ට්‍රම්ප් නීතිඥයන් අලුත් කරයි
ජනාධිපති ධූරයෙන් සමුගෙන ගියද ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව කොංග්‍රසයට ඉදිරිපත් වූ දෙවැනි දෝෂාභියෝගය තවමත් අවසන් වී නැහැ.
බයිඩ්න්ගේ වැඩ බාර ගැනීම සහ නව පත්වීම් හේතුවෙන් එය විභාගයට ගැනීම තරමක් කල් ගත වූවත් ඉදිරියේදී එය සෙනෙට් මණ්ඩලය විසින් විභාගයට ගැනීමට නියමිතයි. දැන් වාර්තා වී තිබෙන්නේ මේ දෝෂාභියෝගයට මුහුණ දීම සඳහා හිටපු ජනාධිපති ට්‍රම්ප් නව නීතිඥයන් දෙදෙනෙකු නම් කර ඇති බවයි.
ඔහු පසුගිය ඉරිදා මේ බව දැනුම් දුන් අතර ඒ අනුව නීතිඥ ඩේවිඩ් ෂොයෙන් සහ නීතිඥ බෲස් කැස්ටෝර් ලබන 9වැනිදා සිට සෙනෙට් මණ්ඩලය හමුවේ විභාග වන ට්‍රම්ප්ගේ දෝෂාභියෝගයේදී ඔහු වෙනුවෙන් පෙනී සිටීමට නියමිතයි.
මෙක්සිකෝ මායිමේ මළ සිරුරු 19ක්
ඇමරිකාව සහ මෙක්සිකෝව වෙන් වන දේශසීමාව අසල පසුගියදා මළ සිරුරු 19ක් හමුවී තිබේ. මේ පුද්ගලයන් වෙඩි තබා මරා දමා පසුව සිරුරු පුළුස්සා ඇති බව වාර්තා වේ.
මෙලෙස මියගොස් සිටි පුද්ගලයන් අතරින් හතර දෙනෙකු පසුගියදා හඳුනා ගැනුණු අතර ඒ අතරින් දෙදෙනකු ගෝතමාලා වැසියන් බවත්, දෙදෙනෙකු මෙක්සිකානු වැසියන් බවත් ඩීඑන්ඒ පරීක්ෂණ මගින් තහවුරු කර තිබේ. මේ පුද්ගලයන් ඇමරිකානු දේශසීමාව තරණය කරමින් එරටට ඇතුළු වීමට උත්සාහ දරා ඇතැයි සැක පළ වී තිබේ.
මෙක්සිකෝ මායිම හරහා සරණාගතයන් ඇමරිකාවට ඇතුළු වීම ඇමරිකාවට විශාල ගැටලුවක් වූ අතර ට්‍රම්ප් පාලනයේ ප්‍රධාන පොරොන්දුවක් වූයේද මෙලෙස සරණාගතයන් පිවිසීම පාලනය කිරීමයි. ඒ අනුව මෙක්සිකෝ මායිම හරහා තාප්පයක් ඉදි කිරීමට ට්‍රම්ප් පාලනය කටයුතු යෙදීය.
කෙසේ වුවද ජෝ බයිඩ්න් ජනාධිපති වීමත් සමඟ සරණාගතයන් යළිත් ඇමරිකාවට ඇතුළු වීමට උත්සාහ දැරීමේදී මෙවන් සිදුවීමක් සිදුවූ බවට අනුමාන කළ හැකිය. එහෙත් ඔවුන් මරා දැමුවේ කවුද යන්නට තවමත් පිළිතුරු ලැබී නැත.
පාළු දූපතක චිත්‍රපට බලන නර්ස් නෝනා
අයැදුම්කරුවන් 12 000ක් පරදවමින් පාළු දුපතක තනිවම හිඳ ගුතෙන්බර්ග් සිනමා උළෙලේ තිරගත වන සියලු සිනමාපට නැරඹීමේ අවස්ථාව ස්වීඩන හෙදියක විසින් දිනා තිබේ. ඇය ලිසා එන්රෝත් නම් වන බව සඳහන්ය.
