‘ශ්‍රී සුමංගල’ මිණි පහන නිවී ගිය හැටි ගැන යගිරල නාහිමි ලියූ චරිත කතාවක් | සිළුමිණ

‘ශ්‍රී සුමංගල’ මිණි පහන නිවී ගිය හැටි ගැන යගිරල නාහිමි ලියූ චරිත කතාවක්

“19 වැනි ශත වර්ෂයේ අග පනස් වස ද 20 වැනි ශත වර්ෂයේ මුල දසවස දැයි මෙසේ සැට වසක් ලක්දිව ධර්මශාස්ත්‍රාලෝකය පතුරුවා ලීමෙහි ප්‍රමුඛ වූ කොළඹ මාලිගාකන්දේ විද්‍යෝදය පිරිවෙනෙහි ආදිකර්තෘ වූ ත්‍රිපිටකවාගීශ්වරාචාර්ය උපාධ්‍යාය පණ්ඩිත සර්වභෞම හික්කඩුවේ ශ්‍රී සුමංගලාභිධාන ශ්‍රීපාදස්ථානයේ හා දකුණු බටහිර පළාත්වල ප්‍රධාන නායක මාහිමියන් වහන්සේගේ චරිත කතාව ඇසීමට සාමාන්‍යයෙන් සියලු දෙනා ද විශේෂයෙන් සිංහල බෞද්ධ ජනතාවද මහත් ආසාවෙන් බලාපොරොත්තු වන බව නිසැකය.”

1947 වසරේ “ශ්‍රී සුමංගල චරිතය” ගෝනගල සුද්ධර්මාකාර පරිවෙණාධිපති ත්‍රිපිටකවාගීශ්වාරාචාර්ය උපාධ්‍යාය පණ්ඩිත යගිරල ශ්‍රී ප්‍රඥානන්දාභිධාන පහතරට ප්‍රධාන නායක මා හිමියන් වහන්සේ විසින් ප්‍රකාශයට පත් කළහ. ඊට බොහෝ කලකට පෙර උගත් භික්ෂු නමක විසින් පාලි පද්‍යයෙන් රචනා කරන ලද ඉතා කුඩා චරිත කථා ග්‍රන්ථය හැර ශ්‍රී සුමංගල මාහිමියන් වහන්සේ අපවත් වී මෙතෙක් කලක් ගත වන තුරුත් අංග සම්පූර්ණ අපදාන ග්‍රන්ථයක් සම්පාදනය වී නැති ලු. 1947 වසරේ රු. 10 කට මිල නියමව තිබූ අතර එම කෘතිය ද පුස්තකාලයක මිස සුලභ වී නැත. ශ්‍රී සුමංගල චරිතය (ප්‍රථම සහ ද්විතීය භාග) නුගේගොඩ සරසවි ප්‍රකාශනයක් ලෙස දැන් පළ වී ඇත. එහි පිටු 988 කි.

1963 වසරේ ගාල්ලේ විද්‍යාලෝක පරිවෙණාධිපති රාජකීය පණ්ඩිත හෑගොඩ ඛේමානන්ද හිමියන් විසින් ප්‍රතිපාදිත “දෙයියො” හෙවත් හික්කඩුවේ නායක හාමුදුරුවෝ” නම් කෘතියක් පළ වී තිබේ. තම කෘතියේ සංඥාපනයේ උන්වහන්සේ මෙසේ දක්වති.

“ලංකාවේ වීර චරිත අතර උතුම් ම එක පාඨක ලෝකයාට - විශේෂයෙන් ගිහි පැවිදි බාල පරපුරට කියවීමට පහසු සුලබ නැත” යන හැඟීමේ ප්‍රතිඵලයක් වශයෙන් “දෙයියො” බිහිවිය. “දෙයියො” යන නාමය වූ කලී හික්කඩුවේ ශ්‍රී සුමංගල නායක මාහිමියන් වහන්සේට උන්වහන්සේගේම ශ්‍රේෂ්ඨතම ශිෂ්‍යයා වූ මහගොඩ ශ්‍රී ඥානේශ්වර නාහිමිඳු විසින් ව්‍යවහාර කරන ලද මහනීය නාමයයි. ඒ උතුම් සරල නාමය මේ ගතට ද තෝරා ගැනිණි. එ් ගතෙහි ආරම්භය චමත්කාරය දනවන සුලු ය.

