යුක්රේන රුසියා යුද බිමේ සිදුවන ජනමාධ්‍ය යුද්ධය
විසි එක්වැනි සියවසේ දෙවැනි දශකයේ ප්‍රථම යුද්ධය ලෙසින් මේ වන විට රුසියා යුක්රේන යුද්ධය වාර්තා අතරට එක්ව ඇත. එහෙත් මේ යුද බිමේ අන් කිසිදු යුද බිමක නොදුටු යුද්ධයක් ද දැක ගත හැකිව තිබේ. ඒ, ජනමාධ්‍ය යුද්ධයයි. යුද බිමේදී ප්‍රථමයෙන්ම මිය යන්නේ සත්‍යය යැයි ප්‍රසිද්ධ කියමනක් තිබෙන අතර, එම කියමන අවස්ථා ගණනාවකදී මේ මිහිතලය මත සනාථ වී තිබේ. එහෙත් මෙවර යුද බිමට සමාජ මාධ්‍ය පැමිණ ඇති බැවින් යුද බිමෙන් පැමිණෙන තොරතුරුවලින් සත්‍ය සහ අසත්‍ය තෝරා බේරා ගත නොහැකි තත්ත්වයකට ලෝකය මුහුණ දෙමින් සිටී. සැබවින්ම මේ වන විට යුක්රේන යුද බිමේ දක්නට ලැබෙන්නේ පුවත් වාරණයක් නොව පුවත් පැටවු ගැසීමකි.
විශේෂයෙන්ම සමාජ මාධ්‍ය ඉතා හොඳින් භාවිත කරන යුක්රේන ජනතාව මේ අවස්ථාව ඉතා හොඳින් භාවිත කරමින් තම රටේ සිදු වෙමින් පවතින ආක්‍රමණය පිළිබඳව ලෝකය දැනුම්වත් කරමින් සිටී. ඔවුන් ඇතැම් අවස්ථාවලදී සමාජ මාධ්‍ය ඔස්සේ සජීවී දර්ශන පවා ප්‍රචාරය කරමින් රුසියා ආක්‍රමණය පිළිබඳ නිශ්චිත අදහසක් ලෝකය වෙත යැවීමට ප්‍රබල උත්සාහයක නිතර වෙමින් සිටිනු දක්නට ලැබේ.
යුක්රේනයට අඛණ්ඩව අන්තර්ජාල ආවරණය ලබා දීමට ලෝකයේ ලොකුම ධනවතා වන එලෝන් මස්ක් තීරණය කිරීමත් සමඟ කුමන තත්ත්වයක් යටතේ වුවද සෙසු ලෝකය සමඟ සබඳතා පවත්වා ගැනීමේ හැකියාව යුක්රේන ජනතාවට ලැබී තිබේ. රුසියානු හමුදා යුක්රේනය පිවිසීමත් සමඟ ඉන්ධන ඇතුළු බොහෝ අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල හිඟයක් යුක්රේනය තුළ උද්ගත වූ අතර, අන්තර්ජාල සබඳතා ද අවහිර වන්නට විය. එවිට වහාම යුක්රේන උප ජනාධිපතිවරයා එලෝන් මස්ක් ගේ ස්ටාර් ලින්ක් අන්තර්ජාල සේවාවේ සහාය තමාට ලබා දෙන ලෙස ඉල්ලා පණිවිඩ යැවීය. වහාම එයට සාර්ථක ප්‍රතිචාර ලබා දුන් එලෝන් මස්ක් යුක්රේනය පුරා ටර්මිනල් රාශියක් ක්‍රියාත්මක කරමින් අඛණ්ඩව එරටට අන්තර්ජාල සබඳතා ලබා දීමට කටයුතු යෙදුවේය. ඒ හේතුවෙන් යුක්රේන ජනතාවට බාධාවකින් තොරව අන්තර්ජාල සබඳතා පැවැත්වීමේ හැකියාව ලැබෙනු ඇතැයි විශ්වාස කෙරේ.
