සාහිත්‍යයත් ඉතිහාසයත් මුණ ගස්වන ඓතිහාසික නවකතාව | සිළුමිණ

සාහිත්‍යයත් ඉතිහාසයත් මුණ ගස්වන ඓතිහාසික නවකතාව

“නවකතා විචාරයෙහි දී අපට සාමාන්‍ය නවකතාවලට වඩා වෙනස් විදිහේ මුහුණුවරක් දරන ඓතිහාසික නවකතා නම් වර්ගයක් හමු වෙයි. මේවා නවකතාවකින් වෙනස් වන්නේ කෙසේ ද? නවකතාවක කිසියම් නවකතා රචකයකුගේ අත්භූත පූර්ව දෘෂ්ටියක් යම් යම් චරිත උඩ උදව් කරගෙන පාඨකයා වෙත ඉදිරිපත් කිරීමක් සිදු වෙයි. මෙහිදී රචකයා මිනිසාට තමන් අවට පරිසරය සමඟත් මිනිසා තවත් මිනිසකු සමඟත්, මිනිසා තම සිතුවිලි සමඟත්, සටන් කරමින් ජීවත් වන ආකාරය විස්තර කරන්නට සිදු වෙයි. එසේ ජීවත් වන තැනැත්තාට දහසකුත් එකක් දුක් කම්කටොලු ඇති වෙයි; සැප සම්පත් ලැබෙයි. සමහරවිට ඔහු පතන දෙය නොලැබී යයි. නොපතන දෙයක් ලැබෙයි. හිතවතුන්ගෙන් වෙන්වීමට සිදු වෙයි. නැති නම් හිතවත්තු ඈත් වෙති. මෙලෙසින් යමකු මිනිසකු වශයෙන් ජීවත් වන වර්ෂ කිහිපය තුළ මූණ දෙන තොරතුරු හා ප්‍රශ්න නවකතාකාරයකුගේ මූල ද්‍රව්‍ය වෙයි.”

ඓතිහාසික නවකතාව ගැන කථිකාචාර්ය තිස්ස කාරියවසම් මෙසේ පවසා ඇත. 1966 නොවැම්බර් නවයුගය ඓතිහාසික නවකතාව ගැන අපේ අවධානය යොමු වූයේ ඩබ්ල්යූ.ඒ. සිල්වා සූරීන් ගේ ජනප්‍රිය ඓතිහාසික නවකතාවක් ඇසුරෙන් මෑතකදී නිශ්පාදනය වූ “විජයබා කොල්ලය” චිත්‍රපටය ගැන විවිධ මත පළ වීම නිසා ය.

නවකතාව හා ඓතිහාසික නවකතාව අතර සම්බන්ධය කුමක්දැයි විග්‍රහ කරන කථිකාචාර්ය කාරියවසම් “ගම්පෙරළිය” “යුගාන්තය” යන මාර්ටින් වික්‍රමසිංහයන්ගේ නවකතා නිදර්ශනය කර පෙන්වයි. ගම්පෙරළියේ විස්තර වන කොග්ගල එහි ඇති හිරිගල ආදිය අද වුවද දැකිය හැකි බවත්, පවසන ඔහු මෙසේ ද එය විග්‍රහ කරයි.

