
මේ වසර අගදී පැවැත්වීමට නියමිත අමෙරිකා ජනාධිපතිවරණය වෙනුවෙන් ඩිමොක්‍රටික් පක්ෂය නියෝජනය කරන අපේක්ෂකයා තෝරා ගැනීම තරමක් කල් ගතවන ක්‍රියාවක් බවට පත්ව තිබේ. එරට ප්‍රධාන පක්ෂ දෙකෙන්ම මෙවැනි ඉතා විනිවිද භාවයෙන් යුතු ක්‍රම මගින් අපේක්ෂකයන් තෝරා ගන්නා අතර ධූර කාලයේ සිටින ජනාධිපතිවරයා දෙවැනි ධූර කාලයක් සඳහා අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත් වන අවස්ථාවක දී ඔහුගේ පක්ෂයට මේ ක්‍රියාවලියෙන් ඉවත් වී සිටීමේ අවස්ථාව සැලසේ. අවසන් අමෙරිකා ජනාධිපතිවරණය පැවති 2015 වසරේදී ද ඩිමොක්‍රටික් පක්ෂයට තම අපේක්ෂකයා තෝරා ගැනීම වෙනුවෙන් මහා ක්‍රියාවලියක් සහ නියමිත කාලයට වඩා වැඩි කාලයක් ගත කිරීමට සිදු විය.
ස්වකීය පළමු ධූර කාලයේදී අපේක්ෂකත්වය වෙනුවෙන් හිලරි ක්ලින්ටන් සමග තරග වැදුණු බැරක් ඔබාමා පහසුවෙන් අපේක්ෂකත්වය ලබා ගත් අතර ඉන්පසු පහසුවෙන්ම ජනාධිපති අසුනටද තේරී පත් විය. ඔහු ඩිමොක්‍රටික් පක්ෂය තෝරා දෙනු ලැබූ ශක්තිමත් සහ සාර්ථක නායකයකු විය. ඉන්පසු 2015දීද හිලරි ක්ලින්ටන්ට ඩිමොක්‍රටික් අපේක්ෂකත්වය සඳහා ඉතා දැඩි තරඟයකට නිරත වීමට සිදුවූ අතර සැබවින්ම එය ජනාධිපතිවරණය හා සමාන වූ තියුණු තරඟයක් විය. එහිදී හිලරි අපේක්ෂකත්වය ලබා ගත් නමුත් අවසානයේදී රිපබ්ලිකන් ට්‍රම්ප් හමුවේ පරාජය වූවාය. දැන් යළිත් ඩිමොක්‍රටික් පක්ෂය මුහුණ දී සිටින්නේ එවැනිම තියුණු වූ අපේක්ෂකත්වය සඳහා වන තරඟයකටය.
ට්‍රම්ප් ජනාධිපතිවරයාට ස්වකීය ධූර කාලයේදී කළ හැකි සියලුම කෙනෙහිලිකම් කිරීමට නැන්සි පෙලෝසි ප්‍රමුඛ ඩිමොක්‍රටික්වරුන් වග බලා ගත්තද දැන් ඔවුන්ට ස්වකීය අපේක්ෂකයා පහසුවෙන් තෝරා ගැනීමට නොහැකි වී තිබේ. මේ වන විට අපේක්ෂකත්වය වෙනුවෙන් ජෝ බයිඩන් සහ බර්නි සැන්ඩර්ස් අතර තියුණු තරගයක් ඇති වී තිබේ. එහි වැඩි වාසිය බයිඩන්ට බව මාධ්‍ය වාර්තා අනුව පෙනී යයි. සිකුරාදා වන විට නිකුත්ව තිබූ ප්‍රතිඵල අනුව බයිඩන් ප්‍රාන්ත නවයක ජයග්‍රහණය වාර්තා කර සිටියද කැලිෆෝර්නියාව දිනා ගැනීමට සැන්ඩර්ස් සමත්ව සිටියේය. සාමාන්‍යයෙන් අපේක්ෂකයා තෝරා ප්‍රකාශයට පත් කරන ‘සුපිරි අඟහරුවාදාව’ ගිය සතියේ ගෙවී ගිය අතර තවමත් ඩිමොක්‍රටික්වරු අපේක්ෂකයා තෝරා ගැනීමේ සටනේ නියුක්තව සිටිති.
