යුක්රේනයට සහය දෙන හැමෝටම ගහනවා
- රුසියාව
බටහිරින් යුක්රේනයට මුදල් ආධාර රුසියාවට සම්බාධක
මාර්තු 10 වැනි දිනට වාර්තා වන
මරණ සංඛ්‍යාව - සාමාන්‍ය ජනතාව - 516 (එක්සත් ජාතීන්ගේ වාර්තා අනුව මේ අතරින් 37ක් දරුවන්ය)
තුවාල ලැබූ සංඛ්‍යාව - 905 - මේ අතරින් 50ක් දරුවන් ලෙස ප්‍රකාශිතය
මරණ සංඛ්‍යාව - හමුදා සාමාජිකයන් 2000 – 4000 අතර මේ අතරින් යුක්රේන හමුදා සාමාජිකයන් සංඛ්‍යාව සහ රුසියා හමුදා සාමාජිකයන් සංඛ්‍යාව පිළිබඳව වාර්තා පරස්පර වේ.
තුවාල ලැබූ සංඛ්‍යාව - 5000 පමණ
යුක්රේන නගර ඉලක්ක කර ගනිමින් සිදු කෙරෙන රුසියානු ප්‍රහාර තවදුරටත් ක්‍රියාත්මක වෙමින් තිබේ. පසුගිය සතියේදී ලෝකයේ විශාලතම න්‍යෂ්ටික බලාගාර වන යුක්රේනයේ සපෝරිසසියා න්‍යෂ්ටික බලාගාරය අත්පත් කර ගැනීමට පසුගිය සතියේදී රුසියානු හමුදා සමත් විය. බලාගාරයට ප්‍රථමයෙන් ප්‍රහාර එල්ල කෙරුණු අතර, ඒ හේතුවෙන් ගිනි ගත් බලාගාරයේ ගින්න නිවා දමා ආරක්ෂාව තහවුරු කිරීමට රුසියානු හමුදාව කටයුතු කළේය.
මේ වන වට කිව් ඇතුළු රුසියානු හමුදාවේ ඉලක්ක බවට පත්ව ඇති යුක්රේන හමුදා මර්මස්ථාන දෙසිය එකොළහක් වට කොට ප්‍රහාර එල්ල කරමින් පවතින බව යුක්රේන යුද බිමෙන් වාර්තා වේ. යුක්රේන ජනාධිපතිවරයා රට හැර ගිය බවට පැතිර ගිය මතයක් දුරු කිරීම අරමුණූ කර ගිනිමින් යුක්රේන ජනාධීපති වොලොදිමීර් සෙලෙන්ස්කි තමාම පටිගත කළ වීඩියෝ දර්ශන සමාජ මාධ්‍යවලට එක් කරමින් පවසා සිටියේ තමන් සහ තම කාර්ය මණ්ඩලය අවසන් මොහොත දක්වා රට තුළ රැඳී සිටිනු ඇති බවයි. එමෙන්ම තම ජනතාව වීරෝධාර ලෙස සතුරාට ප්‍රහාර එල්ල කරමින් සිටින බව පැවසූ ජනාධිපතිවරයා ඔවුන්ට තම ස්තුතිය පුද දීමටද අමතක කළේ නැත.
මේ අතර හදිසියේම ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ඩොලර් බිලියන 1.4ක ණය මුදලක් යුක්රේනය වෙනුවෙන් අනුමත කර තිබේ. එමෙන්ම ඇමරිකාවද ඩොලර් මිලියන 600ක් යුද ආධාර වශයෙන් යුක්රේනයට ලබා දෙන බව ප්‍රකාශ කර තිබේ.
රුසියාව සම්බන්ධයෙන් පනවන ලද සම්බාධක ද ක්‍රියාත්මක වෙමින් පවතින අතර ඇමරිකාව සහ බ්‍රිතාන්‍ය ඇතුළු රටවල් කිහිපයක් රුසියාවෙන් තෙල් සහ ගෑස් ලබා ගැනීම අත්හිටුවන බවද නිවේදනය කර තිබේ. රුසියාව ද මේ සම්බාධකවලට ක්‍රමිකව මුහුණ දෙමින් සිටින අතර ආර්ථික වශයෙන් මේ වන විට ඔවුන් රැඳී සිටින ස්ථාවරත්වය හේතුවෙන් සම්බාධකවල බලපෑම් එතරම් තදින් රුසියාවට ගැටලු මතු නොකරනු ඇතැයි අපේක්ෂා කළ හැකිය. සර්බියාවද පසුගියදා රුසියාවට සහය පළ කළ අතර සර්බියානු ජනතාව වීථි බසිමින් රුසියාවට සහය පළ කරනු වස් සටන් පාඨ පවසා තිබේ. පෝලන්තය ප්‍රහාරක ගුවන් යානා යුක්රේනයට ලබා දෙන බව පැවසූ අතර රුසියාව එයට පිළිතුරු ලෙස පවසා ඇත්තේ යුක්රේනයට සහය දක්වන කිනම් රටකට වුවද තමන් ප්‍රහාර එල්ල කරන බවයි.
