වැව් දසුනේ ලේඛකයෝ-2
දශක හයක් යනු තරමක් දිගු කාලයකි. පාසලක නම් හැට වසරක් තුළ පරම්පරා කිහිපයක් ම අධ්‍යාපනය ලබයි. ඔවුන් ජීවත්වන සමාජ පසුබිම මෙන්ම සිතුම් පැතුම් වෙනස් ය. එසේ නම් හැට වසරක් තුළ විවිධ කාල පරාසවල යම් පාසලක අධ්‍යාපනය ලැබූ ආදි සිසුන් තිස් දෙනෙකුගේ නිර්මාණ එක මිටකට ගොනු වන්නේ නම් එය ආශ්චර්යයක් එක්තරා සුවිශේෂී දෙයකි.
මේ සුවිශේෂී ව්‍යායාමය මහනුවර ධර්මරාජ විද්‍යාලය මෙරට සාහිත්‍ය ක්ෂේත්රයට දයාද කළ නිර්මාණකරුවන් තිස් දෙනෙකුගේ කෙටිකතා ඇතුළත් වැව් දසුනේ ලේඛකයෝ - 2 කෘතියයි. මෙය ධර්මරාජ ලේඛකයන්ගේ දෙවන වයායාමයයි. මෙම කෘතිය වැව් දසුනේ ලේඛකයෝ 2 වන්නේ ඒ නිසා ය. වැව් දසුනේ ලේඛකයෝ 1 බිහි වන්නේ මීට වසර 17කට පෙරදී ය; එනම් වසර 2002 දී ය.
වැව් දසුනේ ලේඛකයන්ගේ කෙටි කතා සංග්‍රහ දෙකට ම මුල පිරූ චරිතයක් අප හමුවේ සිටී. ඒ අජිත් රංජන් ඒකනායකයි. ඔහු වැව් දසුනේ ලේඛකයෝ 1 ට මුල පුරන්නේ සම්මානනීය කලාකරුවකු වන කපිල කුමාර කාලිංග සහ ධම්මික මාභරණ සමඟිනි.
ඊට වසර 17කට පසුව වැව් දසුනේ ලේඛකයන්ට පණ දෙන්නට රංජන් ඒකනායකට සහය වන්නේ පුෂ්පානන්ද ඒකනායක සහ නීල් ප්‍රියන්ත කරුණාරත්නයි. පුෂ්පානන්ද මෙරට මුද්‍රිත ලෝකයේ ඓතිහාසික චරිතයකි. සිංහල පරිගණක අක්ෂර මාලා හඳුන්වා දීමේ පුරෝගාමියකු වන ඔහු එෆ් එම් සහ ඉසි ඇතුළු ෆොනුරූ නිර්මාපකයා ඔහු ය. නිල් ප්‍රියන්ත කරුණාරත්න කලක් ටී.එන්.එල් රූපවාහිනියේ වැඩසටහන් කළමනාකාර ලෙස කටයුතු කළ අතර දැනට රාජ්‍ය සේවයේ නියැළෙමින් කලා කටයුතුවල ද නියුතු වන්නෙකි.
ශ්‍රි ලංකාවේ සෑම ක්ෂේත්රයක ම විශිෂ්ටයන් අතර ධර්මරාජයේ ආදි සිසුන් බොහෝ දෙනෙකු සිටිති. මෙරට නවකතාවට පිදෙන ඉහළම සම්මානය වන ස්වර්ණ පුස්තකය සම්මානය මෙවර හිමිවූයේ ද ‘අදිසි නදිය’ නවකතාව වෙනුවෙන් දම්රද ආදි සිසු කපිල කුමාර කාලිංග වෙතයි.
කෘති දෙකේ ම සංස්කරණයට එක්වූ අජිත් රංජන් ඒකනායක වැව් දසුනේ ලේඛකයෝ පිළිබඳ ව අදහස මතුවූ අයුරු මෙසේ සිහිපත් කළේ ය. ඔහු සැලසිනේ ආයතනයේ නිර්මාණ අධ්යක්ෂවරයකු ලෙස කටයුතු කරයි.
