(දෙසැ. 13 වැනිදාට යෙදෙන ක්ලැරන්ස් විජේවර්ධනයන්ගේ 23 වැනි අනුස්මරණය නිමිත්තෙනි)
නුගේගොඩ, උඩහමුල්ලේ, තලපත්පිටිය පාරේ 7/16 දරන ක්ලැරන්ස් විජේවර්ධනගේ නිවසින් නික්මුණු ඔහුගේ රිය ඇඹුල්දෙණිය හන්දියට ළඟා වෙමින් තිබුණි. රිය පැදවුයේ ද ක්ලැරන්ස්ම ය. අසල ඉදිරි අසුනේ සිටියේ ඔහුගේ සිඟිති දියණිය අමිලා ය. පසුපස අසුනේ මම සිටියෙමි. වැස්සකුත් වැටුණා මෙන් මට මතකය. වේගයෙන් ඇදුණු රිය ඉද්ද ගැසුවාක් මෙන් එකවරම නැවතුණි. ක්ලැරන්ස් බස් නැවතුමේ සිටි කාටදෝ අතින් සන් කළේය. රිය වෙත ආවේ පොලිස් නිලධාරියෙකි. පැති වීදුරුව පහත් කොට ක්ලැරන්ස් ඔහුට කීවේ රියට නගින ලෙස ය. ඔහු රියට නැගුණේය. මිරිහාන පොලීසිය ළඟ රිය නැවතූ විට ඒ දක්වා යම් යම් දේ කතා කරමින් සිටි පොලිස් නිලධාරියා ක්ලැරන්ස්ට තුති පුදා රියෙන් බැස ගියේය. එතෙක් මා මෙන්ම නිහඬව සිටි සිඟිති අමිලා ඊළඟ විනාඩියේදීම නිහඬතාවය බින්දාය.
“ඇයි තාත්ති අපි එයාව ගෙනාවේ...?”
සිඟිති අමිලාගේ ප්‍රශ්නය එය විය. ක්ලැරන්ස් සිනා සුණේය. සිනාසී ඉතා දයාබර ස්වරයකින් මෙසේ පිළිතුරු දුන්නේය.
“ ඇයි දුවට මතක නැද්ද දවසක් අපේ වාහනේ පාරෙ නතර වුණු වෙලාවෙ වාහනේ තල්ලු කරලා දීල අපට උදව් කළේ ඒ පොලිස් අන්කල්නෙ. අපට පුංචි උදව්වක් කරපු කෙනෙක් වුණත් අපි අමතක කරන්න හොඳ නෑ. තේරුණාද දුව” ඒකයි මම එයාව එක්ක ආවේ. ..
ආදරණීය විලාසයෙන් සිඟිති දුවගේ මනසට කාවදින පරිදි ක්ලැරන්ස් එසේ කී අයුරු අදටත් මට මතකය. ක්ලැරන්ස් විජේවර්ධන නමැති පුද්ගලයා තුළ තිබූ කෘතවේදී ගුණංගය විදහා පෑමට මෙවන් උදාහරණ ඕනෑ තරම් දැක්විය හැකිය. සිය මුල්ම තනි ගීතය වූ ‘දිලීප පොඩි පුතු සනීපයට නිදි’ ගීතය පසු කාලයක වෙනත් තැටි - පටි නිෂ්පාදන සඳහා ගයද්දී ඒ හැම විට ම එහි නිබන්ධක කරුණාරත්න අබේසේකර ශූරීන් හමු වී අවසර ගෙන ‘කරු’ අයියාට උපරිම යුතුකම් ඉටු කරන්නට ක්ලැරන්ස් අමතක කළේ නැත.