“පියල් කොළඹ යයි. සල්ලිය බාගෙ වියදම් කොට ගෙවල් හදයි. නන්දා ජිනදාස හා විවාහ වෙයි. ජිනදාස සිංහලේ යයි. ඔහුට උණ සෑදෙයි. පියල් විවාහ නොවී සිටියි. යුගාන්තයේ සිටින අරවින්ද විහාරහේන දොස්තර කොළඹ ඉස්ප්‍රිතාලයේ සේවය කරයි. මාලින් ඡන්දය ඉල්ලයි. ඔහු ස්ට්‍රයික් මෙහෙයවයි. අරවින්ද චමරීට ආදරය කරයි. වත්තුහාමි මුදලාලි තම දොස්තර පුතාට හාමුදුරුවන් කියා ගැමියන් ලවා කියවන්ට තැත් කරයි. කොණ්ඩයකු වූ මේ මුදලාලි තම පුතා ඉහළ සමාජයට නගිනු දකින්නට තැත් කරයි. ඔබ මේ නවකතාව කියවන ලද නම් මෙහි මා විස්තර කර ඇති දේවල් ඔබගේ අත්දැකීම්වලට සම්බන්ධ බවත් පෙනී යනවා නේද? මේ නවකතාවල්වල ඒ නිසා දැකිය හැකි සිදුවීම් හා පසුබිම් හා පසුබිම් වර්ණනා ආදිය අපට සමකාලික බවක් දැනෙයි. ඓතිහාසික නවකතාවක් ගත් කල්හි තත්ත්වය මීට වඩා වෙනස් වෙයි. එහි විග්‍රහ වන්නේ අදට වඩා බොහෝ ඈත අතීතයක සිදු වූ සිදුවීමක් ය. සමහර විට ඒ සිදුවීම මීට ශතවර්ෂ විස්සකට විසි පහකට කලින් සිදු වුණා සේ සිතන ඒවා විය හැකියි.”

කථිකාචාර්ය කාරියවසම් ජී.බී. සේනානායකගේ නවකතාවල විස්තර වන්නේ මින් අවුරුදු දෙදහස් පන්සිය ගණනකට පෙර සිදු වුණා සේ ගණන් ගන්නා සිදුවීම් බවත්, එසේ නම් ඓතිහාසික නවකතාවකත් සාමාන්‍ය නවකතාවකත් අතර පවත්නා වෙනස කුමක්දැයි විස්තර කරමින් නවකතාවක ඇති සියලු ම ලක්ෂණ හා ගුණ ඓතිහාසික නවකතාවක ද තිබිය යුතු බව පවසයි. එය ඓතිහාසික ගණයට වැටෙන්නේ එහි විග්‍රහ වන කාල පැමිණි යුගයකට අයිති වීම නිසා. මේ සියවසේ සිටින පාඨකයාට ඉන් අවුරුදු දහස් ගණනකට පෙර සමාජයක සිදුවුණු යමක් කීම මෙන්ම ඓතිහාසික නවකතා රචකයකුට ඒ සමාජය පාඨකයා ඉදිරියේ මවා පෙන්වීමක් කරන්නට සිදුවෙන බව ය.

එවක කථිකාචාර්ය කේ.එන්.ඕ. ධර්මදාස විසින් සර් වෝල්ටර් ස්කොට්ගේ ඓතිහාසික නවකතාවන්හි ඇති ශ්‍රේෂ්ඨ ම ලක්ෂණයක් ලෙස දක්වා ඇත්තේ යම්කිසි ඓතිහාසික යුගයකදී කිසියම් මනුෂ්‍ය සමාජයකට පොදු වූ ප්‍රශ්නයක් නවකතාවේ ප්‍රධාන චරිත මාධ්‍යයෙන් ඉදිරිපත් කොට තිබීම බව ය. ඉතිහාසය විසින් වීර නායකයන් නිර්මාණය කළා මිස වීර නායකයන් විසින් ඉතිහාසය නිර්මාණය නොකර ලදැයි කියා ඇති කියමන සනාථ කරයි.

“ලියෝ තොල්ස්තෝයි ගේ “යුද්ධය හා සාමය” කෘතියෙහි ප්‍රධාන චරිතවල පෞද්ගලික ජීවිත ඒ යුගයේ පොදු ජීවිතයේ සංකේතයක් වැන්න. නවකතාවක චරිත නිරූපණය අර්ථවත් වන්නේ පොදු මානුෂික ප්‍රශ්නයන් ඒ චරිතයෙන් ප්‍රකාශ වේ නම් පමණි. “විජයබා කොල්ලය” පමණක් නොව සිංහල ඓතිහාසික නවකතා සියල්ල පාහේ වස්තු කොට ගන්නේ ප්‍රභූ පෙළැන්තියේ ජීවිතය ය. ඓතිහාසික යුගයේ විශේෂ ස්වභාවය විසින් තමා ඉදිරිපත් කරන චරිත හි ඉරණම තීරණය කරන නවකතාකරුවා විසින් එසේ කළ යුත්තේ කලාත්මක භාවයෙහි සීමා තුළ පිහිටවමිනි. ඓතිහාසික තොරතුරු එකල සමාජයේ ස්වභාවය ආදිය ඔහු විසින් ඉදිරිපත් කළ යුත්තේ තම කලාත්මක නිර්මාණයට උචිත ලෙසින් පමණි.”

