
“චිත්‍රපට කලාව පිළිබඳ සිංහලෙන් ලියැවුණු ප්‍රථම කෘතිය වන බෙනඩික්ට් දොඩම්පේගම විසින් ලියූ “චිත්‍රපට ආස්වාදනය” (Film Appreciation) නම් කෘතිය දැනීමකුත්, චිත්‍රපට කලාව ගැන මනා අවබෝධයකුත් ලබා දෙයි. මේ කරුණු දෙකම මේ පොතෙන් ඉටු වෙයි.”
ලෙස්ටර් ජේම්ස් පීරිස් විසින් 1957 වසරේ කොළඹ සිරිලක් ට්‍රාන්ස්ලේටර්ස් බියුරෝ මඟින් ප්‍රකාශිත බෙනඩික්ට් දොඩම්පෙගම ලියූ “චිත්‍රපට ආස්වාදනය” කෘතියට පෙරවදනක් ලියමින් කියා සිටියේය.
විශ්ව සිනමාව ගැන චිත්‍රපටයක කාර්මික ලක්ෂණ, චිත්‍රපටියක් නිපදවීමට මූලික වන්නන් ගැන, චිත්‍රපටියකට ගැබ්වන කතාව ගැන, කතාව චිත්‍රයට නැඟීම, සකස් කිරීම (සංස්කරණය), චිත්‍රපට නළුකම, චිත්‍රපට සංගීතය සහ වෙනත් ශබ්ද, හෙට ඔබ චිත්‍රපටයක් බැලීමට ගිය විට, ඔබ චිත්‍රපට බලන්නට යන්නේ ඇයි? චිත්‍රපටය යනු කුමක් ද? වැනි මාතෘකා ඔස්සේ ලංකාවේ මුල්වර සිනමාවේ සිද්ධාන්ත, මූලධර්ම ගැන ලියූ මුල් ම සිංහල ග්‍රන්ථය “චිත්‍රපට ආස්වාදනය” කෘතිය ලෙස සැලකිය හැකිය. එහෙත් සිනමාව ගැන ලියැවුණු මුල් ම පොත ලියා ඇත්තේ 1956 වසරේ ඇම්.පී. නෙත්තසිංහ ලියූ “චරිත නිරූපණය හා විචාරය” බව මුල් වරට හෙළි කළේ ආචාර්ය නුවන් නයනජිත් කුමාර විසින් 2005 වසරේ ලියූ “ශ්‍රී ලාංකේය සිනමා වංශය” කෘතියේ ය. (පිටුව 404) එම කෘතිය ගැනත් එහි කර්තෘවරයා ගැන පසුව ලිපියක් ලිවීමට බලාපොරොත්තු වෙමු.
ලේඛකයා හැම විට ම අලුත් වන මනසකින් හෙබුණේ විය යුතුය. ඔහු ලෝකය එන හැටි, පෘථිවිය කැරකෙන ආකාරය හා මේ මොහොත් විවිධ තැන්වල සිදුවන සිද්ධීන් තීක්ෂණ ලෙස නරඹන්නෙකු විය යුතුය. ඔහු මනාව ප්‍රශ්න තමාගේ ප්‍රශ්න වශයෙන් සලකන්නට ඕනෑ ය. ඔහුට මිනිස්කම පිළිබඳ උණුහුමක් ගැහෙන හදවතක් තිබිය යුතුය. එසේම දහසක් දේ අතුරින් නිසරු දේ ඉවත් කොට, බොල් වී අතහැර දමා නියම වටිනාකම් සහිත දේ තෝරා ගන්නටත්, ඔහු ප්‍රවීණ විය යුතුය. ස්ථානය, පුද්ගලයකු තුළ හෝ සිද්ධියක තැන්පත් විශේෂ ලක්ෂණ ඒ ලක්ෂණයන්ට සුදුසු වාග් මාලාවට නගන්නට ඔහු තුළ පුරුද්දෙන් ලත් දක්ෂතාවක් තිබිය යුතු වන්නේය. මේ සුදුසුකම් එකිනෙක ගෙන බැලූ විට ඒ හැම එකකින් ම ප්‍රබුද්ධ ලේඛකයෙකු යයි කියන විරුදාවලියට සුදුස්සෙකු වශයෙන් බෙනඩික්ට් දොඩම්පෙගම ලේඛකයා ඉදිරිපත් කළ හැකිය.
