උසස් සඟරා රටක බුද්ධියට උපහාරයකි | සිළුමිණ

උසස් සඟරා රටක බුද්ධියට උපහාරයකි

“මී ගොමු කුරණ සිට කොළඹ කොටුව දක්වා දුම්රියෙන් ගමන් කළ ඒ වකවානුවේ කවි සහ කෙටි කතා සඳහා වූ හොඳ සඟරාවක් පළකිරීමේ අදහස මා තුළ ලියලන්නට විය.

ඒ අවධියේ රටේ මහා සාහිත්‍ය ප්‍රබෝධයක් ඇති කළ රසවත් සඟරා ගණනාවක් වී. ඒවායින් මුල් තැන ගත්තේ තුමාරතුංග මුනිදාස පඬිතුමා ගේ “සුබස” සහ ඩබ්ල්යු. ඒ. සිල්වා ශූරීන් ගේ “නුවණ” සඟරාව යැයි කිව යුතු ය. ඒවා ශාස්ත්‍රීය සංග්‍රහයන් වූ අතර පී.බී. අල්විස් පෙරේරා ගේ “දේදුන්න”, කපිල ඊ. සෙනෙවිරත්න ගේ “සුවඳ” සහ ගාල්ලේ ජෝන් රාජදාස ගේ “මීවදය” කරට කර හිටි ජනප්‍රිය කවි සඟරා තුනක් වී. ඒවා පද්‍යයට පමණක් ඇරුණෙන් ‍කවි කෙටි කතා දෙකට සීමා වන සඟරාවක් පළ කිරීමේ සිහිනය දකිමින් සිටියෙමි මම.”

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ඩී.එෆ්. කාරියකරවන මහතා විසින් 1998 වසරේ ලියන ලද “දසක සතක මතක” නම් කෘතියේ 1945 වසරේ සංස්කරණය කළ “මිහිර” සඟරාවේ උපත ගැන එසේ කියා තිබිණ. මිතුරන් දෙදෙනකු සමඟ “මීගොමුවේ මිහිර ප්‍රචාරකයෝ” යන නමින් ප්‍රකාශන සමාගමක් පිහිටුවා ගෙන “මිහිර” සඟරාව ඇරඹූ කාරියකරවන මහතා කෙටි කතා ලබා ගැනීමට වැල්ලවත්තේ ඩබ්ල්යු. ඒ. සිල්වා, බොරලැස්ගමුවේ ජී.එච්. පෙරේරා යන ආදී ප්‍රවීණයන් සොයා ගොස් ඇත. කාරියකරවනයන් කියා ඇති පරිදි සිතුවාටත් වඩා මිහිර සඟරාව ජනප්‍රිය වී ඇත. ත්‍රෛමාසික සඟරාවක් වූ එහි පිටු ගණන සියයකට කිට්ටු ප්‍රමාණයෙන් වූ අටේ ප්‍රමාණයේ පොතක් බඳු විය.

ඒ හතළිහ දසකයේ මැද භාගයේ සඟරාවල උපත ගැන සටහනකි. ලංකාවේ සඟරා ඉතිහාසයට දිගු ඉතිහාසයක් ඇත. ඒ ගැන වෙනම ම ලිපියක් ලිවිය යුතු තරම් ය. අප මෙහිදී උත්සාහ ගන්නේ, ඉතා සු‍ළුවෙන් හා අසීරුවෙන් පටන් ගෙන පාඨක රුචිය උසස් තලකට ගෙන ඒමට උත්සාහ කළ පසු කලෙක පුවත්පත් ලෝකයේ දැවැන්තයන් කිහිපදෙනෙකු විසින් සංස්කරණය කළ සඟරා කිහිපයක් ගැන කතා කිරීමය. එබැවින් මෙය අසම්පූර්ණ සටහනකි. ඉදිරියට ඉඩකඩ ලැබුණොත් ඒ සඟරා ගැන කතා කිරීමට බලාපොරොත්තුවෙමි.