“අනේ! රාළහාමී, මේ දරුවාගේ කේන්දරේ නම් කිසිම වාසනා ගුණයක් පේන්නේ නැහැ. ආයුෂත් අඩුයි. රෝග පීඩාත් බහුලයි. ඉගෙන ගන්නත් බැහැ. මේක මහා කාලකන්නි කේන්දරයක්, මෙයා නම් මහණ කරන්ට මිස වෙන කිසිම එහෙකට හොඳ නැහැ.!

මේ වනාහි 1827 ජනවාරි 20 වැනි දින දකුණු පළාතේ හික්කඩුවේ හෙට්ටිගොඩ නිවෙසක උපන් බිලිඳකුගේ “වේලපත්කඩය” හැදූ නැකැති ගුරුන්නාන්සේ කෙනෙකු විසින් කියන ලද පලාපල ප්‍රකාශයකි. මෙය ඇසූ, දරුවාගේ පියා වූ ගුණවර්ධන රාළහාමි (වලාකුල්ගේ ‍දොන් ජොහානිස් අබේවීර ගුණවර්ධන ලියන ආරච්චි රාළහාමි) “කමක් නැහැ, මගේ පුතාට බුදු සරණයි.” යටි හිතින් හිතමින් ගෙදර විත් තම බිරියට ද මේ පලාපල විස්තර කීවේය.

තම කුසින් උපන් පස්වැනි බිලිඳා “කාලකන්නියෙකැයි” යි ඇසූ මෑණියෝ (දණ්ඩන්ගොඩ ගමගේ ක්‍රිස්තිනා හාමිනේ) ඉතා කණගාටුවට පත් වුණා.

මේ අනාගත වාක්‍යය නිසා. අනෙක් සියලු දරුවන්ට වඩා මේ දරුවා ගැන දෙමාපියන්ගේ ඇල්ම බැල්ම වැඩි විය.

දරුවකු සිව් හැවිරිදි පමණ වන විට පල්ලියෙ ගුරුන්නාන්සේ ළඟ ලියාපදිංචි කිරීම එදා සිරිත ය. වැදගත් යැයි සම්මත පවුල්වල අය බෞද්ධ වුවත් දරුවා බවුතීස්ම ද කරති. බවුතීස්මයේ දී පියා වශයෙන් ඉදිරිපත් වන්නාගේ නම ළමයාට විශේෂ පියා වශයෙන් ඉදිරිපත් වන්නාගේ (අද එය God father නමින් හැඳින්වේ) තැබීම සිරිත ය; එය දේව නාමයකි. ගුණවර්ධන රාළහාමිගේ දරුවාට මේ බවුතීස්මයේ දී ප්‍රදිනන්දියස් උබේසේකර මහතා ය (ඔහු සර් සොලමන් ඩයස් බණ්ඩාරනායක මහ මුදලිතුමාගේ මී මුත්තණුවෝ ය). බවුතීස්මයේදී මාතෘත්වයෙන් පෙනී සිටියේ අබේකෝන් ළමා තැනී ය. මේ දෙපළගේ ම පරපුරෙහි වූ‍වෝ මේ සබඳකම නිසා මාහිමියන්ට සදා හිතවත් වුහ. ඒ නිසා සිරිතක් වශයෙන් “නිකුලස්” යන්න ගුණවර්ධන ළදරුවාට කිරිස්තන් නම තබන ලදි.

වර්ෂ 1827 ජනවාරි 20 වැනි දා ගාලු නගරයට නුදුරු හික්කඩුවේදී ජන්මලාභය ලැබූ නිකලස් 1840 දී සසුන්ගත වූයේ හික්කඩුවේ තිලකාරාමයේ වැඩ විසූ අරුග්ගමුවේ රේවත හිමිගේ ආචාර්යත්වය ලබා ගෙන හික්කඩුවේ ශ්‍රී සුමංගල නමිනි. සුමංගල හිමියන් විද්‍යෝදය පිරිවෙන ආරම්භ කළ කතාවත්, එවකට පැවති පාරුපන වාදය, සව් සත්දම් වාදය, අධිමාස වාදය ආදියත් සෙන්පතිවරයකු වූ හැටිත්, බොහෝ දෙනා අසා ඇති කරුණු ය. නොබෙල් ත්‍යාගයෙන් පිදුම් ලැබූ ඇනටෝල් ප්‍රාන්ස් නමැති ලේඛකයා කීයා ඇති මේ හැඳින්වීමෙන් උන්වහන්සේ මැනවින් හඳුනා ගත හැකිය.

