සමහර සම්මාන කොහොම දුන්නා ද කියන එක උභතෝකෝටිකයක් | සිළුමිණ

සමහර සම්මාන කොහොම දුන්නා ද කියන එක උභතෝකෝටිකයක්

තඹුත්තේගම අධ්‍යාපන කලාපයේ සිංහල ගුරු උපදේශිකාව ලෙස සේවය කරන ධර්මා රාජපක්ෂ 2009 දී ''සුනිල දිය දහර'' නම් වූ ගී පද රචනා සංග්‍රහය සඳහා උතුරු මැද පළාත් ප්‍රථම ස්ථානය දිනාගත්තා ය.

'රන්පදක්කම' නම් වූ ඇගේ ප්‍රථම කෙටිකතා සංග්‍රහයට උතුරු මැද පළාත් සාහිත්‍ය කලා උත්සවයෙන් හොඳම කෙටිකතා සංග්‍රහය ලෙස සම්මානය හිමි වූයේය. සොබා දහම හා මිනිසා අතර පවත්නා අනවරත අරගලය සෞන්දර්යාත්මක ලෙස පරිකල්පනයට හසු කරමින් මිනිස් සිතේ ගූඪාර්ථ පිළිබඳ ව සියුම් විවරණයක් කිරීම මේ රන්පදක්කම කෙටිකතාවේ අරමුණ බව ඇය සදහන් කරන්නීය.

ඔබේ මේ රන්පදක්කම නම් වන කෙටිකකතා සංග්‍රහයේ ව්‍යුහමය ස්වභාවය හා ඉන් මතු කර ගැනීම උත්සහා දරන ජීවන කලාප ගැන කතා ගැන සඳහන් කළොත්?

මා වෘත්තියෙන් ගුරුවරියක් ලෙස සහ ඉන් අනතුරුව ලෙස ගුරු උපදේශිකාවක ලෙස සේවය කරන වටපිටාව ඇතුළත අත්විඳිමට සිදුවූ අතිශයින් ම සංවේදී අත්දැකීම් පාසල සහ ඒ හා බැඳුණු අනෙක් වටපිටාවන්වලින් ලද සමාජානුභූතී අත්දැකීම් මා සහකම්පනයට පත් කළ අවස්ථා බොහොමයක් තියෙනවා. එවැනි සංවේදනා මා කෙටිකතාවක් බවට පත් කළ අවස්ථා තිබෙනවා. මා ඇසුරු කළ මේ වටපිටාවෙන් මා ළද පුද්ගලානුභූති අත්දැකීම් ද මේ කෙටිකතා අතර වෙනවා.

ඇස ගැටුණු අනේකවිධ අත්දැකීම් බොහෝමයක් මගේ සිත ප්‍රකම්පනයට පත් කළා. සමාජ අසාධාරණය, කුලමල, ජාතිභේද ලිංගික හිංසන දරිද්‍රතා ඒ හරහා වන සමාජ බේදිම් යන සමාජ ප්‍රශ්න රැසකට හසුවූ දරුදැරියන් සහ දෙමාපියන් වටා ගෙතුණු සත්‍ය කතා රැසක් මා දුටුවා.

විශේෂයෙන් ම දරුවන්ට, දරුවන් සේ සිතන්නට, ක්‍රියා කරන්නට අසමත් කරන ගුරුපරපුරක් බිහිවීමේ ඛේදාන්තය රන්පදක්කම කෙටිකතා සංග්‍රහයෙන් විවරණය වෙනවා කියලා මට හිතෙනවා.

මෙ කෙටිකතාවලින් මතු කිරීමට උත්සාහ කරන මිනිස් සි‍‍ත්හි ගූඪාර්ථ සහ වත්මන් සමාජ‍‍‍ ප්‍රශ්න පිළිබඳ කතා ‍කිරීමට‍ ‍යොදා ගන්නා සියලු ‍චරිත, පාඨක මනස සහ කම්පනයට පත්කරන ස්වභාවයකින් ඉදිරිපත් කර අැති බවත් ඒ සඳහා ඔබ විවිධ ආකෘති හා ප්‍රවේශ අනුගමනය කර ඇතිබවපෙනෙනවා?