කෙසේ වුවත් මෙහිදී එලෝන් මස්ක් සිදු කර ඇත්තේ ව්‍යපාරික ගනුදෙනුවක් බවටත් තර්කයක් පැන නැඟී ඇත. විශේෂිතම කරුණ වන්නේ මේ වන විට අන්තර්ජාල සේවා භාවිත කරමින් යුක්රේන ජනතාව ලෝකයේ වැඩි දෙනාගේ අනුකම්පාව මෙන්ම අවධානය තමා වෙතට යොමු කර ගැනීමට සාර්ථක ලෙස කටයුතු කරමින් සිටීමයි.
ගැටලුව වන්නේ මෙලෙස යුක්රේන ජනතාව බෙදා හරිමින් සිටින තොරතුරු අතර ඇතැම් ඒවා ව්‍යෘජ බව තහවුරු වෙමින් පැවතීමයි. ඒ අතරට විනාශ කරන ලද යුද ටැංකි ආදිය සම්බන්ධ තොරතුරු ද ඇතුළත්ය. ඉතින් කවුරුන් කියන දේ විශ්වාස කළ යුතුද යන පැනය මේ වන විට සමස්ත ලෝක ජනතාව අතර මතුවෙමින් ඇත.
මේ අතර යුක්රේනයේ මාධ්‍ය ප්‍රචාරවලට ප්‍රතිචාර ලෙස රුසියාව තම ජාත්‍යන්තර සබඳතා ඉතා සාර්ථක ලෙස භාවිත කරමින් සිටී. රුසියාව තමන් සිදු කරමින් සිටින්නේ තම ආත්මාරක්ෂාව තර කර ගැනීම මිස කිසියම් දේශයකට හානියක් සිදු කිරීම නොවන බවට තහවුරු කිරීම සඳහා ලොව පුරා ජනතාව අතර සාර්ථක සන්නිවේදනයක් සිදු කරමින් සිටී. ඒ කෙසේ වුවත් යුක්රේනයේ බහුතරයක් සිවිල් ජනතාව රුසියානු හමුදාවන්ට එරෙහිව අවි අතට ගන්නා වාතාවරණයක් තුළ ලෝකයේ වැඩිදෙනාගේ අනුකම්පාව යුක්රේන ජනතාව වෙතට යොමු වීම වැළැක්විය හැකි දෙයක් නොවන තැනට පත්ව ඇති බව ද පෙනී යයි.
රුසියාවට පක්ෂව - 5 විරුද්ධව - 141 ඡන්දය දීමෙන් වැළකී - 35
ඉකුත් මාර්තු 3 වැනිදා එක්සත් ජාතීන්ගේ මහා සමුළුවට යුක්රේනයේ සිදු කෙරෙන රුසියානු හමුදා මෙහෙයුම් නවත්වා දැමිය යුතු බවට හදිසියේ යෝජනාවක් ඉදිරිපත් විය. එහිදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකයන් 193ක් අතරින් ඇමෙරිකාව, බ්‍රිතාන්‍යය ඇතුළු රටවල් 141ක් යෝජනාවට පක්ෂව ඡන්දය භාවිත කළ අතර, රුසියාව, බෙලරුස්, සිරියාව, උතුරු කොරියාව සහ එරිත්‍රියාව යන රටවල් රුසියාවට පක්ෂව ඡන්දය භාවිත කළහ. චීනය, ඉන්දියාව, ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 35ක් ඡන්දය දීමෙන් වැළකී සිටි අතර කියුබාව, රුසියාව සඳහා පක්ෂව අදහස් දැක්වුවද ඡන්දය ලබාදීමෙන් වැළකී සිටියහ. ඒ අනුව යුක්රේනයේ සිදු කෙරෙන රුසියානු හමුදා මෙහෙයුම් නවත්වා දැමිය යුතු බවට වන යෝජනාව එක්සත් ජාතීන්ගේ මහා සමුළුවේදී සම්මත වූ අතර, වර්ෂ 1997ට පසු මෙවැනි හදිසි ඡන්ද විමසීමක් සිදු කෙරුණු ප්‍රථම අවස්ථාව මෙය විය.