“ලංකාවේ දකුණු බුදු සමයේ (‍ථෙරවාදයේ) මහානායක සුමංගල නවීන විද්‍යාව ඉත සිතින් පිළි ගන්නේය. පෙරෙවි කහ සිවුර නිසා උදාර පෙනුමක් ලබන තඹ පැහැති මුහුණක් ඇති මහලු මොහු බුලත් කමින් හර්බට් ස්පෙන්සර්ගේ පොත් කියවයි. හික්කඩුවේ හිමි දෙවැනි බුදුවරයෙකි”.

ලේඛකයකු, පුවත්පත් කතුවරයකු වූ හේමපාල මුනිදාසයන් සුමංගල මා හිමියන් ගැන කර ඇති මේ විස්තරය එකම වාක්‍යයකින් නිම කර ඇත:

“පැළ දිග තිමිද ගලිත වන හස්තියා ත්‍රී සිංහලයේ කුඹල්හලට කඩා වැදී දෙශවිලොපනයෙහි යෙදුණු එක්වාදහස් පන්සිය පහේ පටන් ම පරාධීනත්වයේ දුෂ්ට විපාකයනට කැප වීමෙනුදු බුද්ධ ශාසනය කෙරෙහි බැඳුණු භක්තියෙනුදු සිංහල ජාතියෙහි චිරස්ථිති කෙරෙහි ඇති වුණු විශ්වාසයෙනුදු, යුක්තව ඒ සමයෙහි දකුණු දෙස අප්‍රකට ගම් පියසක්ව පැවැතුණු හික්කඩුවේ දිළිඳු පෙළේ ගැමි කුලගෙයක ජනිත වී අනාගතය කෙරෙහි යොමු කරන ලද ඇසක් ඇතිව දුක සේ ධර්ම ශාස්ත්‍රොද්ග්‍රහණයෙහි යෙදී සමස්ත බෞද්ධ ලෝකයෙහිම අතුල්‍ය වූ උද්දීප්තියකට පත්ව ඒ ගම් පියස ලොක ව්‍යාප්තියට පත් කොට වදාළ හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමිප‍‍ාණන් වහන්සේගේ උපශාන්ත අපදානය ද රසාස්වාදකයන් හට මධු පටලයකි.”

සුමංගල මාහිමියන්ට දුම්රියකදී සිදු වූ අපුරු සිදු වීමක් හේමපාල මුනිදාසයන් “සිළුමිණ” පුවත්පතට 1955 වසරේ ලියා තිබුණි.

එක් දවසෙක කොළඹ බලා එන උඩරට දුම්රියේ පළමුවන පෙළේ කාමරයක මත්පැනින් මුවහත් වුණු වතුකාර සුද්දෝ අසුන් ‍අරා සිටියහ. පේරාදෙණියේ හන්දියේ දී එය හමුවට පැමිණියේ මිටි වූ කෘශ දෙහයක් ඇති වෘද්ධොපශාන්ත ශ්‍රමණයෙකි. උන්වහන්සේ මේ සුද්දන් සිටි පළමුවැනි පෙළේ කාමරයට ගොඩ වදින්නට සූදානම් වූහ.

“හා - හා, නාකියා! මේක පළමුවන පෙළ. තුන්වන පෙළ පිටි පස්සේ. තව පස්සට පලයන්” යයි එක් සුද්දෙක් දොරකඩ අවහිර කරමින් මහලු තෙරුන්නාන්සේට කීවේය.

එහෙත් තෙරණුවෝ නොබ‍ාම රිය මැදිරියට ගොඩ වැදී ආසනයක කොනකින් වාඩි වුහ.