‘අපි ධර්මරාජ මාධ්‍ය සංසදය පිහිටුවා ගැනීම වෙනුවෙන් මීට කලකට ඉහතදි පැවැත්වූ උත්සවයට ධර්මරාජයෙන් බිහිවුණ ලේඛකයන්ගේ රැසක් පැමිණ සිටියා. ඒ අවස්ථාවේදී ධර්මරාජයේ ලේඛකයන්ගේ නිර්මාණ ඇතුළත් කරලා අපි කෙටිකතා සංග්‍රහයක් කරමුයි කපිල කුමාර කාලිංග යෝජනාවක් ඉදිරිපත් කළා. වැව් දසුනේ ලේඛකයෝ 1 ප්‍රකාශයට පත්වුණේ ඒ අයුරින්.
ඉන්පසු ඒ කෘතියම නැවත සංස්කරණ කරලා එයට නව නිර්මාණ කිහිපයක් ද ඇතුළත් කරමින් 2016 වසරේදි යළිත් ජනගත කළා. එහි සංස්කරණ මණ්ඩලය වූයේ කපිල කුමාර කාලිංග, පුෂ්පානන්ද ඒකනායක හා මමයි.’
අනතුරුව අප හා සංවාදය එක්වූයේ නීල් ප්‍රියන්ත කරුණාරත්නයි. ඔහු ප්‍රවීණ මාධ්‍යවේදියෙක් හා ලේඛකයෙකි.
‘මේ කෘතියේ පළමුවැන්න නිකුත් වී තිබුණේ මීට වසර 17 කට ඉහතදීයි. එහි බහුතරයක් තිබුනේ ප්‍රවීණ ලේඛකයන්ගේ කෙටිකතා. ඒත් ගතවූ දශක දෙකකට ආසන්න කාලය තුළ නව ලේඛක පරපුරක්ද බිහිවී තිබුණා. ඒ නව පරපුර හඳුන්වා දීමට අපිට අවශ්‍ය වුණා.
මෙහි විශේෂත්වය වන්නේ මෙවර කෙටිකතා ලියූ බොහෝ දෙනා පූර්ණකාලීන ලේඛකයන් නොවීමයි. ඒත් ඔවුන් ඉඳහිට කරන නිර්මාණ වලින් ඔවුන්ට නිර්මාණ හැකියාව තිබෙන බව අප වටහා ගත්තා. වැව් දසුනේ ලේඛකයෝ 2 බිහිවුණේ ඔවුන් හැමෝටම වේදිකාවක් තනා දීමේ අරමුණින්.
‘වැව් දසුනේ ලේඛකයෝ - 1 ග්රන්ථයට ඇතුළත් වූයේ නිර්මාණ 15 ක් පමණක් වුවත් මෙවර ග්රන්ථයට කෙටි කතා 30 ක් ඇතුළත් වනවා. මෙහි විශේෂත්වය වන්නේ ඉංග්‍රිසි බසින් ද කෙටිකතාවක් ඇතුළත්ව තිබීමයි. මුලින් අපේක්ෂා කළාට වඩා නිර්මාණ ප්‍රමාණයක් ලැබුණා. ඒ අනුව බැලුවාම මේක කෙටි කතා නිර්මාණ වුණාට ලොකු වැඩක් ලෙකු පොතක් වුණා. “
මෙම පොතකට තම කෙටි කතා නිර්මාණ එකතු කළ සම්මානනීය ලේඛක කපිල කුමාර කාලිංග දරුවේ මෙවන් අදහසකි.
‘මෙම ග්‍රන්ථය ප්රකාශනය කිරීමේ මූලික අරමුණ වුනේ ධර්මරාජයෙන් බිහිවුණ ලේඛකයන් වර්තමාන සිසුන්ට සහ සමාජයට හඳුන්වා දීමයි. විශේෂයෙන් දෙල්තොට චන්ද්‍රපාල, ධර්මසේන පතිරාජ ඊටත් එහා ගියොත් ඩේවිඩ් කරුණාරත්න වැනි අයගේ නිර්මාණත් එයට ඇතුළත් වුණා.