මේ රුසියානු දැඩි ප්‍රතිචාර හේතුවෙන් දෝ මේ දක්වා පෝලන්තය යුක්රේනයට අදාළ ආධාර ලබා දුන් බව වාර්තා වී නොමැත. එසේ වුවද ලොව පුරා රටවල් රැසකින් යුක්රේනයට සහය පළ කරමින් යුක්රේන හමුදා සමඟ එක්වීමට පුද්ගලයන් 20,000ක් යුක්රේනය වෙත පැමිණ ඇතැයි ආරංචි මාර්ග දක්වා තිබේ. ජපානය තම රටින් ස්වේච්ඡා සටන්කරුවන් 70ක් ස්ව කැමැත්තෙන් යුක්රේන සටන් බිමට ප්‍රවිෂ්ට වී ඇති බව නිල වශයෙන් දන්වා තිබේ.
ඩෙන්මාර්කයද ස්වේච්ඡාවෙන් යුක්රේන සටනට දායක වීමට තම රටේ ජනතාවට නිල වශයෙන් අවසර දුන් ප්‍රථම රට බවට පත් විය. එයින් පසු ලොව පුරා විවිධ රටවලින් මෙලෙස ස්වේච්ඡා සටන්කරුවන් යුක්රේනය වෙත පැමිණ ඇතැයි වාර්තා වේ.
රුසියානු ජාතික ගුවන් සේවය වන එරොෆ්ලොට් ලන්ඩන් සහ ඩබායි වෙත ගුවන් ගමන් නතර කිරීමට තීරණය කළ බව මොස්කව් නගරයෙන් පසුගිය බදාදා දිනයේදී වාර්තා විය. මේ අතර තවත් 50,000කට ආසන්න යුක්රේන ජනතාව දින දෙකක් තුළ අසල්වැසි රටවලට පළා ගොස් ඇති බවද වාර්තා වී තිබේ.
එක්සත් ජාතීන්ගේ මහා සමුළුවේදී අතිශය වැදගත් භූමිකාවක් නිරූපණය කිරීමට කටයුතු කළ ඉන්දියාව මේ වන විට ලෝක බලවතකු ලෙස ලෝකයේ තමන්ට හිමි ස්ථානය නිශ්චය කර ගනිමින් සිටින බව පෙනේ. ඇමරිකාවේ කොතරම් සුහද මිතුරකු වුවද, චීනයට එරෙහිව සෑම විටම ඇමරිකාවේ පාර්ශ්වය ගත්තද යුක්රේන අර්බුදයේදී මධ්‍යස්ථව සිට ගත් ඉන්දියාව රුසියාව කෙරෙහිද තම අප්‍රසාදය වක්‍රාකාරව දැක්වීමට කටයුතු කර තිබිණි. එමෙන්ම යුක්රේන ජනාධීපති සෙලෙන්ස්කි දුරකථනයෙන් ඇමතූ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සාමායට දෑත දිගු කරන ලෙස පැවසූ බව වාර්තා වී තිබේ. එමෙන්ම විශේෂ ගුවන් යානා යවමින් යුක්රේනයේ සටන්වලට මැදිවූ ඉන්දීය ජාතිකයන් යළි සියරට ගෙන ඒමට ඉන්දියාව කටයුතු කර තිබුණේ නියම ලෝක බලවතකු වශයෙනි.
මේ සියල්ල අතර රුසියානු හමුදාව කිසිවකින් නොසැලෙන රුසියානු පාලක පුටින්ගේ අණ අනුව දිගින් දිගටම ප්‍රහාර එල්ල කරමින් සිටින අතර සිවිල් වැසියන් හැකිතාක් ආරක්ෂා කර ගැනීමට කටයුතු කරන බව රුසියානු පාර්ශ්වයෙන් වාර්තා වේ. එහෙත් යුක්රේනය පවසන්නේ රුසියානු ප්‍රහාර හේතුවෙන් පසුගිය බදාදා දිනයේදී රෝහලක් ද විනාශ වූ බවයි. තවදුරටත් ප්‍රධාන නගර සහ මර්මස්ථාන වට කරමින් රුසියානු හමුදා ප්‍රහාර එල්ල කරමින් සිටින අතර යුක්රේනයද හැකිතාක් ප්‍රති ප්‍රහාර එල්ල කරමින් තම රට ආරක්ෂා කර ගැනීමට වෙහෙස දරමින් සිටී.
