වසර 43කට පසු කියුබාවට අගමැතිවරයෙක් | Page 4 | සිළුමිණ

වසර 43කට පසු කියුබාවට අගමැතිවරයෙක්

සමාජවාදය අති සාර්ථකව ප්‍රායෝගික කර පෙන්වීමට හොඳින්ම සමත් වූ රටක් ලෙස කියුබාව හැඳින්විය හැකිය. ඒ අතින් සමාජවාදයව ලෝකයට ඉදිරිපත් කළ රුසියාව පවා කියුබාවට දෙවැනිය. රුසියාවට වඩා බොහෝ කල් ගත වී වුවද සමාජවාදය තම රටතුළ ස්ථාපිත කිරීමටත් එයට වඩා වැදගත් ලෙස නව්‍ය මුහුණුවරක් ලබා දීමටත් කලින් කලට එම පාලනය යාවත්කාලීන කිරීමටත් කියුබාවට හැකියාව ලැබුණි. එහි අතුරු ප්‍රතිඵලය වූයේ සමාජවාදය එරට තුළ සාර්ථකව ක්‍රියාත්මක වීමයි. විරෝධතා අවම වීමයි.

මෙවර කියුබාව මාතෘකාවට නැගෙන්නේ එවැනිම වූ පාලන ක්‍රමවේදයේ යාවත්කාලීන වීමක්ද සමගිනි. ඒ 2019 නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සමගින් අගමැති ධූරය යළි ස්ථාපිත කිරීමයි.ඒ අනුව කියුබාවේ නව අගමැති ලෙස මනුවෙල් මැරේරා කෘෘස් පසුගිය දෙසැම්බර් 21වැනිදා වැඩ බාර ගත්තේය.

ස්පාඥ්ඥ යටත් විජිතයක් බවට පත්වීමට පෙර සිටම කියුබාවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා යනුවෙන් හඳුනාගත හැකි ලියවිලි සමග පාලනයට අදාළ වන මූලික ලියවිලි කිහිපයක්ම විය. එහෙත් 1940 වසරේදී නිදහස ලැබීමෙන් පසු කියුබානු ජනතාව විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කර ගනු ලැබීය. ඒ සඳහා 1940 පත් වූ එරට ප්‍රථම ජනාධිපති ෆුල්ජෙන්සියෝ බැටිස්ටාගේ මැදිහත්වීමක් ද විය. මේ ව්‍යවස්ථාව සම්බන්ධව ජනතා විරෝධතා වූ අතර එහි වාලය වැඩි වශයෙන්ම ලබා ගත්තේ 1959 පෙබරවාරි 16 වැනි දින බලයට පත් සමාජවාදී නායක ෆිදෙල් කැස්ත්‍රෝ ය. ඔහු වසර 16ක් පුරා 1940 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පිහිටවූ අගමැති ධූරය දරමින් රට පාලනය කළද නිත්‍යානුකූලව එම ව්‍යවස්ථාව අහෝසි කර, ව්‍යවස්ථාවකින් තොරව රට පාලනය කරන්නේය. මෙය සැබවින්ම සංක්‍රාන්ති කාලයක් බව කිසිසේත් අමතක කළ යුතු නැත. තම ගේ දොරකඩ සිටිමින් සමාජවාදී විප්ලවය සාර්ථක කර ගත් කියුබාව කෙරෙහි ඇමරිකාව පසුවූයේ පාලනය කර ගත නොහැකි තරමේ කෝපයකිනි. එහි තරම වැටහෙන්නේ සීඅයිඒ සංවිධානය ෆිදෙල් කැස්ත්‍රෝ මරා දැමීමට උත්සාහ ගෙන ඇති වාර ගණන අනුවය.

කෙසේ වුවද බලයට පත් වූ පසු 1940 ව්‍යවස්ථාව අහෝසි කළද එමගින් ස්ථාපිත කළ අගමැති ධූරය කැස්ත්‍රෝ වසර 16ක් පුරා දරන්නේය. ඔහු අගමැති ධූරය අහෝසි කරමින් නව ව්‍යවස්ථාව ගෙන එන්නේ 1976 වසරේදීය.එම ව්‍යවස්ථාව මගින් කියුබාවේ රාජ්‍ය නායකයා ජනාධිපති ලෙස ප්‍රකාශයට පත් කරන අතර විප්ලවයේ නායකත්වය ඉසිලූ ෆිදෙල් කියුබානු ජනාධිපති ලෙස ප්‍රකාශයට පත් කරන්නේය.

එතැන් සිට ෆිදෙල් සෞඛ්‍ය සම්පන්නව සිටින් තෙක් මේ ව්‍යවස්ථාවට අනුව එරට පාලනය වන අතර ඒ සම්බන්ධව ජනතාවගේද පූර්ණ සහාය හිමිවන්නේය. උදාහරණයක් ලෙස 1976 ව්‍යවස්ථාව සම්පාදනය කර ඒ සඳහා එම වසරේ පෙබරවාරි 15වැනි දින ජනමත විචාරණයක් පවත්වන අතර එහිදී නව ව්‍යවස්ථාවට පක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාවෙන් සියයට 99.02ක් විය. එම ජනමත විචාරණයේදී ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාවෙන් සියයට 98ක් විය. ෆිදෙල් කැස්ත්‍රෝ ගේ පාලනයට එතරම් කියුබානු ජනතා ප්‍රසාදයක් හිමිව තිබිණි.