කෙනකුට ප්‍රශ්නයක් එන්න පුළුවන් ඇයි මේකට වැව් දසුනේ ලේකකයෝ කියන්නේ කියලා. මහනුවර ධර්මරාජ විදයාලයය පිහිටා තිබෙන්නේ බෝගම්බර වැවට නැගෙනහිර දෙසින් ඇති ඇති දර්ශනීය බිම් කඩක. ඒ කඳු මුදුන හඳුන්වන්නේ ලේක් විව් පාර්ක් කියා. මහනුවර වැව ඇතුළු නගරය රමණීය ව දර්ශනය වන මේ බිම් කඩ වැව් දසුන ලෙසිනුත් හඳුන්වනවා. ඒ නිසයි වැව් දසුනේ ලේඛකයෝ කියල නම් කළේ.
එදා ධර්මරාජ මාධ්‍ය සංසදය පිහිටවූ දවසේ තවත් වැදගත් අදහසක් මතුවුණා. ඒ ධර්මරාජයේ සිටි ගුරුවරුන් ගැන මතක සටහන් ඇතුළත් ග්රන්ථයක් කිරීමට. අපට මේ වන තෙක් එය කිරීමට නොහැකි වුණා. ඒත් ඒ ගුරුවරු ගැන දැනටමත් අපේ සහෝදරයින් ලියා තිබෙනවා. නව පරපුර හරි ඒ ග්‍රන්ථය කරනවා නම් හොදයි. එය එම ගුරුවරුන්ට අගනා උපහාරයක් වේවි.’
ප්‍රවීණ කවියෙක්, කෙටිකතාකරුවෙක් හා සාහිත්‍යවේදියෙක් වන කපිල. එම්. ගමගේ ද වැව් දසුනේ ලේඛකයෙකි.
‘පාසලක ආදි ශිෂ්‍ය සංගමයක් මෙවන් කටයුත්තකට යොමු වීමේ විශාල වටිනාකමක් තියෙනවා. බොහෝ ආදි ශිෂ්‍ය සංගම් අරමුදල් තරකිරීමට වෙනත් විවිධ දේවල් කරද්දි අපේ ආදි ශිෂ්‍ය සංගමය මෙවන් සක්‍රිය කලා කර්තව්‍යයකට තමන්ගේ ධනය, කාලය, ශ්‍රමය වැයකරනවා කියන්නේම වෙනස් දෙයක්. ඒ වගේම අපේ ආදි ශිෂ්‍ය සංගමය මෙවන් දෙයක් කිරීම වර්තමාන සිසුන්ට හොඳ පූර්වාදර්ශයක් ද වෙනවා.’
සුදත් මහදිවුල්වැව ප්‍රවීණ සිනමාවේදියෙක්, ටෙලිනාට්යවේදියකු වෙළඳ දැන්වීම් නිර්මාණකරුවෙකි. වැව් දසුනේ 2 ලේඛකයෙකු වූ ඔහු ඒ පිළිබඳ ව අදහස් දැක්වූයේ මෙලෙසිනි.
‘මම හිතනවා මේ වැඩේ සෙසු ආදි ශිෂ්‍ය සංගම් කොපි කරන්න ඕන වැඩක් කියලා. මේකෙන් අපිට අවස්ථාවක් ලැබෙනවා ආයේ පාසල ඇතුළට එන්න. පාසල ඇතුලේ ඉන්න අයට අවස්ථාවක් ලැබෙනවා එළිය සිටින අය වෙත ආලෝක ධාරාවක් එල්ල කරලා බලන්න. මේ වැඩේ ඇත්තටම බැක් ටු ස්කුල් වගේ වැඩක්.
මම හිතන විදියට කෙටිකතාවට කියන්නේ එයට ම අනන්‍ය ලක්ෂණ ඇති කේවල මාධ්‍යයක්. කෙටිකතාව කියන්නේ නවකතා ලියන්න පුරුදු පුහුණු වන භුමියක් එහෙම නෙවේ. එය වෙනම කලාවක්.
