59 අලි­ කු­ල­ප්පුව ගැන එදා පත්තර කියූ කතාව | සිළුමිණ

59 අලි­ කු­ල­ප්පුව ගැන එදා පත්තර කියූ කතාව

ගේ රාජා මේ පෙර­හැරේ ගමන් කළ පළ­මු­වැනි වතාව නොවේ. පසු­ගිය අවු­රුදු විසි­හ­යක් මුළුල්ලේ නොක­ඩවා වර්ෂ­යක් පාසා පෙර­හැ­රට සහ­භාගි වූ රාජා හැම­දාම ගමන් කළේ මාළි­ගවේ පෙර­හැරේ ය. එහෙත් එතු­වක් මෙතු­වක් පෙර­හැ­රේදී රාජා කිසි ම කල­බ­ල­යක් කළ දිනක් මට නම් මතක නැත. පසු­ගි­යදා රාජා කළේ යයි කියන කල­බ­ලය ම පුදුම සහ­ගත ය. ඒ තර­මට ම රාජා හික්මුණු අලි­යකු වී සිටි­යේය...” යනු­වෙන් එස්.බී. උඩු­රා­වණ මහතා 1959 අගෝස්තු 31 වැනි සඳුදා දින­මිණ පුව­ත්ප­තට ප්‍රකාශ කර තිබුණේ ඒ වසරේ අගෝස්තු 19 වැනි බදාදා රාත්‍රියේ පැවැත්වූ මහ­නු­වර දළදා පෙර­හැරේ අව­සන් රන්දෝලි පෙර­හැර දා සිදු වූ අලි කල­බ­ල­යෙන් මරා දමනු ලැබූ රාජා අලියා පිළි­බ­ඳ­වය.

“අනේ ඌ හොඳ සතා” යන හිසින් මෙය පළ වී තිබණි. රාජා සම්බ­න්ධ­යෙන් එස්.බී. උඩු­රා­වණ මහතා එසේ ප්‍රකාශ කළේ රාජා අලියා‍ගේ අයි­ති­කරු ඔහු වන නිසා ය.

එස්.බී. උඩු­රා­වණ මහ­තාට රාජා උරුම වී තිබුණේ පිය උරු­ම­යෙනි. ඔහුගේ පියා මිල දී ගන්නා විට උගේ වයස අවු­රුදු 5 ක් වූ අතර උස අඩි 4 ක් පමණ විය. තම­න්ක­ඩුව ප්‍රදේ­ශයේ වන­යෙන් අල්ලා ගත් වල් අලි පැටවා එතැන් සිට මිය යන තුරු හැදී වැඩුණේ උඩු­රා­වණ මහ­තාගේ සෙව­ණේය. එහෙත් රාජා අලි­යාට වයස අවු­රුදු 35 දී පොලිස් වෙඩි පහ­රින් මරු වැලඳ ගැනී­මට සිදු වූයේ අගෝස්තු 19 වැනි දින රාත්‍රියේ අව­සාන රන්දෝලි පෙර­හැරේ කුලප්පු වී මහා විනා­ශ­යක් කළ නිසා ය.

 