කිව් නගරය ඉලක්ක කර ගනිමින් රුසියානු හමුදා පෙරටම
ප්‍රබල රුසියානු හමුදාව මේ වන විට යුක්රේනයේ අගනුවරට ඉතා ආසන්නයේ හමුදා මෙහෙයුම් සිදු කරමින් සිටී. යුක්රේනයේ වැදගත් නගර කිහිපයක්ම රුසියානු හමුදා අතට පත්ව අවසන් වුවද කිව් නගරය අත්පත් කර ගැනීමට රුසියානු හමුදාවලට තවදුරටත් මෙහෙයුම්වල නිරත වීමට සිදුව තිබේ. එහෙත් ඔවුන් ඒ සඳහා තම උපරිම හමුදා බලය යොදනවාද යන ප්‍රශ්නය ද ඇසිය යුතුව තිබේ.
පසුගිය අඟහරුවාදා උදෑසන වන විට දකුණු යුක්රේනයේ ඉතා වැදගත් කේර්සන් නගරය රුසියානුවන් විසින් අත්පත් කර ගත් බව එම නගරයේ නගරාධිපතිවරයා තහවුරු කර සිටියේය. මේ ලියන මොහොත දක්වා රුසියානු හමුදාව විසින් අත්පත් කර ගත් වැදගත්ම නගරය ලෙස කේර්සන් දැක්විය හැකිය.
සටන් ආරම්භයේදී යුක්රේන අහස ගුගුරුවමින් යාත්‍රා කළ රුසියානු ගුවන් හමුදාවට අයත් යානා මේ වන විට දැක ගැනීමට හැකි වන්නේ ඉතා අවම වශයෙනි. රුසියානු හමුදාවන් ගුවන් බලය යෙදීම අවම කර ඇති බවක් ඉන් අදහස් කළ හැකිය. ගුවන් ප්‍රහාර මඟින් සිවිල් ජනතාවට වඩාත් වැඩි හානි සිදුවිය හැකි බැවින් මෙලෙස ගුවන් ප්‍රහාර එල්ල කිරීම සීමා කර ඇති බව සැලකිය හැකිය.
කේර්සන් නගරයේ නගරාධිපතිවරයා මාධ්‍යවලට පවසා තිබුණේ රුසියානු හමුදා නගරයට කඩා වැදී මේ වන විට එහි පාලනය ස්ථාපිත කර ඇති බවයි. නගර වැසියන්ට තම නිවෙස්වලින් පිටතට යෑම තහනම් කරමින් ඇඳිරි නීතිය පනවා ඇතැයි ද නගරාධිපතිවරයා වැඩිදුරටත් පවසා තිබිණි.
මෙලෙස රුසියානු හමුදාවල ඉදිරි ගමන සිදුවෙමින් පවතින අතර බලාපොරොත්තු වූ නේටෝ සහාය නොමැතිව වුවද රුසියානු හමුදාවලට කිසියම් තර්ජනයක් එල්ල කිරිමට යුක්රේන හමුදාවන් සමඟ එක්වූ සිවිල් වැසියන්ට හැකියාව ලැබී තිබේ.
සටන් ආරම්භ වී දින තුනක් ඉක්ම යෑමට පෙර රුසියාව සමඟ සාකච්ඡා කිරිමට යුක්රේනයෙන් ඉල්ලීමක් ඉදිරිපත් වූ අතර රුසියාව එම ඉල්ලිමට ධනාත්මක ප්‍රතිචාර දැක්වීය. එහි අවසන් ප්‍රතිඵලය වූයේ රුසියාව නියම කළ බෙලරූස් දේශසීමාවේ දී දෙරට සාකච්ඡා පැවැත්වීමය. එහෙත් එම සාකච්ඡාවලින් කිසිදු ප්‍රගතියක් අත් වූ බවට සඳහනක් දෙපාර්ශ්වයෙන්ම ලැබුණේ නැත. ඒ වෙනුවට තවත් සාකච්ඡා වට කිහිපයක් ඉදිරියේදී පැවැත්වෙනු ඇති බවට ඉඟි ලැබිණ. එහෙත් මේ දක්වා සටන් නම් ක්‍රියාත්මක වී තිබේ.
