
“රිවි කිරණ” පත්‍රයෙහි තීරු තුනක කතු වැකියකින් “ලීලා” විවේචනය කරනු ලැබීම වික්‍රමසිංහයන්ගේ සන්තෝෂයට මෙන් ම විස්මයට ද හේතු වී ය. තමා එහි කතුකම කළ ජේ. සයිමන් ද සිල්වා දේවගැතිතුමා දැන හැඳින ගත්තේ මේ විවේචනයෙන් බව පවසයි. පණ්ඩිත යගිරල පඤ්ඤානන්ද හිමියන් සඳරැසට ලියුම් පෙළක් ලියමින් “ලීලා” තරයේ දෝෂදර්ශනයට භාජනය කළ අතර පියදාස සිරිසේනයන් කෙටි විවේචනයක් ලියා වික්‍රමසිංහ “පරිණාම වාදය” නමැති ප්‍රලාපය පතුරුවන අදහසත් “ලීලා” ලියන ලදැයි “ සිංහල ජාතිය” පත්‍රයේ පළ කළ කෙටි විවේචනයකින් කියා සිටි බව ද ‘උපන් දා සිට’ කෘතියේ සඳහන් වෙයි. “ලීලා” විවේචනය කළ කිසිවකු තමා කවරෙක්දැයි නො දත් බවත්, තමා කිසි පත්‍ර කන්තෝරුවකට නොගිය බවත් වික්‍රමසිංහයන් පවසා ඇත.
මහ ගත්කරු මාර්ටින් වික්‍රමසිංහයෝ මෙයට වසර 43කට පෙර 1976 වසරේ ජූලි 23 වෙනිදා සුළු කලක් අසනීපව සිට නාවල සිය නිවසේ දී අභාවප්‍රාප්ත වූහ. ජූලි 26 වැනිදා කොග්ගල, මලලගම, සිය නිජ බිම වූ ගිංපතලියේ දී එතුමාගේ ආදාහනෝත්සවය සිදු කරන ලදි. වික්‍රමසිංහයන් ගේ මුල් ම නවකතා වූ “ලීලා” නිකුත් වූයේ හරියට ම මෙයට අවුරුදු 105කට එපිට එනම් 1914 දී ය.
වික්‍රමසිංහයන් විසි හැවිරිදි වියේහිදී ලියූ “ලීලා” නවකතාව මුද්‍රණයෙන් පිටකරනු ලැබූ පසු ඒ පොත වියතුන්ගේ විවේචනයට හසුවීම තමාගේ සන්තෝෂයට හේතු වූ බව ඔහු විසින් ලියනු ලැබූ ‘උපන් දා සිට’ කෘතියේ සඳහන් කර ඇත. එහි මෙසේ ද සඳහන් වී ඇත.
“ඩිමයි අටේ පිටු සීයක් පමණ වන “ලිලා” විකුණන ලද්දේ සත පනහ බැගිනි. කඩදාසි, තීන්ත, මුද්‍රණය ඉතාම ලාබ වූ බැවින් පොතෙන් පිටපත් දෙදහසක් මුද්‍රණය කරවන්ට මා වියදම් කෙළේ රුපියල් තුන්සීයකටත් අඩු ගණනකි.”
“ලීලා” නවකතාවේ ඇතුව පිටුටවකට චිත්‍රයක් ඇතුළත් කොට තිබුණි. මුල් පිටුවේ “ලීලා” යනුවෙන් ලොකුවට කළු පාටින් මුද්‍රණය වී ඇති එහි පහළ වරහන් තුළ “රසවත් කතාන්දර” නමින් කුඩාවට කොටසක් මුද්‍රණය වී ඇත.
“මාර්ටින් වික්‍රමසිංහ විසින් ලියන ලදී. ජී. ඩබ්ලිව් චාර්ල්ස් ද සිල්වා විසින් සුභද්‍රා මුද්‍රණාලයේ අච්චු ගස්වා ප්‍රසිද්ධ කරන ලදී.” යන්න හැරුණු කල කවරයේ මුල් පිටුවේ ඉංග්‍රීසි බසින් මෙසේ මුද්‍රණය කොට තිබුණි.
(Leila (A Novel) By Martin Wickramasingha” Published by G.W. Charies De Silva 1914. පොතක මිල ශත 50 ය.”