අලි කුලප්පුව ගැන සොයා බැලීමට කොමිසමක්

වෙඩි තැබීමෙන් මහමග මැරීවැටුණු රාජා අලියා

1959 වර්ෂයේ අගෝස්තු 19 වැනි දින දළදා පෙර­හැර පැවැති අව­ස්ථාවේ රාත්‍රි 10.05 ට පමණ කල­බ­ලය ආරම්භ වූයේ අසල සිටි පුද්ග­ල­ය­කුට පහර දීමට තැත් කිරී­මෙනි. මේ අව­ස්ථාවේ ඒ තැනැත්තා පැන ගිය අතර පෙර­හැර නැර­ඹී­මට පැමිණි පිරිස කෑග­ස­මින් හිස් ලූ ලූ අත දිව යන්නට වූයෙන් රාජා අලියා තව­ත­වත් කල­බ­ල­යට පත් විය. පෙර­හැරේ රැගෙන ගිය ගිනි පන්ද­ම­කින් විසි වූ ගිනි පුපු­රක් රාජාට පෑගී­මෙන් ඌ කල­බල වූ බව එදා පුව­ත්පත් වාර්තා කර තිබු­ණත් මහේ­ස්ත්‍රාත් විභා­ග­යේදී රාජා අලියා බලා ගත් ගුන්නෑ­පානේ හීන් බණ්ඩා පවසා තිබුණේ පෙර­හැර නැර­ඹී­මට පැමිණි අයකු විසින් කළ විහි­ළු­වක් නිසා අලියා කෝප වූ බවයි. කෙසේ නමුදු අලි බලන්නා රාජාව අසල තිබුණු ලාම්පු කණු­වක ගැට ගසා තිබේ. එවිට අවට රැස් වී සිටි පිරිස රාජා අලි­යාට හූ කිය­මින් උසුළු විසුළු කර­න්නට වූ බැවින් රාජා අලියා කුලප්පු වී දඟ­ල­න්නට විය. මේ අව­ස්ථා­වේදී සම­හරු රාජාට බෝත­ල්ව­ලින් දමා ගැසූ බව අලි බල­න්නාගේ ප්‍රකා­ශයේ සඳ­හන් වන අතර බෝතල් කටු මහ­මඟ තිබූ බව පොලිස් පරී­ක්ෂ­ණ­ව­ලින් හෙළි විය. කෝප වී දඟ­ලන රාජාගේ යදම් තවත් කෙටි වන සේ තද කළ යුතු බව අනෙක් අලි බල­න්නන් පැව­සු­වද ගුන්නෑ­පානේ හීන් බණ්ඩා ඊට සූදා­නම් වූයේ නැත. සෙසු අලි බල­න්නන් ඊට අත ගැසුවේ එබැ­විනි. මේ අව­ස්ථා­වේදී දම්වැ­ලෙන් මිදුණු රාජා අලියා නර­ඹ­න්නන් මැදට පැන්නේ කිසි­ව­කුට කර කියා ගැනී­මට කිසි­වක් සිතා ගැනී­මට ඉඩක් නොතබා ය. ඒ මොහොතේ ළම­යකු වඩා­ගෙන සිටි ස්ත්‍රියක් අලි­යාගේ පයට පෑගී පොඩි පට්ටම් විය. මහ­නු­වර වෝඩ් වීදි­යෙදි ඇරඹි මේ කල­බල අව­ස්ථා­වේදී මහ­නු­වර ප්‍රදේ­ශයේ විදු­ලි­එ­ළිය ඇණ හිටී­මෙන් තත්ත්වය වඩාත් නරක අතට හැරිණි. වියරු වැටුණ රාජා බ්‍රවු­න්රිග් වීදිය දිගේ දිව යන්නට වූ අතර නර­ඹ­න්නන් මර­ළ­තෝනි දෙමින් ඒ මේ අතර දිව ගියේ අලි ප්‍රහා­ර­යෙන් සිය පණ ගලවා ගැනී­මට ය. එහෙත් හිස් ලූ ලූ අත දිව යෑමේදී එකි­නෙකා පෙරළි වැටී පෑගි තුවාල වී ඔවුන් මර­ණ­යට පත්වූයේ අවා­ස­නා­වන්ත අයු­රිනි. මේ අව­ස්ථා­වේදී කොණ්ඩ­දෙ­ණියේ අලි­යාව රැගෙන ඒ අලි බලන්නා ඉදි­රි­යට පැමි­ණියේ රාජාව මෙල්ල කර ගැනී­මට ය. එමෙන් ම උප පොලිස් පරී­ක්ෂක ටී.ජී. කරු­ණා­රත්න ඇතුළු පොලිස් කණ්ඩා­යම විසින් සිවු­ව­රක් වෙඩි තබනු ලැබිණි. ඒ මොහොතේ රාජා අලියා සොයිසා පටු මාව­තට හැරුණු අතර රාජාව ඒ මාව­තට කොටු කර ගැනී­මට පිරිස සමත් වූහ. මේ මොහොතේ දී රාජා අලි­යාගේ මාරක වෙඩිල්ල තැබුවේ සාජන්ට් බණ්ඩා ය . මාවතේ නවතා තිබුණු අලුත් මෝටර් රථ­යක් පොඩි­ප­ට්ටම් කර­මින් රාජා අලියා මැරී වැටිණි. 19 දා රාත්‍රියේ ආරම්භ වූ අලි කල­බ­ලය නිමා වන විට 20 වැනි­දාට පහන් වී තිබිණි. එදා මහ­නු­වර නග­රය යුද පිටි­යක සිරි ගත් අතර එම ඛේද­වා­ච­කය රට තුළ ප්‍රධාන පුවත බවට පත් විය. “මහ­නු­වර පෙර­හැරේ ඇතෙක් කුලප්පු වී 10 ක් මැරෙති. සිය ගණ­න­කට තුවා­ලයි” යන ප්‍රධාන ශීර්ෂය සහ උප ශීර්ෂ­යෙන් 1959 අගෝස්තු 20 වැනි බ්‍රහ­ස්ප­තින්දා දින­මිණ පත්‍රය හැඩ වී තිබිණි. අගෝස්තු 21 වැනිදා දින­මිණ පත්‍රයේ ප්‍රධාන පුවත වූයේ ද මෙය­මය. මේ ප්‍රධාන පුව­තට අනුව අලි කුල­ප්පුව නිසා මහ­නු­වර රෝහ­ලට ඇතු­ළත් කළ රෝගීන් සංඛ්‍යාව 125 කි. පිරි­මින් 105 දෙන­කුත් ගැහැ­නුන් 86 දෙන­කුත් මහ­නු­වර රෝහලේ බාහිර රෝගි අංශ­යෙන් ප්‍රති­කාර ලබා ගෙන තිබිණි. මිය ගිය අය 14 දක්වා ඉහළ ගිය බව 21 වැනිදා දින­මිණ පත්‍රයේ ප්‍රවෘ­ත්ති­යෙන් අනා­ව­ර­ණය විය. ඊට කාන්‍තාවෝ 11 දෙනෙක් ද පිරිමි දෙදෙ­නෙක් ද එක් දරු­වෙක් ද අයත් වූහ.