යුක්රේන යුද බිමේ හැඬවුණු මංගල සීනු
බටහිර පක්ෂපාතී වීම හෝ රුසියාවට පක්ෂපාතී වීම යන තීරණ මැද දෝලනය වීම හැර තමාට අනන්‍යතාවක් ස්ථාපිත කර ගැනීමට අයිතිවාසිකමක් ඉල්ලා සිටිමින් සටන් වදින යුක්රේනය මේ ගෙවී යන මොහොත වන විට සිටින්නේ ඉතා දුෂ්කර අවස්ථාවකට මුහුණ දෙමිනි. රුසියාවට විරුද්ධව යුක්රේනය උසි ගැන්වූ බටහිර ඔවුන්ට අපේක්ෂා කළ කිසිදු සහායක් ලබා දුන්නේ නැත. ඒ වෙනුවට දැන් යුක්රේන ජනතාවට තම රට ආරක්ෂා කර ගැනීමට තමන්ටම ඉදිරිපත් විමට සිදුව ඇත. මේ වන විට යුක්රේනයේ ශක්තිය වී ඇත්තේ සාමාන්‍ය සිවිල් ජනතාවයි. යුද හමුදාව සමඟ එක්ව නගර ආරක්ෂා කර ගැනීමට වෙහෙස දරන සිවිල් ජනතාවට මුහුණ දීමේදී රුසියානු හමුදා ප්‍රබල තර්ජනයකට මුහුණ දෙමින් සිටී. එයට හේතුව සිවිල් ජනතාවට හානි සිදු නොවන සේ මෙහෙයුම් සිදු කිරීමට ඔවුන්ට ලැබී ඇති නියෝග ක්‍රියාත්මක කිරීමේ අපහසුවයි.
ඒ සියල්ල අතර යුක්රේන සිවිල් ජනතාව මේ වන විට තම ජිවිත නොසලකමින් රුසියානු හමුදාවන්ට මුහුණ දෙමින් සිටිති. යුද මෙහෙයුම් ඇරඹීමත් සමඟම ලක්ෂ ගණනින් යුක්රේන ජනතාව අසල්වැසි රටවලට පලා යද්දී, තවත් ලක්ෂ ගණන් යුක්රේන ජනතාව තම දේශය ආරක්ෂා කර ගැනීමට එක් වූහ.
ඔවුන් තම දෛනික ජීවිතයේ කටයුතු පසෙක දමමින් එකින් එක රුසියානු හමුදාව අතට පත් වන නගර ආරක්ෂා කර ගැනීමට උත්සාහ දරමින් සිටිති. ඒ අතර හැකිතාක් තම සාමාන්‍ය ජීවිතයේ අතපසු වූ සුවිශේෂ කාරණා ඉටු කර ගැනීමටත් උත්සාහ දරන්නේ ඔවුන් සාමාන්‍ය මිනිසුන්ම වන බැවිනි. ඔවුන් මේ වන විට යුක්රේන හමුදාව සතු විශාලම ශක්තිය බවට පත් වෙමින් තිබේ. මොහොතකට පෙර සාමාන්‍ය සන්සුන් රටක්, ඊළඟ මොහොතේ යුද බිමක් වීම ඛේදවාචකයකි. ඒ ඛේදවාකය විසින් බොහෝ ජීවිත අවුල් කර දැමූවද යුක්රේන ජනතාව සහ හමුදාව කෙසේ හෝ සටන් අතර තම සාමාන්‍ය ජීවිත ගෙවීමට ද උත්සාහ දරමින් සිටිති. ඔවුහු හැකිතාත් තම ජීවිතයේ විශේෂ අවස්ථා මේ යුද බිම මධ්‍යයේම සමරමින් සිටිති.
එවැනි වූ විශේෂ අවස්ථාවකට මුහුණ දුන් යුක්රේන ස්වේච්ඡා හමුදා සාමාජිකයන් දෙදෙනෙකු පිළිබඳව පසුගියදා යුක්රේන යුද බිමෙන් වාර්තා විය.
