය කලාවට පින්සිදු වන්නටය.

ඔහුගේ මාධ්‍ය ආයතන අද කඩාවැටුණත් ඔහුට තිබෙන ධන වත්කම් පරම්පරා 07කට ඇතිය.

එම වගතුග කෙසේ වෙතත් රූපට් මර්ඩොක්ට අයත් යට කී ‘නිව්ස් කෝර්ප් ඕස්ටේ්‍රලියා’ මාධ්‍ය ආයතනය, මෙම වත්මන් කොරෝනා වසංගතය හේතුවෙන් 2020 පළමු වැනි කාර්තුවේදී ලැබූ අලාභය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.1ක් යැයි ප්‍රකාශ වෙයි.

මෙය සැබෑ ලෙසම කෙටි කාලයක් ඇතුළත ලැබූ අතිශය ඉමහත් දරාගත නොහැකි අලාභයකි.

එම සමාගම වහා තම පුවත්පත් 112ක් නවතා දැමීමට තීරණය කළේ ඒ හෙයිනි. තවදුරටත් එම පුවත්පත් සහ සඟරා මුද්‍රණාවාරයෙන් තබාගත්තා නම් සිදුවන අලාභය තවත් අතිශය දරුණු වනු ඇත.

කෙසේ හෝ මෙම තත්ත්වය නැවැත වසරක කාලයකදීවත් ප්‍රතිවර්තනය නොවනු ඇතැයි එම සමාගම විශ්වාස කරයි.

ඕස්ටේ්‍රලියාවේ දී මෙසේ පුවත්පත් අති විශාල ප්‍රමාණයක් එක්වර නවතා දැමීම ඉතා සුවිශේෂී සිදුවීමක් හෙයින් එයට වඩාත් අවධානය යොමු කරන ලදී.

එහෙත් තවත් ලෝකයේ රටවල් රැසකද මේ ආකාරයෙන්ම යම් පමණකින් පුවත්පත් මුද්‍රණාවාරයෙන් නවතා දැමීමට කටයුතු කර ඇත.

ඇමෙරිකාව, එංගලන්තය, කැනඩාව ඇතුළු යුරෝපයේ රටවල් රැසක්ද මෙම තත්ත්වයට ගොදුරුව ඇත.

මෙම බටහිර රටවල දැනට දශක ගණනාවක සිට ඇති වෙනස් මඟක් ගත් පුවත්පත් ප්‍රචාරණයක්ද මෙම කොරෝනා වසංගතය හේතුවෙන් ඉතා තදබල ලෙස බලපෑමකට ලක්ව ඇත.

එය නම් පාඨකයන්ට නොමිලයේ බෙදා හරින පුවත්පත්ය.

අදාළ මාධ්‍ය ආයතන මෙම පුවත්පත් නිර්මාණය කරන්නේ 100%ක්ම ව්‍යාපාරික දැන්වීම් මත යැපෙමින්ය.

එනම් එම පුවත්පත් සඳහා ඉතා විශාල පරිමාණයෙන් විවිධ දැන්වීම් ලැබෙන අතර, එම සමාගම් යටකී පුවත්පත් පාඨකයන්ට ලබා දෙන්නේ සම්පූර්ණයෙන්ම නොමිලයේය.

මෙසේ නොමිලයේ ලබාදෙන පුවත්පත්වලට පසුගිය වත්මන් ආපදාව සමයේ දැන්වීම් නොලැබීම හේතුවෙන් එම සමාගම් නඩත්තු කිරීමට නොහැකිව වසාදමා ඇත.

ඒ හෙයින් එම පුවත්පත් පාඨකයන්ට නොලැබී ගියේය.

සමාගම්වල ආදායම ශුන්‍ය බවට පත්විය.

මෙම වත්මන් ආපදාව ඉන්දියාවේ පුවත්පත් කර්මාන්තයටද තදබල ලෙස බලපෑ අතර, ඉන්දියානු පුවත්පත් රැසක්ද තම මුද්‍රණවාර නවතා දමා අන්තර්ජාල ‘ඊ-පුවත්පත්’ බවට පරිවර්තනය වී ඇත.

මෙවැනි ගෝලීය තත්ත්වයක් යටතේ දැන් ලෝකය පුරාම ‘ඊ – පුවත්පත්’වලට ඇති ඉල්ලුම බොහෝ ඉහළ ගොස් ඇත.

‘හැම දෙයක්ම වෙන්නේ හොඳට’ යැයි කියමනක්ද ඇත.

Comments