ග්‍රන්ථයේ නම : සටනින් සටන
(ජවිපෙ 2වැනි කැරැල්ලේ දෙවැනි කාණ්ඩය)
කර්තෘ : ධර්මන් වික්‍රමරත්න
පිටු : 1024 මිල : රුපියල් 2,500
කර්තෘ ප්‍රකාශනයකි.
‘‘යථාර්ථවාදය“ යන සංකල්පය සත්‍ය ලෙසම කවරක්දැයි ආපසු හැරී බලන්නට සිත පොලඹවන දැවැන්ත පොතක් කියවමින් සිටිමි. ඒ ධර්මන් වික්‍රමරත්නගේ ‘සටනින් සටන‘ නම් ගවේෂණාත්මක ලියැවිලි සමූහයක් රැගත් ග්‍රන්ථයයි. 1980 දශකය අග භාගයේ 60,000ක් වූ මනුෂ්‍යයන්ගේ දිවි තොරකළ ජනතා විමුක්ති පෙරමුණේ (ජවිපෙ) 2වැනි කැරැල්ල අළලා, ඒ සමයෙහි එකී මිනිස් ඝාතන පිටුපස ඇති මෙතෙක් හෙළි නොවූ අතිශය සංවේදී කතා රාශියක් මේ ග්‍රන්ථයට ඇතුළත් ය. ‘සටනින් සටන‘ යනු මේ ගවේෂණශීලි යථාර්ථවාදියා ගේ මෙබඳු ග්‍රන්ථකරණයේ දෙවැන්නයි. පළමුවැන්න වූයේ 2016 දී එළිදැක දෙවසරක් තුළ හත්වරක් මුද්‍රණය කරන්නට තරම් ජනගත වූ ‘ජවිපෙ 2වැනි කැරැල්ල‘ නැමති පිටු 880ක දැවැන්ත ග්‍රන්ථයයි. එය ජවිපෙ කැරැල්ලේ සත්‍ය කථාව යනුවෙන් නම් කොට තිබිණි. ‘සටනින් සටන‘ යනු පිටු 1,040 යුතුව ගවේෂණය කරන ලද ජවිපෙ 2වැනි කැරැල්ලේදී මරා දැමුණු හැට දහසකගේ පශ්චාත් මරණ පරීක්ෂණයකට එහා ගිය අති සංවේදී සත්‍ය ගවේෂණයකි.
යථාර්ථවාදය යනු විචාර සංකල්පයක් ලෙස අර්ථ ගන්වද්දී එය ජීවිතය ඒ ඇති සැටියෙන්ම අඩුවැඩි නොකොට ඉදිරිපත් කිරීම ය. ධර්මන් වික්‍රමරත්න නැමති යථාර්ථවාදී ගවේෂකයාගේ යොමුව ජීවිතයත් මරණයත් ඒ සත්‍ය ස්වරූපයෙන්ම වාර්තා කිරීමයි. එය ඉතා අභියෝගාත්මක ලියැවිල්ලකි. මේ යථාර්ථය යම් ගවේශකයකු සහ කලාකරුවකු සිය ඇසුරට ලක්කර ගනුයේ දෙවිදියකට ය. කලාකරුවාට යථාර්ථය යනු ජීවිතය හා එහි සිදුවීම් එය පවත්නා ආකාරයෙන් ම ඉදිරිපත් කිරීමක් වන්නේ නැත. එ් සත්‍ය තත්ත්වය ආශ්‍රයෙන් ජීවිතයේ යථා අර්ථය ඉදිරිපත් කිරීමේ කලාකරුවාගේ කාර්යය වෙයි. මෙහිදී සත්‍ය තත්ත්වය ඒ සත්‍ය ආකාරයෙන් ම කලාකරුවා අතින් ජනතාව වෙන සන්නිවේදනය වන්නේ නැත. මෙහිදී සත්‍ය හා යථාර්ථය පිළිබඳ ව විනිශ්චය කිරීමේ අයිතිය හා නිදහස පවරා ගන්නේ කලාකරුවා ය.