ඔප කඩදාසියෙහි මුද්‍රණය කළ සිතුවමක් ද පොත ඇතුළත තිබූ අතර එම චිත්‍ර ශිල්පියාගේ නම ජෝර්ජ් ඇලෝෂියස් ලෙස ඉංග්‍රීසියෙන් සටහන් වී තිබුණි.
වික්‍රමසිංහයන් “ලීලා” අච්චු ගැසීමට ප්‍රථම කියවා බැලූ ඔහුගේ මිත්‍රයන් කී කතා කිහිපයක් ගැන ඔහු සටහන් කර ඇත.
“මේ පොත ප්‍රසිද්ධ කළොත් මාටින්ට හොඳට ම බැණුම් අහන්ට සිදුවෙනවා ය” කියා වික්‍රමසිංහයන්ට එක් මිත්‍රයෙක් කියා ඇත.
එක් “ජාතිහිතෛෂී” මිත්‍රයකු ඔහුට කියා ඇත‍්තේ මාර්ටින්ට වඩා මෝඩයෙක් මුළු ලංකාවේ ම නැතැයි” කියා ය. මිත්‍රයන්ගේ වචන ඔහුගේ හිත අසතුටු වීමට හෝ අධෛර්ය වීමට කාරණා නොවීය. තමා “ලීලා” කතාව ලියන්නට සිතුවේ පියදාස සිරිසේන ගේ නුපුළුල් මතවලට විරුද්ධ වාදයක් නැඟීම මැනවයි හැඟුණු නිසා බව වික්‍රමසිංහයන් පවසා ඇත.
තමා අදහස් කෙළේ නවකථාවක් ලියන්නට නොව සිංහල උගතුන් පමණක් නොව ඉංග්‍රීසි උගතුන් ද දැඩි කොට ගත් ඇතැම් සිරිත්වලට හා මිථ්‍යා විශ්වාසයන්ට ද පහර දීමට බවත් ඒ සඳහා පියදාස සිරිසේන ගේ නවකතා රීතිය ම ඔහු උපයෝගී කොට ගත් බව ද වික්‍රමසිංහයන් “උපන් දා සිට” කෘතියේ මෙසේ දක්වයි.
ගැමියන්ගේත් ගැමි ගැහැනුන්ගේත් චරිත නිරූපණයෙහිදී මේ තොවිල්පවිල් යන්තරමන්තර උපහාසයට භාජනය කළෙමි. එහෙත් එහි කතා වස්තුව ගතානුගතික ප්‍රේමාලාපයක් වී ය. නායකයාත් නායිකාවත් දෙදෙනාම පියදාස සිරිසේනගේ නවකතාවල නායකයන් බෙහෙවින් සමාන මහදැනමුත්තෙකි. “ලීලා” පොතෙහි නොවැදගත් ගැමි චරිත කිහිපයක් වී ය. ඒ ගැමි චරිත නිරූපණයෙහි දී මා වස්තු කොටගත්තේ කුඩා කල පටන් හඳුනන ගැහැනුන් හා පිරිමින් පිළිබඳ පුවත් කිහිපයකි.
සිංහල නවකථාවේ මූලාරම්භයේ වැඩ විසූ ඇතැම් උගත් බෞද්ධ භික්ෂූන්වහන්සේලා නවකතා කියැවීම කාලය නාස්ති කිරීමක් බවත් බණ පොත්, බණ කතා අසන්නට හා සුසිරිත් දුසිරිත් පිළිබඳ අවවාද හා අනුශාසනා සහිත වාසගම් පොත් කියවන්නට අනුබල දුන් බව කියන වික්‍රමසිංහයන් (1969 ඔක්තෝබර් - රසවාහිනි සඟරාව) මෙසේ ද පවසා තිබුණි.
“මීට අවුරුදු ගණනකට පෙර අපවත් වූ කරඳන ජිනරතන නායක හිමියෝ බණ දෙසූ බොහෝ විට “පින්වත්නි, නවකතා පොත් කියවන්ට එපා යැයි කෙල්ලන්ට අවවාද කළහ. දැන් කොල්ලන් කෙල්ලන් පමණක් නොව, සාමණේරයෝ ද පෙම් කතා පමණක් නොව කාම කතා ද කියවති.
පෙම් කතා මිලට ගන්නා සාමණේරයන්ගේ ගණන ඒ කතා මිලට ගන්නා කොල්ලන්ගේ ගණනට අඩු නැතැයි විශාල ම පොත් සාප්පුවක සිංහල පොත් අංශයෙහි කළමනාකාරයකුගෙන් මට අසන්නට ලැබිණ.