තාලිබාන් - අමෙරිකා සාම ගිවිසුම දින දෙකකින් කඩ වේ
ලෝක ත්‍රස්තවාදය සහ අමෙරිකාව අතර ඇත්තේ අවියෝජනීය සම්බන්ධයකි. ඇතැම් අවස්ථාවල ඇතැම් තැන්වල ත්‍රස්තවාදය වර්ධනය කිරීමට අමෙරිකාව උපකාර කරන අතර ඇතැම් තැන්වල ත්‍රස්තවාදය මර්දනය කිරීමට අමෙරිකාව උපකාර කරයි. ඇතැම් තැන්වල තමාගේ සහයෙන්ම වර්ධනය වූ ත්‍රස්තවාදය මර්දනය කිරීමට අමෙරිකාව කටයුතු කරයි. මෙවැනි නාටකීය අවස්ථාවක් පසුගියදා ඇෆ්ගනිස්ථානයේදී දක්නට ලැබිණි. ඒ අමෙරිකාව සහ තාලිබාන් සංවිධානය අතර දෝහාහිදී ගිවිසුමක් අත්සන් කිරීමයි.
මේ ගිවිසුම අස්සන් කිරීමේ මූලික අරමුණ ලෙස ප්‍රකාශ වී ඇත්තේ වසර ගණනාවකට පසු ඇෆ්ගනිස්තානයට සාමය ගෙන ඒමයි. මේ සම්බන්ධව අදහස් දක්වමින් අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා සිටියේ තමා තලේබාන් නායකයා සමග ‘ඉතා හොඳ අදහස් දැක්වීමක‘ නිරත වූ බවයි. මුස්ලිම් අන්තවාදය ඇති කිරීම සහ නැති කිරීම සම්බන්ධයෙන් ඇෆ්ගනිස්තානය තරම් රිදවුම් ලැබු රටක් තවත් ලොව නැති තරම්ය. මුස්ලිම් අන්තවාදයට පෙර මේ කුඩා ශුෂ්ක භූමිය රිදවුම් ලැබුවේ ධනවාදය සහ සමාජවාදයෙනි. මේ බිමේ ගලා ගිය රුහිරු දහරා තවමත් වියළී නැත. මෑත කාලීනව සැලකුවහොත් ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් සාමකාමීව ගෙන යෑමට ඇෆ්ගනිස්තානයට හැකි වූයේ නම් ඒ ඉතා සුළු කාලයකටය. ඒ සෑම අවස්ථාවකදීම අමෙරිකා හමුදා සාමාජිකයන් දහස් ගණනක් ඇෆ්ගන් බිමේ විය.
මෙවර සාමය සම්බන්ධව කිසියම් අදහසක් දෙපාර්ශ්වයෙන්ම පළ වී තිබේ. එහෙත් කනගාටුවට කරුණ වූයේ සාම ගිවිසුම අස්සන් කිරීමෙන් පැය කිහිපයක් ගත වන විටම දෙපාර්ශ්වයෙන්ම ප්‍රහාර එල්ල වීමය. පසුගිය බදාදා අමෙරිකා හමුදා විසින් තලේබාන් ප්‍රදේශ කිහිපයකට ගුවන් ප්‍රහාර එල්ල වූ අතර ඒ සම්බන්ධව අදහස් දක්වමින් හමුදා ප්‍රකාශකවරයා පවසා සිටියේ සාම ගිවිසුම අස්සන් කිරීමෙන් පසු තලේබාන් පාර්ශ්වය හෙල්මන්ඩ් ප්‍රාන්තයේ ඇෆ්ගන් හමුදාවන්ට එල්ල කළ ප්‍රහාරයට ප්‍රතිචාර ලෙස මේ ගුවන් ප්‍රහාර එල්ල කළ බවයි.
ඒ අනුව අත්සන් කර පැය කිහිපයකින් බිඳී ගිය තවත් සාම ගිවිසුමක් ලෝක ඉතිහාසයට එක්වූ බව ලියා තැබිය හැකිය.
නෙතන්යාහුට බහුතරය නෑ
ඊශ්‍රායෙල් මහ මැතිවරණයේ මේ වන විට සමස්ත ඡන්ද සංඛ්‍යාවෙන් සියයට 99ක් ගණනය කර අවසන් වුවද අගමැති බෙන්ජමින් නෙතන්යාහුට ආණ්ඩුවක් පිහිටවීමට බහුතර ඡන්ද සංඛ්‍යාවක් හිමි නොවන බව පෙනී ගොස් තිබේ. ඒ අනුව වසරකට වඩා වැඩි කාලයක් තිස්සේ එරට මුහුණ දී සිටින දේශපාලන වියවුලට මහ මැතිවරණයෙන්ද පිළිතුරක් නොලැබෙන බව පෙනී ගොස් තිබේ. ප්‍රබල දක්ෂිණාංශිකයකු වන නෙතන්යානු මේ වන විට දීර්ඝ කාලයක් තිස්සේ ඊශ්‍රායෙලය පාලනය කරමින් සිටී. එහෙත් මේ සමගින් ඔහුට පාර්ලිමේන්තු සහය නොලැබෙන බව තහවුරු වී ඇති බව විචාරකයන් පෙන්වා දී තිබේ. එහෙත් මේ ලියන මොහොත වන විටද වාර්තා වන්නේ අගමැතිවරයා පාර්ලිමේන්තුව තුළ තම බලය තහවුරු කිරීම වෙනුවෙන් උත්සාහයක නිරතව සිටින බවයි. ඔහුගේ තර්කය වී ඇත්තේ සෙසු කිසිඳු පක්ෂයකට ද තම පක්ෂයට වඩා ඡන්ද සංඛ්‍යාවක් ලබා ගැනීමට නොහැකි වී ඇති බැවින් රටේ ජනතාවගේ බහුතර කැමැත්ත තමාට හිමි වී ඇති බවයි.
