පකිස්තානය තවත් දේශපාලන අර්බුදයක් අබියස සිටින්නේය. පිරිසුදු දේශපාලනයක නිතරවීම වෙනුවෙන් ප්‍රතිඥා දෙමින් බලයට පැමිණි අගමැති ඉම්රාන් ඛාන්ට නොසිතූ අභියෝග රැසකට මුහුණ දීමට සිදුවී ඇත.
පකිස්තානය බිහි වන්නේ මුස්ලිම් ජාතිකයන් වෙනුවෙනි. ඒ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ අවශ්‍යතාවටය. පකිස්තානය බිහි වන මොහොතේ ලක්ෂ ගණනක් ජනතාවගේ ලෙයින් ඉන්දු - පකිස්තාන් භූමිය තෙත්ව ගියේය. අදටත් නොවිසඳී වරින්වර ලේ වගුරන කාෂ්මීරය ද තවමත් නොවිසඳුණු ගැටලුවකි. එය උද්ගත වූයේ ද ඉන්දු - පකිස්තාන් වෙන්වීමේදීය.
බෙදී වෙන්වූ යුගයේ පකිස්තානය සෞභාග්‍ය සම්පන්න රටක් විය. ඉන්දියාව සමඟ කරටකර තරගයක නිරත වූ පකිස්තානය වරක් න්‍යෂ්ටික බලය අත්පත් කර ගැනීම අබියසටම පැමිණියේය. අභ්‍යවකාශ තරණය කිරීමේ උත්සාහයක් පවා දැරීමට තරම් ඉදිරිගාමී වූ පකිස්තානය ඉන්දියාව සමඟ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ නිෂේධ බලය තමන්ට ද ලැබිය යුතු බවට කේවල් කිරීමට තරම් ශක්තිමත් රටක් ලෙස පැවති යුගයක් විය.
අවාසනාවකට මෙන් පකිස්තානයේ එම ස්වර්ණමය යුගය අදින් දශක දෙකකට පමණ පෙර ඇරඹී ක්‍රමයෙන් අවසන් විය. එසේ වීමට හේතුව වූයේ ද පකිස්තානයේ බලය හිමි කරගත් අවස්ථාවදී පාලකයන්ගේ පාලනය වූ නමුදු පකිස්තානය මැදි වූ ලෝක බලවතුන්ගේ ක්‍රියාකාරකම් ද අමතක කර දැමිය නොහැකිය.
පකිස්තානය යනු හමුදා කුමන්ත්‍රණ, බලය පැහැරගැනීම් මෙන්ම රාජ්‍ය නායකයන් ඝාතනය කිරීම්වල නිමක් නොවන රටකි. පකිස්තානයේ පාලන ඉතිහාසය බලන විට පෙනී යන්නේ එරට ආරම්භක පාලකයන්ට හිමිවූ වසර කිහිපයක කාලය හැර සෙසු සමස්ත කාලය ඉතා ගැහැට මැද පාලනය කිරීමට සෙසු පාලකයන්ට සිදුවු බවයි.
එරට අගමැති ධූරය දරමින් සිටියදී ඝාතනය වූ අගමැති සියා උල් හක් මෙන්ම බෙනාසීර් භූතෝ ද අමතක කර දැමුවහොත් තම පාලන කාලය සාමකාමීව ගෙන යෑමට සමත් වූයේ පර්වේස් මුෂාරාෆ් පමණක් යැයි කිව හැකි තරම්ය. ඔහු බලයට පැමිණියේ ද හමුදා කුමන්ත්‍රණයකින් බවත් එම හමුදා කුමන්ත්‍රණය පිටුපස අැමරිකාව සිටි බවත් අමතක කළ නොහැකිය. කෙසේ වුවද ඇෆ්ගනිස්තානය ආක්‍රමණය කළ අමෙරිකාවට සියලු සේවා පකිස්තානයෙන් සැපයුණූ අතර පකිස්තාන ආර්ථිකය ද ගැටලුවකින් තොරව මේ යුගයේදී පැවතිණ. එහෙත් මුෂාරාෆ්ගේ බලය සදාකාලික නොවූ අතර එයින් පසු බලයට පැමිණි බොහෝ පාලකයන් පකිස්තානය ගොඩනඟනු වෙනුවට තමතමන් ගොඩනැඟෙන්නට කටයුතු කළහ. ඒ හේතුවෙන් බොහෝ විට පකිස්තානයේ අස්ථාවර පාලන තන්ත්‍රයන් ගොඩනැඟුණු අතර සම්පූර්ණ ධූර කාලය නිම කිරීමට බොහෝ අගමැතිවරුන්ට නොහැකි විය. ඇතැමුන්ට දූෂණ චෝදනා එල්ල වූ අතර නවාස් ෂරීෆ් වැනි හිටපු අගමැතිවරුන්ට දූෂණ චෝදනා මත සිරගත වීමට ද සිදුවිය.