ඔහුට ලේඛන කලාව ජීවිතයයි. මානව ප්‍රශ්න ඔහු ගේ එදිනෙදා පෞද්ගලික ප්‍රශ්න වැනි ය. විද්‍යාවේ පටන් මනාව ශාස්ත්‍ර දක්වා විවිධ විෂයයන් කෙරෙහි විහිදි ගිය මනසක් ඔහු සතුව ඇත්තේය. ඒ නිසා කවර විෂයයන් පිළිබඳව වුවද ගැඹුරු දැනුමෙන් යුතුව ලියන්නට කියන්නට ඔහු හැම විට ම සමත් ය.
තමාගේ “චිත්‍රපට ආස්වාදනය” කෘතිය 1957 ප්‍රකාශයට පත් වන විට චිත්‍රපට කලාව ගැන යම්තම් හෝ සිංහල චිත්‍රපට පවා නිසිසේ විවේචනය කළ එකම සඟරාව ‘සංස්කෘති’ ය පමණක් බව කියා ඇති දොඩම්පේගම මහතා තමාගේ මුල් ම කෘතිය ලිවීමේදී මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර, මහාචාර්ය ලියන් ලුඩොවයික්, ලූමන් රාජපක්ෂ, චාල්ස් අබේසේකර, මයිකල් සන්නස් ලියනගේ ආදින් උපකාර කළ බව සඳහන් කර ඇත. පසු කලෙක “සිළුමිණ” කර්තෘ මණ්ඩලයට බැඳුණු දොඩම්පේගම මහතා එහි විශේෂාංග කර්තෘ ලෙස වසර විස්සක් පමණ සේවය කර ඇත.
1928 ඔක්තෝබර් 08 වැනිදා වත්තල දී උපත ලැබූ දොන් බෙනඩික්ට් දොඩම්පෙගම මුලින්ම අධ්‍යාපනය ලබා ඇත්තේ වත්තල ශාන්ත අැන්තනීස් විද්‍යාලයෙනි. එතැනින් කොටහේනේ ශාන්ත බෙනඩික්ට් විද්‍යාල අධ්‍යාපනය ලබා පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ගොස් ඇත. විශ්වවිද්‍යාලයේදි ඔහු සමඟ එකට ඉගෙන ගෙන ඇත්තේ ගුණදාස අමරසේකර ය. මහාචාර්ය සරච්චන්ද්‍රයන් “මනමේ” නිෂ්පාදනය කළ අවදිය ඒ. තම හැකියාවන් හැඳින ගෙන සාහිත්‍යය, කලාව පැත්තට යොමු කළේ සරච්චන්ද්‍රයන් බව දොඩම්පෙගම කියා ඇත.
දොඩම්පෙගම පාසල් යන කාලයේ තම මව මිය යාම නිසා ඇතිවූ කම්පාවෙන් 1947 වසරේ “කඳුළු කැට” නමින් කවි පොතක් අතින් ලියා ඇත. එහි පිටකවරය ඇඳ ඇත්තේ තම හිතාදර මිත්‍ර තිමෝතිස් පෙරේරා ය. ඔහු චිත්‍රපට නළුවෙකි.