උසස් සඟරා රටක බුද්ධියට උපහාරයක් බව හැටේ දසක‍යේ දී ලිපියක් ලියූ (එකට උසස් සඟරාවක් ලෙස පළ වූ “නවයුගය” ට) ලිපියකින් පුවත්පත් කලාවේදී බෙනඩික්ට් දොඩම්පෙගම අදහස් සක්වා තිබුණි. ඔහු කියන ආකාර සාහිත්‍යයෙහි උන්නතිය සඳහා උසස් සඟරා මගින් කෙරෙන සේවය ඉමහත් බවත් කවි, කෙටිකතා ආදි අංශයන්හි දියුණුවට සඟරා බොහෝ සේ උපකාරි වී ඇත. සිතුම් පැතුම් වේගයෙන් වෙනස් වී ගෙන යන, චින්තන ලෝකයෙහි වෙනස් වීම් වේගයෙන් සිදු වී ගෙන යන ලෝකයක සෑම රටකම ජනතාව අවදියෙන් තබන උසස් සඟරා ගණනාවක් ම තිබිය යුතු බවත්, බුද්ධියෙන් ජනතාව අවදිව තබා ගැනීම සඳහා උසස් සඟරා සමාජයට කරන්නේ ඉතා විශිෂ්ට සේවයක් බවත් පවසා ඇත. ඔහු මෙසේ ද කියා ඇත.

“ප්‍රතිභාපූර්ණ කෙටිකතාකරුවන්, කවියන් සොයා සමාජයට ඉදිරිපත් කිරීමේ ගෞරව බොහෝ විට හිමි වන්නේ ය. නවීන ඉංග්‍රීසි සාහිත්‍යයෙහි විචාර ක්‍රමයත්, කවියක් නව මඟකට හැරවීමට බොහෝ සේවයක් කරනු ලැබුවේ “ස්කෘටින්” වැනි සඟරාවන් ය.

ඇමෙරිකානු කෙටිකතාවේ දියුණුවට “ද නිව්යෝකර්”, “ද ඇට්ලාන්ටික්”, “හාපර්” වැනි සඟරා මඟින් කෙරෙන්නේ විශිෂ්ට සේවයකි. දක්ෂ ලේඛකයන් සොයා මහජනයාට ඉදිරිපත් කිරීම ඉමහත් ගෞරවයක් වශයෙන් මෙම සඟරා සලකති. දීර්ඝ කාලයක සිට පළවන “ඇට්ලාන්ටික්” “හාපර්” වැනි සඟරාවන් මගින් සොයා යන පසු කාලයෙහි ද ලෝක පූජිත නවකතාකරුවන්, කෙටිකතාකරුවන් සහ කිවියන් වූ අය ගණන් ගත යුත්තේ සිය ගණනිනි.”

සාහිත්‍ය ලෝකයෙහි කිව නොහැකි ගෞරවයකින් සලකන “නිව්යෝකර්” සඟරාවට ප්‍රතිභාපූර්ණ ලේඛකයන් සෙවීමට, නව ආරකින් ලියන රචකයන් සෙවීමට දක්ෂතාවක් ඇති බවත්, ඇමරිකාවෙහි සිටින දක්ෂතම කෙටිකතාකරුවන් බොහෝමයක් මෙම සඟරාවෙන් බිහි වූ බව කියා ඇති දොඩම්පෙගම එක නිදර්ශනයක ලෙස ජේ.ඩී. සැලිගෙර් දක්වයි.