තමන් දරන ස්ථාවරයෙන් වාසිය තකා වෙනස් කිරීම හා සුදුස්සා සුදුසු තැනට නොයෙදවීම වර්තමානයේ දේශපාලනයේ පමණක් නොව කලාවේද සුලබ දුගුණ වෙයි. ක්ලැරන්ස් තුළ එ් දුගුණ තිබුණේ නැත. සංගීත අධ්‍යක්ෂණය කරන්නට ඔහුට ලැබුණු ප්‍රථම චිත්‍රපටය එච්.සී. ප්‍රේමරත්න අධ්‍යක්ෂණය කළ ‘සිකුරු ලියා, ධර්මසිරි ගමගේ ශූරීන් ලියා ජේ.ඒ. මිල්ටන් පෙරේරා ගැයූ ක්ලැරන්ස් සංගීතවත් කළ ‘සිකුරුලියා ගීය එහි ජීවය වැනි ය. එහෙත් ක්ලැරන්ස් එ් ගීය හදා මිල්ටන් ලවා ගායනා කරවීම ගැන අධ්‍යක්ෂ හා නිෂ්පාදකයන් කැමති වූයේ නැත. එයට අමරදේවයන් යොදවන ලෙස ඔවුහු කීහ. ක්ලැරන්ස් ඊට එකඟ නොවු අතර ඉන් පසු ඔවුන් කීවේ වික්ටර් රත්නායකයන් ලවා ගායනා කරවන ලෙසයි. තමන්ට ලැබුණු මුල් ම චිත්‍රපටය අහිමි වී ගියත් කම් නැතැයි සිතූ ක්ලැරන්ස් තම ස්ථාවරය වෙනස් නොකළේය. එම ගීතය මිල්ටන්ම ගායනා කළ යුතු බව ඔහු දැඩිව පැවසීය. අවසානයේ ඔහුට අභියෝගයක් ලැබුණි. එනම් එය මිල්ටන් ලවා ගායනා කරවා පෙන්වන ලෙසයි. දීර්ඝ කතාවක් තවත් කෙටියෙන් කියනවා නම් ක්ලැරන්ස්ගේ ඇරයුමින් කෙලින්ම ශබ්දාගාරයට පැමිණි මිල්ටන් එක වරකින්ම (one take) සියල්ලන් විස්මිත කරමින් අතිසාර්ථක ලෙස ගීතය ගායනා කළ අතර මුලින් ‘මිල්ටන් එපා’ කීම ගැන අධ්‍යක්ෂ හා නිෂ්පාදක පිරිසට ක්ලැරන්ස්ගෙන් සමාව ඉල්ලන්නට සිදු විය. වරක් භාරතීය මහා සංගීතවේදී නෞෂාඩ්ට මිල්ටන් එම ගීතය අසන්නට සැලැස්වූ අතර ගීතය ඇසූ නෞෂාඩ් එ් සංගීත නිර්මාණය ගැන මවිත වී “අහා කවු්ද මේ දක්ෂයා?..” යනුවෙන් විමසමින් යළි යළිත් එය ශ්‍රවණය කර ඇත. ජේ.ඒ. මිල්ටන් පෙරේරා ඉන්දියාවේ සිට පැමිණ ක්ලැරන්ස්ට ඒ බව කී විට ක්ලැරන්ස් සුපුරුදු ලැජ්ජාශීලී නිහතමානී සිනහවෙන් එය පිළිගත්තා පමණි. ඒ ඔහුගේ හැටිය. විචාරකයන්ගේ විවේචනවලින් ඔහු සැලුණේ නැත. 1986 මාර්තු 15 වැනිදා ‘සත්සර’ සංගීත පුවත්පත වෙනුවෙන් මා ඔහු සමඟ කළ සම්මුඛ සාකච්ඡාවකදී ‘ප්‍රබුද්ධ’ යනුවෙන් හඳුන්වන ගායක ගායිකාවන් ගැන ඔහු දරන මතය කුමක්දැයි මම ඇසුවෙමි. ක්ලැරන්ස් මෙසේ පිළිතුරු දුන්නේය.
“එවැනි දේ ගැන මම සිත වෙහෙසන්නේ නෑ. ඒ අයගේ ශෛලියට ඒ අය සින්දු කියනවා. මගේ ශෛලියට මම සින්දු කියනවා. සංගීතය විශ්ව භාෂාවක්. ඉතින් කොහොමද පුබුද්ධ - අප්‍රබුද්ධ කියල බෙදන්නේ. ඔය පුබුද්ධ කියන අය තබ්ලා / සිතාර් යොදාගෙන ගයන ගීතම වේදිකාවලට නැගී ගිටාර් හා ඩ්‍රම්ස් වාදන අනුව ගායනා කරනවා. එයින්ම ඔප්පු වෙනවා නේද සංගීතය එකක්ම බව..”
“ප්‍රබුද්ධ” යයි කියා ගන්නා ගායකයෙක් ඔබේ ගීතවලින් භාව ප්‍රකෝප වන බවට චෝදනා කළා නේද? යනුවෙන් ඊළඟට ක්ලැරන්ස්ගෙන් ප්‍රශ්න කළෙමි. ඔහුගේ ක්ෂණික පිළිතුර මෙසේ විය.
