ශ්‍රී ලාංකික සිසුවාට ඕස්ට්‍රේලියාවේදී වසර 13ක සිර දඬුවම් | සිළුමිණ

ශ්‍රී ලාංකික සිසුවාට ඕස්ට්‍රේලියාවේදී වසර 13ක සිර දඬුවම්

බාල වයස්කාර දැරියන් අපයෝජනය කිරීම වෙනුවෙන් චෝදනා 25කට වැරදිකරු වූ රන්පටි අමරසිංහ නම් ශ්‍රී ලාංකික සිසුවකුට වසර දහතුන හමාරක සිර දඬුවම් නියම කරමින් ඕස්ට්‍රේලියානු අධිකරණය පසුගියදා තීන්දුවක් ලබා දී ඇත. මීට පෙර මේ ශ්‍රී ලාංකික සිසුවාට එරෙහිව චෝදනා විභාගයට ගැනුණු අතර ඔහු වරදකරු බවට තීන්දු කරමින් නඩු විභාගය අවසන් වූ අතර දඬුවම් නියම කිරීම මාර්තු මාසයට කල් දමා තිබිණි. ඒ අනුව පසුගිය දෙවැනිදා ඕස්ට්‍රේලියානු අධිකරණය විසින් මේ ශ්‍රී ලාංකික සිසුවාට දඬුවම් නියම කරමින් පවසා ඇත්තේ ළමා අපචාරය යනු කිසිසේත් සමාව ලැබිය නොහැකි වරදක් බවයි.

මේ ශ්‍රී ලාංකික සිසුවා ඕස්ට්‍රේලියාවේ ඩෙකින් සරසවියේ අධ්‍යාපනය ලබන අතර බාල වයස්කාර දැරියන් වෙත අසභ්‍ය වීඩියෝපට යවමින් ඔවුන්ට තර්ජනය කර තිබේ. සැලකිය යුතු කාලයක් දැරියන් කිහිප දෙනකුම මේ පුද්ගලයාගේ මෙකී ක්‍රියාවන් හේතුවෙන් පීඩාවට පත්ව සිටි අතර, පසුව මේ දැරියන්ගේ මවුපියන් විසින් පොලීසියට කරන ලද පැමිණිල්ලක් අනුව මේ පුද්ගලයා ඕස්ට්‍රේලියානු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අධිකරණයේදී හෙළි වී ඇත්තේ මේ පුද්ගලයා විසින් මානසිකව පීඩාවට පත් කරන ලද ඇතැම් දැරියන් වයස අවුරුදු 10ක් තරම් ළාබාල වියේ පසුවන බවයි.

මේ පුද්ගලයාගේ නඩු විභාගය 2018 වසරේදී ආරම්භ වී ඇති අතර මේ දක්වාම නඩු විභාගය සිදුවී තිබේ. එහිදී තහවුරු වී ඇත්තේ ඔහු අන්තර්ජාල භාවිතයේදී වෙනත් ආරූඪ නම් ද භාවිත කර ඇති බවයි. ඔහුගෙන් පීඩාවට පත්වූ ඇතැම් දැරියන් දිවි නසාගැනීමේ චේතනාවන්ගෙන් පවා පසු වී ඇති බව අධිකරණයේදී ප්‍රකාශ විය.

කෙසේ වුවද අවසානයේදී ඔහුට නිසි දඬුවම් නියම කිරීමට ඕස්ට්‍රේලියානු අධිකරණය කටයුතු කර ඇති අතර වසර 13කුත් මාස හයකට පසු ඔහු ශ්‍රී ලංකාවට පිටුවහල් කිරිමට නියමිතය.

 

Comments