“මම විශ්වවිද්‍යාලයේ ඉගෙන ගෙන කොළඹ ඇවිත් ග්‍රෑන්ඩ්පාස් ශාන්ත ජෝසප් විද්‍යාලයේ ගුරුවරයෙක් හැටියට කටයුතු කළා. ඒ කාලයේ ම හොඳම මිත්‍රයා එහි ආචාර්යවරයකු වූ රෙජී රණසිංහ. අපි දෙන්නා විදේශ චිත්‍රපට නැරඹුවා. සිනමාව ගැන පොතපත කියෙව්වා. එපමණක් නොවෙයි විශ්ව සාහිත්‍යය ඇසුරු කළා. අපි දෙන්නා විදේශීය කෙටකතා කිහිපයක් තෝරලා පරිවර්තනය කළා. පසුව අපි දෙන්නාම එකතු වෙලා “රෂොමොන් හා වෙනත් කතා” කමින් පළ කළා. ශ්‍රේෂ්ඨ ජපන් කෙටි කතාවක් වූ අකුටගාවාගේ “රෂොමොන්” කතාවත්, ඇමරිකානු ජාතික එඩ්ගා ඇලන් පෝ ගේ ‘ඇහැ’ කතාවත්, රුසියානු ජාතික මැක්සිම් ගෝර්කි ගේ “නැළවිලි ගීය සහ වසන්ත රාත්‍රිය” කතාවත්, රුසියානු ලේඛක ඇන්ටන් චෙකොෆ්ගේ “ගායිකාව” කතාවත්, ඉංග්‍රීසි ජාතික සොමසොට් ටොම් ගේ “කුහුඹුවා සහ තණ ගිරවා” කතාව ද අපි සිංහලයට පරිවර්තනය කළා.” දොඩම්පෙගම මහතා අතීත කතාවක් හෙළි කරමින් මට කීවේ වසර 40කට පෙර ‘නවයුගය’ පුවත්පතේ සංවාදයකට එක් වෙමිනි.
කලක් තැපැල් ස්ථානාධිපතිවරයකු ලෙස ද කටයුතු කොට ඇති දොඩම්පෙගම මහතා පුවත්පතට සම්බන්ධ වී ඇත්තේ අහම්බෙනි. එවකට “සිළුමිණ” පුවත්පතේ කර්තෘව සිටි ඩෙන්සිල් පීරිස්, ලංකා විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරයකු සිටි ආචාර්ය සරච්චන්ද්‍රයන්ගෙන් හොඳ මාධ්‍යවේදියකු නිර්දේශ කරන මෙන් ඉල්ලා සිටියේය. සරච්චන්ද්‍රයන් නිර්දේශ කොට ඇත්තේ දොඩම්පෙගමගේ නම ය.
දොඩම්පෙගම සිළුමිණ කර්තෘ මණ්ඩලයට ගිය වහාම මාර්ටින් වික්‍රමසිංහ මහතා හමුවීමට ගොස් ඇත. වික්‍රමසිංහ මහතා දුන් මුල්ම අවවාදය වූයේ හැකිතාක් පොතපත කියවීමට ය. පොත් කියවීමට ඔහු මිය යන තෙක් ම අත්හළේ නැත.
“මෙග් ජීවිතයේ රසවත් ම කාලය ගත වුණේ සිළුමිණේ, මීමන ප්‍රේමතිලක හිටියකාලයේ. කොළඹ යුගයේ කවියකු වූ මීමන මට විශේෂාංග කතුවරයාව සිටින කාලේ උපරිම නිදහස දුන්නා. පී.බී. අල්විස් පෙරේරාලා කේ.ඩී. සෙනෙවිරත්නලාගේ කවි පළ වෙන කාලේ මහගමසේකරලා විමල් දිසානායකගේ නිසඳැස් කවි සිළුමිණේ පළ වුණේ මට ලැබුණු නිදහස නිසා. සිළුමිණට අලුතින් බැඳුණු මට මීමන ඔහුගේ ලොකු පුතා සුනිල් මාධව ප්‍රේමතිලක මට බාර දීලා, “බෙන්, මෙන්න මගේ පුතා සුනිල් ආනන්දෙන් මෙහාට කෙළින් ම ආව. අද ඉඳලා පුතාව උඹට බාරයි.” කිව්වා. කර්තෘ මණ්ඩලයට බැඳුණු සුනිල්ට පොත් කියවන්න පුරුදු කළේ මම. පර්සි ජයමාන්නටත් එහෙමමයි.” දොඩම්පේගම අපට කියා ඇත.
දොඩම්පෙගම විශේෂාංග ලිවීමට සති අන්තයේදි ඈත එපිටට ගියේ නිමල් පෙරේරා අභයවර්ධන, රාජා පෙරේරා, වොලී පෙරේරා, රියන්සි විජේරත්න, චන්ද්‍රගුප්ත වීරවර්ධන යන කැමරා ශිල්පීන් සමඟ ය. කච්චතිවු ගිය ගමන ගැන ඔහු නිතර අපිට කියා විනෝද විය. මීමන ප්‍රේමතිලක සිළුමිණට ලියූ විසිතුරු ලිපි අගය කළ දොඩම්පෙගම මීමනගේ ජීවිත කතාව ලියන්න උනන්දු කළේය. “මගේ ප්‍රේමය, කලාව හා ජීවිතය” නම් කෘතිය මීමන ලියා පළ කළේ ඒ උනන්දුව නිසා ම ය.