“මෙරට පත් සඟරා” ගැන කෙටි ලිපියක් ලියා ඇති මාර්ටින් වික්‍රමසිංහ මහතා මෙයට වසර 65කට පෙර (පිය බස 1953 මාර්තු - සඟරාවට) මෙසේ අදහස් දක්වා තිබුණි. එම ලිපිය ලියා තිබුණේ මාර්ටින් වික්‍රමසිංහ නමිනි. සඟරා ගැන ලියන මේ ලිපිය හරියට ම වසර 110 කට පෙර ඩබ්ල්යු. ඒ. සිල්වා මහතා විසින් එනම් 1919 වසරේ සංස්කරණය කළ “සිරිසර සඟරා” නම් විය. 1919 ජනවාරි 15 වෙනිදා ප්‍රකාශයට පත් වූ “සිරිසර” සඟරාවේ මුල් කලාපයේ කතුවැකිය මෙසේ ය.

“සිංහල සඟරාවක් නොමැති පාඩුව සඟරාවකින් මුත් ප්‍රවෘත්ති පත්‍රවලින් පිරිමැසිය නොහැකිය. ප්‍රවෘත්ති පත්‍රවලින් ස්වදේශීය විදේශීය ප්‍රවෘත්ති හා දේශපාලන ක්‍රම පිළිබඳ මහජනයාගේ මතභේදත් දැන ගත හැක. එහෙත් සඟරාවකින් එසේ නොව, නා නා කරුණු පිළිබඳ ශාස්ත්‍රීය ලිපිත්, ක්‍රමික විද්‍යාන්විත හස්තසාර පරීක්ෂණයන් හා ඓතිහාසික දුර්ලභ පර්යේෂණයන් පිළිබඳ ලියවිලිත්, ජීවන චරිත හා පුරාණ වස්තු විද්‍යානුගත ලියවිලිත්, අභිනව ප්‍රබන්ධ හා නා නා සමයානුගත දෘෂ්ටි ප්‍රභේද ප්‍රකාශන ලිපිත්, හාස්‍යොත්පාදක ලියවිලි ආදි මහත් පරිශ්‍රමයෙන් පිළියෙල කරනු ලබන ශිෂ්ටාචාර සංවර්ධනයට හා ඥානාභිවර්ධනයටත්, තුෂ්ටි ප්‍රශාද වර්ධනයටත්, ඉවහල් වූ නොයෙක් දේ පළවෙන බැවින් බොහෝ ප්‍රයෝජන ලැබේ. එබැවින් සිංහල සඟරාවක් නැති පාඩුව පිරිමසාලන අටියෙන් “සිරිසර සඟරා” නම් වූ මේ අභිනව සඟරාව අප විසින් ආරම්භ කරන ලද්දේ ය.” 1940 අ‍ගෝස්තු 15 වෙනිදා “නුවණ” සඟරාව ඩබ්ල්ව්.ඒ. සිල්වා මහතා විසින් ආරම්භ කිරීම නිසා “සිරිසර” ට වඩා ඉතා ඉක්මනින් ජනප්‍රිය වී ඇත. “මූසිල” යන අන්වර්ථ නාමයකින් සිල්වා මහතා අතින් ලියැවුණු එම විචාර ලිපි පෙළට පසුබිම් වී ඇත්තේ එකල පළ වූ “මෙ දුටු මූසිලයා නිසා - නුදුටු දෙය දුටුමුව ඇසා” යන අපූර්ව මාතෘකා පාඨයෙන් යුක්ත විය. එකල පළ වූ “නුතන සිංහල නව ප්‍රබන්ධ” (Modern Sinhalese Fiction - 1943) ඉංග්‍රීසි විචාර ග්‍රන්ථයයි. ඊ.ආර්. ද ඇස්. සරච්චන්ද්‍ර මහතා විසින් ඉංග්‍රීසි ලියූ මේ ග්‍රන්ථය සිල්වා මහතාගේ කෝපයට බඳුන් වීම නිසා “මුසිල” ලිපි පෙළක් ම ලියන්නට පටන් ගෙන ඇත.