යුක්රේනය බලාපොරොත්තු වූ තරමේ සහයෝගය යුරෝපයෙන් සහ ඇමෙරිකාවෙන් නොලැබුණද මෙ රටවල් රුසියාවට සම්බාධක පැනවීමට කටයුතු කර තිබේ. එම සම්බාධක කෙරෙහි රුසියාව අල්ප අවධානයක් දැක්වූවද රුසියානු මුදල් ඒකකය වන රූබලයෙහි කිසියම් බිඳ වැටීමක් වාර්තා විය.
මේ අතර ජර්මනිය ඇතුළු රටවල් කිහිපයක්ම යුක්රේනයට යුද අවි සැපයීමට කටයුතු යෙදීය. ඩෙන්මාර්කය තම රටවැසියන්ට ස්වේච්ඡා භටයන් ලෙස යුක්රේනයේ සටනට දායක වීමට අවසර ලබා දෙමින්, එම අවසරය ලබා දුන් ප්‍රථම යුරෝපා රට බවට පත් විය. ජපානය ද රුසියාවට සම්බාධක පනවමින් යුක්රේන පාර්ශ්වය ගත් අතර ඒ සම්බන්ධව ජපානයට රුසියාවෙන් ප්‍රබල තර්ජන එල්ල විය. මේ වන විට ජපන් ජාතිකයන් 70 දෙනකු ස්වේච්ඡාවෙන් යුක්රේන යුද්ධයට සම්බන්ධ වී ඇතැයි ජපානය වාර්තා කර තිබුණි.
මේ සියල්ල අතර රුසියානු නායක ව්ලැඩිමීර් පුටින් තවමත් අනම්‍යව තම මතය අනුව කටයුතු කරමින් සිටී. ඔහු පවසන්නේ තම දේශයේ මායිමට තම සතුරාගේ තර්ජන එල්ල වූ බැවින් තමන් එය වැළැක්වීමට හමුදා මෙහෙයවූ බවයි.
මේ අතර යුක්රේන නායක ව්ලැදිමීර් සොලෙන්ස්කි ද ජනතාව බලාපොරොත්තු නොවූ අන්දමට මේ අර්බුදකාරී මොහොතේ තම ජනතාව අත් හැර නොයමින් ඔවුන් සමඟ රැඳෙමින් සිටී. ඇමෙරිකාව විසින් සොලෙන්ස්කි සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් මුදා ගැනීමට සූදානම් බව පැවසුවද සොලෙන්ස්කි යුද බිමට යමින් තම ජනතාව අතර සිටිමින් පවසා සිටියේ ගෙවී යන්නේ තම අවසන් මොහොත විය හැකි වුවද තමන් තම ජනතාව අත් හැර නොයන බවයි.
කෙසේ වුවද යුද විරෝධී ජනතාව ලෝකය පුරා රුසියාවට මෙන්ම යුක්රේනයට අනවශ්‍ය උගුලක් වෙත තල්ලු කළ නේටෝවට ද දොස් පවරමින් සිටිති.
යුක්රේන යුද්ධයෙන් විනාශ වූ ‘සිහිනය’
එය සමස්ත ලෝකයටම තිබුණු එම වර්ගයේ එකම ගුවන් යානය විය. එපමණක් ද නොව එය මුළු ලෝකයේම එකම ගුවන් යානය විය. එය යුක්රේනයේ නිෂ්පාදනයක් වූ අතර නම් කර තිබුණේ ‘මිර්යා’ යන නමිනි. යුක්රේන බසින් ‘මිර්යා’ යන්නෙහි අර්ථය වන්නේ ‘සිහිනය’ යනුයි. ‘සිහිනය’සැබවින්ම බොහෝ ගුවන් මගීන්ගේ සිහිනයක්ම වූයේ එක් වරක් හෝ මේ අපූර්ව යානයේ ගමන් කිරීමට බොහෝ දෙනෙකු තුළ වූ දැඩි ආශාව හේතුවෙනි. එහෙත් බොහෝ දෙනකු දුටු එම සිහිනය සිහිනයක්ම බවට පත් කරමින් මිර්යා යානය පසුගියදා යළි කිසිදා අහසට නොනඟින ලෙස විනාශයට පත් විය. ඒ මේ වන විට යුක්රේනය තුළ සිදු කෙරෙන රුසියානු හමුදා මෙහෙයුම් හේතුවෙනි.