ලිසා ලැවිෂෙන්කෝ සහ වැලේරි ෆ්ලයිමොනෝව් යුක්රේන හමුදාවේ සාමාජිකයන් දෙදෙනෙකි. ඔවුන් ස්වේච්ඡා භටයන් ලෙස හමුදාවට එක්වී ඇත්තේ තම රට ආරක්ෂා කර ගැනීම වෙනුවෙනි.
යුද ගිනි දැල් ඇවිළී ගියද පෙර යොදා ගත් ලෙස තම විවාහය ද පැවැත්වීම අතපසු නොකළ මේ යුවළ, කිව් නගරය අසල හමුදා මුරපොළකදී පසුගිය ඉරිදා දිනයේදී විවාහ වූහ. එම අවස්ථාවට ඒ අවට සිටි සියලුම දෙනා අමුත්තන් ලෙස සහභාගී වූ අතර, කිව් නගරාධිපති හෙවිවේට් බොක්සිං ශූරයකු වන විටාලි ක්ලිෂ්කොව් ද මේ අවස්ථාවට සහභාගී වූයේය.
ඔහු මේ සරල විවාහ මංගල්‍යයේ ඡායාරූප අන්තර්ජාලයට එක් කරමින් පවසා සිටියේ, තත්ත්වය කෙබඳු වුවත් අප සතුටෙන් සිටින බවයි.
යුද ගැටුම් අතරතුර මංගල ඇඳුමෙන් සැරසීමට නොහැකි බැවින් මනාලිය වේලයකින් පමණක් සැරසී සිටි අතර මල් පොකුරක් අත දරා සිටියාය. අවට සිටි හමුදා සාමාජිකයන් සියලු දෙනාම ගිනි අවි සමඟ රෝස මල් අතින් ගෙන සිටිනු දැකගත හැකි විය.
මේ අවස්ථාවට සහභාගී වූ යුක්රේනයේ ප්‍රකට සංගීතඥයකු වන තරාස් කොම්පනිච්කෝ ‘බන්දුරා ’නමැති යුක්රේන සංගීත භාණ්ඩය වයමින් රැස්ව සිටි පිරිස පිනවීමට කටයුතු කර තිබිණි.
එක්සත් ජාතීන්ගේ සංවිධානය යුක්රේනයට සාමය ගෙන ඒමට සමත් වේවිද?
යුක්රේන භූමියේ සිදුවන රුසියානු හමුදා මෙහෙයුම් තුන්වැනි සතියට ද දිග ඇදෙමින් තිබේ. මේ වන විට යුක්රේන හමුදාව සමඟ එකතු වූ සාමාන්‍ය ජනතාව හැකි පමණින් තම නගර ආරක්ෂා කර ගැනීමට උත්සාහ දරමින් සිටිති. එහෙත් ඔවුන් බලපොරොත්තු වූ සහයක් බටහිර රටවලින් නොලැබෙන බව තහවුරු වී ඇති පසුබිමකය. යුක්රේන ජනාධිපතිවරයා අපේක්ෂා කළ පරිදි බටහිර රටවලින් හමුදා සහය යුක්රේනයට නොලැබුණු අතර හමුදා සහය ලබා දෙන ලෙස යුක්රේනය කළ ඉල්ලීම්වලට එම රටවලින් ලැබුණේ හාස්‍යජනක ප්‍රතිචාර බව පැවසිය හැකිය.
ඇතැම්විට ඒ රුසියාවට සම්බාධක පැනවීම, රුසියානු වෙබ් අඩවි තහනම් කිරීම, රුසියානු ජනාධිපති පුටින්ගේ ඉටි පිළිම කෞතුකාගාරවලින් ඉවත් කිරීම වැනි ප්‍රතික්‍රියා පිළිබඳව මිස ඉන් බැහැර යුක්රේනයට සැබවින්ම අවස්ථානුකූලව සහාය වන කිසිවක් ඇමරිකාව, බ්‍රිතාන්‍ය, ප්‍රංශය, ජර්මනිය වැනි රටවලින් ඉටු වනු දැක ගත හැකි වූයේ නැත.
ඇමෙරිකාව වරක් තමන් 3,000ක භට පිරිසක් යුක්රේනයට යැවීමට සූදානමින් තබා ඇතැයි පසුගිය පෙබරවාරියේදී පැවසුවද ඒ කිසිදු සහායක් මේ දක්වා යුක්රේනයට ලබා දී නොමැත. ඒ අතරම ප්‍රබල ගිනි අවි පෝලන්තය වෙත එවීමට සූදානමින් පසුවන බවට ඇමෙරිකාව මේ වන විට කිහිප වරක්ම නිවේදනය කර ඇත. එහෙත් එය මේ දක්වා ක්‍රියාවට නගා නොමැත. මේ වන විට යුක්රේන ජනාධීපතිවරයා ද බටහිර රටවලින් උපකාර ලැබේය යන බලාරොත්තුව හීන කර ගනිමින් සිටින බවක් පෙනී යයි.