සිල්වා මහතා දැඩි උත්සාහයකින් “නුවණ” සඟරාව තව තවත් දියුණු කළ අතර ඔහු නුවණ පොත්හල අසලම පිහිටි වික්ටෝරියා හෝටලයේ කාමරයක් කුලයට ගෙන එහි වාසය කළ බව “කතා රජ කතාවේ” සඳහන් වෙයි. පසු කලෙක ලංකාදීප පත්‍රයේ සහාය සංස්කාරකවරයකු වූ කේ.එම්. සිරිසේන මහතාත්, උපහාසාත්මක නවකථාකරුවකු වූ ටී.ජී. ඩබ්ලිව්. ද සිල්වා මහතාත් “නුවණ” සඟරාවේ කටයුතු සඳහා එම කාර්ය මණ්ඩලයට ඇතුළත් කර ගත් බව ද එහි පැවසේ.

“මිහිර” සඟරාව 1945 වසරේ ආරම්භ කළ ඩී.‍ෆ්. කාරියකරවන මහතා සිල්වා මහතා හමු වී තම සඟරාවට කෙටිකතාවක් ලබා ගැනීමට ගිය අපූරු කතාවක් තමා විසින් ලියූ “දසක සතක මතක” කෘතියේ එයි. තමාත්, සිල්වා මහතාත් ඉතා කුලුපග විශ්වාසවන්තයකු සහ සුවච ගෝලයකු බවට වැඩි කලක් ගත වී නැත.

“මිහිර” සඟරාව ප්‍රථම කලාපය සඳහා කවි, කෙටිකතා සහ ඡායාරූප රැස් කොට කාරියකරවන මහතා ටයිම්ස් ආයතනයේ ජී.එස්. ප්‍රනාන්දු චිත්‍ර ශිල්පියා සොයා ගොස් අමුතුම තාලෙක පිටකවරයක් අන්දවා ගෙන ඇත. මරදානේ ඔරියන්ටල් යන්ත්‍රාලයේ විජේසිංහ මහතාට ඒ සියල්ල බාර දී ඇත.

“මිහිර” සඟරාවේ රසවත් කෙටිකතා හා පද්‍ය රචනා පළ වී ඇත. මේ කෙටිකතා එකතු කොට කාරියකරවන මහතාගේ ජ්‍යෙෂ්ඨ පුත්‍ර ප්‍රවීණ මාධ්‍යවේදී මුදිත කාරියකරවන විසින් “මිහිරේ මිහිරි කතා” නමින් කෙටිකතා සංග්‍රහයක් 2009 වසරේ පළ කළේය. එ් සංග්‍රයට ඩබ්ල්යු.ඒ. සිල්වා, පයාගල ඔස්වින් ද අල්විස්, දීගොඩ ඩී.ජී. පියදාස, කේ. ලයනල් පෙරේරා, ඒ. ඩබ්ලිව්. විලියම් ද අල්විස්, බොරලැස්ගමුවේ ජී.එච්. පෙරේරා, අසෝක පීරිස්, ඩේවිඩ් කරුණාරත්න, කෑගල්ලේ ඩී.ටී. මල්ලව, ආනන්ද සරත් විමලවීර, අත්තිඩියේ ඩී.වී. සෙනෙවිරත්න, ඇලන්සන් පියදාස ද සොයිසා, කපිල ඊ. සෙනෙවිරත්න, ධනපාල වීරසිංහ, ටී.ජී. ඩබ්ලිව්. ද සිල්වා, මීමන ප්‍රේමතිලක, ආර්. ප්‍රේමදාස, ඩී.එෆ්. කාරියකරවන, ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ, නිමල් කරුණාතිලක ආදින්ගේ කෙටිකතා ඇතුළත්ව තිබුණි.