යුක්රේන මාධ්‍ය ‘සිහිනය’ මිය ගිය බව වාර්තා කර තිබූ නමුත් විනාශ වූ යානයේ ඡායාරූප මේ දක්වා මාධ්‍ය වෙත නිකුත් කර නොතිබිණ.
ලෝකයේ විශෘලතම ගුවන් යානය හෙවත් ‘මිර්යා’ ඇන්ටිනොව් යානයේ දිග මීටර් 84කි. එක් වරකට ටොන් 250ක බරක් දරාගනිමින් පියාසර කළ හැකි මේ යානයේ උපරිම වේගය පැයට කිලෝමීටර් 850කි. යුක්රේන මාධ්‍ය පසුගිය ඉරිදා දිනයේදී වාර්තා කර සිටියේ මිර්යා ගුවන් යානය නවතා තිබූ කිව් අගනුවර අසල යුක්රේන ගුවන් හමුදාවට අයත් හොස්ටොමෙල් ගුවන් තොටුපොළේදී රුසියන් හමුදා එල්ල කළ ප්‍රහාර හේතුවෙන් දැඩි සේ හානියට පත්ව විනාශ වී ඇති බවයි. මේ යානයේ නිෂ්පාදිත නාමය ඇන්ටිනොව් 225 වේ. ශ්‍රී ලංකාවේ ද කලක් භාවිත කළ ඇන්ටිනොව් යානා නිෂ්පාදන කර්මාන්ත ශාලාව පිහිටා ඇත්තේ යුක්රේනයේය.
යුක්රේන සටනේදී මේ වන විට අහිමි වූ ජීවිත
- යුක්රේන මාධ්‍ය වාර්තා අනුව මේ වන විට මිය ගොස් ඇති යුක්රේන හමුදා සාමාජිකයන් සංඛ්‍යාව - 498කි
- තුවාල ලබා ඇති හමුදා සාමාජිකයන් සංඛ්‍යාව - 1597කි
- යුක්රේනය පවසන්නේ සිවිල් වැසියන් 2000කට අධික සංඛ්‍යාවක් ප්‍රහාර හේතුවෙන් මියගොස් ඇති බවයි.
- තවත් යුක්රේන වැසියන් 8,70,000ක් ආරක්ෂාව පතා වෙනත් රටවලට පලා ගොස් ඇති බව ප්‍රකාශිතය.
යුක්රේන රුසියා ගැටුම මැද තුන් පැත්තකට බෙදෙන ලෝකය
යුක්රේන රුසියා ගැටුම ආරම්භ වීමට පෙර සිටම ලෝකයේ බොහෝ රටවල් තම තමන්ගේ දේශපාලන ප්‍රතිපත්ති මෙන්ම යාළු මිත්‍රකම් අනුව ද දෙපාර්ශ්වයට සහයෝගය දක්වන්නට විය. යුක්රේනයට බලාපොරොත්තු වූ පරිදි හමුදා ආධාර ලබා නොදුන්නද ඇමෙරිකාව මෙන්ම යුරෝප රටවල් ද යුක්රේනයට සහයෝගය දක්වන්නට විය. චීනය රුසියාවට සහාය දැක්වීය. මෙලෙස ලෝක බලවතුන් තම තමන්ගේ දේශපාලන මතිමතාන්තර අනුව දෙපාර්ශ්වයෙන් තම තමන් කැමති පාර්ශ්වයන්ට සහාය දක්වද්දී ආසියාවේ බොහෝ රටවල් එක් පාර්ශ්වයකට හෝ සහාය නොදක්වමින් යුද්ධයක් ඇති වීම සම්බන්ධයෙන් කනගාටුව දක්වන්නට වූහ.