ඒ කෙසේ වුවද පසුගිය සතියේදී රැස්වූ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය වහාම යුක්රේනයේ රුසියානු හමුදා මෙහෙයවීම්වලට විරෝධය පළ කිරීමේ යෝජනාවක සම්මත කර ගත්තේය.
එහිදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජික රටවල 193න් රටවල් 131ක් මේ යෝජනාවට පක්ෂව ඡන්දය ලබා දුන් අතර යෝජනාවට විරුද්ධව රුසියාව, බෙලරූස්, එරිත්‍රියාව සමඟ රටවල හයක් ඡන්දය ලබා දුන්නේය. රටවල් 35ක් ඡන්දය ලබා දීමෙන් වළකිමින් මධ්‍යස්ථ වූ අතර චීනය, ඉන්දියාව මෙන්ම ශ්‍රී ලංකාව ද එම රටවල් අතර විය.
එම යෝජනා සම්මත කර ගැනීමෙන් සතියක කාලයක් ගෙවී ගියද යුක්රේනයේ සිදු කෙරමින් පවතින රුසියානු හමුදා මෙහෙයුම් නවත්වා දැමීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය සමත් වී නොමැත. කෙසේ වුවද එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ වහාම හමුදා මෙහෙයුම් නවත්වන ලෙස නියම කිරීම සඳහා මීළඟ යෝජනාව සම්මත කර ගන්නා බවයි.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මේ ඉබි ගමනින් සිදුකෙරෙන යෝජනා සම්මත කර ගැනීම් යුක්රේනයට සැනසිල්ලක් ගෙන ඒමට අසමත් බවට සැක නැත. එසේ වුවද බටහිර රටවල් රුසියානු හමුදා මෙහෙයුම් සඳහා ප්‍රතිචාර දැක්වීමෙන් වැළකීම ලෝක යුද්ධමය තත්ත්වයක් මගහැරීමක් බව පැවසිය හැකිය.
යම් හෙයකින් යුරෝපා රටවල් යුක්රේනය බේරා ගැනීමට හමුදා එවීමට කටයුතු කළහොත් එවිට දෙවැනි ලෝක යුද්ධයේදී මෙන් රටවල් රාශියක් එකට ඈඳුණු යුදමය තත්ත්වයක් ඇතිවීම වළක්වාගත නොහැකි වනු ඇත. එහි අතුරු ප්‍රතිඵලය වනු ඇත්තේ සමස්ත ලෝකයම යළිත් ආර්ථික අර්බුදයකට ලක් වීමය.
එබැවින් එක්සත් ජාතීන්ගේ සංවිධානය හරහා යුක්රේනයට යම් සහායක් පළ කරමින් රුසියානු හමුදා වැළැක්වීමට බටහිර රටවල් දරමින් සිටින මේ උත්සාහය ලෝක මට්ටමින් යම් සුභදායී කරුණක් බව පැවසිය හැකිය. ඒ කෙසේ වුවද යුක්රේනය බටහිර සහ රුසියාව අතර මධ්‍යස්ථව සිටීම වළකමින් අනවශ්‍ය යුද්ධයක් දක්වා ගෙන යෑමට බටහිර රටවලින් මෙන්ම ඇමරිකාවෙන් ද යම් පෙලඹවීම් සිදුවූ බව අමතක කළ නොහැකිය.
ලෝක බලවතුන් අතර මේ සිදු කෙරෙන කඹ ඇදීම් හේතුවෙන් විනාශයට පත් වන්නේ යුක්රේනයේ අහිංසක ජනතාව බවට සැක නැත. දැනටමත් තම වාසස්ථාන අහිමිව, තම සාමාන්‍ය ජීවිතය අහිමිව යුක්රේන වැසියන් ගෙවමින් සිටින්නේ ඉතා පීඩිත කාලයක් බව අමුතුවෙන් නොකිව මනාය.
එබැවින්ම යුක්රේනයට යුක්රේනය ලෙස පැවතීමට රුසියාව මෙන්ම බටහිර ද කටයුතු කරන්නේ නම් එය ඉතා මානුෂවාදී තීරණයක් වනු ඇත.