ආනන්ද තිස්ස ද අල්විස් හතළිහ දසකයේ පහළ වූ සඟරා සංස්කාරකවරයෙකි. පසු කලෙක පාර්ලිමේන්තුවේ කතානායක හා අමාත්‍යවරයකු වූ ඔහු පුවත්පත් කලාවට ආදරය කර ඇත්තේ කොළඹ ආනන්ද විද්‍යාලයේ ඉගෙනීම ලබන කාලයේ සිටය. පසුව ටයිම්ස් පුවත්පතේ හා ඩේලිනිවුස් පත්‍රවල වාර්තාකරුවකු ලෙස කටයුතු කොට සිටි ආනන්ද තිස්ස තමා අතින්ම සංස්කරණය කළ සඟරාවක් ආරම්භ කිරීමට සිහින මැව්වේය. එහි ප්‍රතිඵලයක් වශයෙන් විසිපස් හැවිරිදි වියේ සිටි ඔහුට “ලංකා” සඟරාව ඇරඹීමට අවස්ථාව ලැබිණි. එය හැඳින් වූයේ ලංකා නමිනි. ලංකා සඟරාවේ 1 කලාපය 1945 ඔක්තෝබර් මස නිකුත්ව ඇති අතර කොළඹ පිටකොටුවේ කුමාර වීථියේ අංක 75 තැන ලංකා ප්‍රචාරක සමිතිය මගින් ප්‍රසිද්ධ කරනු ලැබ ඇත. සංස්කාරක ආනන්ද තිස්ස ද අල්විස් ය. චිත්‍ර සංස්කාරක ආර්.ඇස්.ආර්. කන්දප්පා (පසුව දැන්වීම් ප්‍රචාරක ලෝකයේ දැවැන්තයකු වූ රෙජී කන්දප්පා) කොළඹ ලේක් හවුස් හි පිහිටි “දිනමිණ” යන්ත්‍රාලයෙහි මුද්‍රණය කරන ලද මේ සඟරාවේ ආරංචි, සංගීත කලාව, නාට්‍ය කලාව, සාහිත්‍ය, ජ්‍යොතිර් විද්‍යාව, කාව්‍ය ශාස්ත්‍රය, සිනමා, චිත්‍රකලාව යන විෂයන්ගේ ලිපි වලින් සමන්විත වී ඇත. මිල ශත 50 කි. මංගල කලාපයේ පිටකවරය සැරසී තිබුණේ ජෝර්ජ් කොක් ගේ ඡායාරූපයකිනි.

ලංකා සඟරාවේ මුල් කලාපයට කොළඹ රාජ්‍ය මන්ත්‍රණ සභාවේ අධ්‍යාපන ඇමති සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර හා පළාත් පාලන ඇමති ඇස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක යන මහතුන්ගේ හා ටිබැට් ජාතික ඇස්. මහින්ද ස්වාමින් වහන්සේගේ සුබ පැතුම් ද පළ වී තිබුණා හ.

විද්‍යෝදය පරාවෙණාධිපති බද්දේගම පියරතන මහා හිමියාණන්ගේ ලියන ලද “විවිධ ආශිංසනය”; ආචාර්ය ගුණපාල මලලසේකර ලියූ “අපේ අනාගතය”; අයි.ඇම්.ආර්.ඒ. ඊරියගොල්ල විසින් ලියූ “චිත්‍ර රත්නය” (කෙටි නවකථාව) දේවාර් සූර්යසේන ලියූ “මාගේ සංගීත චාරිකාව”; මාර්ටින් වික්‍රමසිංහ ලියූ ‘මඤජු ශ්‍රී හිමියන්ගේ සිත්තම් දුටුවකුගේ හැඟුම්”; “ලෝක ප්‍රවෘත්ති විවේචනය”; “රැකී රක්ෂා කාරක සභාව: ඇමති මණ්ඩලය කරණ වැඩ; ආර්නෝල්ඩ් ගුරුසිංහ ලියූ “ගෙදර දොර සෞඛ්‍ය ආරක්ෂාව”; ආනන්ද තිස්ස ද අල්විස් ලියූ “නාට්‍ය ශාස්ත්‍රය”; “රේඩියෝව මුතු චින්නප්පා”; ජේ.ර්.ඇල්. කාර්වලියෝ ලියූ “ඉන්දියාවේ සිනමා චිත්‍රපට කර්මාන්තය”. කැලණියේ ධර්මපාල ජයවීර ලියූ “සරස්වතී පූජා” කවි;

ලංකා සඟරාවේ කතුවැකියෙන් කොටසකි මේ.