මම මුලින්ම කෙටිකතාවක් ලිව්වේ මගේ හිත වඩාත් සසල කළ සිදුවීමකට දැක්වූ ප්‍රතිචාරයක් විදියට. වැව් දසුනේ ලේඛකයෝ 1 කට ඇතුළත් වූයේ එම කෙටිකතාව. ඒ කතාවත් එක්ක මම දිගටම ජිවත්වුනා. මෙවර ලියවුෙණ් එම කෙටිකතාවේ දෙවැන්න. ඉදිරියේදි එම කෙටිකතාවේ තුන්වැනි කොටසත් මම ලියනවා. එතකොට මෙය තුන්ඇදුතු කෙටිකතාවක් වෙයි.
වැව් දසුනේ ලේඛකයෝ 2 ග්රන්ථයට නිර්මාණ සැපයූ සෙසු ලේඛකයන් ගැන කෙටියෙන් හෝ සඳහනක් කළ යුතුය. කලා මාධ්‍ය ක්ෂේත්රයේ පූර්ණකාලිනයන් සේම වෙනත් ක්ෂේත්රවල යෙදෙමින් නිර්මාණකරණයේ යෙදෙන අය ද මීට ඇතුළත් ය.
ඒ අතරින් අප අතරින් වෙන්වූ කීර්තිමත් සිනමාකරු ධර්මසේන පතිරාජද කෙනෙකි. අජිත් ධර්මසූරිය සම්මානනීය චිත්‍ර ශිල්පියකු, කෙටිකතාකරුවකු මෙන්ම චිත්‍රපට හා ටෙලි නාට්‍ය තිර රචකයෙකි. දැනට කැනඩාවේ වෙසෙන චන්ද්‍රරත්න බණ්ඩාර ප්‍රවීණ සාහිත්‍යකරුවකු හා විචාරකයෙකි. කැනඩාවේම වෙසෙන රුවින්ද්‍ර අබේතුංග තොරතුරු තාක්ෂණ ක්ෂේත්රයේ ප්රවීණයෙකි.
ප්‍රවීණ මාධ්‍යවේදියෙකු වන ෂර්ලි අනිල් ද සිල්වා මේ වන විට ජාතික මාධ්‍ය මධ්‍යස්ථානයේ මෙහෙයුම් අධ්‍යක්ෂක ලෙස කටයුතු කරයි. ප්‍රසාද් නිරෝෂ බණ්ඩාර මාධ්‍යවේදියෙක් තරුණ සාහිත්‍යවේදියෙක් විචාරකයෙක් හා සමාජ ක්රියාකාරිකයෙකි. එරන්ද මහගමගේ සිනමාවේදියෙක් ලේඛකයයෙක් පර්යේෂකයෙක් හා කලා විචාරකයෙක් වේ. සුපුන් අතුකෝරල කවියෙකි. තීරු ලිපි රචකයකු හා නිදහස් මාධ්‍යවේදියකු වේ. චන්න දොළපිහිල්ල ප්‍රවීණ පුවත්පත් කලාවේදියෙක් සහ ලේඛකයෙකි.
විකල්ප පුවත්පත් කලාවේදියකු වන රෝහිත භාෂණ අබේවර්ධන දැනට ජර්මනියේ වෙසෙයි. ධර්ම ශ්‍රී කාරියවසම් ප්‍රවීණ පුවත්පත් කලාවේදියෙක් මෙන්ම ලේඛකයෙකි. බන්ධුල ගුණරත්න ප්‍රවීණ පුවත්පත් කලාවේදියකු, සඟරා සංස්කාරකවරයකු සහ ලේඛකයෙකි. මොහාන් ශ්‍රියන්ත ආරියවංශ ජනමාධ්‍යවේදියෙක් මෙන්ම වෙළඳ ප්‍රචාරණ ක්ෂේත්රයේ නිර්මාණ අධ්‍යක්ෂකවරයෙකි. කැලුම් වැලිගම ජනප්‍රිය ලේඛකයකු මෙන්ම පුද්ගල සංවර්ධන උපදේශකයෙකි. සමීර බණ්ඩාර වීරකොන් ප්‍රවීණ ගුවන් විදුලි මාධ්‍යවේදියෙකි. දැනට ඔස්ට්‍රේලියාවේ පදිංචි බැංකු ක්ෂේත්රයේ ප්‍රවීණයකු වන සමන් කුලරත්න ගී පද රචකයෙකි.