දොඩම්පෙගම තම කුඩා අවදිය මතක් කරමින් වරක් මට මෙසේ පැවසුවේය.
“මම ඉපදුණේ වත්තල ඇවරියවත්තේ. අපේ තාත්තා වත්තලට ආවේ ගාල්ලේ ඉඳලා. දකුණේ ඉඳලා ආ කෙනෙකුට දකුණට වඩා ලොකු තැනක් මුළු ලෝකෙම නැහැ. බාල වියෙහි වසරක් පාසා අපි ගාල්ලටත්, තාත්තා ඉපදුණ තල්පෙටත් ගියේ වන්දනා ගමනක් වගෙ.”
“මම සිනමාවට ආදරේ කළේ විශ්වවිද්‍යාල පුස්තකාලයෙන් කියවූ සිනමා විෂයට අදාළ පොත් නිසා. Film (Roger Manvel), Film Till Now (Paul Rotha) Art of Film (E.Lindgen), The Film As a Work of Art (Jeam cocteau), Grierson on Documanty ඇතුළු සිනමා ගැන ලියූ පොත් මගේ මුල් කෘතිය වූ චිත්‍රපට ආස්වාදනය ලිවීමට මූලාශ්‍රය කර ගත්තා. මේ පොත මා පිළිගැන්වූයේ මේ පොත ලිවීමට පෙලඹ වූ පසුව මගේ බිරිය වූ මර්සි වර්ජිනියා බස්නායක යි.”
බෙනඩික්ට් දොඩම්පෙගම මහතා ‘සිළුමිණ’ පත්‍රයේ විශේෂාංග කර්තෘවරයා ලෙස කටයුතු කරමින් 1964 වසරේ ඒ පුවත්පතට විශේෂාංග රාශියක් ලියා තිබුණි. මේවා අතරින් “නිග්‍රෝ සටන මෙහෙයවන ගාන්ධි: මාටින් ලූතර් කිං; චාලි චැප්ලින්ගේ හදවත; චන්ද්‍රිකා මහ පොළොවේ දුර බැහැර මකයි; දේශපාලන නායකයන්ගේ මුඛරි කියුම්; සියමයේ දෙබිඩි දරුවෝ; ඈන් ෆ්‍රැන්ක්ගේ අමරණීය දිනපොත; මිනිසා හඳට යන්නේ මෙහෙමයි; ලෝක ප්‍රකට සෙන් කතා; ස්වර්ගය බිහිවන්නේ අපායෙනි; ජීවිතයට නොබියව මුහුණ දෙන පෝලන්ත චිත්‍රපටි කැපී පෙනෙයි. මේ ලිපි ඇතුළු විශේෂාංග ලිපි එකතු කොට ඔහු ලියූ පොත්පත් අතර “දස දෙසින්”, “කලාව හා කලා කරුවෝ”, “විද්‍යා ලෝකයෙන්”, ‘පුදුමයි! ඒත් ඇත්තයි’ කෘති ලිවීමට උපකාර කොට ඇත්තේ එවකට ‘සිළුමිණ’ කර්තෘව සිටි මීමන ප්‍රේමතිලක බව පවසා ඇත.