‍මීට අම­ත­රව 20 වැනි දා දහ­වල් කාලයේ පැවැත්වූ මහ­නු­වර පෙර­හැරේ ද අලි කල­බ­ල­යක් වූ බව අගෝස්තු 21 වැනිදා දින­මිණ පත්‍රයේ පළ වී තිබේ. ඒ කුඩා අලි පැට­වකු පෙර­හැරේ ගමන් නොකර, දණ ඔබා මහ­මඟ වාඩි වීමෙනි. ඌ නැගි­ටු­වී­මට උත්සාහ කිරී­මේදී පෙර­හැරේ ගමන් කළ අනෙක් අලින් කුලප්පු වීම නිසා නර­ඹ­න්නන් දිව­ය­න්නට වූයේ පෙරදා රාත්‍රියේ මුහුණ දුන් ශෝච­නීය අව­ස්ථාව මත­කයේ නිද­න්ග­තව තිබුණු නිසා විය හැකිය. කෙසේ හෝ මේ සිද්ධි­යෙන් 35 දෙනෙකු තුවාල වූ බවත් 15 දෙනකු රෝහ­ලට ඇතු­ළත් කළ බවත් දෙදෙ­න­කුගේ තත්වය බර­ප­තළ බවත් ප්‍රවෘ­ත්තියේ වාර්තා කර තිබිණි.