මහාචාර්ය ධර්මදාස මේ අදහස් දක්වා තිබුණේ 1964 - 9 - 3 “සරසවිය” පත්‍රයට ලියූ ලිපියකිනි. එවකට ලංකා විශ්වවිද්‍යාලයේ සිංහලාංශයේ සහාය කථිකාචාර්යව සිටි තවදුරටත් අදහස් දක්වන ඔහු බටහිර සාහිත්‍යය විශේෂයෙන් ඉංග්‍රීසි සාහිත්‍යය අනුගමනය කරමින් සිංහල සාහිත්‍ය වර්ධනය වීමට තැත් දැරූ ඒ අවධියෙහි ද සාහිත්‍ය හරණය (Plagiarism) එක්තරා ලක්ෂණයක් බවත් “විජයබා කොල්ලය” සාහිත්‍ය ඉතිහාසය ලියන්නවුන්ට මේ අතින් මහඟු උදාහරණයක් වන බව ය. තවදුරටත් මෙසේ ද කියා තිබුණි.

“ඓතිහාසික යුගයක් පසුබිම් කරගෙන නවකතාවක් ලිවීමේ අදහස සිල්වා මහතා බටහිරින් ගත් නමුත් ඔහු විසින් බටහිර ශ්‍රේෂ්ඨ ඓතිහාසික නවකතාවන්හි ලක්ෂණයන් අවබෝධ කර ගත් බවක් නොපෙනේ. ඔහු කෙරේ බලපා ඇත්තේ බටහිර ජනප්‍රිය ප්‍රේම කතා ස්වරූපය බව පැහැදිලි ය. එසේම සමකාලීන නූර්ති සාහිත්‍යය ද මේ ඓතිහාසික නවකතා ස්වරූපය කෙරේ බලපාන්නට ඇතැයි හැ‍ඟේ.”

ස්වදේශානුරාගි හැඟීම් ඇති කිරීම සඳහා සිංහලයන්ගේ උදාර ඉතිහාසය පොදු ජනයාට පහදා දෙනු වස් ජෝන් ද සිල්වා, චාල්ස් ඩයස් වැනි නූර්ති රචකයන් දැරූ වෑයමට තරමක් සමාන වෑයමක් සිල්වා මහතා දරා ඇති බව ධර්මදාසයෝ පවසා තිබූහ. සිල්වා මහතා බටහිර ජනප්‍රිය ප්‍රේම කතා ස්වරූපය අනුගමනය කළ හෙයින් නූර්ති රචකයන්ගේ පරමාර්ථයෙන් ඈත් වූ බවත්, එහෙත් නූර්ති රචකයන් මෙන් අතීත සෞභාග්‍යය පැරණි සිංහලයන්ගේ ධීරෝදාන්ත ගති ගුණ ආදිය නිරූපණය කිරීමට ද භාවාතිශය සංවාද නිරූපණයට ද ඔහු පෙලඹෙන බව ය.

මහාචාර්ය එදිරිවීර සරචචන්ද්‍රයන් විසින් ලියන ලද “නවකතා ඉතිහාසය හා විචාරය” කෘතියේ (1951) සඳහන් කර ඇත්තේ ඩබ්ල්යූ.ඒ. සිල්වා මහතාගේ කෘති අතර, විචාරවත් පාඨකයාගේ සම්භාවනයට මඳක්වත් පාත්‍ර වන්නේ ඔහුගේ ඓතිහාසික නවකතා යි කිව හැකි බව ය.