“අයියෝ. ඔය අර්ථශුන්‍ය විවේචන මම ගණන් ගන්නේ නෑ. මොකද මගේ ශෛලීය අගය කරන විශාල රසික පරපුරක් ඉන්න බව මම දන්නා නිසා...
සැබැවින්ම සිය රසික පරපුර කෙරෙහි ක්ලැරන්ස් විජේවර්ධන තුළ තිබූ ‘විශ්වාසය’ විශාල ය. ඔහුගේ අකල් මරණයෙන් විසිතුන් වසරක් ගෙවී යද්දී අන්තර්ජාලයේ ඔහුගේ නිර්මාණ අගය කරන කිසිදා ඔහු ජීවමානව නොදුටු නව පරපුරක් බිහි වී ඇත. එය සතුටට කරුණකි.
1943 අගෝස්තු 3 වැනිදා හපුතලේදී දොස්තර ආතර් ජෝර්ජ් පෙරේරා සහ සෝමා ටිකිරිහාමි ඒකනායක යුවළගේ පුතකු ලෙස මෙලොවට පැමිණ 1996 දෙසැම්බර් 13 වැනිදා මොලොව හැර යන තුරු නිර්මානකරණය අත් නොහළ ක්ලැරන්ස් විජේවර්ධන එම කෙටි ජීවිත කාලය තුළ අනාගතයේ යුග ගණනකට සරිලන රස පූර්ණ නිර්මාණයන් බිහි කළේය. වර්තමානයේ දක්ෂතම ගායක සංගීතවේදියෙකු වන කසුන් කල්හාර මෙලෙස ඔහු අගයන්නේ එබැවිනි.
“ක්ලැරන්ස් විජේවර්ධන කියන සංගීතවේදියා අපේ සංගීත ක්ෂේත්‍රයට එදා බිහි නොවුණා නම් මේ ක්ෂේත්‍රයේ විශාල හිස් තැනක් පවතින්න ඉඩ තිබුණා. එදා සීමිත පහසුකම් තුළ ඉදිරිය බලා ඔහු කළ නිර්මාණ අද අපේ ගමනටත් ආලෝකයක්...”
“සසර ගෙවා යන දිගු ගමනේ
යොවුන් වියේ විසිතුරු අරණේ..”
සිඩ්නි චන්ද්‍රසේකරගේ ‘නිදිකුම්බා මල්’ ටෙලිනාට්‍යයේ ක්ලැරන්ස් ලියා සංගීතවත් කළ මෙම තේමා ගීය තුළින් සිඩ්නි විසින් පණ්ඩිත් අමරදේවයන් හා ක්ලැරන්ස් එක් කරනු ලැබීය. ක්ලැරන්ස් විජේවර්ධන වැනි ප්‍රතිභා සම්පන්න නවීනයකුගේ සංගීත නිර්මාණයකට අනුව ගයන්නට ලැබීම භාග්‍යයක් බව අමරදේවයන් මාධ්‍යයට පැවසුවේ සොම්නසිනි. එය තමන්ට ලැබුණු විසල් අගැයුමක් ලෙස ක්ලැරන්ස් පිළි ගත්තේය. දේශීය සංගීතය ගැන ලියවෙන ඕනෑම විටෙකදී පණ්ඩිත් අමරදේවයන් තරමටම ක්ලැරන්ස් විජේවර්ධනද වැදගත් වන බව පැවසුවේ ආචාර්ය තිස්ස අබේසේකරයි. ඒ ක්ලැරන්ස්ගේ වියොවින් පසුව ය. ක්ලැරන්ස් විජේවර්ධන යනු දේශීය සංගීතයේ විනාශකාරයකු යැයි වරක් ආචාර්ය වික්ටර් රත්නායක මාධ්‍යයට පැවසීය. එ් ප්‍රකාශය ගැන ද ක්ලැරන්ස් කිසිදු අහිතක් උපදවා ගත්තේ නැත. “අනේ මන්ද...” කියා මා සමඟ පවසමින් සිනාසුණා පමණි. එහෙත් ක්ලැරන්ස්ගේ ඇවෑමෙන් කණ්‍ඩායම් සංගීතයේ නාමයෙන් බිහි වූ අවර ගණයේ විගඩම් ඇසූ - දුටු පසුව ක්ලැරන්ස්ගේ සංගීතය ඊට වඩා කොතෙක් වටීදැයි ආචාර්ය වික්ටර් රත්නායකයන් පවා සිතන්නට ඇතුවාට සැක නැත.