 

‘අනේ ඌ හොඳ සතා’ -රාජාගේ හිමිකරු

මහ­නු­වර පෙර­හැරේ අලි කල­බ­ල­යට සම­ගා­මීව බෙල්ල­න්විල ඇසළ පෙර­හැරේ ගමන් කළ අලි­යකු කුලප්පු වීමෙන් අයි­රාං­ගනී නමැති දැරි­යක් මිය ගිය ප්‍රවෘ­ත්ති­යක් ද දින­මිණ පත්‍රයේ ම පළ විය. මහ­නු­වර දළදා පෙර­හැ­රෙත් බෙල්ල­න්විල පෙර­හැ­රෙත් මෙවැනි සිදු­වීම් වී තිබෙන බැවින් නුපු­හුණු අලි ඇතුන් පෙර­හැරේ කැටුව යන­වා­දැයි සොයා බැලී­මක් කළ යුතු බව එදා විරුද්ධ පක්ෂ නායක ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා ප්‍රකාශ කළ බව සඳ­හන් වී තිබෙන්නේ අගෝස්තු 22 වැනිදා පළ වූ දින­මිණ පත්‍රයේ ය.

එව­කට ස්වදේශ කට­යුතු පිළි­බඳ ඇමති ටී.බී. ඉලං­ග­රත්න මහතා මේ ගැන සම්පූර්ණ පරී­ක්ෂ­ණ­යක් කරන බවට පවසා ඇත්තේ මහ­නු­වර නියෝ­ජිත මන්ත්‍රී මණ්ඩ­ල­යේදී ය. අලි කල­බ­ල­යෙන් මිය ගිය සහ තුවාල ලැබූ අයට රජය වන්දි ගෙවිය යුතු බව මේ නියෝ­ජිත මන්ත්‍රි මණ්ඩ­ල­යේදී පී. තෙන්න­කෝන් මහතා සඳ­හන් කර තිබේ. මෙකී පරී­ක්ෂණ හෝ වන්දි මුදල් ප්‍රදා­නය කිරීම එදා සිදු වූවා­දැයි අපි නොද­නිමු. එහෙත් අද දවසේ මෙන් ම එදා දව­සේත් රටේ සිදු­වන මෙවැනි අව­ස­නා­වන්ත සිදු­වීම් දේශ­පා­ල­න­ඥ­යන්ට හොඳ මාතෘකා වී ඇති බව නම් පෙනේ. “දේශ­පා­ලන කුල­ප්පු­ව­ලින් අලින් කුලප්පු වෙලා” යන ශීර්ෂ­යෙන් එව­කට මුදල් ඇමති ලෙස කට­යුතු කළ ස්ටැන්ලි ද සොයිසා කළ කතා­වක් 1959 අගෝස්තු 25 වැනි අඟ­හ­රු­වාදා දින­මිණ පත්‍රයේ පළ කර තිබේ. මේ බව එයින් තවත් තහ­වුරු වනු ඇත. “දේශ­පා­ලන බල­ලෝ­භින් රජය පෙර­ළන්න කුලප්පු ගති­ය­කින් දඟ­ලන මේ අව­ධියේ අලින් පවා කුලප්පු වීම පුදු­ම­යට කරු­ණක් නොවන බව ඔහු පවසා තිබුණේ ගල්උ­ඩු­පිට වීර ප්‍රජා මණ්ඩ­ලය මෙහෙ­ය­වී­මෙන් පැවැති රැස්වීමේ මුල­සුන හොබ­ව­මිනි. එමෙන්ම “අලි කුල­ප්පුව කුම­න්ත්‍ර­ණ­යකි” යනු­වෙන් පවසා තිබුණේ එව­කට අධ්‍යා­පන ඇම­තිව සිටි විජ­යා­නන්ද දහ­නා­යක මහතා ය. මෙය කුම­න්ත්‍ර­ණ­යක් බැවින් කොමි­ස­මක් පත් කර විභා­ග­යක් කළ යුතු බව සඳ­හන් ඔහුගේ කතාව 1959 සැප්තැ­ම්බර් 02 වැනි සඳුදා දින­මිණ පත්‍රයේ වාර්තා වී තිබේ.