“අතීත අවධියක් පුනරුත්ථාපන කොට ඒ ආශ්‍රයෙන් කථා වස්තුවක් ගොතා දක්වන කෘතියකින් පාඨකයා බොහෝ සෙයින් බලාපොරොත්තු වන්නේ, ගැඹුරු වූ චරිත නිර්මාණය හෝ චිත්ත චෛතසික විභාගයක් නොව, ඇදහිය හැකි ප්‍රවෘත්තියක් හා එය ම ඒත්තු ගැනීමට ඉවහල් වන පසුබිම විස්තරයකි. මේ අතින් සලකන විට සිල්වා මහතාගේ “සුනේත්‍රා හෙවත් අවිචාර සමය” (1936) හා “විජයබා කොල්ලය” (1938) හුදු කතා කීමෙහි හා පසුබිම් වර්ණනාවෙහි ඔහුගේ කෞශල්‍යයට දෙස් කියන කෘති දෙකක් සේ සැලකිය හැකි ය. කතා වස්තු දෙක ආශ්‍රය කොට ඇති අවධිය පිළිබඳ ඓතිහාසික තොරතුරු එක් තැන් කරා, අතීතය පිළිබඳ හැඟීමක් පාඨකයා තුළ දැනවීමට කතුවරයා දරා තිබෙන උත්සාහය ප්‍රශංසාර්හ ය. මේ ඓතිහාසික තොරතුරුවල සත්‍යා සත්‍යය කෙසේ වෙතත්, ඒවා පාඨකයා විසින් ඇදහිය හැකි අන්දමට කර්තෘ ඉදිරිපත් කොට තිබේ.”

මහාචාර්ය සරච්චන්ද්‍ර පවසා ඇත්තේ “විජයබා කොල්ලය” ලියන ලද්දේ ෂෙරිඩන් (Richard Brisley Sheridan (1751 - 1816) නම් ඉංග්‍රීසි කතුවරයකුගේ “පිසාරෝ” Pizarro නම් නාට්‍ය අනුව යයි සිතිය හැකි බව ය. “පිසාරෝ” වනාහි දකුණු අමෙරිකාවේ පෙරූවරුන් හා ඔවුන්ගේ රට ආක්‍රමණය කළ ස්පාඤ්ඤවරුන් ද අතර වූ යුද කෝලාහල වස්තු කොට රචනා කරන ලද්දක් බව ද මේ ඓතිහාසික සිද්ධිය හා අප රට ඇති වූ පුරුතුගීසි සිංහල යුද්ධ අතර ද සමානත්වයක් දකින සිල්වා මහතා තම කථා ප්‍රවෘත්තිය ෂෙරිඩන්ගේ කෘතිය අනුව සකස් කර ගත් බව සරච්චන්ද්‍රයෝ පවසති.

“විජයබා කොල්ලය” නවකතාව “පිසාරෝ” අනුගමනය කරමින් ලියූ බව සරච්චන්ද්‍රයන් 1945 වසරේ ඉංග්‍රීසි බසින් ලියූ Modern Sinhalese Fiction නම් කෘතියෙන් පුන පුනා කියද්දී සිල්වා මහතා සිරියලතා නොහොත් අනාථ තරුණිය” නවකතාවේ පසු මුද්‍රණ්‍යක මෙසේ සඳහන් කර තිබුණි.

“.... ප්‍රතිකාල් සමය ආශ්‍රයෙන් ‘සුනේත්‍රය’ වැනි නවකතාවක් මට නිර්මාණය කර ගත හැකි වී නම් ෂෙරිඩන් ගේ “පිසාරෝ වෙන්” මෙවැන්නක් ගෙන “විජයබා කොල්ලය” කරන්නට යොමුවුණේ මන්දැයි විජයබා කොල්ලයට සැපයුණු එහෙත් ඒ සමඟ නොපළවූ සංඥාපනයේ විස්තර කළෙමි. මෙය (පිසාරෝ වස්තු) ගැනීමෙන් දේශ විරෝධි සමය, සමය විරෝධි කිසිවක් නොකළෙමි; එසේ කළේ සංවාදයක් පමණක් යුත් කථොපකථයක් විජයබා කොල්ලය වැනි සර්වාංග සම්පූර්ණ මහාර්ඝ නවකථා රත්නයකට පරිවර්තන කිරීමයි. විජයබා කොල්ලයෙන් මා කළේ ෂෙරිඩන් කළ හපන්කමට ද වඩා සිය ගුණයෙන් අධික හපන් කමකි...”