ලංකා නමින් අප මේ සඟරාව ආරම්භ කෙළේ ඉතා උසස් ප්‍රාර්ථනා ඇතිව ය. නුදුරු අනාගතයෙහි, අප ජාතිය වඩා ශ්‍රේෂ්ඨ ස්ථානයකට නැංවීමෙහි ලා ලංකා සඟරාව ද මහත් බලයක් වෙති යි අපි විශ්වාස කරම්හ. අප ජාතියෙහි අභ්‍යුදය ය වැදගත් කොට සලකන සියලු දෙනාට ම, එයට ඉවහල් වන අදහස් හා මත වැපිරීමට, මේ සඟරාව සරු කෙතක් වනු දැක්ම ද අපගේ ආශාව ය. එ හෙයින්, කඩදාසි හිඟකමින් හා පාලන නීතියෙන් හා කොතරම් මිරිකුණ ද, ජාති හි‍තේෂී ලේඛකයන් සියලු දෙනාට ම, තම තමන්ගේ අවංක අදහස් හා මත මහා ජනයා ඉදිරියෙහි තැබීමට මේ සඟරාව හැකි පමණින් අවකාශ කිරීමට ද අපි බැ‍ඳෙම්හ.

“ලංකාදීප” පුවත්පතේ ප්‍රවෘත්ති කතුවරයා වූ ද, “දිනමිණ” පුවත්පතේ ප්‍රධාන කතුවරයා වූ ද ටී.බී. පෙරමුණේ තිලක මහතා භද්‍ර යෞවන වියේ එනම් 1949 ප්‍රකාශයට පත් කළ “රුවන” සඟරාව ගම්පල සැන්ට්‍රල් ප්‍රින්ටර්ස් හි මුද්‍රණය කොට නිකුත් කර ඇත. මේ සඟරාවේ මිල ශත 50 කි. සංස්කාරක ඒ.ඒ. ආරියවංශ ය. මෙහි කෙටි නවකථා, කවි කතා, නොපළ ජන කථා, නොපළ ජන කවි, ශාස්ත්‍රීය නිබන්ධන, මෙන් ම පබඳු තරග ය - පතළ පබඳු තරග ය, ප්‍රහේලිකා තරග ද පළ වී තිබුණි.

“රුවන” මුල් කලාප දෙකෙහි පළමු ලිපි මෙසේය. “හබල් වහලා” (උපසේන් වල්ගම), දිවි පිදීම - කවි ( නිමල් ‍හොරණ) ලැදි - කම (කෙටි නවකථා), පිළිකුත්තුවේ කමලා) අබිසාරිකාව - කවි (ඩී.ටී. මල්ල), අන්තිම ප්‍රයත්නය - කෙටි නවකථා (ඩී.බී. මල්ලිකාරච්චි), හිතේ අමාරුව (කවි) (නුගේගොඩ අශෝක පීරිස්) ලොවුතුරු පෙම - (පෙරමුණේ තිලක) රානි දිනුවා - කවි (සෝමා හපුගොඩ මැණිකේ) ගම්බද සුරතලිය - කවි (පී. වරුසවිතාන), නා රජුට හේමා හමුවෙයි - කවි (ශික්ෂක නන්දන), ස්වයංවරය (ජී.ඇම්.ඩී. වේගසූරිය) අය්යෝ - කවි (ඩී.ඇම්. දිසානායක), අහෝ! යමුනා (නන්දා උඩුවැරැල්ල)