මහ­නු­වර දළදා පෙර­හැරේ අලි කුල­ප්පුව රටේ කොයි­ත­රම් ප්‍රබල ආන්දෝ­ල­නා­ත්මක සිදු­වී­මක් ද කිව­හොත් අගෝස්තු 21 වැනි සිකු­රාදා දින­මිණ පත්‍රයේ කර්තෘ වාක්‍ය ලියැ­වුණේ “දළදා පෙර­හැරේ එවැනි දෙයක් සිදු වූයේ කෙසේද?” යන හිසිනි. ඊට අම­ත­රව “නුවර පෙර­හැර” නමින් ඒ. රත්නා­යක මහතා විශේෂ ලිපි­යක් ලියා තිබුණේ අගෝස්තු 21 වැනි දා දින­මිණ පත්‍ර­යට ය. ඒ හැර අගෝස්තු 31 වැනි සඳුදා දින­මිණ පත්‍රයේ “අලි කුල­ප්පුව මොකද වුණේ” යන මාතෘ­කාව යටතේ විශේෂ අති­රේ­ක­යක් පළ විය. මේ මාතෘ­කාව පාඨ­ක­යන්ට කොයි තරම් ආක­ර්ෂ­ණ­ය සප­ය­න්නක් ද කිව­හොත් අගෝස්තු 29 වැනි සෙන­සු­රාදා දින­මිණ පත්‍රයේ මුල් පිටුවේ විශේෂ කොටු­වක ඒ බව පළ කර තිබිණි. මේ අති­රේ­ක­යට පිටු 4 ක් වෙන් විය. දළදා පෙර­හැරේ අලි කුල­ප්පුව සම්බ­න්ධ­යෙන් අස්ගිරි - මල්වතු පාර්ශ්ව මහ නා හිමි­ව­රුන් විසින් පළ කළ අද­හස් 1959 අගෝස්තු 24 වැනි සඳුදා දින­මිණ පත්‍රයේ පළ කර තිබෙන්නේ මේ ආකා­ර­යට ය. “අලි පෙර­ළිය රට පිරි­හීමේ නිමි­ත්තක්.” එය මල්වතු පාර්ශ්වයේ මහා නායක පුරි­ජ්ජල ශ්‍රී සර­ණං­කර හිමි­යන්ගේ ප්‍රකා­ශ­යයි. බොහෝ දෙනෙකු පෙර­හැරේ මත්පැන් පානය කිරීම නිසා මෙවැනි අවා­ස­නා­වන්ත සිදු­වීම් සිදු වන බව සඳ­හන් කර තිබුණේ අස්ගිරි පාර්ශ්වයේ මහා­නා­යක යට­වත්තේ ධර්ම­කීර්ති ශ්‍රී ධම්ම­ර­තන මා හිමි­යන් විසිනි. මේ හැර එව­කට කොළඹ අග­ර­ද­ගුරු ප්‍රසාදි ලෙස වැඩ­සිටි තෝමස් කුරේරා පිය­තුමා මෙම සිදු­වීම ගැන සිය කන­ගා­ටුව පළ කර­මින් එදා දිය­ව­ඩන නිලමේ ලෙස කට­යුතු කළ සී.බී. නුග­වෙල මහ­තාට විදුලි පුව­තක් යවා ඇත. ඒ බව 1959 අගෝස්තු 24 වැනි සඳුදා දින­මිණ පත්‍රයේ පළ කර තිබුණේ “අග්‍ර­රා­ජ­ගු­රු­තුමා අලි හබ­යට දුක් වේ” යන ශීර්ෂ­යෙනි.