එඩ්වින් ආරියදාස මහතා හා දොඩම්පෙගම මහතා අතර තිබූ අවියෝජනීය සම්බන්ධතාව නිසා මේ දෙදෙනා එක්ව පරිවර්තන කෘති කිහිපයක් පළ කර තිබූහ. ඒවා අතර ඩිවයිට් ඩී. අයිසන්හවර් ලියූ “පහසුවෙන් සිටින්: මා යහළුවන්ට කියන කථාන්තර (AT EASE : stories I tell to Friends), පොත විශේෂ තැනක් ගනී. මෙයට ඇතුළත්ව ඇත්තේ ඇමෙරිකා එක්සත් ජනපදයේ ශ්‍රේෂ්ඨතම නායකයකු වශයෙන් ප්‍රසිද්ධියක් ලබා ඇති ඩ්වයිට් ඩි. අයිසන්හවර් තම අතින් ම ලියා තැබූ මතක සටහන් ය. ඇමරිකාවේ සිටි තවත් ශ්‍රේෂ්ඨ තම නායකයකු ජෝන් එෆ්. කෙනඩි ලියූ ‘වීර මූර්ති’ (John F. Kennedy: Profiles in Courage යන කෘතිය ද ලයනල් රූබිගේ ‘පැහැදිලිව සිතන මඟ’ දොම්පේගම හා ආරියදායන්ගේ තවත් රසබර පරිවර්තනයකි. දොඩම්පේගමට විශ්ව සාහිත්‍යය පිළිබඳව තිබූ පෘථුල අවබෝධය මොනවාට පිළිබිඹු වන ලිපියකි “කලා නිර්මාණය සදාකාලික අභිරහසක්” නමින් අප පළ කළ “අනුභූතිය හා නිර්මාණය” කෘතියට ලියූ පෙරවදන. එහි මෙසේ සඳහන්ව ඇත.
“උගත්කමින් විද්‍යාවෙන් තර්කයෙන් කලාකරුවෙක් කලා කෘතියක් නිරූපණය කරන අන්දම තේරුම් කළ නොහැකිය. එදත් අදත් කලාකරුවා කලා කෘති නිර්මාණය කරන අන්දම අභිරහසකි. කලාකරුවාට හැමදාමකම සමාජයේ ආදරය හිමි වන්නේ ජීවිතය විඳ දරා ගැනීමට ඔහු විසින් මවන රසය කිසියම් දේකට වඩා මිනිසාට පිහිට වන නිසාය....
රසිකයන් ඇන්ටන් චෙකොෆ්ගේ සටහන් පොත් තෝල්ස්ටෝයිගේ ලිපි සටහන් කියවන්නේ ඉමහත් රසයකිනි. මොන මාධ්‍යයකින් කලා නිර්මාණය කළත් නිර්මාණය සඳහා කලාකරුවා විඳින වේදනා එක ය. ප්‍රසූතියෙන් පසුවට දරුවා දුටු සැනින් විඳි දුක් අමතක වේ. එහෙත් කලාකරුවා මවකට වඩා පව්කාරයෙකි. කලාකරුවා තමාගේ නිර්මාණයෙන් කිසිවිටක සතුටු නොවෙයි. මුළු ලෝකට ම වශී වූ තෝල්තෝයි ගේ හැම නවකතාවක් ම ලියා නිම වූ විට ඒවා පුලුස්සා දැමීමට ඔහු තැත් කළේය. සිය දිවි හානිකර ගෙන බොහෝ කලාකරුවෝ මෙලොවින් ඉවත් වන්නේ ඔවුන් තුළ ඇති පිනවිය නොහැකි අසන්තුෂ්ටිය නිසා ය. දුකින් පෙළෙන කලාකරුවකුගේ හදවත කෙබඳුද යනු බිඳක් හෝ වටහා ගැනීමට වින්සන්ට් වැන්ගොක් චිත්‍ර ශිල්පියා තම පෙම්බර සොහොයුරා වන නියෝට ලිපි කිව යුතුය.