“නාකියා ඔහෙ හිටපු දෙන්! හිටපු දෙන්! ජීවිත කාලය ඇතුළත එක දවසක්වත් පළමුවන පෙළේ ගිය දෙන්” යයි මෙහි දී තවත් සුද්දෙක් සිය සගයන් සනසවමින් කීවේය.

දුම්රිය වේයන්ගොඩට පැමිණෙනවාත් සමඟම කොළඹ සිට නුවර බලා යන දුම්රිය ද එහි පිවිසියේය. දුම්රිය දෙකම සරල සමාන්තරව නැවතිණ. මහනුවර දුම්රියේ ආණ්ඩුකාරතුමන්ගේ යානය නැවතුණේ මේ සුද්දන් හා මහලු තෙරවරයාණන් සිටි දුම්රිය මැදිරියට සමාන්තරවය. එහි සර් වැස්ට් රිජ්වේ ආණ්ඩුකාරතුමෝ සහපිරිවරින් සිටියහ. එතුමා අනෙක් දුම්රියේ සිටින මහලු තෙරුන්නාන්සේ දුටුවේය. අසුනෙන් වහා නැගිට්ටේය. ඒ දුම්රියෙන් මේ දුම්රියට මාරු වුණේය. තෙරුන්නාන්සේ හමුවට පැමිණ ශිර්ෂ ප්‍රණාමයෙන් හා යුගත් ළමැද එක් කිරීමෙන් අභිවාදනය කළේය. උන්වහන්සේ සමඟ පිළිසඳර කථාවක යෙදුණේය. ලංකේශ්වර සර් වැස්ට් රිජ්වේ ගෙන් ඒ සා බහුමානනීය අභිවන්දනයක් ලබා ඔහුත් සමඟ පරිසමාප්තයෙන්ම ව්‍යක්ත වූ ඉංග්‍රීසියෙන් කථොපකථයෙහි යෙදෙන මේ මහලු තෙරුන්නාන්සේ හමුවේ තවත් අසුන් අරා සිටිය නොහැකි වූ වතුකාර සුද්දෝ තිදෙන අසුන්වලින් නැඟිට මැදිරියේ අනෙක් පැත්තෙන් හිස් එළියට දමා කම්පනයෙන් ප්‍රකම්පනයට පත්වෙමින් නිහඬව සිටියෝය.

විනාඩි විස්සක් පමණ දෙ දුම්රියම ප්‍රමාද වන පරිද්දෙන් පැවැති මේ කථොපකථනයෙන් පසු සර් වැස්ට් රිජ්වේ තවත් වරක් තෙරුන්නාන්සේට අභිවාදන පවත්වා අනෙක් දුම්රියට ගියේය. මෙයින් මඳක් අස්වැසිලි ලැබූ සුද්දෝ තිදෙන මහලු තෙරවරයාණන් හමුවට ගොස් බැගෑපත් ලෙස හිස් නැමුහ.

“සමාවන්න! ඔබ වහන්සේ කවුරුදැයි අපි නොදන්නෙමු. කරුණාකර කවුරුදැයි කියන්න” යයි ඔව්හු ඉංග්‍රීසියෙන් අයැද සිටියෝය.

“මම හික්කඩුවේ සුමංගල; ඉන්නේ මාලිගාකන්දේ විද්‍යොදය පිරිවෙනේ” යැයි මා හිමියෝ පිරිසිදු ඉංග්‍රීසියෙන් පැවසුහ.

“අපගෙන් ඔබ වහන්සේහට සිත් රිදීමක් වුණා නම් අප කෙරෙහි අනුකම්පා කොට අමතක කරන්න”

“නැහැ, නැහැ, මහත්වරුන් මා සිත රිදවීමක් කළේ නැහැ. මට දැක්වූයේ මහල්ලකු හට දැක් විය යුතු අනුකම්පාව පමණයි. ඒ ගැන මම මහතුන්හට කෘතඥ වෙනවා.”

හික්කඩුවේ සුමංගල හිමියෝ අමාරු‍වේ වැටුණ අවස්ථාවක් ගැන “දෙයියෝ හෙවත් හික්කඩුවේ නායක හාමුදුරුවෝ” කෘතියේ එයි. එය එක්තරා අතකින් හාස්‍යජනක සිදු වීමකි.