ධර්මන් වික්‍රමරත්න ‘සටනින් සටන‘ ග්‍රන්ථය තුළ සත්‍ය ගවේෂශකයකු වන්නේ සත්‍යය වාර්තාකිරීමේ වැදගත්කම කෙතරම් දැයි අවධාරණය කරමිනි. 1986-1990 දක්වා වූ සිව් වසරක් තුළ මේ රටේ වටිනා ජීවිත 60,000ක් මරා දැමුණු සත්‍යය පිළිබඳව තීරණය කිරීමේ නිදහස මෙම ගවේශකයා අප වෙත පැවරීම කෙතරම් යුක්ති සහගතද?
‘සටනින් සටන‘ ග්‍රන්ථයේ පළමු කාණ්ඩය ලෙස අප කියැවූ ජවිපෙ 2වැනි කැරැල්ල ග්‍රන්ථයට පරිච්ඡේද 74ක් අන්තර්ගත විය. එතැන් සිට පරිච්ඡේද 150ක් දක්වා ‘සටනින් සටන‘ ග්‍රන්ථයට ඇතුළත් වෙයි. ජනතා විමුක්ති පෙරමුණෙහි ව්‍යූහය හා එහි දිස්ත්‍රික් සන්නද්ධ ක්‍රියාකාරකම් සමඟ කැරලිකරුවන්, කාන්තා කැරලිකාරිනියන්, වෘත්තීය සමිති මෙන්ම ළමා ක්‍රියාකාරකම් ද ‘සටනින් සටන‘ තුළ හෙළි කෙරෙයි. ප්‍රේමදාස ජනාධිපතිවරයා ජවිපෙ මර්ධනය කළ අන්දම, විජේවීර ඝාතනය සහ ඉන් පසු තත්ත්වය ද මෙහි නිරීක්ෂණය කෙරේ. ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩලයේ සභිකයන් සහ මධ්‍යම කමිටු සභිකයන් ගැන මෙන්ම ජවිපෙ ක්‍රියාකාරින් ගැන ද මේ ගවේෂකයාගේ ගැඹුරු විමසුමට හසුව ඇත.
සත්‍යය හා එහි යථා අර්ථය රඳා පවන්නේ ඒ පවත්නා ආකාරයෙන්ම එය ඉදිරිපත් කිරීම මත බව මෙම සත්‍ය ගවේශකයාගේ විශ්වාසයයි. එම සම්පූර්ණ සත්‍යය එතැනින් ඔබ්බට ඔසවා තැබීම, ප්‍රතිනිර්මාණය කිරීම හෝ ඒ ඇසුරෙන් පරිකල්පනය කිරීම කලාකරුවාට පැවරෙන්නෙකි. ධර්මන් වික්‍රමරත්නගේ කාර්යය අතිශය බරපතළ හා වගකිව යුතු දුෂ්කර ක්‍රියාවක් වනුයේ ඔහුගේ කාර්යයෙහිදී කලාකරුවකුට ලැබෙන පරිකල්පනාමය නිදහසක් කිසිසේත්ම නොලැබෙන නිසා ය. ජීවිතය හා ඒ වටිනා ජීවිතය අනෙකෙකු විසින් තීන්දු කිරිමේ සංවේදී සමාජ යථාර්ය ඒ සත්‍ය ආකාරයෙන්ම ඉදිරිපත් කිරීමට වඩා ඒ ඇසුරේ කලාකරුවා තමාට රිසි පරිදි එම සත්‍යයට ප්‍රතික්‍රියා දැක්වීම පහසු ය. නමුත් ධර්මන් වික්‍රමරත්න නිතර වුයේ සත්‍යය ඒ ආකාරයෙන් ම ජනතාව හමුවේ පෙළ ගැස්වීම මිසක් ඒ ඇසුරෙන් තමා සිතන පතන සත්‍යක් ප්‍රතිනිර්මාණය කිරීමක් නොවේ. මේ සත්‍යකාමි ගවේෂකයා සත්‍යයට ප්‍රතික්‍රියා දක්වන්නේ එම සත්‍යය ඒ සැටියෙන්ම වාර්තා කරමිනි.
‘සටනින් සටන ග්‍රන්ථය‘ තුළ වන වැදගත් පරිච්ඡේද අතර එවක ආරක්ෂක ඇමති රන්ජන් විජේරත්න ඝාතන ප්‍රයත්නය පිළිබඳ ගවේශන වාර්තාවක්ද වෙයි. මීට අමතරව රටපුරා පැවති වධ කඳවුරු පිළිබඳව සත්‍ය වාර්තා ද ගොනු වෙයි. සමූහ මිනී වළවල් පිළිබඳ ලියැවිලි ක්‍රෑරකර අතීතයක් යළි ස්මරණය කරවයි. රැඳවුම් කඳවුරු හා පුනරුත්තාපන මධ්‍යස්ථාන පිළිබඳ හෙළිදරව්වද අතිශය සංවේදී යථාර්ථයක් කියාපායි.