බෙල්ලේ සිට ඇස්වටය තෙක් සිවුරු හඳින කළුකොඳයාවේ පඤඤාසේඛර නායක හිමියන්, නාරද හිමියන් ඇතුළු යතිවරයන් හා උඩු කය හා යටි කය වසා ඇඳුම් අඳින කලිසම්කාර උපාසකයන් ද විසින් පෙකණිය දක්වා බඩෙන් වියතක් පෙන්වන කොට හැට්ට අඳින කතුන්, තට්ටම් දෙකෙන් වියතක් පහළ තෙක් කකුල් වැසෙන සේ මිනි ගවුන් අඳින කෙල්ලන්, උන් පස්සේ කැමරා උස්සාගෙන දුවන පත්‍ර ඔත්තුකාරයන්, පත්‍රකාරයන් ආදීන් නිර්භයව තමන්ගේ උදහසත් නින්දාවටත් හසු කරනු ලැබීම වර්තමාන සිංහල සමාජ නාටකයෙහි උසස් වැදගත් අංගයකි. එහෙත් ලේන්සුවෙන් අමුඩ ගසා ගෙන ගොවිතැන් කරන තලතුනා ගොවියා කොට හැට්ටකාරියන්, මිනිගවුන් කාරියන්, දකින විට සිනාසී කරබා ගනිති. තමා අඩ සෙළුවකු වග දන්නා හෙයිනි.”
“රිවි කිරණ” පත්‍රයෙහි තීරු තුනක කතු වැකියකින් “ලීලා” විවේචනය කරනු ලැබීම වික්‍රමසිංහයන්ගේ සන්තෝෂයට මෙන් ම විස්මයට ද හේතු වී ය. තමා එහි කතුකම කළ ජේ. සයිමන් ද සිල්වා දේවගැතිතුමා දැන හැඳින ගත්තේ මේ විවේචනයෙන් බව පවසයි.
පණ්ඩිත යගිරල පඤ්ඤානන්ද හිමියන් සඳරැසට ලියුම් පෙළක් ලියමින් “ලීලා” තරයේ දෝෂදර්ශනයට භාජනය කළ අතර පියදාස සිරිසේනයන් කෙටි විවේචනයක් ලියා වික්‍රමසිංහ “පරිණාම වාදය” නමැති ප්‍රලාපය පතුරුවන අදහසත් “ලීලා” ලියන ලදැයි “සිංහල ජාතිය” පත්‍රයේ පළ කළ කෙටි විවේචනයකින් කියා සිටි බව ද ‘උපන් දා සිට’ කෘතියේ සඳහන් වෙයි.
“ලීලා” විවේචනය කළ කිසිවකු තමා කවරෙක්දැයි නො දත් බවත්, තමා කිසි පත්‍ර කන්තෝරුවකට නොගිය බවත් වික්‍රමසිංහයන් පවසා ඇත.
යගිරල පඤ්ඤානන්ද හිමියෝ පළමු ව වික්‍රමසිංහ ක්‍රිස්තියානි කාරයෙකැයි සැක කළහ. එයට හේතුවන්ට ඇත්තේ ‘රිවි කිරණෙහි විවේචනය නිසා යැයි වික්‍රමසිංහයන් උපකල්පනය කරයි.
පඤ්ඤානන්ද හිමියෝ තුන්වන ලිපියෙන් ලියන ලද “ලීලා” බුදු සමයටත්, කිතුසමයත් යන දෙකට ම පහර දෙනු පිණිස ලියන ලද පොතකැයි කීහ. එහෙත් උන්වහන්සේ තමන්ගේ අවසාන ලිපියෙන් වික්‍රමසිංහයන්ට අනුබල දෙන්ට වෑයම් කළහ. මේ එහි එන වැකියකි.
“වික්‍රමසිංහ රටටත් ජාතියටත් සේවය කරන්ට ශක්තිය ඇති තරුණයෙකි. එහෙත් ඔහු නොමඟ ගොස් පැරණි සිරිත් විරිත් හා ආගම් ද සහසික ලෙස දෝෂ දර්ශනයට ශක්තිය ඇති තරුණයෙකි. එහෙත් ඔහු නොමඟ ගොස් පැරණි සිරිත් විරිත් හා ආගම දහම් ද සහාසික ලෙස දෝෂ දර්ශනයට භාජන කරයි.”