1962 - 65 අධ්‍යාපන පොදු සහතික පත්‍ර විභාගයට නියමිත ‘විජයබා කොල්ලය’ නවකතාව අප එසමයෙහි කියවූයේ ඒ සමඟම පළ වූ විචාර සංග්‍රහ ද සංසන්දය කරමිනි. ඒ අතර එකල ලංකා විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරයකු වන නන්දසේන රත්නපාල (1962) සංස්කරණය කළ “පිසාරෝ” සිංහල අනුවාදය මුල්තැනක් ගත්තේය. එහි දී රත්නපාලයන් අවධාරනය කරන්නේ ඩබ්ල්යූ. ඒ. සිල්වා කෙතරම් ව්‍යාකරණානුකූල වියත් බසකින් නවකතා ලියූවත් ඔහුගේ ඒ නවකතාවල අගය බෙහෙවින් අඩුවීමට එක් හේතුවක් වූයේ හැඟීම් ප්‍රකාශ කිරීමට හරි හැටි පොහොසත් නොවූ මේ වියත්, ව්‍යාකරණානුකූල එහෙත් දුබල බස යැයි තීරණය කිරීම නිවැරදි බවයි.

ඊළඟට අපට හමු වූයේ එදා ලංකා විශ්වවිද්‍යාලයේ සහාකර කථිකාචාර්යවරයකු වූ සරච්චන්ද්‍ර වික්‍රමසූරිය විසින් ලියූ “විජයබා කොල්ලය විවරණය” කෘතියයි. ඒ කෘතියේ ඔහු මෙසේ සඳහන් කරයි.

“නවකතාවක් හෝ නාට්‍යයක් සඳහා කතා වස්තුව ඉතිහාසයෙන් හෝ අන් කලින් ලියන ලද ග්‍රන්ථයකින් උපුටා ගැනීම, එතරම් බරපතළ වරදක් හැටයට සලකනු නො ලැබේ. විලියම් ශේක්ස්පියර් ගේ නාට්‍ය වැඩි හරියක් රචනා කරන ලද්දේ හොලින්ෂෙඩ් (Holinshed) ගේ ඉතිහාස ග්‍රන්ථ ඇසුරෙන් බව බොහෝ විචාරකයන්ගේ මතයයි. සර්වෝල්ටර් ස්කොට් නමැති ඉංග්‍රීසි ජාතික ඓතිහාසික නවකතාකරුවාගේ නවකතා වැඩි ගණනක් ද ඓතිහාසික සිද්ධි ගැබ් කොට ගත් කතා වස්තුවලින් සමන්විත වෙයි. “සිංහබාහු” නාට්‍යයට ද ඇතුළත් වන්නේ ඉතිහාසගත සිදුවීම් ආශ්‍රයෙන් ගොඩනංවා ගනු ලැබූ පුවතකි. “මනමේ” නාඩගම, පැරණි ජාතක කතාවක් ආශ්‍රයෙන් රචිත කතා වස්තුවක් ඇති නාට්‍යයකි. විජයබා කොල්ලය විචාරයට භාජනය කළ යුත්තේ, ෂෙරිඩන්ගෙන් ගත් කතා වස්තුව කතුවරයා විසින් වෙනස් ආකාරයකින් - තමාගේ විශේෂ, පෞද්ගලික පරමාර්ථයක් හෝ දර්ශනයක් පිළිබිඹුවන ආකාරයකින් - උපයෝගී කරගෙන තිබේද? නැද්ද? යන්න තීරණය කිරීම සඳහා ය. “පිසාරෝ” හි එන සිදුවීම් රාශියක් ම “විජයබා කොල්ලයේ ද ඒ හැටියටම කිසිම වෙනසක් නොමැතිව දක්නට ලැබෙන බව ය.