ස්වීඩන් වෙරළ පෙනෙන නොපෙනන දුරින් මේ පාළු දූපත පිහිටා ඇති අතර එහි ප්රදීපාගාරයක්ද පිහිටා තිබේ. මේ සිනමා පට සියල්ල නැරඹීම සඳහා ඇයට ලැබෙනුයේ සතියක කාලයක් පමණි. දූපතේ සිනමා ශාලාවක් නොමැති අතර ඇයට ලබා දෙන පහසුකමින් යුත් නිවස්නයේ ඔන්ලයින් ක්‍රමයට මේ සිනමාපට නැරඹීමේ පහසුකම් ඇයට ලබා දී තිබේ.
නවල්නිට අවුරුදු තුනහමාරක සිරදඬුවම්
දැනට අත්අඩංගුවේ පසුවන රුසියානු විරුද්ධ පක්ෂ දේශපාලනඥ ඇලෙක්සි නවල්නිට වසර තුනහමාරක සිර දඬුවමක් මොස්කව් දිස්ත්‍රික් උසාවිය විසින් නියම කර තිබේ.
පසුගිය ජනවාරි මස මැද භාගයේදී ඇලෙක්සි නවල්නි අත්අඩංගුවට පත් වූයේ විෂ ශරීර ගත වීම හේතුවෙන් ජර්මනියේ ප්‍රතිකාර ලබමින් සිට යළි සිය රට බලා පැමිණි අවස්ථාවේදීය.
මේ සිදුවීම් සම්බන්ධව පුටින් පාලනය දිගින් දිගටම දෝෂාරෝපනයට ලක් වෙමින් පවතින අතර, රුසියානු රජය විසින් ඒ චෝදනා ප්‍රතික්ෂේප කරමින් තිබේ.
මේ වන විටත් යුරෝපා සංගමය සහ ඇමරිකාව නවල්නි නිදහස් කරන ලෙස රුසියානු රජයෙන් ඉල්ලා තිබේ.
අවුරුදු සීයේ වීරයා කොවිඩ්වලට පැරදෙයි
ලොව එක් පුද්ගලයකු විසින් ලබා දුන් වැඩිම ආධාර මුදල වාර්තා කළ කපිතාන් මෝර් කොවිඩ් ආසාදනය වීම හේතුවෙන් පසුගියදා ජීවිතයෙන් සමු ගත්තේය. මිය යන විට ජීවිතයේ සියවැනි සැතපුම් කණුව පසු කර සිටි කපිතාන් මෝර් බ්‍රිතාන්‍ය පුරා ප්‍රසිද්ධියට පත්ව සිටියේ ගතින් වියපත් වුවද සිතින් ඉතා ජවසම්පන්න තරුණයකු වශයෙනි.
ඔහු බ්‍රිතාන්‍ය ජාතික සෞඛ්‍ය සේවයට ආධාර වශයෙන් පවුම් මිලියන 33ක් පරිත්‍යාග කර සිටියේ ලොව එක් පුද්ගලයකු විසින් ලබා දුන් විශාලතම ධන පරිත්‍යාගය වාර්තා කරමිනි. ඒ මුදල ලබා ගැනීම වෙනුවෙන් ඔහු අවුරුදු සියය සපුරා සිටියද තම ගෙවත්ත වටා වට සියයක් ගමන් කළේය. ඔහුගේ මේ ධෛර්යවන්ත ක්‍රියාව වෙනුවෙන් බොහෝ දෙනා ඔහුට තම ධනය පරිත්‍යාග කළ අතර ඔහු ඒ මුදල් සියල්ල බ්‍රිතාන්‍ය ජාතික සෞඛ්‍ය සේවයට ලබා දුන්නේය. කොවිඩ් ආසාදිතව බ්‍රිතාන්‍යයේ බෙඩ්ෆෝඩ් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කපිතාන් මෝර් පසුගිය ඉරිදා ස්වකීය ජීවිතයෙන් සමු ගත්තේය.