නේටෝ සංවිධානයේ සාමාජික රටවල් යුක්රේනය යුද්ධයක් කරා තල්ලු කළ බව මේ වන විට පැහැදිලිවම පෙනෙන්නට තිබේ. යුක්රේනයට නේටෝ සාමාජිකත්වය ලබා දෙන බවට ඉඟි කළ නමුත් මේ දක්වා ඔවුන් නේටෝ සාමාජිකත්වය යුක්රේනයට ලබා දී නොමැත. නේටෝ සාමාජිකත්වය යුක්රේනයට ලබා දුන්නේ නම් නේටෝ සාමාජික රටවලට යුද්ධයකදී ලබා දෙන හමුදා සහාය ලබා දීමට කටයුතු කළ යුතු වන බැවින් රුසියාව සමඟ යුද වැදීමට නේටෝ රටවලට සිදු වනු ඇත. එය සැබවින්ම ලෝක යුද්ධයකට මුල පිරීමකි. එහෙත් මේ අවස්ථාවේදී යුරෝපා රටවල් ඉතා සූක්ෂ්ම ලෙස කටයුතු කරමින් නේටෝ සාමාජිකත්වය යුක්රේනයට ලබා නොදෙමින් ඒ වෙනුවට අවි ආයුධ පමණක් ලබා දීමට කටයුතු කරමින් සිටී. මේ හේතුවෙන් රුසියාවට විරුද්ධව යුරෝපයට හෝයියා දැමූ යුක්රේනය අන්ත අසරණ වී සිටී. අවසානයේ ඔවුන්ට ඉතිරි වූයේ ඔවුන්ම පමණි.
ඇමෙරිකාව ද යුක්රේනයේ සහායට 3000කට භට පිරිසක් සීරුවෙන් තබා ඇතැයි පැවසුවද මේ දක්වා එකදු හමුදා සාමාජිකයකු යුක්රේනය වෙත එවීමට කටයුතු කර නැත. ඒ වෙනුවට ජෝ බයිඩන් ජනාධිපතිවරයා පවසා සිටියේ යුක්රේන ජනාධිපති ඇතුළු පිරිස මුදවා ගැනීමට කටයුතු කිරීමට සූදානම් බවයි. එහෙත් යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි ඉතා නිර්භීත ලෙස එම මැදිහත්වීම ප්‍රතික්ෂේප කරමින් සිටියේ මේ ගෙවී යන්නේ තමාගේ අවසන් මොහොත විය හැකි වුවද තමා තම රටේම, තම ජනතාව අතරම සිටින බවයි.
මේ අතර රුසියාවට පහර දීමට යුරෝපා රටවල් කටයුතු කළහොත් චීනය රුසියාවට සාහාය දෙන බවට ඉඟි දැක්වීය. එහෙත් මේ වන විට චීනය යුදමය ත්ත්වයන්හිදී දක්වන අපක්ෂපාතී නිහැඬියාව දිගින් දිගටම ආරක්ෂා කරමින් සිටින බව පෙනේ.
පසුගියදා රුසියාවේ යුක්රේන යුද මෙහෙයුම් සම්බන්ධව යුක්රේනය ඉදිරිපත් කළ යෝජනාව සාකච්ඡාවට ගැනීම වෙනුවෙන් හදිසියේ රැස්වූ ආරක්ෂක කවුන්සිලයේදී ද චීනය ගත්තේ මැදිහත් පිළිවෙතකි. එම ආරක්ෂක කවුන්සල රැස්වීමේදී යුක්රේනය ඉදිරිපත් කළ යෝජනාවට පක්ෂව ඡන්ද 11ක් ලැබුණු අතර, රුසියාව විපක්ෂව ඡන්දය භාවිත කළේය. විශේෂත්වය වූයේ එහිදී තුන්වැනි බලවේගයක් පිළිබඳව ඉඟියක් ලැබීමය. එනම් යෝජනාවට පක්ෂ හෝ විපක්ෂ වීමකින් තොරව ඡන්දය භාවිත කිරීමෙන් වැළකී සිටීමට රටවල් තුනක් කටයුතු කිරීමය. ඒ රටවල් තුන වූයේ චීනය, ඉන්දියාව සහ එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයයි.