1956 වසරේ ලංකාවේ තිරගත වූ එස්.එස්. වාසන් විසින් අධ්‍යක්ෂණය කළ “ඉන්සානියාත්” හින්දි චිත්‍රපටය සිංහල දෙබස් කවා ප්‍රදර්ශනය කළ “මනුෂ්‍යත්වය” චිත්‍රපට පසුබිම් වූයේ ද “පිසාරෝ” කතාවේ අනුකරණයකි. එහි දිලිප් කුමාර්, දේව් ආනන්ද් හා බිනා රායි ප්‍රධාන චරිත රඟපෑහ.

මහාචාර්ය මිණිවන් පී. තිලකරත්න විසින් ලියූ “ඩබ්ලිව්. ඒ. සිල්වා : සත්‍යය හා මිථ්‍යාව” කෘතියේ සඳහන් වන්නේ “විජයබා කොල්ලය” රසවත් කතාන්තරයක් කියන නවකතාවක් බවට පත්ව ඇති බව ය. එසේම ඓතිහාසික නවකතාවක් රචනා කරන ලේඛකයා වෙත තමා වසන සමය පසුතලයෙහි තබා ගෙන නවකතාවක් ලියන ලේඛකයාට වැඩි වගකීමක් බවත් ය. ඔහු තවදුරටත් මෙසේ ද කියයි.

“තමා පසුතලයෙහි තබා ගැනීමට බලාපොරොත්තු වන යුගය පිළිබඳ දැනුමක් ලබා ගැනීමට ඓතිහාසික නවකථාකරුවාට සිදුවේ. ජෝර්ජ් එලියට් “රොමොලා” (Romola) නම් තම ඓතිහාසික නවකතාවට කරුණු එක් රැස් කර ගැනීම පිණිස ඉතාලියට ගොස් එරට ඉතිහාසය පිළිබඳ පර්යේෂණයක නිරතව සිටි බව ප්‍රකට කරුණකි. “රොමෙලා” පැරණි ඉතාලි ජීවිතය පසුතලයෙහි තබා රචිත නවකථාවකි. ඇතැම් ප්‍රකට ඓතිහාසික නවකථාකරුවන් කිසියම් රටක ඉතිහාසයෙහි ආ විශේෂ කාල පරිච්ඡේදයක් පිළිබඳව පර්යේෂණාත්මක දැනුමක් ලබා සිටි බව පෙනේ. වෝල්ටර් ස්කොට් කුරුස යුද කාලයේ සිට ස්ටුවට්වරුන්ගේ වැටීම දක්වා වූ කාල පරිච්ඡේදය පිළිබඳ වැඩි දැනුමක් ලබා සිටි බව ඔහුගේ ඓතිහාසික නවකතාවලින් පළ වේ.

ඉතිහාසයේ එන ප්‍රකට පුද්ගලයන්ට අමතරව තවත් චරිත කිහිපයක් අලුතින් නිර්මාණය කොට තම නවකතාවට ඇතුළුකර ගැනීමට ද ඓතිහාසික නවකථාකරුවෙකුට සිදු විය හැක්කකි. ඓතිහාසික නවකතාකරුවකු විසින් කළ යුතු මේ සියලු දෑ ඩබ්ල්යූ.ඒ. සිල්වා විසින් ද කර ඇති සැටි විශේෂයෙන් විජයබා කොල්ලයෙන් පෙනේ.”

‍ මහාචාර්ය තිලකරත්න පවසන්නේ ඉතිහාසඥයකුට වඩා ඓතිහාසික නවකතාකරුවා ඊට වැඩි නිදහසක් බුක්ති විඳින බවත්, ඔහු විසින් රැකිය යුත්තේ ඉතා ප්‍රකට ඉතිහාසය විකෘති කිරීමට වුවද ඔහුට එක්තරා නිදහසක් තිබෙන බව ය. මේ සම්බන්ධයෙන් ඔහු ඇලෙක්සැන්ඩර් ඩූමාස් ගේ “ත්‍රී මස්කටියස්” නම් නවකතාවෙන් නිදර්ශන සපයයි.