පාර්ලිමේන්තුව තුළ බලය තහවුරු කර පෙන්වීමට අසමත් වීම හේතුවෙන් නෙතන්යාහුට පසුගිය වසරේදී ද මැතිවරණ දෙකක් පැවැත්වීමට සිදුවූ අතර ඒ අවස්ථා දෙකේදීද කිසිදු පක්ෂයකට පාර්ලිමේන්තුවේ බහුතර ආසන සංඛ්‍යාවක් ලබා ගැනීමට හැකියාව ලැබුණේ නැත. මෙවර මැතිවරණයේදී ද මේ වන විට අගමැතිවරයා නියෝජනය කර දක්ෂිණාංශික පක්ෂවලට ආසන 58ක් හිමි වී ඇති අතර ආණ්ඩුවක් පිහිටුවීම සඳහා අවම ආසන 61ක් ලබා ගැනීමට අවශ්‍ය වේ.
ඉන්දියාවේ ස්ත්‍රීන්ට සාධාරණය ඉටු වන්නේ කවදාද?
2012 වසරේ දෙසැම්බර් 16වනදා සමූහ දූෂණයකට ලක්ව මිය ගිය ඉන්දීය තරුණිය ජෝති සිං හෙවත් නිර්භයා ගේ නඩුවේ අවසන් ක්ෂමා ඉල්ලීම් ජනාධිපතිවරයා විසින් ප්‍රතික්ෂේප කර ඇතැයි වාර්තා වේ. මීට පෙර ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන ලද ක්ෂමා ඉල්ලීම් ද ප්‍රතික්ෂේප වූයෙන් පසුගිය සතියේදී ඔවුන් එල්ලා මැරීමට දින නියම වී තිබිණි. එහිදී ඒ දක්වා ක්ෂමා ඉල්ලීමක් නොකර සිටි 25 හැවිරිදි පවන් කුමාර් ගුප්තා නම් වූ ස්ත්‍රී දූෂකයාද අවසන් මොහොතේ ජනාධිපතිවරයා වෙත ක්ෂමා ඉල්ලීමක් යොමු කර සිටියේය. එබැවින් යළිත් වරක් ඔවුන්ගේ මරණ දඬුවම කල් දැමීමට දිල්ලි අධිකරණයට සිදු විය. එහෙත් ඉදිරිපත් වූ සැණින් එය ප්‍රතික්ෂේප කිරීමට ජනාධිපති රාම් නාත් කෝවින්ද් කටයුතු කළ බැවින් දැන් මේ ස්ත්‍රී දූෂකයන් එල්ලා මැරීමට දිනයක් නියම කිරීමට දිල්ලි ප්‍රන්ත ආණ්ඩුව කටයුතු කරමින් සිටී.
මීට පෙර අවස්ථා හතරක දී මේ පුද්ගලයන් එල්ලා මැරීමට දින නියම වූ අතර එම අවස්ථා හතරේදීම එය කල්දැමීමට නොයෙක් හේතු ඉදිරිපත් විය. දැන් මෙවරද මාර්තු 3ට නියමිත වී තිබූ එල්ලා මැරීම කල් දැමීමට සිදු වී තිබේ. ස්ත්‍රී දූෂකයන් වෙනුවෙන් ඉදිරිපත්ව සිටින නිතීඥයන්ටද මේ හේතුවෙන් සමාජ ප්‍රතිරෝධයක් එල්ල වෙමින් තිබේ.
නිර්භයා හෙවත් ජෝති සිං ගේ පියා මාධ්‍ය හමුවේ පවසා ඇත්තේ මේ මස අවසන් වීමට පෙර මහමගදී දූෂණයට පත්වන ඉන්දියාවේ සියලු කාන්තාවන් වෙනුවෙන් තම දියණියට සාධාරණය ඉටු වනු ඇතැයි තමා බලාපොරොත්තු වන බවයි.