‘සටනින් සටන‘ ග්‍රන්ථයට ප්‍රතිරචනය වනුයේ මෙම ගවේශනාත්මක මාධ්‍යවේදියා වරින්වර පුවත්පත්වලට ලියූ ලිපිවල දිගුවක් ලෙස බව පෙනෙයි. ග්‍රන්ථයෙහි එන ලියැවිලි සහ පුවත්පත් ලිපි සැසැදීමේදී ඔහු එයට පෙර ලිපි ප්‍රතිරචනය කර ඇති බව හැඟෙයි. තවද පුවත්පත් ලිපිය ලිවීමෙන් පසු ඒ කරුණට අදාළව මතුවන ජනතා ප්‍රතිිචාර සහ තවත් අමතර සත්‍ය තොරතුරු වලින් පෙර පුවත්පත් ලිිපිය යළි සම්පූර්ණ වීමක්ද සිදුව ඇති බව ග්‍රන්ථය පරිශීලනය කිරීමේදී වැටහෙයි. කැරැල්ලකදී මරා දැමුණු දහස් ගණනකගේ ජීවිත සහ එය අනෙකකුගේ උණ්ඩයකින් තීන්දු වීමේ සත්‍ය්‍ය හඹා යෑමේදී මේ ගවේෂකයා මුහුණ දෙන අභියෝගය කෙතරම්දැයි මේ පුවත්පත් ලිපි ග්‍රන්ථය තුළ සටහන්කරණය වී ඇති ආකාරය අනුව වුවද වටහා ගත හැකිය. මෙසේ තම සත්‍ය ගවේෂණ වාර්තාකරණය යාවත්කාලීන කිරීමට මෙම ලේඛකයා නම්‍යශීලිවීම යහපත් ය. ඒ සත්‍ය්‍ය කෙතරම් බිහිසුණු දැයි ඒ යාවත්කාලීන වීම තුළ යළි යළි ඉස්මතු වීම පාඨකයාගේ හිත සුව පිණිසම වන නිසා ය.
‘සටනින් සටන‘ ග්‍රන්ථය තුළ සටහන් තැබෙන මේ නොකිලිටි වූ සමාජ යථාර්ථය හෙළිදරව් කෙරෙනුයේ එකී ක්‍රෑරතර සිදුවීම් කෙරෙහි මේ ගවේෂකයා දක්වන තදබල විරෝධය කෙතරම්දැයි අවධාරණය කරමිනි. මීටත් වඩා යහපත් වූ සමාජයක් අපේක්ෂා කිරීම ඉන් ඉස්මතු වන අනෙක් කාරණයයි. මොහු සත්‍ය්‍ය විවේචනාත්මකව ලියා තබන්නට තරම් නිර්භීත වෙයි. මෙකී නිර්භීත යුග මෙහෙවර තුළ ඔහු ද අකල් මරණය වැලඳගැනීමට නියමිත වූ බිහිසුණු අවස්ථා මේ ග්‍රන්ථයෙහි පෙරවදනෙහි හෙළි කොට ඇත. ‘සටනින් සටන‘ නම් වූ මෙකී ඓතිහාසික මෙහෙවර සුවිශේෂි ඇපකැප වීමක ප්‍රතිඵලයකි. අප අනුමාන කරන්නේ එබැවිනි.
කැරැල්ල පරාජයට පත්වීමෙන් පසු ජවිපෙ යළි ගොඩනැඟුණු ආකාරය, ජවිපෙ ප්‍රතිසංවිධාන සැලසුම් එහිදී විදේශගත ක්‍රියාකාරින්ගේ මැදිහත්වීම් ගැන ද මෙම ගවේෂකයා තතු කියාපායි. 1994 මහ මැතිවරණය හා ජනාධිපතිවරණය මත ජනතා විමුක්ති පෙරමුණ යළි නැගි සිටි ආකාරයද ඔහුගේ නිරීක්ෂණයට හසුවිය.