ගායනය - ගී පද රචනය හා සංගීත නිර්මාණ යන අංශ තුනෙන් ම එක හා සමාන දස්කම් දැක්වූවන් විරල ගී ලොවේ ක්ලැරන්ස් එවන් විශිෂ්ටයකු විය. ඔහුගේ වියෝවින් පසුව හපුතලෙන් රත්නපුරේ පදිංචියට ආ ඔහු මිතුරු පිරිසක් සමඟ මුන්ස්ටෝන්ස් සංගීත කණ්ඩායම පිහිටුවා ගෙන කරළියට ආවේය. මුන්ස්ටෝන්ස් යුගයේ කළ දිල්හානී දියණී රුවන්පුරය - ‘මංගො නාන්දා’ වැනි ගී අද පවා ජනප්‍රියයි. නෙවිල් ප්‍රනාන්දු හැදූ කණ්ඩායම් සංගීතය නම් දරුවා පෝෂණය කොට පොදු ජනතාව අතරට ගෙන යාමේ පුරෝගාමියා ලෙස ක්ලැරන්ස් ඉතිහාසගත වීම වැළැක්විය නොහැකිය. ‘දිලීප පොඩි පුතු’ ගීයෙන් තනි ගීත ගායනයට පිවිසි ‘මලට බඹරකු සේ - රන් සමනලයින්- හද විලේ- හින්දි වදන් - ආදරේට කියන කතා ඇතුළු අමරණීය ගීත සමුදායක් ඔහු ගැයුවේය. සුපර් ගෝල්ඩන් චයිම්ස් යුගයේ ඔහු හැදු ‘කඳ සුරිඳුනි’ ගීතය කතෝලිකයකු විසින් කතරගම දෙවිඳුන් උදෙසා නිර්මාණය කොට ගැයූ විශිෂ්ටතම ගීත ලෙස සැලකේ. ඇනස්ලි මාලේවන - අනිල් භාරතී - ඉන්ද්‍රාණි පෙරේරා- වර්නන් පෙරේරා - සමන්ද සිල්වා - මරියසෙල් ගුණතිලක වැනි බොහෝ ගායක ගායිකාවන්ගේ සාර්ථකත්වය පසුපස සිටි. දැවැන්ත සෙවනැල්ල ක්ලැරන්ස් ය. කරු අයියා ලියා ක්ලැරන්ස් සංගීතවත් කළ ක්ලැරන්ස්ගේ රස පූර්ණ සංගීත නිර්මාණය. අපූරු ගීත රචනා හැකියාවක් තිබූ ඔහු තවත් වරක් සංචාරක නිකේතනයක කෙටි වෙළෙඳ ප්‍රචාරක ගීයක් ලෙස හැදු ‘සිහින ලොවක් දුටුවා මතකයි’ ගීතය පසුව දිගු කර අගනා ගීයක් බවට පත් කළේය. මෑත කාලයේ ජාතික රූපවාහිනියේ ‘සිහිනයකි රෑ’ තුළින් ගී තේරූ කෙනකු එ් ගීය ගැන ‘අරුම පුදුම බොරු’ පවසනු අසා සිටියෙමි. ක්ලැරන්ස් ගැන එබඳු විකෘති තොරතුරු සමාජගත කරන්නන් ද නැතුවා නොවේ. මිල්ටන් මල්ලවආරච්චි වෙනුවෙන් ගීත රැසක් හැදු ක්ලැරන්ස් අවසාන කාලයේ මිට්ටන්ට ලියා සංගීතවත් කළ ‘තනි වී සිටින්නයි’ ගීතය ක්ලැරන්ස් ගේම අත්දැකීමකි. එහි විස කටු රුධිරය වැනි වදන් සැර වැඩි නිසා වෙනස් කරන ලෙස මිල්ටන් ඉල්ලා සිටියත් ක්ලැරන්ස් ඊට එකඟ නොවී මිල්ටන්ට එය එසේම ගයන ලෙස කීය. අවසානයේ එය මිල්ටන්ගේ ද අමණීය ගීයක් බවට පත් විය. ආදර ගී වලින් බැහැරව ‘මහලු වියේ’ – ‘මාවතේ අපි’- ‘උතුමාණෙනි’ වැනි විවිධ ගී රැසක් ද ක්ලැරන්ස් හැදුවත් විචාරකයන් ඒ දෙස බැලුවෙත් නැත.