හිටපු රේගු අධ්යක්ෂ ජනරාල්වරයකු මෙන්ම හිටපු සමාගම් සභාපතිවරයකු වන ලලිත් හීන්ගම ලේඛකයෙකු මෙන්ම පරිවර්තකයෙකි. ඇමරිකාවේ නිව්යෝක් හි වෙසෙන තුෂාර දියබලනගේ පර්යේෂණ විද්‍යාඥයෙකි. හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකු මෙන්ම ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු සභාපතිවරයා වූ ගාමිණි ගුණවර්ධන ද මේ කෙටි කතා පොතට තම නිර්මාණයක් එක් කොට ඇත. පරිගණක ආශ්‍රීත නිර්මාණකරණයේ යෙදෙන සුජිව ක්‍රිෂාන්ත ගමගේ විශේෂාංග ලේඛකයෙකි. චතුර ජයතිලක කෙටි චිත්‍රපට හා ඒකාංගික ටෙලි නාට්‍ය අධ්‍යක්ෂකවරයකු මෙන්ම කලා විචාරකයෙකි. වෘත්තිය ඡායාරූප ශිල්පියකු වන හේමන්ත අරුණසිරි ඡායාරූප ගුරුවරයෙකු, ලේඛකයකු මාධ්‍යවේදියකු මෙන්ම සඟරා කතුවරයෙකි. ලක්ෂ්මන් ඉලංගකෝන් නාවික හමුදාවේ රියල් අද්මිරාල්වරයකු ලෙස විශ්‍රාම ලැබූ අතර, ග්රන්ථ ලේඛකයකු හා බ්ලොග් රචකයෙකි. නිලන්ත සත්සර ගමගේ මුහුණු පොතේ රචකයෙක් සහ බ්ලොග් රචකයෙකි. කලා ක්‍රියාකාරිකයෙකු වන චන්දිම සමරකෝන් මේ කෘතියට ලියන ළාබාලතමයා ය.
පුෂ්පානන්ද ඒකනායක, නීල් ප්‍රියන්ත කරුණාරත්න සහ රන්ජන් ඒකනායක විසින් සංස්කරණය කරන ලද වැව් දසුනේ ලේඛකයෝ ජන ගත වන්නේ 2019 ඔක්තෝබර් මස 10 වැනිදා සවස 3.30 ට මහවැලි කේන්ද්‍රයේදී පැවැත්වෙන ‘ධර්මරාජ අභිමානයේ අභිෂේකය’ නම් උත්සවයේදී ය.
මීට සමගාමී ව එදින ධර්මරාජ කලා නාමාවලිය 2019 සහ ප්‍රවීණ සිංහල අකුරු නිර්මාණ ශිල්පී පුෂ්පානන්ද ඒකනායක විසින් ධර්මරාජ විද්‍යාලය වෙනුවෙන් නිර්මාණ කරන ලද ධර්මරාජ ෆොනුරු පවුල නිල වශයෙන් විද්‍යාලය වෙත පිරිනැමීම ද සිදු කෙරේ
වැව් දසුනේ ලේඛකයෝ 2 යනු දශක ගණනක් පුරා මෙරට සාහිත්‍ය ක්ෂේත්රය පෝෂණය කළ ආදි ධර්මරාජයීයන්ගේ තවත් සුවිසෙස් කර්තව්‍යයකි. අනෙකුත් පාසල් වල ආදි සිසුන්ටද පූර්වාදර්ශයක් වන මෙම ග්‍රන්ථය ජනගත කිරිමේ උලෙළට පැමිණ එහි සාක්ෂිකරුවෙක් වන මෙන් ආදි ධර්මරාජ මාධ්‍ය සංසදය සැමට ඇරයුම් කරයි.