“හැන්දෑවේ වත පිරිත කීම පිරිවෙන් අධ්‍යාපනයේ අනිවාර්ය කාර්යකි. කරඬු පෙති පිළිම හා පොත්පත් තැන්පත් කළ පුස්තකාලයෙහි බිම පත්කඩ අතුට වාඩි වී පිරිත් කීම සිරිත ය. අනික් ගුරු සිසුන් සහිතව වත පිරිත කීමට දුර්වල අවධියෙහි දී පවා මාහිමියෝ වඩිති. පුස්තකාලය තිබුණේ උඩු මහලේ තලයේ නිසා තරප්පුවෙන් නැඟීමේදී අන් කෙනෙකු විසින් වාරු කර ගෙන යෑම සිරිතය. දිනක් බිහල්පොළ හිමියන් විසින් මාහිමියන් වාරුකරගෙන යද්දී දෙනම ම වැටුණාහ. සියල්ලෝම කම්පිත වූහ. ඔවුන් අස්වසමින් මාහිමියෝ “මට එහෙමට අමාරුවක් නැහැ. බය වෙන්න එපා, බිහල්පොළ තැනත් සමඟ නොවැටී තනියම වැටෙන්ට වුණා නම් මෙපමණවත් අමාරුවක් නැහැ.” යි සිනාසෙමින් පැවසුහ. හැමදෙනාම සිනාසී සැනසුණහ.

යගිරල ප්‍රඥානන්ද හිමියන් විසින් ලියූ “ශ්‍රී සුමංගල චරිතය” කෘතියේ මාහිමියන් වහන්සේගේ ජීවිතයේ අවසන් දින කිහිපය විස්තර කර ඇත්තේ පාඨකයා තුළ අපුරු සිතුවමක් මවමිනි.

ඒ 1911 අප්‍රේල් 21 වැනි දිනයක, පසු දිනක පැවැත්වීමට නියමිත වූ ප්‍රාචීන භාෂොපකාර සංගමයේ විභාගය ගැනීමට සූදානම් වූ ඇතැම් ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයන් හා කතා කරමින් අවවාද දී රාත්‍රී සිරිත් පරිදි සැතපෙන කාමරයට පැමිණ තමන් වහන්සේම දෙපස දෙදොර වසාගෙන සයනාසනගත වූහ. රාත්‍රී 2ට පමණ මාහිමියන් වහන්සේම දෙපස දෙදොර වසාගෙන සයනාසනගත වූහ. රාත්‍රී 2 ට පමණ මාහිමියන් වහන්සේගේ කාමරය අසලින් ගමන් කළ ශිෂ්‍යයන් දෙදෙනකුට මාහිමියන් වහන්සේගේ කාමරයෙන් කෙඳිරිලි හඬක් ඇසී ශිෂ්‍යයන් දෙදෙන ඒ ශබ්දයට කන් යොමු කරමින් කාමරයේ දොර අසලට පැමිණ මොහොතක් කන්දී සිට ශබ්දය මාහිමියන් වහන්සේගේම බව දැන ගත් වහාම කලබලයට පැමිණ දොරට තට්ටු කළහ. කථාවක් නැත. දොරට තට්ටු කළ නමුත් කෙඳිරිය මිස කාමරයෙන් වෙන ශබ්දයක් නොනික්මුණේ ය. නිතර දැල්වෙන පහන නිසා කාමරයේ විවරය කෙළින් ම බිම තිබෙන යමක් දැක්ක හැකි තරම් විය. විවරයෙන් පෙනුණේ මාහියන් වහන්සේ බිම වැටී හිඳින බව ය.”

මේ දර්ශනයෙන් ශිෂ්‍ය දෙපළ සිහි නැති කරවීමට තරම් ප්‍රබල වූ බව පවසන යගිරල හිමියන් මේ දෙදෙනා දොර අරින්නට ගත් ප්‍රබල උත්සාහය අසාර්ථක වී මහත් වෙරක් ගෙන දොරට පයින් ගසා දොර විවෘත කරගෙන මාහිමියන් ඔසවා ඇඳ මත තබා කෑගැසූ අයුරු විස්තර කරති. ශබ්දය ඇසුණු යාබද කාමරයේ සැතපී සිටි හෙයියන්තුඩුවේ නායක හිමියන් හා ඥානේශ්වර හිමියන් වහා එහි දුව විත් සිටින බව දුටු හික්කඩුවේ මාහිමිපාණන් මෙසේ පවසනු ලැබීය.