යගිරල පඤ්ඤා නාහිමි 1919 ජුනි 19 වෙනිදා සරසවි සඳරැස විවේචනයේ ලියූ තවත් වැකියක් මේ.
“මාර්ටින් වික්‍රමසිංහ මහතා විසින් මා වෙත එවන ලද “ලීලා” නම් අභිනව ප්‍රබන්ධ කතාවෙන් කොපියක් ලැබී ස්තුති සහිතව බාරගෙන කියවා බැලීමි.
මට නොඑක් විට ලැබෙන පොතපත් සම්බන්ධ ගුණදෝෂ පරීක්ෂණයට නොවෙහෙසන නමුත් මේ පොත ගැන විශේෂ වශයෙන් යමක් ලිවීමට අදහස් විය. මක්නිසාද යත් මාර්ටින් වික්‍රමසිංහ මහතා යම් යම් දේ සොයා පරීක්ෂා කොට බලා ඇත්ත නැත්ත තෝරා බේරා ගැනීමට ආසා ඇත්තෙකැයි පෙනෙන හෙයිනි.”
කරපුටුගල ධර්මාලෝක හිමියෝ පොත වර්ණනා කරමින් වික්‍රමසිංහන්ට ලියුම් එවූ බව පවසා ඇත.
“කරපුටුගල ධර්මාලෝක හිමියෝ පොත වර්ණනා කරමින් මට ලියුමක් එවූහ. උන්වහන්සේ මගේ පොත විචාර බුද්ධියෙන් කියවූහයි ඒ ලියුම පරෙස්සමෙන් කියැවූ මට නොවැටහිණ. කොතෙක් දොස් කීවත් යගිරල පඤ්ඤානන්ද හිමියන් මගේ පොත විචාර බුද්ධියෙන් පමණක් නොව සැලකිල‍්ලෙන් ද කියවුවෙකියි සිතූ මම උන්වහන්සේ සමඟ මිත්‍ර වීමි.
මගේ පොත විචාර බුද්ධියෙන් කියවා එහි හොඳ නරක දෙක ම පෙන්නමින් විවේචනයක් ලියා එවන්න යයි මම කරපුටුගල හිමියන්ට ලියුමක් ලියූවෙමි. එකල උන්වහන්සේ වැඩ සිටියේ හැටන් නගරයෙහි විහාර ස්ථානයක යැයි සිතමි. ලීලා පිට වූ කාලයෙහි පී.කේ.ඩබ්ලිව්. සිරිවර්ධන (පොත් ප්‍රකාශකෙයකි) ඒ පොත කියවන්ට එපා යැයි තරුණයන්ට කියන්ට වීය.”
සරච්චන්ද්‍යෙන් ලියූ “සිංහල නවකතා ඉතිහාසය හා විචාරය” කෘතියේ සඳහන් කරන්නේ මුල් කාලයේ මාර්ටින් වික්‍රමසිංහ සිරිසේනගේ කෘතිවලින් ආභාසයක් ලැබුවේ යයි සිතීමට කරුණු තිබෙන බව ය.
“ලීලා වනාහි සිරිසේන මහතාගේ “ජයතිස්ස සහ රොසලින්” කරා එල්ල කරන ලද ප්‍රච්ඡාන්ත ප්‍රහාරයක් යැයි හැඟේ. අතීතය වැනූ ජයතිස්සගේ ප්‍රත්‍යනීකයා ය “ලීලා” හි කථා නායකයා වන ඇල්බට්. ඔහු විප්ලවවාදියෙකි. මිනිසුන් ආදරයෙන් පිළිගත් ඇදහිලි ඔහු සැකයට භාජනය කරයි. සමාජ ධර්මයට පටහැනිව ක්‍රියා කරන ඔහු පිටුවහල් කරනු ලබයි.
ජයතිස්ස පියදාස සිරිසේනගේ විවිධ මත ප්‍රකාශ කරන්නාක් මෙන් ඇල්බට් ද වික්‍රමසිංහගේ අදහස් ප්‍රතිරාවය කරයි. ජයතිස්ස තමාට රුචි වූ විෂය වන ආගම ධර්මය පිළිබඳ රොසලින් සමඟ ලියුම් හුවමාර කර ගන්නාක් මෙන් ඇල්බට් ද මානව විද්‍යාව ගැන ලීලාට ලියුම් ලියයි.”