මෙහිදී වැදගත්ම කරුණ වන්නේ මේ රටවල් තුන තමන්ටම ආවේණික හේතූන් මත මෙලෙස තුන්වැනි බලවේගයක් ගොඩ නැඟීමයි. විශේෂයෙන්ම ඉන්දියාව එහිදී ගත් තීරණය වඩාත් කැපී පෙනෙන සුළු විය. චීනය සහ ඉන්දියාව සැමවිටම එක්නෙකාට විරුද්ධ පිලේ සිට ගත් අතර රුසියාව සහ ඉන්දියාව අතර වූයේ මධ්‍යස්ථ සම්බන්ධයකි. ඇමෙරිකාව චීනයේ විරුද්ධවාදියා වන බැවින්ම ඉන්දියාවේ හිතවතා ද විය. එහෙත් මෙවර ඉන්දියාව ආරක්ෂක කවුන්සිල රැස්වීමේදී තම මිතුරා වන ඇමෙරිකාවට පක්ෂ වනවා වෙනුවට මධ්‍යස්ථව සිටීමේ දැඩි තීරණයක් ගෙන තිබිණි. වැඩි ඡන්ද දහයක් ලැබී තිබුණද රුසියාව සතු නිෂේධ බලය හේතුවෙන්ම යෝජනාව පරාජයට පත් විය.
කෙසේ වුවද ඉන්දියාවේ මධ්‍යස්ථ වීම රුසියාවට ලෝක නීතියට හිස නමන ලෙස කරන ලද ඉඟියක් ලෙසින්ද ඇතැම් මාධ්‍ය විග්‍රහ කර තිබෙනු දැක ගත හැකි විය.
මේ අන්දමින් යුක්රේන අර්බුදය පදනම් කර ගනිමින් ලෝකය මතවාද තුනකට බෙදී යෑම යහපත් ප්‍රවණතාවක් ලෙස දැකිය හැකිය. එහි යටිපෙළ වන්නේ කවුරුන් හෝ බලවතකුට පක්ෂපාතී වීමෙන් තොරව රටකට තමන්ගේ ස්වාධීන මතයක් දැරිමට හැකිනම් විය යුත්තේ ද එයම වන බවයි.
රුසියානු හමුදාවට එරෙහිව අවි ගත් යුක්රේනයේ මන්ත්‍රීවරිය
මේ වන විට යුක්රේනයෙන් ලැබෙන වාර්තා අනුව එරට කාන්තාවන් ද අවි දරමින් රුසියානු හමුදාවන්ට එරෙහිව සටනට එක්ව ඇත. ඒ අතරට රූ රුජිනන් මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් ද එක්ව ඇත්තේ දහස් ගණනක් සාමාන්‍ය වැසියන් සමඟ එක්වෙමිනි. යුක්රේන පාර්ලිමේන්තු මන්ත්‍රිනී කිරා රුඩිකා කල්නිකොව් වර්ගයේ ගිනි අවියක් අතින් දරා ගනිමින් පෙනී සිටි ඡායාරූප අන්තර්ජාලයේ ජනප්‍රිය වෙමින් තිබේ.
එහෙත් ඇය මෙන්ම හිටපු යුක්රේන රූ රැජින ද අවි දරා ගත් ඡායාරූප මිස ඔවුන් යුද බිමේ සිටින ඡායාරූප මාධ්‍ය වෙත නිකුත් කර නැත. එසේ වුවද ඔවුන්ගේ මේ ඡායාරූප දහස් ගණන් යුක්රේන ජනතාව මෙන්ම යුක්රේනයට හිතවාදී ජනතාව ද ධෛර්යමත් කිරීමට සමත් වී ඇති බව කිව යුතුය.