“මේ තැනලා බයවෙන්ට වත්, කලබල වෙන්නටවත් එපා. මා වැටුණා, මට තියෙන්නෙ වැටීමෙන් ඇති වූ වේදනාවයි, මේ වයසේ අය වැටීම හොඳ නැහැ, ඒ වුණත් බය වීමෙනුත් කලබල වීමෙනුත් එය හොඳ අතට හරවා ගන්ට බැහැ. වෙන යම් දෙයක් කිරීම සුදුසුයි. සේදරම් ආරච්චිලට පණිවිඩයක් යවනවා නම් හොඳයි, මෙතරම් සමූහයක් මෙහි කරදර විඳීමෙන් කාටවත් පලක් නැහැ.”

ඒ වන විට සේදරම් ආරච්චි (ජේ.එස්.රාජසුන්දර) මහතාටත්, දොස්තර සී. ඒ. හේවාවිතාරණ මහතාටත් පණිවුඩ යවා අවසන් ය. සිංහල හා ඉංග්‍රීසි වෛද්‍යවරයන්ගේ බලවත්ම නීතිය වූයේ බිඳුණු උකුළු ඇටය පෑස්සෙන තුරු දකුණු ඇලයෙන් නිදනු මිස වම් ඇලයට නොහැරිය යුතු බව ය. මාහිමියන්ට රෝග පීඩා මෙන්ම නොඉවසිය හැකි වූයේ එක පැත්තකට පමණක් හැරී නිදා ගැනීම ය.

“මාව අනිත් පැත්තට හරවපල්ලා”

මෙසේ කී නමුත් වෛද්‍ය නියමය නිසා කිසි කෙනෙක් එසේ නොකළහ.

මේ අතර මාහිමියෝ සාත්තුකාරයා සමඟ කතාවට වැටුණු හැටි “ශ්‍රී සුමංගල චරිතය” කෘතියේ මෙසේ විස්තර වෙයි:

“උඹ බෞද්ධයෙක්ද?”

“එහෙයි”

“භික්ෂූන්ට ගෞරව කරනවාද?’

“එහෙයි”

“මට කීකරු ද?”

“සම්පූර්ණයෙන් ම කීකරුයි.”

“මා කියන දේ උඹ ඉෂ්ට කරනවද?”

“මට කීකරු ද”

“සම්පූර්ණයෙන්ම කීකරුයි”

“මා කියන දේ උඹ ඉෂ්ට කරනවාද?”

“මගේ ජීවිතය පුදන්ට යයි කියතොත් සත්තකින්ම මම එය ඉතා ම කැමැත්තෙන් කරනවා.” යයි හෙතෙම කීයේ ය.

“ඔව්! උඹ හොඳ මිනිහෙක් බව මට පේනවා. මම උඹෙන් ඉල්ලන්නේ එකම උපකාරයයි. එය කරනවාද” යි ඇසුහ.

“එකම පැත්තකට මට ඉන්ට බැහැ, ඒ නිසා උඹ මාව අනික් පැත්තට හරවපන්” මාහිමියන් වහන්සේ කියන විටම සාත්තුකාරයා ගල් ගැසුණේය.

“ස්වාමීනි, අපට දැන් බුදුන් නැහැ, බුදුන් වෙනුවට අපට ඉන්නේ ස්වාමීන් වහන්සේයි, අනික් පැත්තට මාරු කරන්ට මට තහනම් කොට තිබෙන්නේ ස්වාමීන්වහන්සේට අගුණ නිසයි. එසේ නැතැයි මට කියතොත් කී මොහොතේදීම මම එය පටන් ගන්නවා. දැන් ස්වාමීන් වහන්සේ කියන දේ නම් මට කරන්ට බැහැ” කියමින් ශබ්ද නඟා අඬන්ට පටන් ගත්තේ ය.