 

කලබලය නිමාවන තුරු දියවඩන නිලමේ කරඬුව රැගත් ඇතාගේ දළ අල්ලාගෙන සිටියා

උප පොලිස් පරී­ක්ෂක ටී.ජී. කරු­ණා­රත්න රාජා අලි­යාට වෙඩි තැබීම පිළි­බ­ඳව මහ­නු­වර මහේ­ස්ත්‍රාත් විභා­ග­යේදී සාක්කි දීම 1958 අගෝස්තු 25 වැනි අඟ­හ­රු­වාදා දින­මිණ පුව­ත්පතේ “නුවර පෙර­හැරේ අලි කුල­ප්පුව අලි­යාට වෙඩි තැබූ අන්දම විස්තර කරයි” යන හිසින් පළ කර ඇත්තේ මෙය රටේ වැද­ගත්, ආන්දෝ­ල­නා­ත්මක සිදු­වී­මක් වූ නිසා ය.

මේ අත­ර­වා­රයේ දී අලි කුල­ප්පුව නිසා රෝහ­ල්ගත කර සිටි දොළොස් හැවි­රිදි එල්. සේර­සිංහ දැරිය සිහි නොලබා ම මර­ණ­යට පත් වූයේ අලි පෙර­ළි­යෙන් මිය ගිය ගණන 15 දක්වා ඉහළ දම­මිනි. ඒ බව “අලි කුල­ප්පුව - තව මර­ණ­යක්” යන හිසින් 1958 අගෝස්තු 26 වැනි බදාදා දින­මිණ පත්‍රයේ පළ කර තිබේ.

මහ­නු­වර දිස්ත්‍රි­ක්කයේ රාජ්‍ය සේවා හා පළාත් පාලන සේවා බෞද්ධ සමි­තිය විසින් එදා අග­මැ­තිව හුන් එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩා­ර­නා­යක මහ­තා­ගෙන් අලි කුල­ප්පුව ගැන කොමි­ස­මක් ඉල්ලා තිබෙන්නේ ඒ ගැන නොයෙක් දෙනා විවිධ අද­හස් පළ කර නිසා ය. එනම් අලියා කුලප්පු වීමට හේතු ලෙස පන්ද­මක අඟුරු වැටීම, ඡායා­රූප ගැනී­මේදී විදුලි එළිය රාජා අලි­යාගේ ඇසට වැටීම, අලි බල­න්නන්ගේ බීම­ත්කම යනාදි කරුණු ගණ­නා­වක් විවිධ අය ප්‍රකාශ කිරීම ය. “අලි කුල­ප්පුව ගැන කොමි­ස­මක් ඉල්ලති” යනු­වෙන් 1959 අගෝස්තු 26 වැනි බදාදා දින­මිණ පත්‍රයේ මේ පුවත පළ කර ඇත. මේ අනුව රටේ ආන්දෝ­ල­නා­ත්මක සිදු­වීම් සම්බ­න්ධ­යෙන් කොමි­සම පත් කිරීම අද පම­ණක් නොව එදා පවා සිදු වූ බවට මෙය කදිම සාක්ෂි­යකි. එහෙත් ඒ කොමි­සම පත් කළා ද, කොමි­සම් වාර්තා­වට සිදු වූයේ කුම­ක්දැයි අපි නොද­නිමු.

අගෝස්තු 27 වැනි බ්‍රහ­ස්ප­තින්දා දින­මිණ පත්‍රයේ “අලි කුල­ප්පුව විභාග කරනු” යන ශීර්ෂ­යෙන් පුව­තක් පළ වී තිබෙන්නේ කොමි­සම පත් කිරී­මට සහ­යක් වශ­යන් විය හැකිය.