තම මුල් ම කෘතිය සඳහා පෙරවදනක් ලිවීමට ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාට ආරාධනය කොට එය ලියවා ගත් දොඩම්පේගම මහතා මිය යන තෙක් ම ඔහු සමීපව ඇසුරු කළා පමණක් නොව චිත්‍රපට තිරනාටක රචනයට ද හවුල් විය. ලෙස්ටර් දෙවන වරට අධ්‍යක්ෂණය කළ ‘සන්දේශය’ චිත්‍රපටයේ තිරනාටකය ලිවීම සඳහා ලෙස්ටර්ට හා දෙබස් රචනය කළ කේ.ඒ. ඩබ්ලිව්. පෙරේරාට ඔහු සහාය වී ඇත. පසු කලෙක ලෙස්ටර් කෙටිකතා තුනක් පසුබිම් කර චිත්‍රපට ත්‍රිත්වයක් තැනීමට ඔහු දොඩම්පේගමගේ උපදෙස් පැතීය. සත්‍යජිත් රායි “තීන් කන්‍යා” නමින් තැනූ ත්‍රිත්වයට අනුව ලෙස්ටර්ට චිත්‍රපට ත්‍රිත්වයකට දොඩම්පෙගම යෝජනා කළේ ජී.බී. සේනානායකගේ “නිධානය” මාර්ටින් වික්‍රමසිංහගේ “ගැහැනියක්” හා ගුණදාස අමරසේකරගේ “බයිසිකලය” යන කෙටිකතා තුන ය. එය ඉදි නොවූ කල “නිධානය” ඇසුරෙන් වෘත්තාන්ත චිත්‍රපටයක් නිපදවීමට ලෙස්ටර්ට මූල බීජය දුන්නේ දොඩම්පෙගම ය. එය ලංකාවේ හොඳම චිත්‍රපටය මෙන් ම ලෝකයේ හොඳ ම චිත්‍රපට 100ට ද ඇතුළුවීම විශේෂයකි.
ලේක්හවුසියේ සිටිය දී වැඩියෙන් ම පොතපත කියවූ පත්‍ර කලාවේදීන් හත්දෙනෙකු මා දැක තිබුණි. ඔවුන් නම් දොඩම්පෙගම, එඩ්වින් ආරියදාස, පර්සි ජයමාන්න, දයාසේන ගුණසිංහ, පිලිප් කුමාර, ඩී.සී. රණතුංග හා නිහාල් රත්නායකය. තවත් සිටින්න ඇති. පෙට්ටි සුරුට්ටුවක් උරමින් පොතක් බලන දොඩම්පේගම මහතා නම් අපට සුලභ දර්ශනයකි. අපට පොත්පත් ගෙනැවිත් දී පොත්පත් කියවීමට හුරු කළේද හොඳ චිත්‍රපට නැරඹීමට ඇමරිකන් තානාපති කාර්යාලයේ මිනි සිනමා හලට ගෙන ගියේ ද ඔහු ය.
දොඩම්පේගම මහතා විවාහ වී ඇත්තේ ඔහුගේ උපන් දිනය යෙදූ තිබූ දිනකය. ඔහුගේ බිරිය වර්ජිනියාට හා දියණියන් දෙදෙනා වූ ශ්‍රීමලීට හා ශ්‍යාමාට දැක්වූයේ අපරිමිත ආදරයකි. ශ්‍රීමාලී Edlocate අන්තර්ජාතික විශ්වවිද්‍යාල සම්බන්ධීකරණ ආයතනයේ අධ්‍යක්ෂවරියකි. අනිත් දියණිය ශ්‍යාමා වෛද්‍යවරියක ලෙස එංගලන්තයේ රෝහලක සේවය කරන්නීය. ශ්‍රීමාලි පවසන්නී තම පියා සංවේදී චරිතයක් බව ය.
“අපේ අම්මා හරිම කලබලයි; දරදඬුයි; නිතරම කේන්ති යනවා. ඒකට තාත්තා. තාත්තා නිවුණු චරිතයක්. උෙද් තාත්තා නැගිට්ටහම අම්මා තේ කෝප්පය ගෙනෙන විදිහෙන් තාත්තා දැන හිටියා අම්මාගෙ ගති ලක්ෂණ. තේ කෝප්පය කාරුණික හෙමින් තියෙන කොටත්, ශබ්ද නඟලා තේ කෝප්පය තියෙන විදිහෙන් ඒ දවසේ අම්මගේ හැඟීම් තාත්තා දැන හිටියා. ඒ වුණාට අම්මා තාත්තාට ආදරෙයි. තාත්තාගේ පණ දුවල දෙන්න. තාත්තා අසීමිතව පොත් කියෙව්වා. චෙකොප්ගේ හරි මාක් ටුවේන්ගේ හරි තෝල්ස්තෝයිගේ හරි රසවත් කතාවක් කියෙව්වොත් තාත්තා අපිට ඒ කතාව රස කරලා කියනවා. තාත්තා විශේෂාංග ලියන්න කැලෑවල යන කොට දැක්ක අලි ගැනත් අපිව කුතුහලයට පත් කරමින් කරන කතා අපි ආසාවෙන් අහගෙන ඉන්නවා. ඒ වගේ තාත්තා කෙනෙක් ලබන්න අපි පින් කරල තිබුණා. තාත්තා අපිට දෙවියෙක්.”