“1844 දී පහළ වූ මේ කෘතියෙන් පිළිබිඹු වන්නේ XIII ලුවී රජුගේ ආධිපත්‍යයෙහි පැවති ප්‍රංසයයි. ඒ කාලයෙහි එංගලන්තයේ රජ කළේ 1 චාල්ස් රජු යි. එහෙත් ඩූමාස් මෙම නවකතාවෙහි දක්වා ඇති අන්දමට නම් ප්‍රංසයේ නියම පාලකයා රිචොලෝ ය. එන්ගලන්තයේ සිහසුන පිටු පසින් සිට නියම වශයෙන් රට පාලනය කරන ලද්දේ බකිං හැම් නම් වංශවතකු විසිනි. ඓතිහාසික නවකතාකරුවා තම සිතැඟි පරිදි ඉතිහාසයේ එන පුවත්වලට අමුතු වර්ණයක් දෙන සැටි කියා පෑමට මෙය හොඳ ම නිදසුනකි.”

ඉතිහාසයෙහි එන පුද්ගලයන්ට තමන් රිසි අයුරින් පෞද්ගලිකත්වයක් ආරූඪ කරන්ට ඓතිහාසික නවකතාකරුවන් විසින් මෙතෙක් ගෙන ඇති උත්සාහය පැහැදිලි කිරීමට හොඳම නවකතාව ලෙස ලියෝ තෝල්ස්තෝයිගේ “යුද්ධය හා සාමය” නිදර්ශනය කොට ගනී.

“දහස් ගණන් ලොකු කුඩා චරිත ඇති “යුද්ධය හා සාමය” නවකතාවේ ඒ චරිතවලින් එක්තරා ප්‍රමාණයකට පෞද්ගලිකත්වයක් ආරෝපණය කිරීමට තෝල්ස්තෝයි සමත් වී ඇති සැටි විචාරකයන්ගේ සැලකිල්ලට ලක් වී ඇති කරුණයි. කතුවරයා අතින් මහත් සේ ජීවය ලබා ඇත්තේ නැපෝලියන්ගේ චරිතයයි. බොරු අහංකාරයෙන් හිස උදුම්මාගත්, දැකුම්කළු නොවන ශරීරයකින් යුත් ආත්මාර්ථකාමී ගති පැවතුම් ඇති පුද්ගලයකුගේ මුහුණුවර මෙහි දී නැපෝලියන්ට ලැබී ඇත.”

1929 වසරේ මාර්ටින් වික්‍රමසිංහයන් විසින් රචනා කළ “රෝහිණී” ඓතිහාසික අඛ්‍යාන වනාහි අප පාඨකයා ඉතා ආශාවෙන් කියවූ ග්‍රන්ථයක් බව සරච්චන්ද්‍රයෝ විසින් ලියූ “සිංහල නවකථා ඉතිහාසය හා විචාරය” කෘතියේ දක්වති.

නවකතාවේ වස්තුව සම්පූර්ණයෙන් ම වාගේ රාපල් සබාටිනි (Rafel Sabatini) නම් ඉතාලි ගත්කරුගේ “ස්කැරමුෂ්” (Scaramovche) නම් නවකතාවේ වස්තුව බලා සකස් කර ගන්නා ලද්දකි. “ස්කැරමුෂ්” වූ කලි ප්‍රංස විප්ලව සමය ආශ්‍රය කොට ලියන ලද නවකතාවකි. දලාටූර් ඩාසියර් හා ඔහුගේ අවජාත පුත්‍රයා වන ආන්ද්‍රෙ ලුවී මෝරේ ද තමන් දෙදෙනාගේ පිය පුතු සම්බන්ධය ඇලීන් විවාහ කර ගැනීමට පතන්නාක් මෙන්, මිත්‍ර හා ඔහුගේ අවජාත පුත්‍රයා වන අතුල ද තම තමන්ගේ නෑ කම නොදැන “රෝහිණී” ප්‍රාර්ථනා කරති. “ස්කැරමුෂ්” හි පිය පුතු සම්බන්ධය හෙළි වන්නේ අවසානයෙහි ය.”

