
ඉගෙනීමේ අගය පැවසෙන වදන් කවි පොතේ සඳහන් වටිනා ආප්තෝපදේශයකි. ඒ ‘උගත මනා ශිල්පයමයි මතු රැකෙනා’ යන්නයි. එහි පැවසෙන පරිදි කිසිවෙකුටත් විනාශයක් නොකළ හැකි වූද පැහැරගත නොහැකි වූද වටිනාම සම්පත ශිල්ප ශාස්ත්‍ර ඉගෙනීමයි. මිනිස් සමාජයේ යහපත් පැවැත්ම සඳහා මූලික අඩිතාලම වන්නේද ඉගෙනීම නම් වූ සරසවිය වැලඳගැනීමයි.
මතු දියුණුව සලසන ඉගෙනුම ලැබීම අද එදා මෙන් දුෂ්කර නැත. ඉගෙනීම සඳහා බොහෝ පහසුකම් සැලසී ඇත. දැනුම ලැබීමට බොහෝ මාර්ග ඇත. පන්ති වැනි දහසකුත් එකක් පහසුකම් හමුවේ ශිෂ්‍ය ප්‍රජාවේ වගකීම වන්නේ මනා කොට ඉගෙනීම සිදු කිරීමයි. අපේ වගකීම වන්නේ හොඳින් අධ්‍යාපනය ලැබීමයි. එය අපේ මතු දියුණුව සඳහා බොහෝ වැදගත් වේ.
දේශාන්යා තෙමිණි
11 ශ්‍රේණිය,
ළිහිණිගිරි කනිටු විදුහල, බටහිර ගල්කුලිය
------------
කම්මැළියෙකුට හොඳ අනාගතයක් තිබේද?
“කම්මැළියාට දිවැස් තිබේ” යනුවෙන් කියමනක් ඇත. දිවැස් යනු අනාගතයේ සිදු වීමට ඇති යමක් කලින් දකින්නට හැකි, නැත හොත් ඈත යමක් අත ළඟම දැක්කා වගේ කිව හැකි පෙනීමකටයි. එසේ පෙනෙනුයේ මහ පින්වත් උතුමන්ට පමණයි. එසේ නම් කම්මැළියාට තිබෙන දිවැස කුමක්ද? ඒ නම් වැඩ කටයුතුවලින් මඟහරින්න සිතා හරියට පෙනෙනවා වගේ, දැක්කා වගේ පවසනු ලබන බොරුවයි; මුසාවයි.
“අද නම් වහිනවා. අද ඇඟට අමාරුයි බොහොම සීතලයි, ඒක හරියන්නේ නැහැ. ඒ වැඩේ කරන්න පුළුවන් එකක් ද?” වැනි කියමනක් කිය කියා කරන්න ඇති කටයුතු මඟහැරීම, අතපසු කිරීම කම්මැළියාගේ සිරිතයි. අද කළ යුතු දේ පසුවට කල් දැමීමට හේතු, කරුණු දැක්වීමට කම්මැළි තැනැත්තා දක්ෂයි. වෙන දේකට දක්ෂ නැති මේ වැනි අයට දියුණු වීමට නොහැකිය.
ඉගෙනගන්නා අපට කම්මැළි හිතුණ හොත් අපේ ඉගෙනීම බිඳ වැටෙයි. ධනය ඇති අයකු කම්මැළියෙකු වුව හොත් ඔහුගේ ධනය පිරිහී දුප්පත්කමට පත් වේ. එනිසා අප හැම විටම කම්මැළිකම අලසකම අත්හැර අද කළ යුතු සියල්ල අදම කළ යුතුය.
උදයන පසිඳු දිසානායක
9 ශ්‍රේණිය ‘ඩී’,
වලිසිංහ හරිස්චන්ද්‍ර මහා විද්‍යාලය,
අනුරාධපුරය
--------------
ගස්වැල් අපට සම්පතකි
ගස්වැල් අපට පිරිසුදු වාතය සපයයි. එමෙන්ම වර්ෂාව ලබාදීමටද අපට උදවු වෙයි. ආහාර, ඖෂධ වර්ගද ලබාදෙයි. සෙවණ ලබා දෙන නිසා ගස් අපට මහඟු සම්පතක් වෙයි. ජල උල්පත් රැකදෙන ගස්වැල් පස සෝදා යෑමද වළක්වයි. මෙලෙස අප හට සෙත සලසන ගස්වැල් රැකගැනීම අප සැමගේ යුතුකමකි.
මිතිල දෙව්සිත් උඩුකුඹුර
6 වසර ‘එෆ්’,
මලියදේව විද්‍යාලය, කුරුණෑගල
-----------
මා නිවාඩු කාලය ගත කළ හැටි
මම නිවාඩු කාලය පටන් ගැනීමත් සමඟ ගමේ ගියෙමි. අපේ ගම දඹුල්ල. අපි ගමේදී වැවක බැස නෑවෙමු. මම නැන්දලාගේ ගෙදර ගොස් අක්කා සමඟ සෙල්ලම් කළෙමි. මම දෙමවුපියන් සමඟ දඹුලු ගල වැඳ පුදා ගැනීමට ගියෙමි. මම අම්මා සමඟ දිය උල්පත් බැලීමට ගියෙමි. ඉන් පසු අපි කෝච්චියේ නැඟී ගෙදර ආවෙමි. මා ගත කළ නිවාඩු කාලය ඉතා සුන්දරය.
යළි එවැනි නිවාඩු කාලයක් එන තුරු මම මඟ බලා සිටිමි.
විශ්වනි පංචාලි
4 ශ්‍රේණිය ‘ඒ’,
මහාමායා බාලිකා මහා විද්‍යාලය, කඩවත.
-------------