‘සටනින් සටන‘ ලෙස නම් තබන මෙම සිව් වසරක මිනිස් ඝාතන හැට දහස පිළිබඳ සංවේදි වාර්තාකරණය තුළ ලියා තැබෙන සත්‍ය යනු සාර්වත්‍රික සත්‍යයක් සඳහා උපස්ථම්භක වන නියත සත්‍යයක් බව අපට හැඟෙයි. මන්දයත් මේ මිනිස් ඝාතන පිළිබඳ ව බහුල ව ලියැවී ඇත්තේ නියත සත්‍ය ඇසුරෙන් ප්‍රතිනිර්මාණය වූ පරිකල්පන ප්‍රබන්ධ ය. ඒ මවාපෑම් වලින් එකී අප පසුකළ මෑත අතීතයේ සත්‍ය රූපය මතු කරගත නොහැකිය. ධර්මන් වික්‍රමරත්නගේ ‘සටනින් සටන‘ අතිශය වැදගත් නියත සත්‍ය ලේඛනයක් ලෙස ඉතිහාස ගතවනු ඇතැයි අප නිශ්චය කරනුයේ එබඳු සහේතුක පදනමකිනි.
මෙම නියත සත්‍යය ඇසුරෙන් ප්‍රබන්ධකරණයෙහි නියුතුවන නිර්මාණකරුවකු පවසන්නේ සිදුවූ දෑ නොව සිදුවිය හැකි දෑ ය. ගවේෂණශීලි වාර්තාකරුවකු පමණක් සිදුවූ දෑ වාර්තා කරයි. සිදුවිය හැකි දෑ පවසන කලාකරුවාගේ කාර්යය දාර්ශනික බවක් දරයි. සිදු වූ සැබෑ පවසන ගවේෂකයකුගේ මැදිහත් වීම අතිශය තීරණාත්මක හා වගකිව යුතු කාර්යයක් වෙයි. කලාකරුවා පොදු සත්‍යයක් පානා විට ගවේෂණශීලි වාර්තාකරුවා නියත සත්‍යයක් නියත සිදුවීම් හා චරිත ඇසුරෙන් වාර්තා කරයි. ඒ සඳහා නිර්මාණකරුවකු මෙන් නොව ගවේෂකයා එ් නියත සිද්ධි හා චරිත සොයා ගමන් කළ යුතුය. එ් සත්‍ය ස්ථාන වෙත යා යුතුය; සාක්ෂි එකතු කළ යුතුය. මේ ග්‍රන්ථයෙහි සංගෘහිත වන්නේ එ් බැරෑරුම් ව්‍යායාමයෙහි ප්‍රතිඵලයයි. සටනින් සටන ග්‍රන්ථයට සැකසෙන් වැස්මෙහි නැමෙන ඓතිහාසික ජායාරූපය ඒ කැරලි සමයෙහි ක්‍රෑරත්වය මැනවින් කියාපායි. මොහොතකට පෙර මරණය වැළඳගත් මනුෂ්‍යයන්ගේ නිශ්චල භේදනීය බවත්, එම අප්‍රාණික සිරුරු මෙතුවක් ඇද්දැයි කළ සහෘදයන්ගේ සලිත සිතිවිල අප්‍රමාණයත් මේ ඡායාරූපයෙහි ගැබ් වෙයි. ඒ අගනා ගැඹුරු සේයාරුවෙහි නිර්මාතෘවරයා ප්‍රවීණ ඡායාරූප ශිල්පී ප්‍රසන්න හෙන්නායකයි. එතරම් වූ රූපයකින් මේ සත්‍ය ගවේශන වාර්තා සමූහය සංක්ෂිත අර්ථයකට කැටිකොට මේ ග්‍රන්ථයට අගනා වැස්මක් නිමවන දර්ශන කරුණාතිලක ද ඉහත සාර්වත්‍රික සත්‍යයට නිදසුන් දක්වනු වැනිය. අප නැවතත් අවධාරණය කරනුයේ ‘සටනින් සටන‘ ග්‍රන්ථය යනු සාර්වත්‍රික සත්‍යයකට අනුබල වන්නා වූ නියත සත්‍ය ගවේෂණයක් ම වන බවයි. මෙම ප්‍රබන්ධයක් නොවන බව මේ ගවේෂකයා ම අවධාරණය කරනුයේ අතිශයෝක්තියට නැඟන සත්‍යය සහ සත්‍යය අප වෙන්කොට දැකිය යුතු බව පවසමිනි.