සමාජවාදී හෝ ධනවාදී හෝ පාලන ක්‍රමයක් කාලානුරූපව යම් යම් සංශෝදන සමග ඉදිරියට ගෙන යා යුතු බව වටහා ගැනීමට සහ එය ප්‍රායෝගික කිරීමට තරමේ යාවත්කාලීන දැනුමක් කියුබානු සමාජවාදී පක්ෂයේ නායකයන්ට විය. මේ දැනුම ඔවුන් අති සාර්ථකව යොදා ගත් තවත් අවස්ථාවක් හමුවන්නේ 2008 වසරේදීය. ඒ ෆිදෙල් කැස්ත්‍රෝ ගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහීමත් සමගිනි. ඔවුන් ඒ සමග ෆිදෙල් සොහොයුරු ආවුල් අතට බලය පත් කරන්නේ කැස්ත්‍රෝ නාමය සහ කියුබානු සමාජවාදී පාලනය සමග පවතින ගහට පොත්ත සේ වන බැඳීම මනාව වටහා ගනිමිනි. එහෙත් පාලන නායකත්වය අන්සතු කිරීම කෙරෙහි කියුබානු නායකයන් සතුවන පුළුල් අවබෝධය හේතුවෙන් කාලානුරූපව ජනාධිපති ධූරය වෙනත් අයෙකුට පැවරීමට රාවුල්ද නිසි කල්හි කටයුතු කිරීමට සමත් වන්නේය.

ඒ අනුව වසර දහයක පාලනයකින් පසු 2018 අප්‍රේල් 19 වැනි දින රාජ්‍ය නායකත්වය මිගුවෙල් දියෙස් - ෂනෙල් වෙත පැවරීමට රාවුල් කටයුතු කරන්නේය. එහෙත් ඒ වන විට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමේ කටයුතුද කියුබානු සමාජවාදී පක්ෂය මගින් සිදුකෙරෙන්නේය. එහි අග්‍රඵලය වන්නේ 1976දී අහෝසි කර දැමුවාට පසු එනම් වසර 43කට පසුව එරට අගමැති ධූරය යළි ස්ථාපිත වීමය. මෙවර එම ධූරය දැරීම සඳහා සමාජවාදී පක්ෂයේ තේරීම වන්නේ මැනුවෙල් මරේරෝ කෘෘස් ය. මරේරෝ කෘෘස් යනු සමාජවාදී පක්ෂය සතු තවත් ප්‍රභල ඉත්තෙකි. මේ අන්දමේ දක්ෂයන් නිසාත් ඔවුන් පාලනයේ දක්වන බුහුටිකම් නිසාත්, පාලනයේදී ඔවුන්ට ලබා දෙන අවස්ථා නිසාත් කියුබාව තුළ මේ වන විට පවතින්නේ සමාජවාදී පාලනයකට වඩා ප්‍රජාතන්ත්‍රවාදී පාලනයකට නෑකම් කියන පාලන ක්‍රමවේදයක් බව පැවසිය හැකිය. සැබවින්ම කියුබානු සමාජවාදී පක්ෂය බිඳ දැමීමට අමෙරිකාව ප්‍රමුඛ දක්ෂිණාංශික කඳවුරට නොහැකි වී තිබෙන්නේද ඔවුන්ගේ මේ යාවත්කාලීන වීම බව සිතිය හැකිය.

කෙසේ වුවද කියුබාවේ නව අගමැතිවරයා මීට පෙර 2004 වසරේ සිට සංචාරක අමාත්‍ය ධූරය හෙබවූයේය. මේ කාලය තුළ කියුබාවේ ප්‍රධාන ආදායම් මාර්ග අතරට සංචාරක කර්මාන්තය ගෙන ඒමට ඔහුට හැකියාව ලැබුණි. එමෙන්ම මිගුවෙල් දියෙස් - ෂනෙල්ද ජනාධිපතිවරයා ලෙස දිගටම කටයුතු කරමින් සිටින්නේ සමාජවාදී පක්ෂයේ ආශිර්වාදය මතය.

මීට අමතරව නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අලුතෙන් වගන්ති 87ක් එක් කිරීමටද, එම වගන්ති වඩා හිතකර පාලනයකට මගපාදන වගන්ති ලෙස හඳුනාගත හැකි වීමට කියුබානු පාලනයේ තවත් සාර්ථක අවස්ථාවක් ලෙස දැක්විය හැකිය. ඒ අනුව කියුබානු ව්‍යවස්ථාවේ මෙතෙක් පැවති වගන්ති 137 වගන්ති 224 දක්වා ඉහළ ගොස් තිබේ.

කියුබානු සමාජවාදී පක්ෂය ගැනද යමක් සඳහන් නොකරන්නේ නම් එය අඩුවකි. කියුබානු සමාජවාදී පක්ෂයේ මූලිකත්වය ගන්නේ ජූලි 26 ව්‍යපාරයේ පෙරටුගාමීන්ය. ඔවුන් පසුකාලීනය වඩා විධිමත් දේශපාලන පක්ෂයක් ලෙස එය විතැන් කරන්නේ කියුබානු සමාජවාදී පක්ෂය බිහි කරමිනි. ලෝකය පුරා ජනප්‍රිය ‘ගැනමා‘ පුවත්පත එම පක්ෂයේ නිල පුවත්පත වන්නේය. මේ දක්වා ලෝකයේ බිඳ වැටෙන සමාජවාදී මහා ගස් අතර නොවැටී සිටිමින් සාර්ථකව පැවතීමට කියුබානු සමාජවාදී පාලනයට රුකුල් දුන්නේ කියුබානු සමාජවාදී පක්ෂයයි. 2019 ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවද එම පක්ෂයේ තීරණයකි. එමගින් යළි ස්ථාපිත අගමැති ධූරය සහ ඉන් ඔවුන් ඉටු කර ගැනීමට බලාපොරොත්තු වන අපේක්ෂා කුමක් වුවද එය කියුබාවේ ජනතාවගේ යහපතටම වනු නොඅනුමානය.

 

Comments