ක්ලැරන්ස් බොහෝ දෙනෙකුට අත දුන්නේය. බොහෝ දෙනෙක් පසුව ඒ අත සපා කෑවෝය. ඔහුගේ සිත බිඳුණු වාර ද එමට ය. sun flower සංගීත කණ්ඩායමට එ් වාසනාවන්ත නම තබා සිය නිවසේ පුහුණුවීම් කටයුතු පවා කරන්නට දී පෙරට ගෙනාවේ ඔහු ය. එහෙත් පසු කාලීනව sun flower සංගීත භාවිතය ගැන ක්ලැරන්ස් තුළ පැහැදීමක් නොවීය. තමාගේ ‘මදාරා’ සංගීත කණ්ඩායමේ සිටම රූකාන්ත ගුණතිලකට ද ඔහු විශාල අත්වැලක් සැපයුවේය. දක්ෂයා අගය කරන්නට ක්ලැරන්ස් පැකිලුණේ නැත. මහින්ද බණ්ඩාරගේ ගිටාර් වාදන හැකියාව ඔහු එසේ නිතර අගය කළ බව සිහි වේ.
සීත පවන් රැළි නත්තල් පණිවුඩය රැගෙන එයි. සෑම නත්තලක් ළං වෙද්දී ක්ලැරන්ස් විජේවර්ධන නමැති ආදරණීය මිතුරා පිළිබඳ මතකයන් අවදිව ම සිත සසල වන්නේ ය. ‘‘අවුරුදු පනහක් හිටිය ඇති නේ මල්ලී....’’ කියා ඔහු එදා පැවසූ වදන් මසිතේ දෝංකාර දෙන්නේය. සිය ජීවන හැලහැප්පීම් හා අත දුන් අයගේ කුරිරුකම් ද වඩ වඩාත් මදු විත හා මිතුරු වන්නට ඔහුට අනුබලයක් වූ බව මට අමතක කළ නොහැකිය.
කියන්න සුළගේ ළමා ගීය එදා ඇනස්ලි මාලෙවන සමඟ ගැයූ ලිලන්ති කරුණානායක Facebook මගින් ක්ලැරන්ස්ව අගයනු පෙනේ. එම්.එස්. ආනන්ද අධ්‍යක්ෂවරයාගේ ‘හලෝ ශ්‍යාමා’ චිත්‍රපටයට ක්ලැරන්ස් හැදූ ගීත මෙන්ම තවත් සැඟවුණු ගී කැනඩාවේ වෙසෙන චිත්‍රාල් සාලිය පෙරේරා (ශ්‍යාමා ආනන්දගේ සැමියා) නිරතුරුව face book මගින් ඉදිරිපත් කරයි. සුපුන් වීරසූරිය, ජනිත් ලියනගේ, මුදිත අමරතිස්ස ඇතුළු පිරිසක්ද Clarence fan page ඔස්සේ face book තුළ එ් කාර්යයේ යෙදෙති.
දිල්හානී දුවනී - මංගෝ - රුවන්පුරය - අද වෙයි ඉරු දින - යොවුන් සිහින ලෝකේ - තණ නිල්ල දිගේ - සමුගෙන යන්නෙමි වැනි ගීත සංගීත නිර්මාණ අමතක කළ හැකි ද? එච්.ආර්. ජෝතිපාලයන්ට බටහිර ආරේ ගී හැදීම පිළිබඳ ගෞරවය ද මෙල්රෝයි ධර්මරත්න හා ක්ලැරන්ස්ට හිමි වෙයි. ක්ලැරන්ස්ට ලියා සංගීතවත් කළ මල් පිබිදෙන එක වසන්ත සමයක අදටත් ජෝතිගේ ගීතාවලියේ අමරණීය ගීයකි. ජෝති - සුජාතා ගැයූ ‘සොඳුරු ලොවට මල් වැහැලා’- ජෝති - ඇන්ජි ගැයූ ‘මා පෙර සසරේ’ . එහෙත් පනස් තුන් වසරක් මෙලොව සිටි ක්ලැරන්ස් විජේවර්ධන තවත් වසර පන්සියයක් පුරා හෝ රස විඳිය හැකි ගීත සමුදායක් මෙලොවට ඉතිරි කර දෙවියන් වෙත ගියා නොවේදැයි සිතා මම මොහොතකට සැනසෙන්නෙමි. නිමැවුම්කරු දෙවියන් අතර ය. නිමැවුම් මිනිසුන් අතර ය.