කතා ව්‍යවහාරයෙහි භාෂාව නවකතාවල පළමු වරට යොදන ලද්දේ “ලීලා” නවකතාවේ බව සරච්චන්ද්‍රයෝ පවසති.
“ලීලා” නවකතාව ගැන දීර්ඝ විවරණයක් (මාර්ටින් වික්‍රමසිංහ මහ ගත්කරු වන” කෘතියට) ආචාර්ය ඩබ්ලියු.ඒ. අබේසිංහ විසින් ලියා ඇත.
‘දීර්ඝ දේශනා, ලියුම් ගනුදෙනු, දෛවයෝග, ත්‍රාසජනක සිදුවීම් “ලීලා” හි හිඟ නොවෙයි. එසේම අනගාරික ධර්මපාලතුමා, පියදාස සිරිසේන ආදී පුරෝගාමි සමාජ සුධාරකයන්ගේ කියුම් ද උද්ධෘතයන් ද එහි ඇතුළත් ය.
ඊට ද අමතරව, සුභාෂිතය, නාගාන්දය, නක්ඛත්ත ජාතකය ආදි සම්භාව්‍ය කෘතීන්ගෙන් ගත් උද්ධෘත ද වෙනත් පඬිවරුන්ගේ ප්‍රකාශ ද, මේ කුඩා නවකතාවෙහි නොමඳව දක්නට ලැබෙයි. එසේ වුව, පසු කලෙක කෙමෙන් වැඩෙන ප්‍රතිභා ශක්තිය මුල් අවස්ථාව මේ කෘතියෙහි පිළිබිඹු වන බැව් ද පෙනී යයි. වර්ෂ 1914 දා නම යොදා වික්‍රමසිංහ තම මුල් ම නවකතාව පාඨකයාට හඳුන්වා දුන්නේ, තමාගේ පරමාර්ථය ප්‍රබන්ධ කතාවක් නොවන බැව් ඉඳුරා පළ කරමිනි.”
වසර 105කට පෙර ලියූ “ලීලා” මාර්ටින් වික්‍රමසිංහගේ මුල්ම නවකතාව ය. එය සිංහල නවකතාවේ වර්ධනීය අවස්ථාවේ ලියන ලද කෘතියකි.
සුලබ වුණු අනෙක් බොහෝ නවකතා මෙන් ම, පාඨකයා මනෝමය ලොවකට ගෙන ගිය නිර්මාණයක් ලෙස ආචාර්ය අබේසිංහයෝ එය හඳුන්වා දෙති.
මහගත්කරු මාර්ටින් වික්‍රමසිංහ මහතාගේ 43 වැනි ගුණානුස්මරණය පැවැත්වෙන මේ කාලයේ මීට වසර පහකට පෙර 1914 වසරේ ගම්පොල ජිනරාජ බාලිකා විද්‍යාලයේ 11 - C පන්තියේ නදිශා ගිහානි ශිෂ්‍යාව විසින් ලියූ “විකුම්සිහ හිරු කිරණ” නම් මේ පද්‍ය සංකල්පනාව අපට ලබා දුන්නේ මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පරිපාලන ලේකම් දයාපාල ජයනෙත්ති විසිනි. මේ ලිපිය නිමා කිරීමට මෙය උචිත යයි මම සිතමි.
මුළු දැයක් පුබුදු කළ
ගුරු තරුව නුඹ වීය
සයුරු තෙර සිතිජයෙන්
නැඟුණ හිරු නුඹ වීය
පොත පතෙහි අකුරු තුළ
ජන කවිය නුඹ වීය
එය අපට ඉතිරි කොට
සැඟව ගිය නුඹ වීය
සියක් පොත පත ලියා පළ කොට
නොදැණිනිද වෙහෙසක් පියාණනි
හද සුමුදු කළ වදන් දී ඔබ
සැඟවුණිද කොතැනක පියාණනි
විසුළු අරුමැසි රළු මුහුණු පොත
අපේ සිත් උදුරා තලා ඇත
වෙලක දෙණියක නැඟුණු හඬවල්
සදහටම වියැකී ගොසින් ඇත
එකල අප හැම සතුව
ඒ මහා අසිරිය යළි දකින්නට
මරු විකල් නිපැයුම් මකා
නව මං පෙතක පිය නඟා යන්නට
යළිත් පායා ඒය ඒ හිරු
සියක් පොත පත අකුරු අතරින්
විකුම් බල පිරි කිරණ විහිදා