ඔව්, මම පාඨකයා‍ට අලුත් වෙනසක් අැති කිරීම සඳහා උත්සාහ කළා. එ් සඳහා ගැළපෙන අාකෘති අනුගමනය කළා. මේ කෙටිකතා කියවපු බොහෝ දෙ‍ෙනක් එ් පිළිබදව‍ ‍‍‍ ‍‍අදහස් මා ඉදිරිපත් කළා. ඇතැමෙක් මේ චරිත එදිනෙදා මුණ ගැසෙන චරිත ලෙසින් ම විවරණය කර ඇති බවත් චරිත අභ්‍යන්තරය විනිවිද දැකීමට තරම් යථාර්ථවාදී ස්වරූපයෙන් ඉදිරිපත් කිරීමට හැකිවී තිබීමත් රන් පදක්කම කෙටිකතා සංග්‍රහයේ කෙටිකතාවේ සුවිශේෂත්වයක් බව පාඨකයන් කියනවා.

මෙහි එන අවසන් ගමන, පින්නමලක්, රන්පදක්කම මේ සෑම කෙටිකතාවක් ම ඉතා සංවේදී සහ සියුම් සමාජ විවරණයක් කර ඇති බව ඔවුන්ගේ අදහසයි. ඇත්තටම මට හිතෙන්නෙ මිනිස්සුන්ට, දරුවන්ට මුහුණ දීමට, අත්විඳින්නට සිදුවන සිදුවීම් හා ඒ වලින් මානසික සසලභාවය ඉතාමත් සෝචනීයයි. අපිට මතු පිටින් පෙනෙන ඇතැම් සුන්දර කතන්දර පිටුපස තිබෙන ජිවිතාභාන්තරයේ ස්වභාවය අපි හිතනවාට වඩා බෙහෙවින් වෙනස්. එහෙත් ඊට මුහුණ දුන් චරිත හෝ සිද්ධිවලට එරෙහි ව ද්වේශය මතුකිරීම නොවෙයි, සාහිත්‍ය කරුවා විසින් කළ යුතු වන්නේ. සාහිත්‍යකරුවාට වැදගත් වන්නේ එ් චරිත ස්වභාව නියමාකාරයෙන් මතු කිරීමයි. සාහිත්‍යකරුවා නැත්නම් ලේඛකයා ජූරියක් නොවෙයි. සානුකම්පිත දෘෂ්ටියකිනුයි චරිත දෙස බැලිය යුත්තේ.

අත්දැකීම් ප්‍රතිනිර්මාණය කිරීමේදි සැබෑ චරිතවලට හානි නොවන ආකාරයෙන් ප්‍රතිනිර්මාණය කිරීමට ඔබ අනුගමනය කළ උපක්‍රම සඳහන් කළහොත්?

කෙටිකතාකරුවා තමාට ලැබෙන අමුද්‍රව්‍ය ඒ ආකාරයෙන් ම තම නිර්මාණයට බද්ධ කරන්නේ නැහැ. මා ප්‍රවීණ කෙටිකතාකරුවකු නොවූවත් අත්දැකීම් මට හමුවූ අමුද්‍රව්‍ය බොහෝ විට ඓන්ද්‍රීය පරිසරය සමඟ අවියෝජනීය ලෙස බද්ධ කිරීමට ප්‍රවේශම් වුණා. ඒ වගේම කෙටිකතා ව නමැති සංක්‍ෂිප්ත කලා මාධ්‍යයෙන් මනුෂ්‍යයාට අත් විඳින්නට සිදුවන ගැහැට හා ඊට පිට දුන් සමාජ සාධක වඩාත් විශ්වසනීය ලෙස ප්‍රතිනිර්මාණය කිරීමට උත්සාහ කළා. මෙහිදී වඩාත් වැදගත් වන්නේ භාෂාව. රන්පදක්ක මේ කෙටි කතා කියවූ බොහෝ අය මට පවසා සිටි දෙයක් තමයි එහි භාෂාව ඉතා රසවත් බව. සංකේත භාවිතය වගේම උපමාලංකාරවලින් උපලක්‍ෂික භාෂාවක් භාවිත කරන්න හැම අවස්ථාවකදී ම මා කල්පනා කළා. මිනිස්සුන්ට, දරුවන්ට, තමන්ගේ හිත්වල තියෙන දෙවල් කියාගන්න බැරිව යටි හිතේම මිහිදන් වෙලා යන දේවල් කොයිතරම්ද? ඒ සිතුම් පැතුම් අපේ කන්වලට ඇහෙනව නම්, අහන්න පුළුවන් නම්, තව කෙනෙකුට ඉවසීමෙන් සවන්දෙන්න පුළුවන්නම්,ලෝකය කොපමණ සුන්දර තැනක් වෙයිද?

