වලිසිංහ හරිස්චන්ද්‍ර මැතිතුමා | සිළුමිණ

වලිසිංහ හරිස්චන්ද්‍ර මැතිතුමා

ශ්‍රී ලංකාව යටත් විජිතයක් වී පැවති සමයේ ජනතාව නොයෙක් තාඩන පීඩනවලට ලක්විය. පෘතුග්‍රීසි, ලන්දේසි, ඉංග්‍රීසීන් යන විදේශීය ජාතීහු මෙරට යටත්කර ගනිමින් වටිනා සම්පත් විනාශ කළහ. රටේ ජනතාවද නොයෙක් කරදරවලට ලක් කළහ. මෙවැනි පීඩාකාරී තත්ත්වයන්ගෙන් රටත්, ජනතාවත් බේරා ගැනීමට සිංහල දේශයේ වීර‍යන් පෙරට පැමිණියෝ ය. ඒ අතරින් වලිසිංහ හරිස්චන්ද්‍ර මැතිතුමාගෙන් ඉටු වූ සේවාවන් සුවිශේෂි ය.

1886 ජූලි මස 9 වැනි දින මීගමුව හුණුපිටිය ග්‍රාමයේදී මෙතුමා උපත ලැබීය‍. මෙතුමාගේ පළමු නම වූයේ එඩ්වඩ් ද සිල්වා ය. කුඩා කාලයේ සිට බුදුදහම පිළිබඳ උනන්දුවකින් පසු වූ එතුමා දෙමවුපියන් විසින් හුණුපිටියේ සුගතරාමාධිපතිව වැඩ සිටි ධම්මරතන තිස්ස නාහිමියන් වෙත යොමු කරන ලදී.

රට ජාතිය පිළිබඳ උදාර හැඟීමෙන් කටයුතු කළ මෙතුමා පසුව අනගාරික ධර්මපාල තුමාගේ දේශනයන්ට සවන්දීමෙන් තම නම වලිසිංහ හරිස්චන්ද්‍ර යනුවෙන් වෙනස් කරගත්තේ ය. ඉංග්‍රීසි පාලකයන්ට විරුද්ධව කටයුතු කිරීමට ජනතාව සමඟ එක්විය. ‘අනුරාධපුර ශුද්ධ නුවරය’ නම් ග්‍රන්ථය රචනා කරන ලද්දේ මේ නගරයේ ඇති වැදගත්කම කියාපාමින් පුරාවස්තු රැකගැනීමේ අරමුණු ඇතිවය. එහි ඉංග්‍රීසි පිටපතක් බ්‍රිතාන්‍ය රජය වෙත යවා මෙරට කෙරෙන පුරාවස්තු විනාශය නතර කිරීමට මෙතුමාට හැකි විය.

රට ජාතිය ආගම වෙනුවෙන් නොබියව ඉදිරියට පැමිණි බ්‍රහ්මචාරී වලිසිංහ හරිස්චන්ද්‍ර මැතිතුමා අනාගත පරපුරට ආදර්ශවත් චරිතයකි.

උදානි එවන්යා

9 ශ්‍රේණිය ‘බී’,

බණ්ඩාරගම ජාතික පාසල,

බණ්ඩාරගම

Comments