කෝට්ටේ විහා­ර­යෙන් පව­ත්වනු ලබන වාර්ෂික ඇසළ පූජා පෙර­හැ­රට හීලෑ අලි ඇතුන් පම­ණක් සහ­භාගි කරවා ගන්නා බව සඳ­හන් පුව­තක් 1959 අගෝස්තු 27 වැනි බ්‍රහ­ස්ප­තින්දා දින­මිණ පත්‍රයේ පළ වී තිබෙන්නේ අලි කුල­ප්පු­වෙන් සිදු වූ කල­බ­ගෑ­නි­යෙන් පාඩ­මක් ඉගෙ­න­ගෙන නිසා විය යුතුය.

රටේ යම් ඛේද­වා­ච­ක­යක් වූ අව­ස්ථා­වක බොර දියේ මාළු බාන අය අද මෙන් එදා සමා­ජයේ ද විසූ බව අපට සිත­න්නට සිදු වන්නේ මහ­නු­වර පාර්ලි­මේන්තු මන්ත්‍රී පිය­සේන තෙන්න­කෝන් එය “හිතා මතා කළැයි හිතන්න බැරි නෑ” යනු­වෙන් 1959 අගෝස්තු 31 වැනි සඳුදා දින­මිණ අති­රේ­ක­යට ප්‍රකාශ කර තිබී­මෙනි. මේ හැර අලි කුල­ප්පුව දේව කෝප­යක් නිසා සිදු වූ බව පව­සන්නෝ අද මෙන් ම එදා ද සිටි බව පෙනෙන්නේ කර­න්දෙ­නියේ විම­ල­ජෝති හිමි­යන් විසින් පහළ බෝමි­රියේ ශෛල­බි­ම්බා­රා­මස්ථ ධර්ම­සිරි ඉරු දින දහම් පාසලේ තෑගි බෙදා දීමේ උත්ස­ව­යක කළ දේශ­න­ය­කිනි. “අද අපේ රටේ හරි­හැටි පාල­න­යක් නොකෙ­රෙන නිසා දෙවි­යන් පවා කෝප­වෙලා” යනු­වෙන් එහිදී උන්ව­හන්සේ පැව­සූහ. එය අගෝස්තු 27 වැනි බ්‍රහ­ස්ප­තින්දා දින­මිණ පත්‍රයේ පළ විය.

මේ අත­ර­වා­රයේ දී එදා දිය­ව­ඩන නිලමේ ලෙස කට­යුතු කළ සී.බී. නුග­වෙල මහතා, රෙදි ‍පොටවල් විශාල ගණ­න­කින් හා රන්මාල ආයි­ත්තම් ආදි­යෙන් ඒ අව­ස්ථාවේ සැරසී සිටි බැවින් කිසි­වක් කර කියා ගත නොහැකි වූ බවත් එසේ නොවී සාමාන්‍ය තත්ව­යෙන් සිටියා නම් තත්ත්වය මෙප­මණ දරුණු වීමට පෙර අලියා මෙල්ල කිරී­මට ඉඩ තිබූ බවත් පවසා තිබෙන්නේ 1959 අගෝස්තු 31 වැනි සඳුදා දින­මිණ පත්‍රයේ පළ වූ විශේෂ අති­රේ­ක­යට ය. එහෙත් එදින ධාතු කර­ඬුව වැඩම වූ කන්දා ඇතාගේ දළය අගින් අල්ලා­ගෙන කල­බ­ලය අව­සන් වන තුරුම හොඳින් හික්මවා ගත් බවත් දළදා කර­ඬුව ආරක්ෂා කර ගත් බවත් දිය­ව­ඩන නිලමේ විසින් තව­දු­ර­ටත් පවසා තිබිණි.