කලක් දොඩම්පේගම මහතා ඇමරිකන් ප්‍රවෘත්ති සේවයේ උපදේශකවරයකු ලෙස කටයුතු කළේය. “දර්ශන” නම් සඟරාව සංස්කරණය කළේය. බ්‍රිතාන්‍ය චිත්‍රපට ආයතනය, කැනඩාවේ චිත්‍රපට මණ්ඩලය, ඇමරිකාවේ මොඩර්න් ආට් මියුසියම් ආයතනවලට ගොස් චිත්‍රපට කලාව හැදෑරුවේය. සරසවි සිසුන්ට චිත්‍රපට කලාව ඉගැන්නුවේය. සිසුන් සමඟ රසවින්දනය ගැන වාද කළේය.
“ගුරුවරයකු සමඟ නොගැටෙන ගෝලයකු තබා ගැනීම තරම් අවමානයටක් නැතැයි” නිට්ෂේ නමැති දාර්ශනිකයාගේ කියමන යථාර්ථවත් කළ ගුරුවරයෙකි ඔහු.
සිනමාවට එක් වූ අංකුර තරුණ අධ්‍යක්ෂවරුන්ට ඔහු අප්‍රමාණව අත හිත අනුග්‍රහ දැක්විය.
එච්.ඩී. ප්‍රේමරත්න අධ්‍යක්ෂණය කළ ‘කුලගෙය’ හා ‘මන්දාකිණි’ චිත්‍රපට දෙකේම කතා සංකල්පය ද ඔහුගේය. ඔහු තරම් පොතපත කියවූ පත්‍රකලාවේදීන් ඇත්තේ අල්පයකි. විද්යුත් මාධ්‍යය කොතරම් පැමිණියත් ඔහු පොත පතට තිබූ ආදරය නම් අත්හැරියේ නැත.
මරණයේ දොරටුව අසල ඇඳට වී අසාධ්‍යව සිටි අවස්ථාවක මම ඔහු බැලීමට ගියෙමි. ඔහුගේ බිරිය මා පැමිණ ඇතැයි කනට කොට කීවාය. ඔහු මට සමීපයට එන ලෙස සන් කළේය. මම ඔහුට ළංවීමි. ඔහු මට කීවේ දාර්ශනික කියමනකි.
“මම තරම් පොත් කියවපු මිනිහෙක් නැතිව ඇති. ඒත් මම නොකියවපු එක පොතක් තිබුණා.”
“ඒ මොකක්ද මිස්ටර් දොඩම්පෙගම.”
“ඒ පොත තමයි මම ඇඳට වෙලා කියවන්නේ.”
ඔහු දෑසි පියාගෙන මට කීවේය.
“බෙන්, එයා බලන්න එන සමීපතම හිතුවතුන්ට ඔය කතාව කියනවා. හැබැයි පොත්වලට ආදරය කරන අයට.” ඔහුගේ බිරිය මා ඔහුගෙන් සමුගෙන එන විට කීවාය.
ශ්‍රිමාලි දියණිය තම පියා මිය ගිය 2004 පෙබරවාරි 14 වැනිදා තම දින පොතේ ලියූ කාව්‍ය සංකල්පනාවකි මේ.
කියවා ඇතිමුත් විශ්ව සාහිත්‍යය
ඔබ නැණ නුවණින් උකහා ගත්
නුවණ රසය බෙදා දුනි සැම හට සතුටින්
කියවීම මිනිසා සම්පූර්ණ කරයි
මෙය පසක් කර දෙමින්
අවසානයේ මරණයේ පොත ද සතුටින් කියූ
මා දයාබර තාත්තා
ලොව රජකරයි සියල්ල පරදා
රුපියල් සතේ
ගුණනුවණින් රජ වූ ඔබ අත
නොතිබුණිය සතේ
ඡායාරූප පිටපත් කිරීම - ලාල් සෙනරත්