පේරාදෙණියේ ලංකා විශ්වවිද්‍යාලයේ සිංහල අංශයේ උප කථිකාචාර්ය වී. (වික්ටර්) හපුආරච්චි විසින් 1961 වසරේ ලියූ “මාර්ටින් වික්‍රමසිංහයන් නවකතා සහ කෙටිකතා” කෘතියේ “රෝහිණී” නවකතාව ගැන තොරතුරු හමුවන්නේ අල්පයකි.

“‍කොග්ගල මහා ප්‍රාඥයා: මාර්ටින් වික්‍රමසිංහ” කෘතියට 1975 වසරේ ලිපියක් ලියන පත්‍රකලාවේදිනි, “මිහිර” පුවත්පතේ එකල කතුවරිය සුමනා සපරමාදු මෙණෙවිය “රෝහිණී” නවකතාව ගැන ලියූ ලිපියේ මෙසේ සඳහන් වෙයි.

“මාර්ටින් වික්‍රමසිංහ යන නම පාසල් සිසුන් අතර වඩාත් ප්‍රකට වුණේ 1937 අවුරුද‍්දේය. ඒ අවුරුද්දේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලය මඟින් පවත්වනු ලැබූ කනිෂ්ට සහතික විභාගය අවලංගු කර පළමු වරට මුළු දිවයි‍නේ ම සිසුන් පෙනී සිටිය යුතු ජේ.එස්.සී. හෙවත් (ජූනියර් ස්කූල් සර්ටිෆිකේට්) කනිෂ්ඨ පාසල් සහතික විභාගයට මාර්ටින් වික්‍රමසිංහ මහතාගේ “රෝහිණී” සිංහල සාහිත්‍යය ග්‍රන්ථයක් ලෙස නියම විය. අවුරුද්දක් ම “රෝහිණී” මේ විභාගයට නියමිත ග්‍රන්ථයක් වූ බැවින්, දහස් ගණන් සිසු සිසුවියන් “රෝහිණී” අනිවාර්යෙන්ම කිය වූහ.....

රෝහිණී දෙවැනි පෙළේ ඓතිහාසික පෙම් කතාවකියි විචාරකයන් කියා ඇතත්, එය සිංහල පාඨකයන් ගේ සිත් කොතරම් තදෙන් ඇද බැද ගත්තා දැයි කීවොත් එහි කතා නායක - නායිකා දෙදෙනා, නල දමයන්ති, රෝමියෝ ජුලියට් ආදී අමරණීය ප්‍රේමවන්තයින් අතර තැනක් ගෙන සිටිති. “ඔබ රෝහිණී මා අතුලය” වැනි පද යොදා ආධුනික කිවියෝ පෙම් කවි ලිවීමට ද පටන් ගති. යම් චරිතයක් සාහිත්‍යයෙන් ජන වහරට ආවොත්, ඇවිත් පැලපදියම් වුණොත් එය ම ඒ පොත පාඨකයන්ගේ සංස්කෘතියටත් ජන ජීවිතයටත් අනුරූප වන බවටත් එනිසාම පොතේ සාර්ථක බවටත් ලකුණක් නොවේද?”

මහාචාර්ය මැන්දිස් රෝහණදීර ඉතිහාසය පිළිබඳ මහාචාර්යවරයකු මෙන් ම සාහිත්‍ය විචාරකයෙකි. ඔහු පවසා ඇත්තේ ඓතිහාසික නවකතාව යනුවෙන් ජනප්‍රිය ව්‍යවහාරයේ එන සාහිත්‍යාංගය සාහිත්‍යය හා ඉතිහාසය යන දෙක සාර්ථක ලෙස එකට මුණගැස්විය හැකි කලාංගයක් බව ය.

සේයාරූ පිටපත් කිරීම- ලාල් සෙනරත්

Comments