 

ශෝකය පළ කරමින් කොළඹ අගරදගුරු හිමිපාණන්ගෙන් විදුලි පුවතක්

මීට අම­ත­රව සතර මහා දේවා­ල­වල බස්නා­යක නිල­මේ­ව­රුන් ද මේ පිළි­බ­ඳව විශේෂ අති­රේ­ක­යට අද­හස් ප්‍රකාශ කර ඇත. මහ­නු­වර නාථ දේවා­ලයේ බස්නා­යක නිල‍ෙම් එච්.බී. උඩු­රා­වණ මහතා ඉස්සර සාධු හඬ දෙන පෙර­හැ­රට දැන් හූ හඬ ලැබෙන නිසා මෙවැනි ව්‍යසන ගැන පුදුම විය යුතු නැතැයි පැව­සීය. මහ­නු­වර කත­ර­ගම දේවා­ලයේ බස්නා­යක නිලමේ බී. දොඩ­න්වෙල මහතා පවසා තිබුණේ එය දේව කෝප­ය­ක්දැයි නොදන්නා බව ය. මහ­නු­වර පත්තිනි දේවා­ලයේ බස්නා­යක නිලමේ ඒ.බී. පන­න්වෙල මහතා “බොරු බියෙන් නොස­න්සුන් වුණා” යැයි පවසා තිබේ. “අවුල ඇති වුණේ අවි­නී­ත­කම නිසා” යැයි පැව­සුවේ මහ­නු­වර මහ විෂ්ණු දේවා­ලයේ බස්නා­යක නිලමේ හැරිස් රත්වත්ත මහතා ය.

මහ­නු­වර දළදා පෙර­හැරේ සිදු වූ අලි කුල­ප්පුව විභා­ග­යට ගත් අව­ස්ථා­වේදී ඒ ගැන විවේ­ච­නය නොක­රන ලෙස මහ­නු­වර මහේ­ස්ත්‍රා­ත්ව­රයා ඉල්ලී­මක් කළේය. ඒ බව 1959 සැප්තැ­ම්බර් 02 වැනි සඳුදා දින­මිණ පත්‍රයේ සඳ­හන් වේ. මේ අනුව පුද්ග­ල­යන් 15 දෙනෙ­කුට මරු කැඳ­ව­මින් එදා මහ­නු­වර පෙර­හැරේ සිදු වූ අලි කල­බ­ලය මුළු රටම කම්පා කළ ප්‍රධාන පුව­තක් වූ බව පෙනේ. එය පූජක පක්ෂ­යේත් දේශ­පා­ල­ක­ය­න්ගේත් මාතෘ­කා­වක් බවට පත් විය. මුළු රට ම කැළඹූ රාජා අලියා ඉති­හා­ස­ගත විය. නමුදු මේ රාජා අලියා තවත් අව­ස්ථා­ව­කදී ඉති­හා­ස­ගත වී ඇති බව බොහෝ දෙනෙකු නොදන්නා අප්‍ර­කට තොර­තු­රකි. ඒ රාජා අලියා බලා ගත් ගුන්නෑ­පානේ හීන් බණ්ඩාට පෙර කාලයේ බලා­ගත් ඩිංගිරි බණ්ඩා ගේ කාල­යේ­දීය. ඩිංගිරි බණ්ඩාගේ නෑයකු වන කීරාල නමැ­ත්තකු අලියා පොල­ඹවා මිනි­සකු මැර­වී­මෙන් මිනි­සකු මැරීම සඳහා අලි­යකු උප­යෝගි කර ගත් ප්‍රථම නඩුව ලෙස ලංකාවේ ඉති­හා­ස­ගත විය. එකී නඩු­වෙන් වර­ද­කරු වූ කීරා­ලට වසර 6 ක සිර­ද­ඬු­ව­මක් ලැබිණි. එදා ඉති­හා­ස­ගත සිදු­වී­මක් ඇති කළ රාජා අලියා තවත් එබඳු ම ඉති­හා­ස­ගත සිදු­වී­ම­කින් අව­සන් සුසුම් හෙළීම දෛවෝ­ප­ගත සිදු­වී­මකි.

 

Comments