දියුණු වූ රෝගයෙන් දුර්වල වෙද්දීම ඒ උත්තමයාගේ අධිවාසනා ශක්තිය තියුණු විය. පැමිණ සිටි හැම දෙනාටම මෙසේ අවවාද කළහ.

“මම මේ අන්තිම ගමනට සූදානම් වෙනවා. කාටත් මෙහෙම වෙලාවක් පැමිණෙනවා. ඒ නිසා කවුරුත් ලෑස්තියෙන් ඉන්ට ඕනෑ. අද දකින්ට ලැබුණා හොඳයි, මින් පසු දකින්ට ලැබෙන්නේ නැහැ.” යි සැමගේ ශෝකාග්නිය දල්වමින් වදාළහ.

මේ කෘතියට ඉංග්‍රීසි හා සිංහල ලියුම් හා දුර්ලභ ඡායාරූප, ප්‍රතිරූප සපයා ඇති දීර්ඝ ලැයිස්තුවේ විශේෂයෙන් මේ නම් ද විය. බද්දේගම පියරතන හිමි, කරඳන ශ්‍රී ජිනරතන නායක හිමි, වැලිවිටියේ සොරත නායක හිමි, වේරගොඩ අමරමොලි හිමි, මහාචාර්ය ගුණපාල මලලසේකර මහතා. “ශ්‍රී සුමංගල උපහාර කලාපයක්” කඩිංගල සෝරත හිමි, ප්‍රේමරත්න අබේසේකර සංස්කරණය කර තිබුණි. මහාචාර්ය සුනිල් ආරියරත්න විසින් ලියූ ලියන ලද “ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය වෘත්තාන්තය” කෘතියේ හික්කඩුවේ හිමියන් ගැන තොරතුරු රැසක් ලියැවී ඇත.

යගිරල හිමියන් ලියූ කෘතියේ එන සුමංගල මාහිමියන්ගේ අවසාන මො‍හොත 1911 අප්‍රේල් 29 දින ගැන ඇති මේ සටහනින් මේ ලිපිය අවසන් කරමි:

“වේලාව රාත්‍රී 7ට පමණ විය. හෙයියන්තුඩුවේ මාහියන් හා ඤාණිස්සර යතීන්ද්‍රයන් ළඟට ගෙන්වා අවවාද කළ නමුත් එයින් සමහර කොටස් තේරුම් ගත නොහැකි විය. ඉන්ද්‍රීය දුර්වලත්වය සීමාන්තයට පැමිණියේ ය. ආශ්වාස ප්‍රශ්වාස කිරීම ද වේදනා සහිත බව පෙනුණි. එහෙයින් ඒ පහසුවනු පිණිස (ඔක්සිජන්) යන්ත්‍රයක් ඉදිරිපිට තැබීය. මේ අතර භික්ෂූන් දෙනමක් ඉතා මිහිරි ලෙසත්, හොඳට අක්ෂරෝච්චාරණය වන ලෙසත් වරක් සතිපට්ඨාන සුත්‍රය ද, වරක් විභංගප්‍රකරණය ද කීහ. අන්තිම වරට ධම්මසංගණිය මඳක් කියවන විට රාත්‍රී පැමිණියේය. අහෝ ලංකා ශාසනය අනාථ කරමින්, දහස් ගණන් හිතවත් ගිහි පැවිදි ශිෂ්‍ය දායක සමූහයා දුක් සයුරේ ගිල්වමින් ලක්දිව දෘඪ ශෝකාන්ධකාරයේ හෙළමින් මා හිමියන් අවසාන හුස්ම හෙළා ජන්මාන්තරගත වූහ. අහෝ! දිනෙන් දින දීප්තිමත් වෙමින් ශත වර්ෂ බාගයකටත් වඩා දීර්ඝ කාලයක් ශ්‍රී ලංකා මන්දිරය එකාලෝක කළ ශ්‍රී සුමංගල මිණි පහන ශෝකාන්ධකාරය පතුරවමින් නිවී ගියේය.”

ඡායාරූප පිටපත් කිරීම - ලාල් සෙනරත්

 

Comments