අගමැති ඉම්රාන් ඛාන් බලයට පැමිණෙන්නේ මෙවන් වූ පසුබිමක බිමටම සමතලා වූ පකිස්තානයකය. ඉම්රාන් ඛාන් ලෝක ප්‍රසිද්ධ ක්‍රිකට් ක්‍රීඩකයකුගේ සිට දේශපාලනඥයකු දක්වා විතැන් වීමේදී ඔහු එවකට පකිස්තානයේ පැවති ප්‍රධාන පක්ෂ දෙකෙන් එකකට හෝ දායක වූයේ නැත. ඒ වෙනුවට ඔහු ඔහුගේම දේශපාලන පක්ෂයක් ගොඩ නගා ගත්තේය. තෙරීක් - ඉ - ඉන්සාෆ් නම් වන එම පක්ෂයට ඔහු ඇතුළත් කර ගත්තේ තම මතයට අනුව කටයුතු කිරීමට කැමති දේශපාලනඥයන්ය. තට්ටු මාරු දේශපාලන ක්‍රමවේදය තුළ ප්‍රධාන පක්ෂ දෙකෙන්ම බිහිවූ පාලකයන් දූෂිතයන් වන විට විකල්ප නොමැති වූ පකිස්තාන ජනතාව අලුත්ම අදහස්වලින් සන්නද්ධ වූ ඉම්රාන් ඛාන් වෙත හැරුණේ බලාපොරොත්තු දල්වා ගනිමිනි. එය බොහෝ සුබවාදී වූයේ ඉම්රාන් ඛාන් තුළ පකිස්තානය ගොඩ නැඟීමට සැබෑ හැඟීමක් පවතින බව පෙණුනු බැවිනි. ඔහුට චීන සහාය නොඅඩුව හිමිවූ නමුත් කළ යුත්තේ කුමක්ද යන්න පිළිබඳ පැහැදිලි අදහසක් ඉම්රාන් තුළ පවතින බව පෙනෙන්නට විය. ඔහු බලයට පත් වන විට පැවති දරුණු ආර්ථීක අර්බුදයෙන් ගොඩ ඒමට ඉම්රාන් ගත් උත්සාහය සහ එහිදී ඔහු කළ කැපකිරීම්, පාර්ලිමේන්තු සාමාජිකයන්ට කිරීමට නියෝග කළ කැපකිරීම් පකිස්තානුවටන් අමතක විය යුතු නැත. ඒ සියල්ල පෞද්ගලික වාසිය සැලකීමෙන් තොර නායකයකුගේ ලක්ෂණ සේ ගත හැකිය. එහෙත් දූෂිත දේශපාලනයෙන් මිදීමට ඉම්රාන් ඛාන්ට ද නොහැකි වී ඇති බව පෙනෙන්නේ ඔහුට එල්ල වී ඇති විශ්වාසභංග චෝදනා දෙස බැලීමේදීය.
2018 වසරේදී බලයට පැමිණි ඉම්රාන්ට පාර්ලිමේන්තු බහුතරය හිමි විය. එදා ඔහුත් සමඟ රට ගොඩනැඟීමට ධෛර්යයෙන් කටයුතු කළ ඔහුගේම පක්ෂයේ සාමාජිකයෝ අද විපක්ෂයට එක් වී ඇත්තේ ඉම්රාන් ඛාන්ට විශ්වාස භංග චෝදනා එල්ල කරමිනි. මේ වන විට ආණ්ඩු පක්ෂයේ පිරිසක් විරුද්ධ පක්ෂයට සහය දක්වා ඇති අතර විශ්වාස භංගයෙන් ජය ගැනීමට අවශ්‍ය කරන ඡන්ද සංඛ්‍යාව මේ මොහොත වන විටද ඉම්රාන් ඛාන්ට අහිමිව තිබේ.
පකිස්තාන පාර්ලිමේන්තුවේ සමස්ත ආසන 342න් විශ්වාස භංගය ජය ගැනීමට අවම ඡන්ද 172ක් අවශ්‍ය වන අතර මේ වන විටත් ඉම්රාන් ඛාන්ගේ පක්ෂයෙන් 24 දෙනකු විපක්ෂයට සහාය දක්වන බව දන්වා තිබේ. ඒ අනුව මේ සතිඅන්තය වන විට බොහෝ දුරට පකිස්තානයට අලුත් අගමැතිවරයකු ලැබීමට නියමිතය.
සියල්ල මෙසේ සිදුවන අතර පකිස්තාන මුස්ලිම් ලීගයේ නවාස් පිල තමන් මීළඟ ආණ්ඩුව පිහිටුවන බව පවසා තිබේ. එම පිලේ නායක ෂෙබාස් ශරීෆ් මීළඟ අගමැතිවරයා ලෙස නම් කරන බව එම පක්ෂය මේ වන විටත් පකිස්තාන ජනතාවට දන්වා තිබේ. විපක්ෂයේ සෙසු පක්ෂ කිහිපයක් ද අදහස් දක්වමින් පවසා ඇත්තේ තමන් ද ෂෙබාස් ශරීෆ්ට සහාය දක්වන බවයි.
සියල්ල මෙසේ වන විට බොහෝ දුරට මේ විශ්වාස භංගය සමඟින් ඉම්රාන් ඛාන්ගේ අගමැති ඉනිම එසේ අවසන් වීමට ඉඩ තිබේ. එහෙත් එසේ වූ පමණින් ඔහුගේ දේශපාලන ඉනිම අවසන් වනු ඇතැයි කිසිසේත් අවතක්සේරු නොකළ යුතුය. මන්ද යත් ඉම්රාන් ඛාන් යනු ජය මෙන්ම පරාජය ද එකසේ ධෛර්යයෙන් යුතුව දරා ගත හැකි ඉතා විශ්වාසදායී මනසක් ඇති පුද්ගලයකු බව ලොවම ඉදිරියේ බොහෝ වාරයක් ඔහුම තහවුරු කර ඇති බැවිනි.