දෙවන කලාව මේ රචනා වලින් සැරසී තිබුණි. සිළිඳු (ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ) මෝඩකම (කාරියකරවන), “සිංහලය” (ගම්පොළ පී.බී. ඉලන්ගතිලක නොතාරිස් රාළහාමි), වරදකාගෙද? (චිත්‍රානන්ද අබේසේකර) අතීතය - කෙටි නවකථාව (කෑගලු විද්‍යාලයේ ශිෂ්‍ය මඩවල රත්නායක) ගෙවදීම (ප්‍රේමතිලක මාපිටිගම)

‘රුවන’ සඟරාවේ නමක් ලියා නැති “පුවත්පත් කලාව” හා “ලංකාදීප පත්‍රය” යන ලිපි දෙකම පෙරමුණේ තිලකයන් විසින් ලියා ඇති බව විශ්වාස කළ හැකිය.

1946 වසරේ ඔක්තෝබර් මස “පුබුදුව” සඟරාවේ මුල් කලාපය නිකුත් වී ඇත. වැලිගම ධර්මදාස කොඩිප්පිලි හා පණ්ඩිත ගුණවතී ජයසූරිය මෙහි සම්පාදකවරුන්ය. මිල ශත 50 ක් වූ පේරාදෙණියේ කිරිබත්කුඹුර ශ්‍රී ස්වර්ණජෝති විද්‍යාලය ලිපිනය ලෙස දක්වා තිබුණි. ජී.ඇස්. ප්‍රනාන්දු සඟරාවේ පිටකවරය ඇඳ තිබුණි.

මෙසේ අප ලිපියට හසු වූයේ හතළිස් දසකයේ බිහි වූ සඟරා අතළොස්සක් පමණි. එය මහ සයුරෙන් දිය දෝතක් ගැනීම බඳුය. ඉදිරියට මේ විෂය ගැන පර්යේෂණ කරන ආධුනිකයන්ට මූලාශ්‍ර සැපයීමක් පමණි මේ ලිපිය. එදා සඟරා කතුවරයන් ඉතා අසීරුවෙන් මේ සඟරා පවත්වාගෙන ආ හැටි පැහැදිලිය. ඒවා අප විසින් අගය කළ යුතුය. සිංහල සඟරා ඉතිහාසයේ පරිණාමයට මෙය අත්වැලකි. එදා සිට අද දක්වා ඉතිරිව නොකඩවා පවත්වා ගෙන යන පුවත්පත් ආයතනයකින් ප්‍රකාශනය වන එක ම ශාස්ත්‍රීය සඟරාව “සත්මඬල” ය. පොත් ප්‍රකාශකයන් අතුරෙන් ඩයිඩස්ට් වර්ගයේ සිංහල සඟරාවක් නොකඩවා පවත්වාගෙන එන්නේ “ධ්‍යාන” සඟරාව පමණි.

රටක උසස් සඟරා ඇති වූ විට ඒවා මගින් රටට බුද්ධිමත් පාඨක පිරිසක් ඇති කළ හැකි බව කියා ඇති බෙනඩික්ට් දොඩම්පෙගම, අපේ රටට උසස් සඟරා කිහිපයක් ම ඉතාම අවශ්‍ය වී ඇති බව හැටේ දසකයේ කියා තිබුණි. ආර්ථික හා සමාජ ප්‍රශ්න, සාහිත්‍ය සහ කලා ආදී ප්‍රශ්න ගැන බුද්ධිමත් ලෙස වාද විවාද කළ හැකි, උසස් ලිපි පළ කළ හැකි සඟරා ඇති වූ විට එම සඟරා කියවන පාඨක පිරිස මගින් විවාද කළ හැකි, උසස් ලිපි පළ කළ හැකි සඟරා ඇති වූ විට එම සඟරා කියවන පාඨක පිරිස මගින් ‍රටෙහි බුද්ධි මට්ටම උසස් වන බව ද ඔහු දක්වා තිබුණි.

 

ඡායාරූප පිටපත් කිරීම - ලාල් සෙනරත්

Comments