වර්තමාන නවකතා විවිධ ආකෘති හරඹ කරන විට කෙටිකතාව එක තැන පල් වෙන බවක් පෙනෙනවා කියල ඇතැමුන් චෝදනා නඟනවා. ඒ ගැන ඔබේ අදහස?

කෙටිකතාවත් නවකතාවත් යන සාහිත්‍යාංග ද්වය ගත් විට ඒ අතර විශාල වෙනස්කම් පවතිනවා. කෙටිකතාවකින් බොහෝ විට විවරණය කරන්නේ ජීවිතයේ අංශුමාත්‍රයක්; එනම් ජීවිත‍ෙන් එක්පෙත්තක් පමණයි. ඉන් ගැඹුරු හා පුළුල් සමාජ විවරණයක් ‍‍‍‍හෝ චරිත නිරූපණයක් අපේක්ෂා කළ නොහැකියි. කෙටිකතාවකින් ජීවි‍තයේ හෝ යම් චරිත ස්වභාවයක හෝ එක් පැත්තක් පමණයි අපිට ප්‍රතිනිර්මාණය කිරීමට හැකි වෙන්නේ. එහෙත් නවකතා සාහිත්‍යාංගයේදී ලේඛකයාට පෘථූල ලෙසත් ගැඹුරු ලෙසත් සමාජය, ජීවිතය අවලෝකනය කරන්නට ලැබෙන ඉඩහසර නිසා ඔහුට හෝ ඇයට නව්‍ය ආකෘති භාවිත කිරීමේ අවකාශය වැඩියි. විශේෂයෙන්ම බහු ආත්ම භාෂණ දෘෂ්ටි කෝණය, වර්තමාන නවකතාවේදී භාවිත වෙනවා. කෙටි කතාව නමැති සාහිත්‍යාංගය එබඳු ආකෘති භාවිත කළ අවස්ථා නැතුවා නොවේ. එහෙත් ‍කෙටිකතා හා නවකතාව යන සාහිත්‍යාංග ද්වය එකම කාලයක තබා විවරණය කළ නොහැකියි.

පළාත් මට්ටමින් සම්මානයට පාත්‍ර ලේඛිකාවක ලෙස ඔබට කෙටිකතාවට ජාතික තලයේ නිසි ඇගයීමක් තිබෙනවා කියා හිතෙනවාද?

කෙටිකතාකරණයට අභිනවයෙන් පිවිස එන ආධුනික ලේඛකයන්ගේ නිර්මාණ නිසි ඇගයීමකට ලක් නොවීම නිසා ඔවුන්ගේ නිර්මාණ උපන්ගෙයිම මිය යනවා. පළාත් පුස්තකාල සේවා මණ්ඩලය හරහා නව නිර්මාණකරුවන්ට අතදීමේ වැඩපිළිවෙළක් තිබෙනවා. එහෙත් ජාතික තලයේ ඇගයීමට ඒ නිර්මාණ ඉදිරිපත් කිරීමට ඉඩහසර සලසාදෙනවා නම් වටිනවා. ලංකාව පුංචි රටක්. ඒත් තාමත් අෑත ගම් දනව්වල ඉන්න සුහුඹුල් ලේඛකයන්ගේ වටිනා නිර්මාණ අගයනවා වෙනුවට අප දකින්නේ ප්‍රවීණ මෙන්ම කාලයක් තිස්සේ ලේඛන කලාවේ නිරත ලේඛකයන්ගේ නිර්මාණ ඇගයීමට ලක්වීම. ඇතැම් විට ජාතික තලයේ ඇගයීම්වලට ලක් වූ කෙටිකතා සංග්‍රහ මා කියවා තියෙනවා. ඇත්තට ම ඒ කෙටිකතා, කවර ශිල්පීය දක්ෂතාවක පිහිටා හෝ සන්දර්භමය වටිනා කමකින් යුතුව තේරුවා ද යන්න උභතෝකෝටිකයක්.

Comments